කටුනායක ඒටීජී කම්කරු අරගලයට අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනු කරනු!

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 පෙබරවාරි 9

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඒටීජී සිලෝන් අත් වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පස් දෙනෙකු රැකියාවෙන් දොට්ට දැමීමට එරෙහිව එහි කම්කරුවන් විසින් ජනවාරි 11 දා ආරම්භ කල අඛන්ඩ වර්ජනය දින 25 ක් ඉක්මවා ඇත.

“කම්හලේ දේපල අනිසි ලෙස භාවිතා කිරීම” යන ව්‍යාජ චෝදනාවන් ආයතන පරිපාලනය විසින් සේවක දඩයම සඳහා යොදා ගෙන තිබේ. පරිපාලනයේ අවසරයකින් තොරව, ආයතනය තුල ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කිරීම සහ ඒ පිලිබඳ නිවේදනයක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීම කම්කරුවන්ට විරුද්ධව ඇති චෝදනාවයි.

ආයතනය තුල පවතින දරුනු රැකියා කොන්දේසිවලට එරෙහි ව සටන් කිරීමේ අරමුනෙන් පිහිටුවාගත් නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයේ (නිවෙකපොසේස) ශාඛාවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ලේ දන්දීම සංවිධානය කොට තිබුනි.

උක්ත චෝදනා මත මීගමුව උසාවියේ නඩුවක් පවරා ඇති කම්හල් පරිපාලනය, ජනවාරි මස 11 දා සමිති ශාඛාවේ ප්‍රධාන සංවිධායක, සභාපති සහ ලේකම් ඇතුලු හය දෙනෙකු මෙලෙස රැකියාවෙන් දොට්ට දමා ඇත. අවුරුදු 15 ක පමන සේවා කාලයක් ඇති දඩයමට ලක් වී සිටින කම්කරුවන්ගේ රැකියාව පමනක් නොව අනෙකුත් දීමනා ද තර්ජනයට ලක්ව තිබේ.

වර්ජනය ඉදිරියට ඇදී ගිය ද, රැකියා වලින් දොට්ට දැමීමේ තම තීන්දුව ආපසු හරවා නොගන්නා බව පවසන සමාගම, වර්ජනයේ යෙදී සිටින අනෙකුත් කම්කරුවන් ද රැකියාවෙන් නෙරපන බවට තර්ජනය කරයි.

කම්කරුවන් සතු මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන සංවිධානයවීමේ අයිතියට එල්ලකෙරී ඇති මෙම ප්‍රහාරය, වෙලඳ කලාප තුල පමනක් නොව, සමස්ත දිවයින පුරා කම්කරු පන්තියේ ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීම සඳහා සමාගම් සහ ආන්ඩුව එක්ව සූදානම් කරමින් සිටින රුදුරු මර්දනයක පෙර ඇඟවුම කි.

ඒටීජී කම්කරු දඩයමට එරෙහිව ඔවුන් ගෙනයන අරගලය ආරක්ෂා කිරීම සඳහා, කලාපය තුල සහ ඉන් පිටත සිටින සියලුම කම්කරුවන්ගේ සහාය ගොනුකර ගැනීම අත්‍යවශ්‍ය ය. කෙසේ නමුත්, ඇන්ටන් මාකස් නායකත්වය දෙන නිවෙකපොසේස දැනුවත්ව ක්‍රියා කරමින් සිටින්නේ අනෙකුත් කම්කරුවන්ගෙන් හුදෙකලා කෙරුනු දියාරු විරෝධතා කීපයකට ඒටීජී කම්කරුවන් කොටුකොට, ඔවුන්ගේ සටන දියකර දැමීමටයි.

සමාගම් කලමනාකරනයට, කම්කරු කොමසාරිස් ට හා ආන්ඩුවට ආයාචනා කිරීමේ මෙම විරෝධතාවයන් අතරින් ප්‍රධානතම අංගය වී ඇත්තේ ඒටීජී සමාගමේ පිවිසුම ඉදිරිපිට සිදු කරන උපවාසය යි. සමාගමට හෝ ආන්ඩුවට කිසිදු බලපෑමක් එල්ල නොකරන එය කම්කරුවන් හෙම්බත් කිරීමේ ක්‍රියාවකි.

පෙබරවාරි 06 දා ඒටීජී සමාගම ඉදිරිපිට කම්කරුවන් පනහක පමන පිරිසක් විරෝධතාවයක යෙදී ගත්හ. අවම වශයෙන් කලාපයේ අනෙක් කම්හල් වල නිවෙකපොසේස ශාඛාවන් හි කම්කරුවන් හෝ එම විරෝධතාවයට ගොනුකර ගැනීම සඳහා මාකස් ඇතුලු නිලධරය කවර හෝ ප්‍රයත්නයක් දැරුවේ නැත.

මෙයින් අත ශක්තිමත් කරගත් සමාගම් කලමනාකාරිත්වය, ජනවාරි 31 දා කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවේ දී තර්ජනාත්මකව පවසා ඇත්තේ දඩයමට ලක්කොට ඇති කම්කරුවන් පස්දෙනා පමනක් නොව වර්ජනයේ නිරත සියලු කම්කරුවන් වන්දි ලබා දී රැකියාවෙන් පහ කිරීමට සූදානම් බවයි.

දඩයමට ලක්ව ඇති කම්කරුවන් කලමනාකාරිත්වයෙන් සමාව ගෙන යලි රැකියාවට යායුතු බවට කොමසාරිස් ජනරාල්වරයා කල යෝජනාව මාකස් එකහෙලා පිලිගත්තේය. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: “කම්කරුවො වරදක් කරලා නැති වුනත් අපි ඒකට එකඟයි. මොකද අපිට ඕන දෙපාර්ශවයටම දිනන්න පුලුවන් සමතයකට එන්න.”

ගැටලුවට මැදිහත් වන්නැයි ඉල්ලමින් අගමැති රනිල් වික්‍රමසිංහගේ කොලඹ කාර්යාලය වෙත පාගමනක් යමින් නිවෙකපොසේස පැවැත්වූ විරෝධතාවය තවත් ප්‍රෝඩාවකි. එම විරෝධතාවයේ දී කම්කරුවන් ඇමතූ ඇන්ටන් මාකස්, ඒටීජී පරිපාලනයේ ක්‍රියාකලාපය හේතුවෙන් කම්කරු කොමසාරිස් ද ‘අසරන’ වී ඇති නිසා ප්‍රශ්නයට මැදිහත් වෙන්නැයි වික්‍රමසිංහට කන්නලව් කලේ ය.

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස), ඒටීජී සිලෝන් කම්හලේ සේවක දොට්ට දැමීමට එරෙහි අරගලයට “සහාය” පල කරන බැනර් කලාපයේ ප්‍රදර්ශනය කොට ඇත. ඒටීජී සමාගමට අයත් කටුනායක පිහිටි වෙනත් කම්හලක් වන ඒටීජී ඔකියුපේෂන් හි අසසේස ශාඛාවේ සාමාජිකයන්, ඒටීජී සිලෝන් කම්කරුවන්ගේ විරෝධතා පෙලපාලියට සම්බන්ධ නොකිරීමෙන් ම අසසේස යේ “සහායේ” ප්‍රෝඩාකාරී බව එලිමහනට පැමිනෙයි.

මාකස් ඇතුලු නිවෙකපොසේසං ද්‍රෝහී ක්‍රියාකලාපය කම්කරුවන් අතර හෙලිදරව් වන තත්වය හමුවේ කම්කරුවන් ඉදිරියේ තවත් උගුලක් ඇටවීමට පියවර ගෙන තිබේ. ඒටිජී කම්කරුවන්ගේ වර්ජනය වෙනුවෙන් කටුනායක නිදහස් වෙලඳ කලාපය තුල තවත් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සමග එක්ව ඉදිරි දිනක විරෝධතාවයක් පැවැත්වීමට යන බව මාකස් ඊයේ නිවේදනය කර තිබේ.

මෙම අනෙක් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මොනවා ද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නැතත් ඊට ඇතුලත් විය හැක්කේ නිවෙකපොසේස වැනිම තවත් සමිති කිහිපයක් හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂ කිහිපයකි.

සියලු කම්කරුවන්ට වන්දි ලබා දී දොට්ට දැමීමට සමාගම කල යෝජනාව ඉදිරියේ “ආන්ඩුව සහ බලධාරීන් නිහඬතාවය රකී” යයි මාකස් ගේ නිවේදනයේ සඳහන් වෙයි. සමාගම තර්ජනාත්මක ආකාරයට වැඩට බැස ඇත්තේ ආන්ඩුවේ හා බලධාරීන්ගේ නිහැඬියාවක් නිසා නොව කම්කරුවන් මැඩීම සඳහා ආන්ඩුව සහ එහි බලධාරීන් සමාගමට දී තිබෙන පූර්න අනුමැතිය සහ සහයෝගය හේතුවෙනි.

යුරෝපා සංගමය විසින් ලංකාවට පසුගිය වසරේ යලි ලබා දුන් ජීඑස්පී ප්ලස් බදු සහනය “දුප්පත්කම නැති කිරීමේ” අරමුනින් ලබා දුන් එකක් යයි ද නිවේදනය කියා සිටී. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් මත දැවැන්ත පරිමාන කප්පාදු ක්‍රියාත්මක කරමින් තම රටවල කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසි තලා දමන යුරෝපා සංගමය ට “දුප්පත්කම පිටු දැකීම” සම්බන්ධයෙන් කවර හෝ උත්සුකයක් නොමැත.

යුරෝපා සංගමය එම බදු සහනය ලංකාවට ලබා දුන්නේ වත්මන් ආන්ඩුව ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රමුඛ බටහිර බලයන් විසින් චීනයට එරෙහිව ගෙන යන භූ-මුලෝපායාත්මක වැඩකටයුතු වලට දක්වන දායකත්වයට හිලව් වශයෙනි.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඒටීජී කම්කරුවන් ට එරෙහි මර්දනය වනාහි, ලංකාවද ඇතුලු ලොවපුරා කම්කරු පන්තියට එරෙහිව, සමාගම්, ආන්ඩු සහ වෘත්තීය සමිති එක්ව ගෙනයන ලෝක පරිමාන මර්දනයක කොටසකි.

රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා පසුගිය දා වතු කම්කරුවන් ගෙනගිය අරගලයේ දී නායකත්වය ගත් කම්කරුවන් දඩයම් කිරීම සඳහා වතු සමාගම් ක්‍රියාත්මක වූයේ මෙවැනිම ආකාරයකට ය. කැලනිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අයත් ඈන්ෆීල්ඞ් වත්තේ සෙන්ට් ලෙයාස් කොටසේ වැඩ වර්ජනයට මූලිකත්වය ගත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී) ශාඛා නායකයා වන සුප්පයියා බාලසුබ්‍රමානියම්ගේ වැඩ තහනම් කර ඇති අතර ඔහු සහ තවත් කම්කරුවන් හය දෙනෙකුට එරෙහිව පොලීසියට පැමිනිලි කර ඇත.

ජාත්‍යන්තරව ගතහොත්, සටන්කාමී කම්කරුවන් දඩයමට ලක්කිරීම සම්බන්ධයෙන් රුදුරුම මෑතකාලීන උදාහරනය වන්නේ පසුගිය වසරේ මුල, ඉන්දියාවේ මරුටි සුසුකි සමාගමේ කම්කරුවන් 13 දෙනෙකුට එරෙහිව බොරු චෝදනා මත ජීවිතාන්තය දක්වා දී ඇති සිර දඬුවමයි. කම්හල් පරිපාලනය විසින් සිතාමතා අවුලුවන ලද ප්‍රකෝපකරනයක් තුලින් මෙම කම්කරුවන් දඩයමට ලක් කෙරුනේ හාම්පුතුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පැරැනි වෘත්තීය සමිති වලට එරෙහිව නව සමිතියක් ගොඩ නැගීමට නායකත්වය ගැනීම හේතුවෙනි. ධනපති ආන්ඩු, උසාවි, කම්හල් හිමියන් සහ වෘත්තීය සමිති සියල්ල මෙම දඩයමේදී එක්ව ක්‍රියා කලහ.

ඒටීජී දඩයම ඇතුලු මෙම ප්‍රහාරයන් පරාජය කල හැක්කේ, සූරාකෑමට ලක්ව සිටින කම්කරු පන්තියේ සියලු කොටස් බලමුලු ගන්වා ගනිමින් ලාභ ගරන ධනපති ක්‍රමය පෙරලා දැමීමේ දේශපාලන අරගලයක්, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනක් තුලින් පමනි.

ධනපති හාම්පුතුන්ගේ උපකරන බවට පත්ව ඇති ලොවපුරා වෘත්තීය සමිති මෙන්ම ව්‍යාජ-වාම සංවිධානයන් ද, ධනවාදයට එරෙහි එවන් දේශපාලනික අරගලයක් සඳහා කම්කරුවන් ඇතුලු අවශේෂ පීඩිතයන් බලමුලු ගැන්වීමට මුලුමනින්ම එරෙහි ය.

ඔවුන් නිරතව සිටිනුයේ, ධනපති හාම්පුතුන්ට සහ ආන්ඩු වලට බලපෑම් යෙදීම තුලින් ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යාවන් වපුරා කම්කරුවන් ධනේශ්වර පද්ධතියට බැඳ තැබීමේ කර්යයෙහි ය.

මේ දිනවල පැන නැගී ඇති, ප්‍රන්සයේ “කහ බැනියම් ව්‍යාපාරයේ” හා මෙක්සිකෝවේ හා ඇමරිකාවේ මෝටර් රථ කම්කරුවන්ගේ, ගුරුවරුන්ගේ අරගල සති, මාස ගනනින් දැන් ඉදිරියට යමින් තිබෙන්නේ, කම්කරු පන්ති අරගල දශක ගනනාවක් පුරා කෘතිම ලෙස යටපත්කර ගෙන සිටි වෘත්තීය සමිති වල ග්‍රහනය බිඳ දමමිනි.

ඒටීජී කම්කරු සටන ඉදිරියට ගෙනයාම සඳහා නව ආරම්භකත්වයක් අවශ්‍ය ය. නිවෙකපොසේස ඇතුලු සියලු වෘත්තීය සමිති වලින් බිඳී, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් තෝරා පත්කර ගැනෙන සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක වූ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගැනීමට ඒටීජී කම්කරුවන් ඉදිරියට පැමිනිය යුතු ය.

එම ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයන් කටුනායක වෙලඳ කලාපයේ මෙන්ම අවශේෂ ප්‍රදේශයන්හි කම්හල් සහ වැඩබිම් වලට යමින් එම කම්කරුවන්ගේ සහාය තම අරගලය වටා ගොනුකර ගැනීම අත්‍යවශ්‍ය ය.

Share this article: