මත් ද්‍රව්‍ය වලට එරෙහි ඊනියා යුද්ධයට ත්‍රිවිධ හමුදාව පාරට කැඳවීමට ජනාධිපති සිරිසේන සුදානම්වේ

2019 පෙබරවාරි 1

ජනවාරි 30 දා මාතර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරන සතියේ රැස්වීමකට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එල්ටීටීඊය විනාශකල අයුරින් එම වසංගතය මුලිනුපුටා දැමීම සඳහා සන්නද්ධ හමුදාවලට, පොලිසියට සහ සිවිල් ආරක්ෂක බලකායට බලය පවරා ඇතිබව ප්‍රකාශ කලේය. පිලිපීනයේ මත්ද්‍රව්‍ය වැරදිවලට දඬුවම මරනය බව ද ඉන්දියාව පමනක් නොව ඇමරිකාව පවා මරන දඬුවම ක්‍රියාත්මක කරන බවද කී සිරිසේන ”අපත් එය අනුගමනය කරනවා” යයි සඳහන් කලේ ය.

පෙර දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පොලිස් නිලධාරීන්ට සම්මාන පිරිනැමීම සඳහා පැවැත්වූ උත්සවයකදී ද එම ප්‍රකාශයම කල සිරිසේන අවුරුදු 30 ක් ත්‍රස්තවාදයට විරුද්ධව යුද්ධය දියත්කල තීව්‍රතාවයෙන් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ “කෘර හස්තයෙන් ජාතිය නිදහස් කරගැනීම සඳහා සටන් කරන ලෙස” හමුදාවලින් ඉල්ලා සිටියේය. “මම ඒ ශ්‍රේෂ්ඨ මානුෂවාදී මෙහෙයුමට නායකත්වය දීමට සුදානම්” යයි ඔහු කීවේ රුදුරු සැලසුමට වීරත්වයක් ආරෝපනය කරමිනි.

මෙම ප්‍රකාශ ජනවාරි මාසයේ පිලිපීන සංචාරයේ දී එරට ජනාධිපති රොඞ්රිගෝ දුතර්තේ විසින් දියත්කල මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධය “සමස්ත ලෝකයටම ආදර්ශයක්” බවට ප්‍රශංසා කරමින් තමන් ලංකාවේ ද එවන් යුද්ධයක් කරන බව ඇඟවීමෙන් පසු සිරිසේන විසින් උත්සන්න කර ඇති ප්‍රචාරයේ කොටසකි.

ඔහු විසින් වර්නනා කෙරෙන දුතර්තේගේ එම යුද්ධයට මුදාහරිනලද පොලිස්-මිලිටරි භාටකාය නිල ගනන් අනුව 5000ක් පමන - මානව හිමිකම් සංවිධානවලට අනුව මෙම සංඛ්‍යාව 20,000ක් පමනවෙයි--වෙසෙසින්ම අන්ත දරිද්‍ර ජනයා අමුඅමුවේ මරනයට පත්කර තවමත් ක්‍රියාත්මක වෙමින් සිටී. 2016-2017 සමාජ ආතතීන් උත්සන්න වෙමින් කම්කරුවන්ගේ අරගල පැනනගින කොන්දේසි තුල දුතර්තේගේ යුද්ධය දියත්විය. ඉන් දුතර්තේ ප්‍රමුඛ පාලක කල්ලිය කම්කරුවන් හා දුගීන් මැඩ ආඥාදායක පාලනයක් සඳහා අවශ්‍ය පොලිස් මිලිටරි යාන්ත්‍රනයක් සන්නද්ධ කරගෙන ඇත.

මත් ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ යුද්ධය ගැන ජනාධිපති කරන ප්‍රචාරය කිසිවෙකුත් ලිහිලෙන් නොගත යුතුය. ඉන් ප්‍රකාශිත දේශපාලන අරමුන වන්නේ තම අයිතීන් සඳහා නැගී සිටින කම්කරු පන්තිය, දුගීන් හා තරුනයන් මැඩලීම සඳහා ආඥාදායක පාලනයකට පාරකපා ගැනීමයි.

මත්ද්‍රව්‍ය අනතුරට එරෙහි ජනාධිපතිගේ ඊනියා සටන “එල්ටීටීඊයට විරුද්ධව කල යුද්ධය” සමග සමාන කිරීමෙන් එහි අන්තරායකාරි අර්ථය එලියට පැන ඇත. “කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් ජාතිය බේරාගැනීමට කරන යුද්ධයක් ලෙස” දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට නම් පට බඳිමින් ලංකාවේ පාලක පන්තිය හා එහි ආන්ඩු සිය දුෂ්ට දේශපාලන මුලෝපායක් ආවරනය කර ගත්තේය.

ලංකාවේ පාලක පන්තියේ හා ඔවුන්ගේ අනුප්‍රාප්තික ආන්ඩුවල එම යුද්ධය වනාහි, කම්කරු පන්තිය භේද කිරීමට 1948 පටන් ගත් වර්ගවාදී වෙනස්කම් උච්ඡස්ථානයට පත් කිරීමකි. තිස් අවුරුදු යුද්ධය කම්කරුවන් හා දුගීන් මැඩලීමට යොදාගත්තා පමනක් නොව රුදුරු මිලිටරි-පොලිස් තන්ත්‍රයක් ගොඩනගා ඔවුන්ට එරෙහිව ඕනෑම මොහොතක මුදා හැරීමට සුදානම්කර පොරොත්තුවේ තබාගෙන ඇත.

ඇමරිකාවේ ජනාධිපති ජෝර්ජ් බුෂ් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යොදාගත්තේ නිමක් නැති ආක්‍රමනවලට එරට අධිරාජ්‍යවාදී ආධිපත්‍යය ගොඩනගා ගැනීමේ උවමනාවෙන් බව හිතන මතන ලෝක මහජනතාවන්ට නොරහසකි.

හැම රටක් තුලම මෙන්ම ලංකාවේද මත් ද්‍රව්‍ය විසින් ජන ජීවිතයට අතිකෙරමින් පවතින රුදුරු දුර්විපාක කෙරෙහි මහජනයා අතර ඇත්තේ අව්‍යාජ කෝපයක්, විරුද්ධත්වයක් හා එය පිටුදැකීමේ උවමනාවකි. සිරිසේනගේ උද්ඝෝෂනයට උඩගෙඩි දෙන්නෝ එම මහජන කෝපය පාලක පන්තියේ දුෂ්ට උවමනාවන් සඳහා ගසාකන්නේ එය “ශ්‍රේෂ්ට මානුෂික මෙහෙවරක්” ආදී වසයෙන් වංචනිකව ප්‍රකාශ කරමිනි.

දෙමල විරෝධී භේදකාරිත්වය දිගේලි කරමින් තිස් අවුරුදු යුද්ධයකින් රට පාලනය කල පාලක පන්තියට, වර්ගවාදී අවිස්සීම් අත්නොහරින අතරම, තවත් යුද්ධ උවමනාය. සිරිසේන ප්‍රකාශිත යුද්ධය එවැන්නකි.

කලක් තිස්සේ සිරිසේන ගෙන ගිය මත් ද්‍රව්‍යවලට එරෙහි ඝෝෂාව දැන් අලුත් ඉහලකට නංවා ඇත්තේ ලංකාවේ පාලක පන්තිය බරපතල දේශපාලන අර්බුදයකට හෙලමින් මෙරට ද ජාත්‍යන්තරව ද කම්කරුවන්ගේ අරගල පුනර්ජීවනය වීමට දක්වන ප්‍රතිචාරයක් ලෙසිනි. ඉහ වහා යන නය අර්බුදය තුල නව වටයකින් කප්පාදු වැඩ පිලිවෙල පැටවීම සඳහා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත්තේ, වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයෙන් ප්‍රකාශයට පත්වූ සමාජ ප්‍රතිරෝධය පිපිරෙනු ඇතැයි තැතිගැනී සිටින තත්වකය.

රාජපක්ෂගේ පොලිස් පාලනයේ ඉත්තෙක් ලෙස ක්‍රියාකල සිරිසේන ඊට එරෙහිව මහජන විරෝධය නැගී එන තතුතුල, 2014 නොවැම්බර් මාසයේ අංශක 180ක කරනමක් ගසා වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග එක්වී ඇමරිකාවේ තන්ත්‍ර මාරු මෙහෙයුමකින් බලයට ආවේය. මහජන විරෝධය ගසාකෑමට බොරු පොරොන්දු දෙමින් ගොඩනැගුනු දක්ෂිනාංශික ව්‍යාපාරයක් සිරිසේන බලයට ගෙන ඒමට ආවරනය සැපයුවේය. රාජපක්ෂගේ පොලිස් පාලනයට හා යුද්ධයට විරුද්ධ නොවුවත් ඔහු බෙයිජිනය සමග පවත්වාගෙන ගිය සම්බන්ධතාවලට වොෂින්ටනය විරුද්ධවිය.

සිරිසේන දැන් වික්‍රමසිංහගෙන් දුරස්ථව ක්‍රියාකල බවක් ව්‍යාජව කියා සිටියද මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමටත් ඊට එරෙහිවූ කම්කරුවන් හා සිසුන් මැඩීමට රුදුරු නීති පැනවීමට හා පොලිසිය හා හමුදාව මුදා හැරීමටත් ඔවුහු එක්ව ක්‍රියා කලහ.

අවුරුදු හතරකට පසු, ගිය ඔක්තෝබරයේදී තව කරනමක් ගැසූ සිරිසේන රාජපක්ෂ අගමැති කොට දේශපාලන කුමන්ත්‍රනයකින් ආන්ඩු මාරුවකට අර ඇන්දේය. ඔහු එසේ කලේ තම පක්ෂය මෙන්ම වික්‍රමසිංහගේ පක්ෂය ද අන්ත අපකීර්තියකට ලක්වන තතු තුල නැගෙන සමාජ විරෝධය තලාදැමීමට රාජපක්ෂ සමග එක්වීම වඩා සුදුසුබව ගනන් බලමින්ය.

දේශපාලන කුමන්ත්‍රනය අසාර්ථක වීමෙන් පසුව සිරිසේන තමන් යටතේ පවතින හමුදාවට අමතරව පොලිසිය ඇතුලු නීතිය හා සාමය අමාත්‍යාංශය ද පවරා ගනිමින් වික්‍රමසිංහගේ ආන්ඩුව නොතකා සමාන්තර ආන්ඩුවක් ගෙනයාමට තැත්කරමින් සිටියි. සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයට ආයාචනා කරමින්, මිලිටරිය “රනවිරුවන්” ලෙස ආරක්ෂා කරමින් සහ ම්ලේච්ච මරන දන්ඩනය ඔජවඩවමින් ඔහු සමාජයේ ප්‍රතිගාමී බලවේග තමන් වටා රැස්කර ගැනීමට උත්සාහ කරයි. සිරිසේන අරඅඳින්නේ අධිපතිවාදී බලයක් තහවුරු කර ගැනීමටයි. මෙය ධනේශ්වර දේශපාලන අර්බුදයට සිරිසේනගේ පැත්තෙන් දැක්වෙන විසකුරු ප්‍රතිචාරයයි. වික්‍රමසිංහ සහ රාජපක්ෂ තමන්ගේ පැත්තෙන් එවැනිම සුදානමක දී සිටිති.

දේශපාලන සංස්ථාපිතයේ විවිධ කොටස් මේ වන විට සිරිසේන ගේ මත් ද්‍රව්‍ය වලට එරෙහි ව්‍යාපාරයට සහය පල කර තිබේ. එජාප ඇමතිවරයෙකු වන අජිත් පී. පෙරේරා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් දැනටම වරදකරුවෙකු බවට නියම කර ඇති ඇති පුද්ගලයෙකුට මරන දඬුවම නියම කර ජනාධිපති විසින් ආරම්භයක් ගත යුතු බවයි.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් හරිත් අලුත්ගේ පවසා ඇත්තේ සිරිසේනගේ මෙම ව්‍යාපාරයට කිසිම කොන්දේසියකින් තොරව සහය දෙන බවයි. මත් කුඩු පිලිබඳව දැනුම් දීම සඳහා ටෙලිෆෝන් අංකයක් ලබාදීම ඇතුලු වැඩ කටයුතු මත්ද්‍රව්‍ය වලට එරෙහි ශුද්ධ යුද්ධයක වැදගත් පියවරක් ලෙස ඔහු හඳුන්වා ඇත.

ගිය සති අන්ත සන්ඬේ ටයිම්ස් කතුවැකිය පිලිපීනයේ මර්දනය ගැන එහෙන් මෙහෙන් සඳහන් කරන අතරම කියා ඇත්තේ පාතාලය මැඩීමට එස්ටීඑෆ් බලකායක් යෙදුවාක් මෙන් මත්ද්‍රව්‍ය මැඩීමට ද “ප්‍රභූ බලකායක්” ඇති කරන ලෙසයි. ජනවාරි 30 දා දී අයිලන්ඞ් කතුවැකිය මෙසේ සඳහන් කර ඇත: ”මත් ද්‍රව්‍යවලින් නිදහස්වීමේ නමින් එම ජාවාරම්කරනවුන්ගේ වෙඩි වැදුනු මල සිරුරු පාරවල් දිගේ විසිරී තිබීමක් කොහෙත්ම අවශ්‍ය නැත.” ඒ හුස්මටම කතුවැකිය කියන්නේ “රට මතින් බේරාගැනීමේ සිරිසේනගේ ප්‍රයත්නයට මහජන ප්‍රසංශාව හිමිවිය යුතු බවත්” දේශපාලකයන් මතභේද අමතක කර ඔහුට සහාය විය යුතු බවත්ය.

මෙම පක්ෂ හා ජනමාධ්‍ය යෙදී සිටින්නේ සදාචාරයේ සුදුරෙදිවලින් පොරවා සිරිසේනගේ හා පාලක පන්තියේ මර්දනකාරී සුදානම වඩම්මා ගැනීමට පාර කැපීමක යෙදී සිටියි.

මත් ද්‍රව්‍ය ජාවාරම ගෙන යන්නේ බොහෝවිට දේශපාලන බලාධිකාරීයේ කොටස්වල ද පිටුබලය ලබන මහා පරිමාන කාටල බව ප්‍රසිද්ධය. මෙම සමාජ වසංගතය බිහිකර ඇත්තේ ධනේශ්වර සමාජය විසිනි. ඊට ඇබ්බැහිවීම පුද්ගලයන්ගේ නිසඟ අභ්‍යන්තර ආශාවකින් හටගන්නවා නොවේ.

ලංකාවේ පමනක් නොව ඇමරිකාව ඇතුලු ලෝකයේ සෑම රටක් තුලම ධනපති ක්‍රමය විසින් විරැකියාවට, සමාජ පීඩනයට හා සමාජ අසහනයට ගොදුරු කර ඇති සහ ස්වොත්තමවාදයන් ඇතුලු ප්‍රතිගාමි දෘෂ්ටිවාදයන්ගෙන් තෙරපීමට ලක්ව සිටින තරුන තරුනියන් ඇතුලු සමාජයේ ඇතැම් පීඩිත කොටස් එම ඇබ්බැහියට ගොදුරු කරගෙන ඇත. පිලිපීනයේ දුතර්තේ මෙන්ම ලංකාවේ සිරිසේනගේද එල්ලය වී ඇත්තේ මෙම උවදුර දඩමීමා කරගෙන හමුදා පොලිස් මර්දකාරී පාලනයකට මාරුවීමයි.

මත්ද්‍රව්‍ය සමාජයෙන් මුලිනුපුටා දැමීම බැඳී ඇත්තේ කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනයා පෙලන ධනපති ක්‍රමය පෙරලා දැමීම සමඟ ය. නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය මෙන්ම මනුෂ්‍ය සංහතිය විද්‍යාවේ හා තාක්ෂනයේ ලබා ගෙන ඇති වර්ධනයන්ද පුද්ගලික ලාභය සඳහා නොව වැඩ කරන ජනයාගේ භෞතික, සංස්කෘතික හා අධ්‍යාත්මික වර්ධනයන් සඳහා උපයෝගී කර ගනිමින් වැඩකරන ජනයාගේ ජීවිත සුපුෂ්පිත කිරීම කල හැක්කේ එවන් සමාජවාදී විප්ලවයක් මගින් පමනි. ඒ වෙනුවට අධිරාජ්‍යවාදය මූලිකත්වය දරන ලෝක ධනපති ක්‍රමයට මනුෂ්‍ය සංහතියට දිය හැක්කේ සමාජ ප්‍රතිවිප්ලවය හා ලෝක යුද්ධය පමනි.

සමන් ගුනදාස

Share this article: