වතු කම්කරු දඩයමට එරෙහි පිකට් උද්ඝෝෂනයට සම්බන්ධ වන්න!

ඇබෝස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2019 පෙබරවාරි 11

වැටුප් අරගලයේ යෙදුන වතු කම්කරු ක්‍රියාකාරීන් දඩයම් කිරීමට එරෙහිව ඇබෝස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහයෝගය ඇතිව පෙබරවාරි 17 වෙනි ඉරිදා දහවල් 11.00 ට හැටන් නගරයේ බස් නැවතුම් පල ඉදිරිපිට දී පවත්වනු ලබන පිකට් උද්ඝෝෂනයට සහභාගි වන ලෙස කම්කරුවන්, තරුනයන් සහ වැඩකරන ජනයාගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමට උනන්දු සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

දෙසැම්බර් 13 වෙනිදා දික්ඔය ඈන්ෆීල්ඞ් වත්තේ පාලකයෝ, වතු කම්කරු වැටුප් අරගලයට සහභාගී වූ එම වත්තේ කම්කරුවකු වන එස්. බාලසුබ්‍රමනියම්ගේ වැඩ තහනම් කලහ. වත්තේ තේ කම්හලේ ගේට්ටුව වසා කම්හලට තේ දලු ගෙන ඒම අවහිර කිරීමේ චෝදනාව යටතේ ඔහුට සහ පද්මනාදන්, සුබ්‍රමනියම් සහ විශ්‍රාමිකයෙකු වන ක්‍රිෂ්නන් යන කම්කරුවන්ට විරුද්ධව නඩු පවරා ඇත. බාලසුබ්‍රමනියම්, ඈන්ෆීල්ඞ් වත්තේ සෙන්ට් ඒලියස් කොටසේ ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ශාඛා සභාපති වන අතර, පද්මනාදන්, ස්ටෙම්පර්ඞ් කොටසේ සීඩබ්ලිව්සී ශාඛා නායකයා ද වෙයි. අනෙක් දෙදෙනා එහි සාමාජිකයන් ය. ඊට අමතරව සිද්ධිය වන අවස්ථාවේ එහි සිටිමින් ඊට අනුබල දීමේ චෝදනාව යටතේ වතු කම්කරුවන් නොවන අරුල්නායහි, ක්ලේරා හා සිවසාමි යන තවත් සීඩබ්ලිව්සී නියෝජිතයන් තිදෙනෙකුට ද නඩු පවරා තිබේ.

කම්හලේ ගේට්ටුව වැසීමෙන් ලක්ෂ 7 ක අලාභයක් සිදු වී ඇති බවත් එය ඔහු විසින් ගෙවිය යුතු බවත් වතු කලමනාකාරිත්වය බාලසුබ්‍රමනියම්ට පවසා ඇත. බාලසුබ්‍රමනියම් සහ සෙසු කම්කරුවෝ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති.

එමෙන් ම, ජනවාරි 10 වෙනිදා ඇබෝස්ලි වත්තේ සහකාර කලමනාකරු වත්තේ වැඩ කඩාකප්පල් කරන බවට එම වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සභාපති පි. සුන්දරලින්ගම්ට සෙසු කම්කරුවන් ඉදිරියේ චෝදනා කල අතර ඔහු ගැන ”වග බලා ගන්නා බවට” තර්ජනය කලේ ය.

මෙම දඩයම සහ තර්ජන වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට එරෙහිව පොලීසියේ, ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව වතු හාම්පුතුන් විසින් ක්‍රියාවට දමා ඇති මර්දනකාරී පියවරකි. එමෙන් ම, එය සිය අයිතීන් සඳහා සටන් කරන වැඩකරන ජනයාට එරෙහි ධනපති පාලක පන්තියේ සහ හාම්පුතුන්ගේ දුෂ්ට පිලිවෙත සමග අත්‍යන්තයෙන් බැඳී ඇත.

ලංකාවේ මෑත අරගලවල දී හම්බන්තොට වරායේ, විදුලි බල මන්ඩලයේ හා දුම්රිය කම්කරුවන්ට එරෙහිව මෙවන් මර්දන හා තර්ජන එල්ල කෙරුනි. දැන් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඒටීජී කම්කරුවන් ට එරෙහිව කම්හල් පාලකයන් විසින් මර්දනයක් දියත් කර ඇත. එමෙන් ම, වැටුප් ඉල්ලීම් මත අරගලයේ යෙදුන ඉන්දියාවේ තමිල්නාඩුවේ ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයන් හා බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවන් දහස් ගනනක් පසුගිය දෙසතිය තුල එකී ආන්ඩු සහ හාම්පුතුන් විසින් දොට්ට දමා ඇත. ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ගේ ආන්ඩුව සමාජ අයිතීන් සඳහා සටන් වදින ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරයට එරෙහිව මර්දනයක් මුදා හැර තිබේ.

දඩයම සම්බන්ධයෙන් සියලුම වතු සමිති නිහඬය. එය අහම්බයක් නොවේ. වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ කම්කරුවන්ගේ අරගල කඩාකප්පල් කිරීමේ වැඩ පිලිවෙලකය.

සිය දෛනික මූලික වැටුප රුපියල් 1,000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා 200,000 කට ආසන්න වතු කම්කරුවෝ පසුගිය මාස කිහිපය තුල ධෛර්යය සම්පන්න අරගලයක නිරත වුහ. කම්කරුවන්ගේ ඉල්ලීම් එකහෙලා ප්‍රතික්ෂේප කල වතු සමාගම් සහ ආන්ඩුව සමිතිවල ඍජු සහයෝගය ඇතිව යලිත් දරිද්‍රතා වැටුපක් වතු කම්කරුවන් මත බලහත්කාරයෙන් පැටවීමට ක්‍රියා කරමින් සිටිති. හාම්පුතුන් සමග සීඩබ්ලිව්සී සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය අත්සන් කල ගිවිසුමෙන් රුපියල් 20 ක් තරම් සොච්චමකින් දවසක පඩිය වැඩිකර රුපියල් 750 ක් ලෙස නියම කර ඇත.

වතු කම්කරුවන් ඊට බරපතල ලෙස විරුද්ධ නිසා දෙමල ප්‍රගතිශීලී පෙරමුනට සම්බන්ධ ජාතික වතු කම්කරු සමිතිය (එන්යුඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) සහ කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) නායකයෝ යලිත් ආන්ඩුව සහ සමාගම් සමග නිරර්ථක සාකච්චාවල යෙදී සිටිති. දැනට වැඩිකර ඇති ගනනට වඩා සතයක්වත් වැටුප් වැඩි කල නොහැකි යයි වතු සමාගම් පැවසූ බව එන්යූඩබ්ලිව් නායකයෙකු වන එම්. තිලකරාජා මාධ්‍යයට පවසා ඇත.

මර්දනයට එරෙහිව ද තම අයිතීන් සඳහා ද වන අරගලය කම්කරුවන් විසින් තමන් අතට ගෙන සංවිධානය කිරීම මේ තත්වය තුල අත්‍යවශ්‍ය ය. අප පෙබරවාරි 17 වෙනිදාට සංවිධානය කර ඇති පිකට් උද්ඝෝෂනයට සම්බන්ධ වෙමින් එම අරගලය පෙරට ගැනීමට එක්වන්න.

Share this article: