ප්‍රන්සය තම ඉතාලි තානාපති ආපසු කැඳවයි

France recalls its ambassador to Italy

2019 පෙබරවාරි 8

දෙවන ලෝක යුද්ධයෙන් පසු පලමු වරට ඊයේ ප්‍රන්ස විදේශ අමාත්‍යාංශය රෝමයේ තම තානාපති ආපසු කැඳවීම නිවේදනය කලේ ය. ක්ෂනික ව ඉදිරිපත් කල ව්‍යාජ නිමිත්ත වූයේ, ප්‍රන්ස ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන් ඉවත් කරන ලෙස ඉල්ලමින්, “කහ බැනියම්” විරෝධතාකරුවන් කන්ඩායමක් සමග පෙබරවාරි 5දා ඉතාලි උප අගමැති ලුයිගි ඩී මායියෝ පැවැත්වූ රැස්වීමකි. එහෙත් නිවේදනය පැහැදිලි කලේ වඩා පුලුල් ජාත්‍යන්තර ගැටුම් එයට හේතුවන බව යි.

“මාස කිහිපයක් තිස්සේ, සෑම කෙනෙක් ම දන්නා හා මතකයට නගා ගන්නා පුනරුච්ඡාරනය කෙරෙන චෝදනා, පදනම් විරහිත ප්‍රහාර හා ප්‍රකෝපකාරී ප්‍රකාශවල ඉලක්කය බවට ප්‍රන්සය පත්ව ඇත. යුද්ධය අවසන් වූ තැන් පටන් එය පෙර නුවූ විරූ දෙයක් විය. නොඑකඟතා තිබීම එක් දෙයක් වන අතර, ඒවා මැතිවරන අභිප්‍රායන් සඳහා ගසාකෑම තවත් දෙයකි. නවතම මැදිහත්වීම් සලකුනු කරන්නේ වැඩිදුර හා පිලිගත නො හැකි ප්‍රකෝපකරනයකි” යි නිවේදනය ලිවී ය.

ප්‍රන්සය හා ඉතාලිය අතර “මිත්‍රත්වයේ හා එකිනෙකාට ගරුකිරීමේ සබඳතාවකට” කැඳවුම් කරන නිවේදනය මෙසේ එකතු කලේ ය: “මේ සියලු ක්‍රියාවන් ප්‍රන්සය සම්බන්ධිත ව ඉතාලි ආන්ඩුවේ අභිප්‍රායන් පිලිබඳ ව ප්‍රශ්න මතු කරන බරපතල තත්ත්වයක් නිර්මානය කර තිබේ. මෙම පෙර නුවූ විරූ තත්ත්වයේ ආලෝකයෙන් ගත් කල, උපදෙස් ලබාගැනීම සඳහා ඉතාලියේ ප්‍රන්ස තානාපති ආපසු කැඳවීමට ප්‍රන්ස ආන්ඩුව තීරනය කර ඇත.”

රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳවැටීමේ හෝ යුද්ධයේ අන්තරාය සංඥාකරන පියවරක් වන පැරීසිය විසින් සිය තානාපති ආපසු කැඳවීම, යුරෝපීය පාලක පන්තිය විසින් වෙහෙස නො තකා ජාතිකවාදය හා මිලිටරිවාදය ඇවිස්සීමෙන් ගලා එන යුරෝපා සංගමයේ (ඊයූ) සබඳතා බිඳවැටීම අවධාරනය කරයි.

යුරෝපා සංගමය තුල ආනුභාවය සඳහා තරඟ වැදුනු හා 2011 නැටෝ යුද්ධයෙන් පසුව ලිබියාවේ සිවිල් යුද්ධයේ දී ප්‍රතිමල්ලව කන්ඩායම්වලට සහයෝගය දුන් තතු තුල පැරීසිය හා රෝමය අතර ගැටුම් අන්කවරදාටත් වඩා කටුක වී ඇත. වසර දෙකකට පෙර මැක්රොන් ප්‍රන්සයේ නාවික තටාකාංගන ජනසතු කලේ, ඉතාලියේ ෆින්කැන්තියේරි සංගතය ඒවා මිල දී ගැනීමෙන් වැලැක්වීමට යි. ඉතාලියේ අන්ත-දක්ෂිනාංශික ආන්ඩුව බලය ගත් විට, නව-ෆැසිස්ට්වාදයට එරෙහි ප්‍රබුදිත බර්ලින්-පැරිස් අක්ෂයක ප්‍රකාශකයා ලෙස මැක්රොන් පෙනී සිටියේ, එය “ලාදුරු රෝගය පතුරවනවා” යයි පහර දෙමිනි.

ඉතා මෑතක ඉතාලි නිලධාරීහු වඩ වඩා ප්‍රන්සය විවේචනය කර ඇත. මුල දී ඉතාලියෙන් ප්‍රන්සයට පලා ආ හිටපු ඉතාලි වාමාංශික සිසරේ බැටිස්ටි ලතින් ඇමරිකාවෙන් ආපසු ගෙන්වා ගැනීම බ්‍රසීලයේ ෆැසිස්ට්වාදී ජනාධිපති ජායර් බොල්සොනාරෝ සමග සංවිධානය කිරීමෙන් පසු, ඉතාලි අභ්‍යන්තර කටයුතු ඇමති මතෙයෝ සැල්විනි පසුගිය මාසයේ ලිබියාව අරබයා පැරීසියට පහර දුන්නේ ය. “ලිබියාව තුල තත්ත්වය ස්ථාවර කිරීමේ අවශ්‍යතාවක් ප්‍රන්සයට නැත්තේ එහි තෙල් අවශ්‍යතා ඉතාලියේ එම අවශ්‍යතාවන්ට විරුද්ධ නිසා විය හැකි ය” යි ඔහු කීවේ ය.

පැරනි ඉතාලි විජිතයක් වන ලිබියාව තුල තමන්ගේ ම වධ කඳවුරු තනන අතර ම, රෝමය අප්‍රිකාව තුල ප්‍රන්සයේ නව විජිතවාදී යුද්ධවලට පහර දී ඇත. “යුරෝපීයයන් ද විශේෂයෙන් ම ප්‍රන්සය ද කිසි දිනක අප්‍රිකාව විජිතකරනය කිරීම නවත්වා නැත” යි ඩි මායියෝ පසුගිය මාසයේ කීවේ ය. ප්‍රන්සයේ බොහෝ අප්‍රිකානු පැරනි විජිත රටවල භාවිතා කරන ප්‍රන්ස මුදලට ගැටගැසූ සීඑෆ්ඒ ෆ්‍රෑන්ක් මුදල ඔහුගේ හෙලාදැකීමට ලක් විය. “විජිතවාදී ෆ්‍රෑන්ක් මුදල් අප්‍රිකානු රටවල් දුසිම් ගනනක් ප්‍රන්සය විසින් මුද්‍රනය කරන අතර, එම මුදල සමගින් ප්‍රන්සයේ රාජ්‍ය නය පියවීමට මුදල් සපයනු ලැබේ.”

පැරීසිය ශක්තිමත් සහයෝගයක් පුද කර ඇති එක්සත් ජනපදය නායකත්වය දෙන වෙනිසියුලා කුමන්ත්‍රනය ද රෝමය විසින් හෙලාදැක්ක අතර, වෙනිසියුලානු තන්ත්‍රයට සහයෝගය දෙන රුසියාව හා චීනය කෙරෙහි රෝමයේ පක්ෂපාතීත්වයට ප්‍රන්ස පුවත් පත් විසින් එම විවේචන ආරෝපනය කරයි.

පැරීසිය හා රෝමය අතර වර්තමාන අර්බුදයට සමාන තත්ත්වයක් සොයාගැනීමට දෙවන ලෝක යුද්ධය කරා ප්‍රන්ස විදේශ අමාත්‍යාංශය පිලිපන්නේ හේතුවක් නැති ව ම නො වේ. 1992 දී ආරම්භ කිරීමෙන් සියවස් කාලකට ද වඩා ගත වී ඇති අද දින වන විට, 1940 ජුනි 10 දා ඉතාලිය විසින් ප්‍රන්සයට පහර දීමට පෙලඹවූ කිසිදු මූලික අන්තර්-අධිරාජ්‍යවාදී ගැටුමක් යුරෝපා සංගමය විසින් විසඳා නැත.

ඉතාලි හා ප්‍රන්ස භටයන් ඇල්ප්ස් කඳුවැටියේ ගැටුනේ නාසි වෙහ්රමක්ටය (ජර්මානු යුද හමුදාව) උතුරුකරයේ දී ප්‍රන්ස හමුදාවේ බොහෝ කොටසක් තලා දමද්දී ය. සටන් නැවැත්වීමෙන් පසුව, නාසි-ඒකාබද්ධතාවාදී ආඥාදායක මාෂල් ෆිලිප් පෙටේන් සමග හිට්ලර් සාකච්ඡා කලේ ප්‍රන්ස කෘෂිකර්මාන්තය හා කර්මාන්තය සෝවියට් සංගමය සමග ජර්මනියේ හා ඉතාලියේ යුද අවශ්‍යතාවන් දෙසට යොමු කිරීමට යි. බර්ලිනය හා රෝමය, උතුරු අප්‍රිකාවේ ප්‍රන්සයෙහි විජිත අධිරාජ්‍යයෙන් බහුතර කොටසක් මිලිටරිමය ලෙස අල්ලාගත් අතර, ගිනිකොනදිග ප්‍රන්සයේ කොටස් වාඩිලාගැනීමට රෝමයට අවසර ලැබුනි.

20වන ශතවර්ෂයේ ෆැසිස්ට් යුරෝපයේ හා අද දින යුරෝපීය අධිරාජ්‍යවාදයේ විදෙස් පිලිවෙත අතර සමානත්වය නොවරදිනසුලු ය. 1991 දී ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවීමේ පටන් අධිරාජ්‍යවාදී යුද්ධවල ශතවර්ෂ කාලකට පසුව, රුසියාව හා චීනයට එරෙහි යුද තර්ජනය, යුරෝපය මත ආධිපත්‍යය සඳහා අරගලය හා පැරනි විජිත කලාප කොල්ලකෑම අත්‍යසාමාන්‍ය තීව්‍රතාවකට ලඟාවෙමින් තිබේ.

2011 දී ප්‍රන්ස ජනාධිපති නිකොලස් සාකෝසි, ලන්ඩනය හා වොෂින්ටනය, ජර්මනියේ හා සැලකිය යුතු ඉතාලි බලවේගයන්ගේ විරෝධතා නො තකා ලිබියාව තුල යුද්ධයක් දියත් කරද්දී, අධිරාජ්‍යවාදී යුද ධාවනය යුරෝපය සඳහා දරන ගම්‍යයන් පිලිබඳ ව ලෝසවෙඅ අනතුරු ඇඟවූ පරිදි:

හිටපු ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ් “පැරනි යුරෝපය” ලෙස සමච්චලයට ලක් කල පොදු පෙරමුන බිඳ විසිර ගොස් ඇත. එහෙත් සාකෝසිගේ සැලසුම්වලට තමන් දෙන සහයෝගයේ ගම්‍යයන් ඔබාමා මුලුමනින් සලකා බලා ඇති බවක් ඉන් උපකල්පනය නො කෙරේ. බර්ලිනය ප්‍රසිද්ධියේ විරෝධය දක්වන යුද්ධයකට සහභාගි වීම මගින්, බටහිර යුරෝපයේ දේශපාලන හා මිලිටරිය එකමුතුව පවත්වාගෙන යාමේ දශක ගනනක පිලිවෙත වොෂින්ටනය විසින් අත්හැර ඇත. එය, ආර්ථික පිලිවෙත් අරබයා වන ගැටුම් විසින් දැනට මත් ඉරිතැලී ඇති මහාද්වීපයක් මත යුරෝපා-අභ්‍යන්තර ආතතීන් උත්සන්න කරමින් සිටී. අතීතයේ සිදු වූ ලෙස, තම ඓතිහාසික ප්‍රතිමල්ලවයන් විසින් අභිබවා ගොස් ඇතැයි හා හුදකලා කොට ඇතැයි බිය වන ජර්මනිය, එහි අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා වෙනත් ක්‍රමවලට හැරෙනු ඇත. යලි වතාවක් විනාශකාරී විපාක ගෙන එනු ඇත්තා වූ සිද්ධීන් වොෂින්ටනය විසින් ක්‍රියාවේ යොදවා ඇත.

මෙම අනතුරු ඇඟවීම සනාථ වී තිබේ. 2014 දී බර්ලිනය එහි විදෙස් පිලිවෙත යලි මිලිටරීකරනය කරන උද්ඝෝෂනයක් දියත් කල අතර, 2016 බ්‍රෙක්සිට් (බ්‍රි තාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම) ඡන්දය හා ට්‍රම්ප් තේරී පත්වීම නැටෝ සන්ධානය ප්‍රගාඪ ලෙස බිඳ විසිර යාම මතුපිටට ම ගෙන ආවේ ය. දැන් යුරෝපීය බලයන් ඔවුන්ගේ මිලිටරි යාන්ත්‍රනයන්ට යුරෝ බිලියන ගනනින් මුදා හරී. පසුගිය වසරේ මැක්රොන් රුසියාව, චීනය හෝ එක්සත් ජනපදය සමග සටන් කිරීමට යුරෝපය සූදානම් විය යුතු බව කියන අතර ම, යුරෝපීය බලයන් එකිනෙකා සමග සටන් වැදීමට සූදානම් වෙමින් සිටී.

බ්‍රි තාන්‍යය ලබන මාසයේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සූදානම් වෙද්දී, යුරෝපා සංගමය තිබෙන්නේ වියවුලක ය. ප්‍රධාන යුරෝපා සංගමයේ බලය වන බර්ලිනය තුල විදෙස් පිලිවෙත අරබයා බෙදීම් දිගට ම පවතී. චාන්සලර් ඇන්ජලා මර්කල් මැක්රොන් සමග සන්ධානයක් වෙනුවෙන් පෙනී සිටින අතරතුර, දෙවන ලෝක යුද සමයේ බර්ලිනය හා රෝමය අතර සන්ධානයේ නම පුනර්වාදනය කරමින් ජර්මනිය හා ඔස්ට්‍රියාව යන දෙරටේ ම පාලක පන්ති පසුගිය වසරේ බර්ලින්-වියානා-රෝම “අක්ෂයක්” සඳහා කැඳවුම් කිරීම දැකගන්නට ලැබුනි. මෙම කොන්දේසි යටතේ, ලබන මාසයේ පැවැත්වෙන මියුනිච් ආරක්ෂක සමුලුවට සහභාගි නො වීමට මැක්රොන් ඊයේ හදිසියේ ගත් තීරනය, ගැඹුරු අර්බුදය පිලිබඳ තවත් සංඥාවකි.

කිසිදු යුරෝපා අධිරාජ්‍යවාදී බලයකට කම්කරු පන්තියට දීමට දෙයක් නැති අතර, තරඟවැදී සිටින කිසිදු කඳවුරක් පිටුපස ඇදගෙන යාමට ඉඩදීමට කම්කරු පන්තියට ද නො හැක. සමාජ කප්පාදුව, මිලිටරිවාදය සහ ජර්මානු මිලිටරිවාදී මහාචාර්යවරුන් හිට්ලර් පුනරුත්ථාපනය කිරීමට උත්සාහ කිරීමේ සිට මුසෝලිනි ව උත්කර්ෂයට නංවන ඉතාලියේ අන්ත-දක්ෂිනාංශික ඇමතිවරුන් හා පෙටේන් කෙරෙහි තමන්ට පවතින ආකර්ෂනය ප්‍රකාශ කල මැක්රොන් දක්වා 20වන ශතවර්ෂයේ යුරෝපීය ෆැසිස්ට්වාදයේ උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු අධිරාජ්‍යවාදී බලයන් පෙනී සිටී.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය යුද්ධයට එරෙහි ව එකමුතු කිරීම යි. යුරෝපීය මිලිටරිවාදීන්ගේ යුද ධාවනයට එරෙහි ව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා අරගලය ඉදිරිපත් කරයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: