ඇමෙරිකා එක්සත් ජනපදය අයිඑන්එෆ් ගිවිසුම ඉවතලයි: න්‍යෂ්ටික යුද්ධයක ට තවත් ඉදිරි පියවරක්

The US scraps the INF treaty: Another step toward nuclear war

2019 පෙබරවාරි 2

ලෝකය න්‍යෂ්ටික පිපිරීමකින් සමූලඝාතනය වීමේ අද්දරට ම පැමිනි කියුබානු මිසයිල අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී සිය සහෝදරයා බොබි අමතමින් ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි පැවසුවේ “පෘථිවිය කවදා හෝ න්‍යෂ්ටික යුද්ධයකින් වැනසී ගියහොත් මිනිත්තු 60 කින් මිලියන 300 ක පමන ඇමෙරිකානුවන් රුසියානුවන් සහ යුරෝපීයයන් අතු ගා දැමෙනු ඇති, එම මහා විනාශයෙන් දිවි ගලවාගන්නවුන් ට ගිනි, විස, වියවුල් සහ විනාශයන් දරාගැනීමට සිදුවනු ඇති, ‘මේ දේවල් සිදුවුනේ කොහොමද?’ යි එකෙක් අනෙකාගෙන් විමසූ විට ‘ආහ් එය දන්නේ එකම එක්කෙනයි’ යන දැවැන්ත පිලිතුර ලබන ඉන් එක් දිවි ගලවාගත්තෙක් වීමට මට අවැසි නැත” යනුවෙනි.

න්‍යෂ්ටික යුද්ධයක් මඟ හැරීමේ වුවමනාව තිබූ ජනාධිපති කෙනඩි නොදැන සිටියද, ඔහුගේ කාර්ය මන්ඩලයේ බොහෝදෙනෙකුට අවශ්‍ය වූයේ න්‍යෂ්ටික යුද්ධයක ආරම්භයයි. එවන් යුද්ධයක් විසින් මිලියන 300 ක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාම අතුගා දැමෙනු ඇත. 1980 මැද සොයා ගත් හා පසුව විද්‍යාත්මක එකඟතාවයකට පැමිනි න්‍යෂ්ටික සීත සෘතුව පිලිබඳ විද්‍යාත්මක න්‍යායය හරහා පෙන්වා දෙනු ලැබූ ආකාරයට, ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව සැලසුම් කල සමස්ත පරිමානයේ න්‍යෂ්ටික යුද්ධයක් මඟින් සමස්ත පෘථිවිය ම ශතවර්ශයකට ජීවත්විය නොහැකි තත්වයකට පත් කල හැකිව තිබුනි. නමුත් මෙම න්‍යෂ්ටික යුද සූදානම ඇමෙරිකා එක්සත් ජනපදය (එජ) නොදැනුවත් ව එලඹූවක් නොව සෘජුව ම සූදානම් වූවක් වූ අතර ෆොරින් එෆෙයාර්ස් හි මෑතකාලීන ලිපියක “න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වනු” යැයි එහි පාඨකයන්ට කියා තිබිනි.

සිකුරාදා ඇමෙරිකා එක්සත් ජනපද ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශයට පත් කලේ අයි එන් එෆ් ගිවිසුමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත්වන බවයි. 1987 ඇතිකරගත් මෙම මැද දුර න්‍යෂ්ටික බලයන්ගේ (අයි එන් එෆ්) ගිවිසුම ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය (හා පසුව රුසියාව) අතර කිලෝමීටර 500 ත් 5500 ත් අතර පරාසයේ මිසයිල තහනම් කිරීම සම්බන්ධයෙන් ඇතිකර ගත්තකි.

මෙම ක්‍රියාව නිසා ඇමෙරිකා එක්සත් ජනපදය අනෙක් ගෝලීය අවි පාලන ගිවිසුම වන 2011 වසරේ රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇතිකරගනු ලැබූ “නිව් ස්ටාර්ට් (START)” නම් වූ ගිවිසුමෙන් ඉවත්වීම නොවැලැක්විය හැකි තරම්ය. ජනාධිපති ට්‍රම්ප් මෙම ගිවිසුම අර්ථකතනය කලේ “ඔබාමා පාලනය තුල ඇතිකරගත් තවත් එක් අයහපත් ගිවිසුමක්” ලෙසට යි.

ගිවිසුමෙන් ඉවත් වීම පිලිබඳ ධවල මන්දිරයේ නිල සාධාරනීකරනය සම්බන්ධයෙන් කිව යුත්තේ සුලු දෙයකි: මොස්කෝව විසින් එක්සත් ජනපදයට පමනක් නොව ජාත්‍යන්තර අධිකාරයන්ට හා මාධ්‍යකරුවන්ටද එහි මිසයිල නිරීක්ෂනය කරන ලෙස යලි යලිත් දී ඇති ප්‍රතිඥාව තිබියදී රුසියාව ගිවිසුමේ වගන්ති උල්ලංඝනය කර ඇත. ඔවුන්ව විශ්වාස නොකරන හා මිලිටරිය වෙනුවෙන් මුවකඩ ලෙස ක්‍රියා කරමින් ප්‍රශ්න නොකර අතහරින මාධ්‍ය උපකරනයන් විසින් ධවල මන්දිරයේ චෝදනා ප්‍රතිරාව නංවයි.

ධවල මන්දිරයේ රුසියාවට එරෙහි චෝදනාවන්ට පූර්න පිටුබලය සපයන ලිපියක් සම්පාදනය කරමින් පෙන්ටගනය සඳහා නියෝජිතයෙක් වන නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඬේව්ඞ් සැන්ගර් නියමාකාරයෙන් පැහැදිලිව එක්සත් ජනපදය අයිඑන්එෆ් ගිවිසුමෙන් ඉවත්වීමේ හේතු සඳහන් කර ඇත්තේ,

“ගිවිසුමේ නියමයන්ගෙන් සීමා වුනු ඇමෙරිකා එක්සත් ජනපදයට බටහිර පැසිපික් සාගර කලාපයේ ආධිපත්‍යය දැරීමේ චීනයේ ප්‍රයත්නයන් සීමා කිරීමේ අරමුනෙන් නව අවිආයුධ වර්ධනය වැලැක්වීමට සිදු වූ අතර තවදුරටත් ඇමෙරිකානු ගුවන්යානා ප්‍රවේශ සීමාවෙහි රඳවා තැබීම සිදු විය. වේගයෙන් දුර්වලවූ සෝවියට් සංගමයේ අවසන් නායකයා වන ජනාධිපති මිහායිල් ගෝර්බචොෆ් හා රොනල්ඞ් රේගන් මෙම අයි එන් එෆ් ගිවිසුමට එලඹෙන අවස්ථාව වනවිට චීනයෙහි හමුදාමය බලය කුඩා මෙන් ම නොදියුනු මට්ටමක පැවතිනි”

සැන්ගර් ගේ වදන් හරහා ගිවිසුමෙන් ඉවත්වීමට ඇමෙරිකාව මෙහෙය වූ, රුසියාව චෝදනා ලද නීති කඩකිරීම් සමඟ සම්බන්ධයක් නොමැති, සත්‍ය හේතූන් පැහැදිලි වේ. වොෂිංටනය චීනයේ ප්‍රධාන භූමිය වටා වූ දිවයින් මාලාව වටා මිසයිල වැටක් බැඳීමට අර අඳිනු ලබයි. කෙසේ නමුත් සැන්ගර් බලාපොරොත්තු වන්නේ සංක්‍රමනික ඡේදයට වැඩි අවධානයක් යොමු නොකොට පොම්පියෝ විසින් රුසියාවේ “අයහපත් චර්යාව” පිලිබඳ පිටකර ඇති ගිනියම් වායුව කියවන්නන් හට විශ්වාස කිරීමට ඉඩ හැරීමටයි.

අයි එන් එෆ් ගිවිසුමෙන් ඉවත්වීම ට්‍රම්ප්ගේ න්‍යෂ්ටික අවි කෙරෙහි වන විශේෂ ලැදියාවෙහි ප්‍රතිඵලයක් නොවේ. ඒ වෙනුවට චීනය සහ රුසියාව සමඟ “මහ බලවතුන්” වීම සඳහා පවතින ගැටුම එල්ල කොට ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව යලි පෙලගැස්වීමේ ප්‍රතිපලයකි.

පසුගිය වසර දෙක පුරා ම චීනයේ ඉහල තාක්ෂනික වර්ධනය පිලිබඳව ඇමෙරිකානු හමුදා සංස්ථාපිතයේ අනතුරු අඟවා ගැනීම වැඩුනු අතර එම තත්වය, ඇමෙරිකාව විසින් එහි සමාගම් වල ලාභදායී බවට තර්ජනයක් පමනක් නොව හමුදාමය ආධිපත්‍යයට ද තර්ජනයක් ලෙස දක්නා ලදී.

දශක දෙකකට පමන පෙර ඩොට්කොම් බුබුල ඉහලට වැඩෙන විට චීනය ලාභදායී ශ්‍රමය සඳහා වූ වේදිකාවක් හැර වෙන කිසිවක් නොවී ය. චීනය පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග එකලස් කිරීමේ වේදිකාවක් ලෙස සන්නිවේදනයේ විප්ලවය මෙහෙයවූ අතර ඇමරිකානු සමාගම් ලාභ වල දැවැන්තම පදාසය රැස් කරගනිමින් සිටිය හ. නමුත් අද වනවිට ආර්ථික බලයේ සමතුලිතතාවය විතැන් වෙමින් පවතී.

සැම්සුන්ග්, ඇපල් සමාගම්වල වෙලඳපොල ගිලිහී යාම එම සමාගම් අත් දකින අතරතුර චීනයේ හුවාවේ, සියෝමි සහ ඔප්පො පෙර නොවූ විරූ අනුපාතයකින් ස්මාර්ට් ෆෝන් වෙලඳපොල ග්‍රහනය කරගනිමින් සිටී. ශෙන්සෙහි පදනම්ව සිටින ඩීජේඅයි, පාරිභෝගික ඩ්‍රෝන වෙලඳපලේ නිතරඟ ගෝලීය නායකයා වේ. මේ අතරතුර හුවාවේ සමාගම, රියදුරන් නොමැති මෝටර් රථ හා “ස්මාර්ට්” උපකරන සම්බන්ධයෙන් පමනක් නොව අනාගත “ස්වයංක්‍රීය” ආයුධ සඳහා බලය සපයන මීලඟ පරම්පරාවේ ජංගම පොදුකාර්ය ව්‍යුහය පිලිබඳව එහි තරඟකරුවන් අභිබවමින් සිටියි.

නවතම ඇමෙරිකානු ලෝක ව්‍යාප්ත අවදානම් තක්සේරුවක අනතුරු අඟවන පරිදි “2019 සහ ඉන් ඔබ්බට හමුදාමය සහ ආර්ථික තරඟකාරීත්වයන් ධාවනය කරනු ලබන නවෝත්පාදනයන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත සිදුවනු ඇති බැවින් විද්‍යාව සහ තාක්ෂනයේ සමස්ත ඇමෙරිකානු මූලිකත්වය මේ නිසා හැකිලෙනු ඇති” අතර “වානිජමය සහ මිලිටරි තාක්ෂන ශක්‍යතා පරතරය වාෂ්ප වනු ඇත.”

ගෝලීය තරඟකරුවන්ට සාපේක්ෂව ඇමෙරිකානු එක්සත් ජනපදයේ ආර්ථික රූටා යාම අවසානයේ ඇමෙරිකානු එක්සත් ජනපදය (එජ) න්‍යෂ්ටික යුද සැලසුම් තියුනු කිරීම කරා ධාවනය කරනු ඇත. හමුදාමය ලීවරනය කිරීම් මඟින් චීනයේ ආර්ථික බලය සීමා කරමින් ලෝක වේදිකාවේ ඇමෙරිකානු පූර්වවිශිෂ්ඨත්වය තහවුරු කර ගැනීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි.

නමුත් එජ මිලිටරිය තුල වැඩෙන සම්මුතිය වන්නේ එහි දැවැන්ත මූලෝපායික මිසයිල සමුදාය සමඟින් සම්පූර්නයෙන් වනසන බවට තර්ජනය කිරීමෙන් පමනක් විරුද්ධවාදීන් දන ගැස්සවීමට වොෂින්ටනයට නොහැකි බවයි. චීනය සහ රුසියාව සතුව ද බැලැස්ටික් මිසයිල සහ සබ්මැරීන පද්ධති පවතින බව සැලකිල්ලට ගත්විට න්‍යෂ්ටික යුද්ධයකට එලඹෙනවා නම් න්‍යෂ්ටික සීත සෘතුවක ප්‍රතිවිපාකයන් නොසලකා හැරිය ද අමෙරිකාවේ විශාල නගරයන් විනාශ වනු ඇත.

එජ නව න්‍යෂ්ටික හැකියාව සහිත කෲස් මිසයිල ඇතුලු “භාවිතා කල හැකි”, අඩු බලපෑම් සහිත, “උපක්‍රමශීලී” න්‍යෂ්ඨික හැකියාව සහිත මිසයිල නිපදවීම ආරම්භ කර ඇත. මෙම සතියේ එවැනි අඩු බලපෑම් සහිත නව මිසයිලයක් නිපදවීම ආරම්භ කරන ලද අතර එය දෙවන ලෝක යුද සමයේ ජපානයේ හිරෝෂිමා නගරය සමතලා කල “ලිට්ල් බෝයි” න්‍යෂ්ටික බෝම්බයෙන් තුනෙන් එකක ප්‍රමානයක් වන අතර එය ඇමෙරිකාවේ අනෙකුත් මිසයිල පද්ධතීන්ගෙන් සිය වතාවකට වඩා කුඩා ය.

පසුගිය වසරේ නිකුත් කරන ලද ට්‍රම්ප් පාලනයේ න්‍යෂ්ටික තත්ව විමර්ශනයට අනුව මේ හරහා සාම්ප්‍රදායික ආයුධවලින් ආරම්භ කරන ලද ගැටුම් රැල්ල හැරවිය හැකිවනු ඇති අතර (පෙන්ටගනය විශ්වාස කලත් නොකලත්) එම යුද්ධ මහා පරිමානයේ න්‍යෂ්ටික යුද්ධ වලක්වනු ඇත.

හැත්තෑ පස් වසරකට පමන පෙර ඇමෙරිකා එක්සත් ජනපදය ජෙනරාල් කර්ටිස් ලිමේ විසින් දක්වන ලෙස “වියලී, තැම්බී මරනය දක්වාම පුලුස්සා දැමීමක්” ලෙස හඳුන්වන, න්‍යෂ්ටික බෝම්බ දෙකක් යොදාගෙන ජපානය මත සිදුකරන ලද “උපායමාර්ගික බෝම්බ හෙලීම” හරහා සිය දහස් ගනනක ජපාන සිවිල් ජනතාව ඝාතනය කිරීම; සෝවියට් සංගමය ට තර්ජනය කිරීමේ ප්‍රාථමික අරමුන ඇතිව කරන ලද්දකි.

නමුත් අවසානයේ, සෝවියට් සංගමය දිගටම පැවතීම ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ජන සංහාර ආවේගයන් මත පැවති තරවටුවක් විය.

සෝවියට් සංගමය විසුරුවා හැරීම සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ “ඉතිහාසයේ අවසානය” නව යුගයක් ගෙන එනු ඇති බවට කල ජයග්‍රාහී කතා තිබියදී, එය ගෙන ආවේ ශතවර්ෂ කාලක පමන නව විජිතවාදී යුද්ධ පමනි.

නමුත් ඉරාක, ඇෆ්ගනිස්තාන, ලිබියා සහ සිරියා යුද්ධයන් හි අපේක්ෂිත අරමුනු ඉටුකරගෙන නොමැත. 2001“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ආරම්භ කිරීමේ දී ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ස්ථානය ටි්‍රලියන ගනනක ඇමෙරිකානු ඩොලර් වියදම් කිරීමෙන් සහ මිලියන ගනනක මිනිසුන් ඝාතනයෙන් පසුව ද වෙනස් වී නොමැත.

වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදය ගෝලීය හෙජමොනිය සඳහා චීනය සහ රුසියාව සමඟ වඩාත් සංකීර්න “දැවැන්ත බල ගැටුමකට” අවතීර්න වී සිටී. ඒ පදනමින් ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ගෝලීය හෙජමොනිය පවත්වා ගෙන යාම සඳහා කරන අරගලයේදී මුදල් සිඳී යනු ඇත, න්‍යෂ්ඨික යුද්ධ දියත් කිරීමද ඇතුලත් අතිශය ඔලමොට්ටල හා මංමුලාසහගත විධික්‍රම උපයෝගී කර ගනු ඇත.

ගෝලීය අර්බුදයන් පාලනය කිරීමට බලය සහ ප්‍රචන්ඩත්වය යොදා නොගන්නා සාමකාමී ධනවාදී මාර්ගයක් නොමැත. 21 වන සියවසේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා නම් සමාජවාදී පදනමකින් සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා, ධනපති පාලක පන්තියේ යුදමය අරමුනු වලට එරෙහි වීමට සිටින එකම සමාජ බලවේගය වන කම්කරු පන්තියේ මැදිහත්වීම අවශ්‍ය වේ.

අන්ද්‍රෙ ඩෙමොන්

Share this article: