වැටුප් හා සමාජ අයිතීන් දිනාගැනීමේ ඉදිරි මාවත

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටුව වතු කම්කරුවන්ගේ සමුලුවක් කැඳවයි

The way forward to win wages and social rights: Workers Action Committee in Sri Lanka calls plantation workers’ conference

ඇබොට්ස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව, 2019 පෙබරවාරි 12

කම්කරු සමුලුවක් කැඳවුම් කරමින් ඇබොට්ස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව පහත ප්‍රකාශය නිකුත් කර ඇත.

ඇබොට්ස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව දෙසැම්බරයේදී පිහිටුවන ලද්දේ, වෘත්තීය සමිති විසින් රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා දින නවයක් තිස්සේ ගෙනගිය ප්‍රබල වැඩවර්ජනය පාවාදීමෙන් අනතුරුවය. අනෙකුත් වතු ගනනාවක කම්කරුවන් ද ඇබොට්ස්ලි කම්කරු ක්‍රියාකාරී කමිටුව සමඟ සහයෝගය පල කරමින් එවන් කමිටු පිහිටුවීමට තමන් ද පියවර ගන්නා බව පවසයි.

ලංකා කම්කරු සංගමය හා ලංකා ජාතික එක්සත් කම්කරු සංගමය යන ප්‍රධාන වතු සමිති දෙක, පලදායිතාව වැඩිකිරීමට ගැටගැසූ සොච්චම් වැටුප් වැඩිවීමක් සඳහා අලුත් සාමූහික ගිවසුමක් අත්සන් තැබූහ. කම්කරුවන්ගේ නැගෙන විරුද්ධත්වය හමුවේ වුවත් ආන්ඩුව තවමත් ඒ පිලිබඳ ගැසට් නිවේදනය නිකුත් කර නැත.

***

ඇබොට්ස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව, සමාජවාදී සමානතා පක්ෂයේ සහාය ලබමින් මාර්තු 17වන දින හැටන් නගර ශාලාවේදී කම්කරු සමුලුවක් පවත්වනු ලබයි. වතු කම්කරු අරගලයේ පාඩම් හා වැටුප් ද සමාජ අයිතීන් ද දිනාගැනීමේ ඉදිරි මාවත සමුලුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.

කම්කරුවන්ට, තරුනයින්ට හා ප්‍රගතිශීලී බුද්ධිමතුන්ට මෙම වැදගත් රැස්වීමට පැමින, ඊට සහභාගී වන ලෙසට අපි ආරාධනය කරන්නෙමු.

දෙලක්ෂයක පමන වතු කම්කරුවන් සහභාගී වූ අපගේ මෑත වැටුප් අරගලය, ධනපති පන්තිය විසින් රටක් රටක් පාසා සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට වඩ වඩාත් එල්ල කරනු ලබන ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තරව මතුවෙමින් තිබෙන කම්කරු පන්ති අරගලයන්ගේ කොටසක් වෙයි.

මෙම අරගලය ගෙන ගියේ, වෘත්තීය සමිතිවල හා ඒවායේ දේශපාලන හෙංචයියන්ගේ බාධාකිරීම් නොතකමින් හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ තර්ජන මධ්‍යයේය. අපට තරුනයින්ගේ ද ගුරුවරුන්ගේ හා කුඩා වෙලඳසැල් හිමියන්ගේ මෙන්ම රටේ අවශේෂ කම්කරු පන්ති කොටස් වල ද උද්‍යෝගිමත් සහයෝගය දිනාගත හැකි විය.

වතු කම්කරුවෝ සියයට 100ක මූලික දෛනික වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියදී සමාගම් හා ආන්ඩුව එය එකහෙලා ප්‍රතික්ෂේප කලහ. ලංකා කම්කරු කොංග්‍රසය හා ලංකා ජාතික වතු කම්කරු සංගමය, අරගලය පාවාදෙමින් ජනවාරි 28දා සමාගම් හාම්පුතුන් සමග, සාමූහික ගිවිසුමක් අත්සන් කලහ.

ගිවිසුම යටතේ, රුපියල් 500 සිට 700 දක්වා රුපියල් දෙසීයකින් අපගේ මූලික දෛනික වැටුප වැඩිකිරීමට හා මිල අනුව සැකසෙන (price-share supplement) දීමනාව රුපියල් 30 සිට 50 දක්වා වැඩිකිරීමට පොරොන්දුවී ඇත ද එය කඩදාසියට පමනක් සීමාවී ඇත. කෙසේ වෙතත් සමාගම් කලින් ගෙවූ දිනපතා පැමිනීමේ හා පලදායිතා දීමනාව පිලිවෙලින් රුපියල් 60න් හා 140න් කපා හැර ඇත. මෙහි අර්ථය කම්කරුවෙකුට දෛනිකව ලැබෙන මුලු මුදල රුපියල් 750ක් වන බවයි. එය කලින් ලැබුන ගනනට වඩා යන්තම් රුපියල් 20ක වැඩිවීමක් පමනි.

ඊට අමතරව, නව සාමුහික ගිවිසුමේ 3වන වගන්තිය යටතේ වෘත්තීය සමිති, “ කොන්ත්‍රාත් ක්‍රමයට වගාකර ආදායම බෙදාගැනීමේ (out-grower models) මොඩලයක් මත පාදක වූ පලදායිතාවට ගැටගැසුන වැටුප් ක්‍රමයක් සඳහා සහාය දීමට බැඳී සිටියි.

“මෙම කොන්ත්‍රාත් ක්‍රමයට වගාකර ආදායම බෙදාගැනීමේ (out-grower models) ක්‍රමය” ක්‍රියාත්මක කර තිබෙන වතුවල කම්කරුවෙකුට ජීවත්වීම සඳහා යාන්තමින් සරිලන මුදලක් පවා උපයා ගැනීමට නොහැකිවී ඇත. මෙම ක්‍රමය යටතේ වෙන්කරදී ඇති බිම් කොටසෙහි මුලු පවුලම කැඹිරිය යුතුව ඇති අතර එමඟින් අප අඳ ගොවි තත්වයට පත්කරනු ඇත. අපට විශ්‍රාම වැටුප් හා අනෙකුත් සීමිත සමාජ සහන ද අහිමි වනු ඇත.

එසේම වෘත්තීය සමිති අපගේ අනුමැතියකින් තොරව, “වතුවල කාර්යක්ෂමතාව හා පලදායිතාව නැංවීමට සහාය දෙන බවටත් කැප වන වන බවටත්” පොරොන්දුවී ඇත. එසේම “වතු මට්ටමින් පැනනඟින මෙහෙයුම් ප්‍රශ්න සාමකාමීව විසඳාලීමටත්” ඔවුහු කැපවෙති. මෙහි තේරුම, කම්කරුවන් සූරාකෑම උග්‍ර කිරීමට සමිති -සමාගම් සමඟ එක්ව වැඩකරන බවයි.

එන්යූඩබ්ලිව් හෙවත් ජාතික කම්කරු සංමය, ඩීපීඒ හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන, යූපීඑෆ් හෙවත් කඳුරට ජනතා පෙරමුන මෙන්ම ජනතා විමුක්ති පෙරමුනේ පාලනය යටතේ ඇති සමස්ත ලංකා වතු කම්කරු සංගමය, මෙම ගිවිසුමට සහාය පලකොට එයට උදව් කරති.

මේ සියලු සමිති අපේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මුලුමනින්ම නොසලකා හැර රහස් සාකච්ඡාවල නිරත වෙති. නව ගිවිසුමට විරුද්ධ ඔවුන්ගේ බොරු විරෝධතා කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුය. එසේම කම්කරුවන්, වැඩවර්ජන හා විරෝධතා ස්වාධීනව සංවිධානය කරමින් ඔවුන්ගේ ද්‍රෝහිත්වයට තම බලගතු විරුද්ධත්වය පලකල යුතුය.

මේ ගිවිසුමට කම්කරුවන් වෙතින් පලවන පුලුල් විරුද්ධත්වය මධ්‍යයේ දැන් එන්යූඩබ්ලිව්, ඩීපීඑෆ් සමිතිවල පී. දිගම්බරම්, මනෝ ගනේෂන් හා වී. රාධක්‍රිෂ්නන්, (ඔවුහු ආන්ඩුවේ ඇමතිවරුන් ද වෙති) අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාකර විසඳුමක් දෙන බවට තවත් බොරු පොරොන්දුවක් දුන්හ. කෙසේ වෙතත් සමාගම්, සාමූහික ගිවිසුමේ සඳහන් දේට අමතරව සතයකින් හෝ පඩි වැඩි නොකරන බව යලි යලිත් කියා සිටිති.

කම්කරුවන්ගේ විරුද්ධත්වය ගැන ගැඹුරින්ම උත්සුක වී ඇති ආන්ඩුව, නව සාමූහික ගිවිසුම නිල වශයෙන් ගැසට් කිරීම කල්දමා ඇත. කෙසේ වෙතත් කිසිවෙකුත් ආන්ඩුව හෝ සමාගම් කම්කරුවන්ට හිතකර ලෙස කටයුතු කරනු ඇතැයි නොසිතිය යුතුය.

(රුපියල්) “1000 ව්‍යාපාරය” නමින් අලුත් කන්ඩායමක්, වැටුප් ඉල්ලීම ලබාදෙන ලෙස ආන්ඩුවට, වතු බලධාරීන්ට හා වෘත්තීය සමිති වලට බලකල යතු” යයි කම්කරුවන්ට කියති.

ආන්ඩුව හා සමාගම් යලි යලිත් අපගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබියදී එවන් පලක් නැති ව්‍යායාමයන්ට අප කාලය නාස්ති කරන්නේ කුමට ද? ඒවායේ එකම අරමුන අපගේ ඉල්ලීම් දිනාගන්නා සැබෑ අරගලයකට යොමුවීමෙන් අප වලක්වාලීමයි.

වතු කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය, රටක් රටක් පාසා ධනපති ආන්ඩු විසින් ක්‍රියාත්මක කරන කප්පාදු වැඩසටහන් වලම කොටසකි. ධනපති පන්තිය, නරක අතට හැරෙමින් ඇති ගෝලීය ආර්ථික අර්බුදයේ බර කම්කරුවන්ගේ කර මත පැටවීමට අධිෂ්ඨානශීලීව සිටිති.

වතු කර්මාන්තයට බර දැරීමට නොහැකි බැවින් අපගේ වැටුප් හා සමාජ අයිතීන් නැංවිය නොහැකි යයි වතු සමාගම් මෙන්ම ආන්ඩුව ද කියා සිටිති. අප මෙසේ පැවසිය යුතුය, ලාභ සූරාකන පද්ධතියේ අර්බුදයට අප වගකියන්නේ නැත. ධනය නිපදවන්නේ කම්කරුවන් මිස වතුකාරයන් නොවේ.

නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි අනෙකුත් මූලික පහසුකම් නොමැති කමෙන් වතු කම්කරුවෝ හෙම්බත්ව සිටිති. කෙන්යාව, ඉන්දියාව, චීනය වැනි අනෙකුත් රටවල අපගේ වතු කම්කරු සහෝදරයින් මෙන්ම අප ද ජාත්‍යන්තර වතු හා මූල්‍ය සමාගම් දාමයක් විසින් සූරාකනු ලැබෙයි.

වැඩ වේගවත් කිරීම් හා සොච්චම් පඩි වැඩිකිරීම් අප විසින් ප්‍රතික්ෂේප කල යුතුය. සාධාරන මාසික වැටුපක්, පූර්න වැටුප් සහිත නිවාඩු, වෛද්‍ය පහසුකම් හා යහපත් විශ්‍රාමික සහන සඳහා අපට අයිතියක් ඇත. වතු කම්කරුවන් වසර 150ට වැඩි කාලයක් ගොදුරු කර තිබෙන වහල් ශ්‍රම කොන්දේසි නිමා කිරීමට කාලය එලඹ තිබේ .

සාර්ථක සටනක් කිරීමට නම්, අපගේ අතීත හා වත්මන් අරගලයන්හි මෙන්ම අපගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් ගෙන් අත්‍යවශ්‍ය පාඩම් අප උකහා ගත යුතුය.

ඇමරිකානු දේශසීමාව හරහා මෙක්සිකෝවේ මැටමොරොස් මෝටර් රථ අමතර කොටස් කම්හල්වල කම්කරුවන් 70,000ක් පමන, සියයට 20ක් වැටුප් වැඩිවීමක් ඉල්ලා සති ගනනක් තිස්සේ සටනක නිරතව සිටිති. ඇමරිකාවේ හා කැනඩාවේ ජෙනරල් මෝටර්ස් කම්කරුවෝ දහස් ගනන් රැකියා වැනසීමට එරෙහි අරගලයක් ගෙනයති.

සමාජ සමානතාව, වැඩි වැටුප් , අති සුපිරි ධනවතුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම මෙන්ම, එරට ජනාධිපති ඉවත් කරන ලෙස ඉල්ලා සිටින “කහ බැනියම්” ව්‍යාපාරයට ප්‍රන්සයේ කම්කරුවන්, තරුනයින් හා සහයෝගය පල කරන කුඩා ව්‍යාපාරික ජනතාව, එක්ව සිටිති. පසුගිය මාසයේදී ඉන්දියාවේ රාජ්‍ය සේවකයින් මිලියන 180ක් ද තමිල්නාඩුවේ ගුරුවරුන් ලක්ෂ 7ක් ද සාධාරන වැටුප් හා කොන්දේසි වෙනුවෙන් වැඩ වර්ජනය කලහ.

මේ අරගල පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඉමහත් ශක්තියත් පොදු සතුරා වන ධනපති ක්‍රමයට එරෙහිව ඒකාබද්ධ සටනක් සඳහා ඔවුන් සතු විභවයත්ය.

අප ඇබොට්ස්ලි වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව පිහිටුවා ගත්තේ, වතු සමිති පිලිබඳව අප විසින්ම ලබාගත් කටුක අත්දැකීම් වලින් පසුවය. ඔවුන් පෙල ගැසෙන්නේ කම්කරුවන් සමග නොව සමාගම්, ආන්ඩුව හා පොලිසිය සමගය. මෑතදී අප ගෙනගිය වැටුප් සටන තුල සමිතිවල ද්‍රෝහී භූමිකාව ඉතා පැහැදිලිව දැකගත හැකි විය.

අපට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මඟපෙන්වීම ලැබී ඇත. අනෙක් රටවල ඇති එහි සහෝදර පක්ෂ ද සටන් කරන්නේ, සමාජවාදී ප්‍රතිපත්ති පදනම් කරගත් ක්‍රියාමාර්ගයක් මත ධනපති පක්ෂ වලින් හා වෘත්තීය සමිති වලින් ස්වාධීනව කම්කරුවන් බලමුලු ගැන්වීමටය.

කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගත් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කම්කරුවන්ගේ සියලුම කොටස් අතර උද්ඝෝෂනය කරයි. අපගේ දැවෙන ප්‍රජාතන්ත්‍රීය හා සමාජ ඉල්ලීම් දිනාගැනීමට දේශපාලන ඉදිරිදර්ශනයක් තුලින් මේ කමිටු සම්බන්ධීකරනය සිදුකරන්නේ කෙසේදැයි පැවැත්වෙන සමුලුව තුල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

අප විශ්වාස කරන්නේ සසප විසින් යෝජනා කර තිබෙන සමාජවාදී ක්‍රියාමාර්ගය සියලු කම්කරුවන්ට අත්‍යවශ්‍ය වන බවයි. ලාභ පිපාසිත සුලු පිරිසකගේ ප්‍රතිලාභය සඳහා නොව, වැඩකරන මහ ජනතාවගේ අති මහත් බහුතරයකගේ දැවෙන අවශ්‍යතා සපුරාලීම මිස සඳහා නිෂ්පාදනය හා බෙදාහැරීම සංවිධානය කිරීම පිනිස, මහා වතු, බැංකු හා විශාල සමාගම්, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය පාලනයකට, යටත් කල යුතුය.

එවන් ඉදිරිදර්ශනයක් ක්‍රියාවට නැඟීම පිනිස කම්කරු පන්තිය, කම්කරු ගොවි ආන්ඩුවක් පිහිටුවීමට සටන් වැදිය යුතුය. ඒ දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා වන පුලුල් අරගලයක කොටසක් ලෙසය.

Share this article: