ප්‍රන්ස ජනාධිපති කයිරෝවේ අලුගෝසුවා බැහැ දකී

French President Macron visits the hangman of Cairo

2019 ජනවාරි 30

ඊජිප්තුවේ ලේ තැවරුනු මිලිටරි ඒකාධිපති ජනරාල් අබ්දෙල් සිසී සමග සාකච්ඡා සඳහා ඉරිදා ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඊජිප්තුවේ සංචාරය කිරීම, කම්කරු පන්තියට එරෙහිව ලෝකය වටා ආන්ඩු විසින් නිශ්ශබ්දව අනුමත කෙරුනා වූ ද තුනී ලෙස වසන් කෙරුනා වූ ද තර්ජනයකි.

සති එකොලහක් තිස්සේ, ප්‍රන්සයේ “කහ බැනියම්” විරෝධතාකරුවන් සිය දහස් ගනනක් ඉහල ජීවන තත්වයන්, පොහොසතුන් සඳහා බදු වැඩි කිරීම මෙන් ම මර්දනය හා මිලිටරිවාදය අවසන් කිරීම ඉල්ලා සෑම සති අන්තයකම පෙලපාලි ගොස් ඇත. නමුත් මූල්‍ය කතිපයාධිපත්‍යය කම්කරුවන්ගේ සමාජ හා දේශපාලන ඉල්ලීම්වලට සහනයක් නො දෙනු ඇත. ඊට වෙනස් ව, එය සමාජ විරෝධය මර්දනය කිරීම දැඩි ලෙස තීව්‍ර කරමින් සිටින්නේ ඒකාධිපති පාලන රූපාකාරයන් වෙත ධනේශ්වර පන්තියේ පොදු හැරීම මධ්‍යයේ ය.

මැක්‍රෝන් සිසී වෙත යෑමේ අර්ථය ඉතා පැහදිලි ය. 2011 ඊජිප්තුවේ විදාරනය වූ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල ලේවල ගිල්වීමට සමූහ ඝාතන වෙත ඔහු විශ්වාස තැබීම වෙනුවෙන් සිසී කුප්‍රකට ය. ඉස්ලාමීය ජනාධිපති මොහමඞ් මූර්සිට එරෙහි 2013 කුමන්ත්‍රනය අතරතුර ඔහුගේ හමුදා මහ දවාලේ ඊජිප්තු නගරවල වීදි මත දහස් ගනනක් වෙඩි තබා මරා දැමූහ. එතැන් සිටි පුද්ගලයින් 60,000ට වැඩි පිරිසක් හිර ගත කෙරී ඇත, මානව හිමිකම් කන්ඩායම් විසින් වාර්තා කරන පරිදි, සිසී ජුන්ටාව තම විරුද්ධවාදීන්ට එරෙහිව සමූහ හොර නඩු පවත්වන අතර දේශපාලන සිරකරුවන් දහස් ගනනක් ක්‍රමානුකූල වදහිංසා වලට ලක් කර ඇත.

ඔහු කයිරෝවේ අලුගෝසුවා බැහ දැකීමට යමින් සිටින්නේ ඒ මගින් තමාට “මානව හිමිකම්” ගැන “වඩා විවෘතව කතා” කල හැකි නිසා යැයි ඉරිදා රාත්‍රියේ මැක්‍රෝන් කල ප්‍රකාශ හාස්‍ය ජනක ය. ප්‍රන්සයේ මහජන විරෝධතා ඊජිප්තුවට පැතිරෙතැ යි යන බියෙන් සිසී පසු ගිය වසරේ ඊජිප්තුවේ කහ බැනියම් අලෙවිය තහනම් කලේ ය. සිසී සමග මැක්‍රොන්ගේ හමුව මර්දනය සම්බන්ධයෙන් ගිනියම්වූ සාකච්ඡාවක් මත කේන්ද්‍ර ගත වන බවට සැකයක් නොමැත.

සහන දිය නො හැකි මෙන් ම නො දෙනු ඇති පරපුටු මූල්‍ය කතිපයාධිකාරියක් මුන ගැසීමත් සමග කම්කරු පන්තිය මුහුන දෙන්නේ ප්‍රතිඵල දෙකක් පමනක්: එනම් විප්ලවය ද නැත්නම් ප්‍රතිවිප්ලවය ද යන්න පමනක් ඇති දේශපාලන අරගලයකට යි.

කයිරෝවේ දී, මැක්‍රෝන් පැහදිලි කලේ ප්‍රන්සය ඊජිප්තු කම්කරුවන්ට එරෙහිව සිසීව පූර්න ලෙස සන්නද්ධ කිරීමට අවිආයුධ සපයනු ඇති බව යි. මානව හිමිකම් පිලිබඳ මැක්‍රෝන්ගේ කෙඳිරිගෑම් නො තකා, සිසීහට ප්‍රන්ස රෆාලේ සටන් ගුවන් යනා හා අනෙකුත් මිලිටරි දෘඩාංග විකිනීම දිගටම කරනු ඇත. “මම විෂයන් දෙක අතර වෙනස පෙන්වා දෙනවා” යැයි ඔහු පැවසී ය. “ඒවා අපට සම්බන්ධ නැති අතර ඒවා කිසි දා නො පැවතුනි.”

2013 ඊජිප්තු මර්දනයේ දී ප්‍රන්ස සන්නද්ධ රථ පාවිච්චි කල බව පවසන ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ වාර්තාව ගැන අසන ලදුව, මැක්‍රෝන් පැවසුවේ ප්‍රන්සය “ඒවා මිලිටරි අරමුන සඳහා යොදා ගනු ඇත යි පෙර දුටු” බව යි. ඒවා ඊජිප්තු වැසියන්ට එරෙහි ව නො ව, “බාහිර හතුරන්ට එරෙහි ව ඊජිප්තු භූමිභාග ආරක්ෂාව” අරමුනු කර ගැනුනු ඒවා බව පැවසූ ප්‍රන්ස ජනාධිපති ප්‍රන්ස ආයුධ විකිනීම පිලිබඳව කිසිම “ව්‍යාකූලත්වයක් තිබිය නොහැකි යයිද” පැවසීය.

තමා රවටමින් සිටින්නේ කවුරුන් දැ යි මැක්‍රෝන් සිතන්නේ ද? ප්‍රන්ස සන්නද්ධ රථ ඊජිප්තුවේ පමනක් නො ව ප්‍රන්සයේ ද කම්කරුවන් මර්දනයට සහාය දෙන්නේ, “කහ බැනියම් කරුවන්ට” එරෙහිව සන්නද්ධ රථ රැඳවීමට මැක්‍රෝන් මේ දක්වා පෙර නො වූ විරු පියවර ගත් තැන් පටන් ය. මැක්‍රොන් ප්‍රන්සයේ මර්දනය උත්සන්න කරන අතරවාරයේදී කයිරෝවට බොහෝ ආයුධ සැපයීමත් සමග, ඊජිප්තුව තුල තව දුරටත් කඩා පැනීම් පිනිස ප්‍රන්ස ආයුධ පාවිච්චි කිරීම සඳහා කොල එලියක් ලෙස, සිසීට මැක්‍රොන්ගේ කෙඳිරිය යොදා ගත හැක.

ධනේශ්වර පන්තියේ ඒකාධිපති තන්ත්‍ර හා පොලිස් රාජ්‍ය ප්‍රතිපත්ති දැන් කම්කරු පන්තියේ අභියෝගයට මුහුන දෙමින් සිටී. 1991 ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමේ තැන් සිට මැද පෙරදිග සියවස් කාලක අධිරාජ්‍යවාදී යුද්ධයෙන් හා 2008 කඩා වැටීමෙන් පසු යුරෝපීය සංගම් කප්පාදුවල දශකයකට පසු, පන්ති අරගලය මර්දනය කිරිමට යොදා ගැනුනු යාන්ත්‍රනය ඇද වැටෙමින් තිබේ. 2011 ඊජිප්තුවේ නැගිටීම පූර්ව නිමිත්තක්වූ පන්ති අරගලයේ ගෝලීය නැගිටීම ඉදිරියට ඇදෙයි.

2019 වසරේ ආරම්භය විසි වසරක් තුල උතුරු ඇමරිකානු මහාද්වීපයේ විශාල ම වැඩවර්ජනය වන මැටමොරොස් නගරයේ මෝටර් රථ කම්කරුවන් 70,000ගේ හදිසි කැරල්ල මෙන් ම, යුරෝපය වැඩවර්ජන හා කප්පාදු විරෝධී විරෝධතා, හා ප්‍රන්සයේ ඉදිරියට ඇදෙන “කහ බැනියම්” පෙලපාලි අත්දැක ඇත.

දෙසැම්බරයේ ජාතික පරිමාන පෙලපාලිවලින් පසු, ජනවාරි 14වැනි දා ටියුනීසියාවේ 700,000ක රජයේ කම්කරුවන්ගේ මහා වැඩවර්ජනයක් රට නැවතීමකට ගෙන ආවේ, ටියුනීසියානුවන් දසදහස් ගනනක් “මහජනයාට අවශ්‍ය තන්ත්‍රය පෙරලා දැමීමයි” යනුවෙන් ගායනා කරද්දී ය. පසු ගිය සතියේ සිසී සූඩාන ජනාධිපති ඔමාර් බෂීර් හමු විය. පාන් හා අනෙකුත් මූලික භාන්ඩ වියදම ඉහල යාම සම්බන්ධයෙන් පසු ගිය මාසයේ ඇරුඹුනු විරෝධතාවේ දී බෂීර්ගේ ආන්ඩුව සිය ගනනක් අත්අඩංගුවට ගත් අතර දුසිම් ගනනාවක් මරා දැමී ය.

ජාත්‍යන්තර වශයෙන් කම්කරුවන් හා තරුන සමූහයන් අරගලයට පිවිසෙත් ම, මැක්‍රෝන්ගේ කයිරෝ සංචාරයේ පාඩම් උකහා ගැනීම තීරනාත්මක ය. පසු ගිය වසරේදී ප්‍රන්ස ෆැසිස්ට් ඒකාධිපති පිලිප් පෙටේන් පිලිබඳ මැක්‍රෝන්ගේ ප්‍රශංසා, හෝ ජර්මානු අභ්‍යන්තර ඇමති හර්ස්ට් සීහෝෆර් ජර්මන් නගරවල නව නාසීවාදීන්ගේ කැරලි අනුමත කිරීම හුදකලා අහම්භ සිදුවීම් නො වේ. පහලින් එන අභියෝගයට මුහුන දෙත් ම, පාලක පන්තිය ඉතාමත් කුරිරු ක්‍රමෝපාය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරනු ඇත.

“කහ බැනියම්” විරෝධතාවට ප්‍රන්ස පාලක ප්‍රභූවේ ප්‍රතිචාරය වී ඇත්තේ, නාසි වාඩිලා ගැනීමෙන් පසු ප්‍රන්ස අගනුවර තුල පෙර නො දුටු පරිමානයක විශාල අත්අඩංගුවට ගැනීම් හා මර්දනය දියත් කිරීම යි. දෙසැම්බර් 8වැනිදා එක දිනක 1,700ට වැඩි පිරිසක් ඇතුලුව විරෝධතාකරුවන් 5,000ට වඩා අත්අඩංගුවට ගෙන ඇත. අඩු වශයෙන් විරෝධතාකරුවන් හතරදෙනෙකුගේ අත් පොලිස් කම්පන බෝම්බ ප්‍රහාරයන්ගෙන් පිපිරී ගොස් ඇති අතර, පොලිස් බීන් බෑග්ස් උන්ඩ ප්‍රහාරයෙන් තවත් 20කුගේ ඇස් අන්ධ කර, එක් අයෙකු සදහට ම බිහිරි කරවා ඇත.

පැරීසියේ කැරලි මර්දන පොලීසිය ජීව උන්ඩ පිර වූ හෙක්ලර් ඇන්ඞ් කෝච් නම් ප්‍රහාරක රයිෆල් තුවක්කු ගෙන යමින් සිටිනවා දැක්වෙන ඡායාරූප මතු වී ඇති අතර, “කහ බැනියම්කරුවන්ට” එරෙහිව සිසී විසින් ඊජිප්තුවේ දී මුල පුරන ලද මර්දනකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගැනීම ගැන ප්‍රන්ස පාලක පන්තිය අතර කෝපාන්විත විවාදයක් පෙරට යමින් තිබේ.

ජනවාරී 7වැනිදා, හිටපු අධ්‍යාපන ඇමති මෙන් ම තෙමේ ම කියා ගන්නා “දර්ශනවාදියෙකු” වන ලූක් ෆෙරී, මිලිටරිය ඔවුන් වෙත ජීව උන්ඩ එල්ල කල යුතු යැයි ඉල්ලමින් ගුවන් විදුලියේ දී “කහ බැනියම්කරුවන්ට” එරෙහිව බැන වැදුනේ ය. “අපට ලෝකයේ හතරවැනි විශාල ම හමුදාව තියෙනවා, එයට පුලුවන් මෙම කරදරකාරයන් අවසන් කරන්න” යැයි ඔහු පැවසී ය. “අන්ත දක්ෂිනාංශයෙන්, අන්ත වමෙන් හා නිවාස යෝජනා ක්‍රමවලින්, මේ වගේ තක්කඩීන් පොලීසියට පහර දීමට එනවා ... දැන් ඇති!.”

මෙම ප්‍රකාශනය සාරාංශ කරන්නේ හුදෙක් ප්‍රන්සය තුල පාලක පන්තීන් තුල පමනක් නො ව, වඩ වඩා වෛරයට පාත්‍ර වූ ධනේශ්වර පද්ධතිය ඔසවා තැබීමේ එකම මාධ්‍ය ලෙස ඒකාධිපතිත්වය හා මර්දනයට හැරෙන සමස්ත ලෝකයේ පාලක පන්තීන් තුල පවතින මනෝගතීන් ය.

ඉතාමත් අතිමූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇතුලුව, අද කම්කරු පන්තියේ වඩාත් මූලික අවශ්‍යතා ධනේශ්වර පන්තියේ ධනස්කන්ධයට හා පරමාධිකාරයන්ට එරෙහිව ඍජු ප්‍රහාරයකින් තොර ව, එනම් පාලක පන්තිය අස්වාමික කිරීම හා සමාජවාදය ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයකින් තොරව ජයගත නො හැක.

විල් මොරෝ හා ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: