2019 කම්කරු පන්ති අරගලයේ ජාත්‍යන්තර නැගීම

The international upsurge of working class struggle in 2019

2019 පෙබරවාරි 12

ලෝකයේ සෑම ප්‍රදේශයකම කම්කරුවන්ගේ වෛෂයික එකමුතුව ප්‍රකාශයට පත් කරන පන්ති අරගලයේ පුනර්ජීවනයක් මෙම වසරේ අත්විඳීමට ලැබෙමින් පවතී.

2019 පලමු සති කිහිපය ජාත්‍යන්තර පන්ති අරගලයේ නාටකාකාර නැගීමක් විසින් සලකුනු කෙරී ඇත. කම්කරුවන්ගේ වැඩවර්ජන සහ උද්ඝෝෂන සැබවින්ම ලෝකයේ සෑම කලාපයකම පාහේ පුපුරා ගොස් ඇත. වෘත්තීය සමිති විසින් පන්ති අරගල මර්දනය කොට ඇති දශක ගනනාවකට පසුව, ලෝක දේශපාලනය සසල කරන යෝධයා වන කම්කරු පන්තිය නැගිටීමට පටන්ගෙන ඇත.

උතුරු ඇමරිකාව

■ සඳුදා ඩෙන්වර්, කොලරාඩෝ හී ගුරුවරුන් 5600ක් ශතවර්ෂ කාලක් තුල පලමු වතාවට වැඩ වර්ජනය කලහ. ගුරුවරුන්ගේ මූලික අවශ්‍යතාවය වූයේ, එක්සත් ජනපදයේ වඩාත්ම මිල අධික නගර වලින් එකක් වන එම නගරයේ ජීවත් වීමට සහ වැඩ කිරීමට හැකි තරමේ අර්ථභාරී වැටුප් වැඩිවීමක් දිනා ගැනීමය.

■ අවුරුදු දෙකක් පුරාවට කොන්ත්‍රාත්තු රහිතව වැඩ කරමින් සිටින කැලිෆෝනියා හී ඕක්ලන්ඞ් නගරයේ ගුරුවරුන් බහුතරයක් ලබන සතිය වන විට වැඩ වර්ජනය කිරීමට ඡන්දය දී ඇත. තමන්ගේ වෘත්තීය සමිති වලට එරහිව කැරලි ගැසීම මගින් සහ වෘත්තීය සමිති වල නායකත්වයේ අවසරයට පිටින් වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරතවීම මගින්, දැනට සිදු කෙරීගෙන යන ගුරුවරුන්ගේ වැඩවර්ජන රල ආරම්භ කිරීමට හේතු වූ බටහිර වර්ජිනියා ගුරුවරුන්, පුද්ගලීකරනය සඳහා වූ නීති සම්පාදනයක් ප්‍රාන්ත සභාවෙන් සම්මත කරගැනීමට එරහිව වැඩවර්ජනයක් හෝ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට අනුමැතිය ලබා දී ඇත.

■ පසුගිය මාසයේ මෙක්සිකෝවේ මැටමොරාස් නගරයේදී, තමන්ගේ වෘත්තීය සමිති වලට එරහිව කම්කරුවන් දස දහස් ගනනක් වැඩ නැවත්වීමත් සමග, ආරම්භ කෙරුනු මැකිලඩෝරා කම්කරුවන්ගේ වැඩවර්ජන ව්‍යාපාරය එජ මෙක්සිකෝ දේශ සීමාව දිගේ පැතිරෙමින් පවතී. අසල්වැසි රේනෝසා හී දලවශයෙන් ෆැක්ටරි 45 ක 8000ක් කම්කරුවන්, මැටමොරාස් හී සිය සහෝදර සහෝදරියන් දිනා ගත් සියයට විස්සක වැටුප් වැඩිවීම සහ ඇඩෝ 1700ක බෝනස් දීමනාව ඉල්ලා සිටී.

යුරෝපය

■ දීපව්‍යාප්ත පැය 24 ක වැඩ වර්ජනයක් අද (පෙබ 12) රාත්‍රී 10 ට බෙල්ජියමේ ආරම්භ කිරීමට නියමිතව ඇත. මෙම වැඩ වර්ජනයට තැපැල් සේවකයන්, ගුරුවරුන්, කුනු එකතු කරන්නන් සහ රෝහල් සේවකයන් එක්වනු ඇත. ගුවන් තොටුපල සේවකයන්ද වැඩවර්ජනය කිරීමට නියමිතය. ශර්ලර්වා-සවුත් බ්‍රසල්ස් ගුවන් තොටුපල සම්පූර්නයෙන්ම වසා දැමෙනු ඇත. බ්‍රසල්ස් ගුවන් සේවය ගුවන් ගමන් 200ක් අවලංගු කර ඇති අතර 16,000ක් මගීන් වෙනුවෙන් ප්‍රන්සයේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ලීල් ද ඇතුලු වෙනත් ගුවන් තොටුපලවල් වලට ගුවන් යානා හරවා යවා ඇත. ජාතික දුම්රිය ජාලය දුම්රිය අවම ගනනක් ධාවනය කරනු ඇත.

■ සෙනසුරාදා කහ කබා විරෝධතාකරුවන් සමාජ අසමානතාවයට එරහිව සතිපතා පවත්වන මහජන විරෝධතාවයේ 13 වන විරෝධතාවය ප්‍රන්සය පුරා පැවැත්වූයේ, ජාතික සභාව විසින් මෑතකදී සම්මත කරන ලද, පොලීසියට තනිමතයට විරෝධතාවන් නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කල හැකි, මැක්රෝන් ආන්ඩුවේ “දාමරිකකම් විරෝධී” නීතියට අවනත නොවෙමින්ය. 116,000ක් මිනිසුන් රටපුරා පෙලපාලි වල ගමන් කර බව සංවිධායකයන් තක්සේරු කරයි.

ආසියාව සහ ෆැසිපික් සාගරය අවට කලාපය

■ උතුරු ඉන්දීය ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හී 200,000 කට වැඩි ආන්ඩුවේ සේවකයන් පසුගිය බදාදා තම පැරනි විශ්‍රාම වැටුප් සැලැස්ම නැවත ස්ථාපිත කිරීම ඉල්ලා සිටිමින් වැඩ නැවැත්වීය. වැඩ වර්ජනය සම්බන්ධීකරනය කරන වෘත්තීය සමිති සන්ධාන අද වැඩ වර්ජනයේ අවසාන දිනය වනු ඇතැයි නිවේදනය කර ඇත. ඉන්දියාව පුරා සිටින මිලියන ගනනක් කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් සහ තමිල්නාඩු ප්‍රාන්තයේ ගුරුවරුන් සහ රජයේ සේවකයන්ගේ පුලුල් වැඩවර්ජනයක් සම්බන්ධ කෙරුනු මෝඩි ආන්ඩුවේ පිලිවෙත් වලට එරෙහි දින දෙකක මහා වැඩ වර්ජනයකින් පසුවය මෙය සිදුවූයේ.

■ දලවශයෙන් 700ක් පමන තායිවානයේ සිටින චීන ගුවන්සේවයේ ගුවන් නියමුවන් සිකුරාදා සිට වැඩ වර්ජනයක නියැලී සිටින්නේ තායිපෙ සිට හොන්කොංග්, බැංකොක්, ලොස් ඇන්ජලීස්, මැනිලා සහ ටෝකියෝ දක්වා යාමට නියමිත වූ ගුවන් ගමන්ද ඇතුලත් අඩුම තරමේ ගුවන් ගමන් 60ක් අවලංගු කිරීමට හේතු වෙමිනි. අනෙකුත් ඉල්ලීම් වලට අමතර ව ගුවන් නියමුවන්, පැය අටකට වඩා වැඩි ගුවන් ගමන් සඳහා අතිරේක ගුවන් නියමුවන් එක් කිරීම සහ වසර අවසාන බෝනස් දීමනාවක් ගෙවීම ඉල්ලා සිටී.

■ නවසීලන්තයේ දලවශයෙන් 1.700ක් පමන කනිෂ්ඨ වෛද්‍යවරුන් මසක් ඇතුලත ඔවුන්ගේ තුන්වන පැය 48 වැඩවර්ජනය අඟහරුවාදා ආරම්භ කලේ ඔවුන්ගේ සේවා කොන්දේසි වලට දිගින් දිගටම එල්ල වන ප්‍රහාරයන් වලට එරහිවය. පැය 16 කටත් වඩා සේවා මුර දිගු කරන අතරම වැඩකිරීමට ඔවුන්ට බලකල හැකි අඛන්ඩ දින ගනන 12 දක්වා වැඩි කිරීම සඳහා වන ඉල්ලීම් මෙම ප්‍රහාරයන්ට ඇතුලත්ය. උද්ධමන ප්‍රතිශතයට වඩා වැඩි වැටුප් වැඩිකිරීමක් සඳහා බල කරන පැය 12ක වැඩවර්ජනයකට සහභාගී වී සිටින වින්නඹු මාතාවන් 1,000ක් වෛද්‍යවරුන් සමග එක් විය.

අප්‍රිකාව

■ දකුනු අප්‍රිකාවේ පිහිටි සිබේනි ස්ටිල්වෝටර් රත්‍රන් පතලෙහි ඇසෝසියේෂන් ඔෆ් මයින්වර්කර්ස් සහ කන්ස්ට්‍රක්ෂන් යුනියන් හී පහලොස් දහසක් සාමාජිකයන් මාසික ගෙවීමට ඇඩො 72 ක වැඩි වීමක් ඉල්ලා නොවැම්බර් මාසයේ සිට වැඩවර්ජනයක නියැලී සිටී. වැඩ වර්ජනයේ යෙදී සති එකොහලකට පසු රත්‍රන් පතල් සේවකයන් සමග සිබේනි ස්ටිල්වෝටර් ප්ලැටිනම් පතල් වල ඔවුන්ගේ සහෝදර සේවකයන් සම්බන්ධ විය.

■ පසුගිය සතිය පුරාවට 80,000ක් පමන සිම්බාබ්වේ ගුරුවරුන් වැඩ වර්ජනයක යෙදී සිටී. උද්ධමනයට අනුකූලව වැඩිවන වැටුප් වැඩිවීමක්ද ඇතුලු ගුරුවරුන්ගේ ඉල්ලීම් වලින් කිසිවක් ලබා දීම ආන්ඩුව ප්‍රතික්ෂේප කර තිබියදීත් සිම්බාබ්වේ ගුරු වෘත්තීය සමිතිය සහ ප්‍රගතිශීලී ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය විසින් සඳුදා අරගලය නවතා දැමීය.

අවුරුද්දේ මෙම සමාරම්භක දර්ශන ජාත්‍යන්තරවාදයේ ප්‍රබල සත්‍යාපනයකි. එක් හෝ වෙනත් රටක සිටින කම්කරුවන් තමන්ගේ අරගලයන් ඉතා සමීප ලෙස අන්තර් සම්බන්ධිත බව තේරුම් ගැනීමට පටන්ගනිමින් තිබේ. සමාජ අසමානතාවයේ එක දිගට වර්ධනය වන මට්ටම් මගින් ආවේශ ගැන්වුනු කම්කරුවන්ගේ ඉල්ලීම් සහ අරගල වල වර්ධනය වන පොදු බවක් ඇත.

පසුගිය මාසයේ එජ දේශසීමාවට ඇවිද ගිය මැටමෝරස් කම්කරුවන් ඔවුන්ගේ ඇමරිකානු සහෝදර සහෝදරියන්ගෙන් “අවදිවන” ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගෙන් බොහෝමයක් දෙනා එජ, කැනඩාවේ සහ ලෝකය පුරා කම්කරුවන් සූරාකන එකම මෝටර් රථ කොටස් කොම්පැනි වල සේවය කරයි. එජ යේ, කැනඩාවේ, යුරෝපයේ සහ අනෙකුත් කලාප වල සේවකයන් එකලස් කරන කොටස් ඔවුන් නිෂ්පාදනය කරයි.

එජ ගුරුවරුන්ගේ වැඩවර්ජන රල පෙන්නුම් කරන්නේ ඇමරිකානු කම්කරුවන් සැබවින්ම නැගිටීමට පටන්ගෙන ඇති බවයි. එජ කම්කරු සංඛ්‍යාන බියුරෝව මේ මස වාර්තා කලේ 2018 වසරේ වැඩවර්ජන වලට සහභාගී වූ කම්කරුවන් ගනන වසර 32ක් තුල ඉහලම අගය වාර්තා කල බවයි.

ලෝක ධනේශ්වර පද්ධතියේ අර්බුදයේ මුල් අවස්ථාවකදී එනම් 1930 දී ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කල ආකාරයට සමාජවාදී විප්ලවය ජාතික මට්ටමකදී සම්පූර්න කිරීම සිදුකල නොහැක්කකි. “සමාජවාදී විප්ලවය ජාතික කරලියෙන් ආරම්භ වෙයි, එය ජාත්‍යන්තර කරලියේ දිගහැරෙන අතර ලෝක කරලියෙන් සම්පූර්න වෙයි” යැයි ට්‍රොට්ස්කි පැහැදිලි කලේය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1988 තරම් ඈතකදී පැහැදිලි කල ආකාරයට අද දින පන්ති අරගලය ජාත්‍යන්තර වන්නේ අන්තර්ගතයෙන් පමනක් නොව ස්වරූපයෙන්ද එය ජාත්‍යන්තර වෙයි.

පන්ති අරගලයේ පුනර්ජීවනය, පැරනි, නිලධාරිවාදී සහ ජාතිකවාදී කම්කරු සංවිධාන වලට එරහි කැරැල්ලක ස්වරූපය ගනු ඇතැයි යන්නද හජාජාක අවධාරනය කලේය. එජ යේ ගුරුවරුන්ගේ වැඩවර්ජනය සහ මෙක්සිකෝවේ මැකිලඩෝරා කම්කරුවන්ගේ පුපුරන සුලු අරගලයද ඇතුලත්, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සහ ඒවාට එරහිව ක්‍රියාත්මක වන සාමාන්‍ය කම්කරුවන්ගේ කැරලි වල ස්වරූපය ගන්නා, වර්ධනය වන අරගලයන් මගින්, මෙයද තහවුරු වෙමින් පවතී.

එජ සහ කැනඩාව තුල ජීඑම් කම්හල් වසා දැමීම් සහ සේවකයන් දොට්ට දැමීම් වලට එරහිව, ඩබ්ලිව්එස්ඩබ්ලිව්එස් මෝටර්රථකම්කරුවා පුවත් හසුන සහ ක්‍රියාකාරී කමිටු වල සංවිධානයේ මෙහෙයුම් කමිටුව විසින් සංවිධානය කරන ලද පෙබරවාරි 9වනදා ඩිට්‍රොයිට් හී පැවති පෙලපාලිය තුල මෙම වෛෂයික ක්‍රියාවලිය සවිඥානික ප්‍රකාශනයක්, අත්කර ගත්තේය.

මෙක්සිකෝවේ මැටමෝරස් හී මෝටර් රථ කොටස් කම්කරුවන්ගේ, ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ, කුමන්ත්‍රනය කොට වැරදි වලට කොටු කල ඉන්දියාවේ මරුටි සුසුකි මෝටර්රථ කම්කරුවන්ගේ සහ තුර්කියේ ලෝහ කම්කරුවන්ගේ නියෝජිතයන් විසින් විරෝධතාවයට සුභාසිංශන ගෙන ආවෝය.

“සමූහ රැකියාවලින් දොට්ට දැමීම් වලට එරහිව අරගල කරන ඩිට්‍රොයිට් සහ මිචිගන් වල සිටින අපගේ මිතුරන් සමග එක්සත්භාවය! මැටමෝරස් හී කම්කරුවන් මිචිගන් හී සිටින කම්කරුවන් සමග එකමුතු වෙයි!” යැයි රැලියට ඉදිරිපත් කෙරුනු වීඩියෝවක මෙක්සිකෝවේ මැටමෝරස් හී ප්‍රහාරාත්මක කම්කරුවන් ප්‍රකාශයට පත් කලේය.

මැටමොරොස් කම්කරුවෝ රථවාහන කම්කරු කප්පාදුවට එරෙහි සසප විරෝධතාවට සහය දෙති

ලෝකයේ විවිධ ප්‍රදේශවල සිටින මෙම කම්කරුවන්, ඇමරිකානු සහ කැනේඩියානු කම්කරුවන් සමග ඔවුන් බෙදාගන්නා පොදු අවශ්‍යතාවන් සහ සෑම තැනකම සිටින කම්කරුවන්ට, ලෝක ධනවාදයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදයේ පන්ති අරගලය වර්ධනය කිරීමේ ඇති වැදගත්කම, හඳුනා ගනියි.

කෙසේවෙතත්, ජාත්‍යන්තර එකමුතුව සඳහා ඔවුන්ගේ ඓන්ද්‍රීය උත්සාහයට ප්‍රතිචාර දක්වන මහජන සංවිධානයක් හෝ මහජන පක්ෂයක් කිසිදු රටක නොපවතී යන කෲර යතාර්ථය සමග කම්කරුවන් තවමත් අභිමුඛ වෙයි. සෑම රටකම ඇති වෘත්තීය සමිති සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ජාතිකවාදී වැඩපිලිවෙලක් මත තමන්ව පදනම් කරගනිමින් සහ කම්කරුවන්ගේ අවශ්‍යතාවන් “ඔවුන්ගේ” සංගත ප්‍රභූවගේ සහ ඔවුන් විසින් අල්ලස් ලබාදුන් රජයේ නිලධාරීන්ගේ ඉල්ලීම් වලට යටකරමින් මුලුමනින්ම කුනුවී ඇත.

වෘත්තීය සමිති විසින් ඉදිරියට ගෙන එන ජාතිකවාදයට ප්‍රතිවිරුද්ධව, රැකියාවල සහ ජීවන කොන්දේසිවල ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීම සඳහා ෆැක්ටරි තුල සහ අසල්වාසයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන්ට කැඳවුම් කල සෙනසුරාදා උද්ඝෝෂනය පදනම් වූයේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සහ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් මතය.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයක් වර්ධනය කිරීම සඳහා සටන් කරන සහ එයට සවිඥානික ප්‍රකාශනයක් ලබා දෙන එකම සංවිධානය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජාතික ශාඛාවන් වන ලෝකය පුරා ඇති සමාජවාදී සමානතා පක්ෂයි.

“ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික සහ දේශපාලනික වැඩකටයුතු කම්කරු පන්තියේ වෛෂයික ව්‍යාපාරය සමග අන්තර්ඡෙදනය වෙමින් පවතී. එහි තීරනාත්මක-ප්‍රායෝගික විප්ලවවාදී ක්‍රියාකාරීත්වය, විප්ලවවාදී පන්ති අරගලයේ වර්ධනයේ සහ ප්‍රථිපලයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙමින් පවතී.” යනුවෙන් සඳහන් කරමින් 2019 ආරම්භයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිදු කල විශ්ලේශනය, සෙනසුරාදා සිදුවීම මගින් තහවුරු කෙරිනි.

කම්කරු පන්තිය එක්සත් කිරීමේ සහ නිදහස් කරගැනීමේ කේන්ද්‍රීය කාර්යය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ගොඩනැගීමයි. පන්ති සවිඥානික කම්කරුවන් සහ තරුනයන් කැපවිය යුතු කර්තව්‍යය මෙයයි.

නීල්ස් නිමුත්

Share this article: