වෝර්සෝ යුද සමුලුව

War summit in Warsaw

2019 පෙබරවාරි 15

මේ සතියේ එක්සත් ජනපද හා පෝලන්ත ආන්ඩු විසින් ඒකාබද්ධ ව සත්කාරකත්වය දරන ලදුව, “මැද පෙරදිග තුල සාමකාමී හා ආරක්ෂිත අනාගතයක් දිරිගැන්වීම” යන ව්‍යාජ බැනරය යටතේ පවත්වන ලද සමුලුව, තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක් දෙසට මනුෂ්‍ය වර්ගයා ඇදගෙන යාමට එක්සත් ජනපදයේ සූදානම් වීමේ යෝධ හා ක්ෂනික තර්ජනය එලිමහනට ගෙනැවිත් ඇත.

මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා පෝලන්තයට පියාසර කල එකම ප්‍රමුඛ ආන්ඩු නායකයා වූ ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, සමුලුවේ මුව විට වෝර්සෝ නුවර දී සම්මුඛ සාකච්ඡාවට සහභාගි වෙමින් එහි වැදගත්කම වන්නේ, එය “ඉදිරිපෙල අරාබි රටවල නියෝජිතයන් ඊස්රායලය සමග එකට වාඩි වී ඉරානය සමග යන යුද්ධයේ පොදු අවශ්‍යතා සාකච්ඡා කරන විවෘත රැස්වීමක් වීම” යි යනුවෙන් ප්‍රකාශ කලේ ය.

මෙම යුදවාදී ප්‍රකාශයේ පාඨය ඉන් පසු ඊස්රායල අගමැතිවරයාගේ ට්විටර් ගිනුමේ පලකරනු ලැබී ය. ඉන් අනතුරු ව එක්සත් ජනපද හා පෝලන්ත අනුග්‍රාහකයන්ගේ දේශපාලන පීඩනය හේතුවෙන් යයි පැහැදිලි වන ප්‍රතිඵලය නිසා ට්විටර් පනිවුඩය “ඉරානය සමග සටන් කිරීමේ පොදු අවශ්‍යතා පෙරට දැමීම සඳහා” යි වෙනස් කරනු ලැබී ය.

බොහෝ මාධ්‍ය නෙතන්යාහුගේ මුල් ප්‍රකාශය සලකන ලද්දේ අත්වැරැද්දක් ලෙස ය. එහෙත් එය කිසිසේත් එවැන්නක් නො වී ය. වැඩෙන දූෂන සෝලි මධ්‍යයේ මාස දෙකකින් අනතුරු ව පැවැත්වෙන මැතිවරනයකට මුහුන දෙමින් තම දක්ෂිනාංශික පදනම රැලි කරගැනීම සඳහා උත්සුක වන ඊස්රායල අගමැතිවරයා, වෝර්සෝ සමුලුව තමන්ගේ ම දේශපාලන අවශ්‍යතාවන්ට යෝග්‍ය වන නිසා එහි සැබෑ ඉලක්කයන් තියුනු වචන වලින් විස්තර කරමින් සිටියේ ය.

ඊස්රායලයෙන් ද වෝර්සෝ සමුලුවේ දී හොඳින් නියෝජනය වුනු පර්සියානු ගල්ෆ් කලාපීය රාජාන්ඩුමය ආඥාදායකත්වයන්ගෙන් ද ට්‍රම්ප් පරිපාලනය විසින් වාත්තු කරනු ලබන ඉරාන-විරෝධී අක්ෂයේ කුලුනු දෙක සමන්විත වෙයි.

සමුලුවේ අව්‍යාජ අභිප්‍රාය, “සාමය” හා “ආරක්ෂාව” පිලිබඳ කතන්දර සමගින් ආවරනය කිරීමට එක්සත් ජනපද හා පෝලන්ත නිලධාරීන් දැරූ උත්සාහයන් හාස්‍යජනක ය. රැස්වීම කිසිදු තනි රටක් පිලිබඳ ව උත්සුක නො වන බව අවධාරනය කල පෝලන්ත නිලධාරීහු, එය උනන්දු වන්නේ කලාපය මුහුන දී සිටින ආයුද බහුලත්වය, ත්‍රස්තවාදය, යුද්ධය වැනි “තිරස් ප්‍රශ්න” පිලිබඳ ව යයි අවධාරනය කල හ. එහෙත් අවසානයේ ඔප්පු වූයේ, මෙම සෑම ගැටලුවක ම මුලට ඉරානය සිටි බව යි.

“තවත් හොලෝකෝස්ටයක්” පිලිබඳ ව තර්ජනය කිරීම ද ඉරාකය, සිරියාව හා ලෙබනනය හරහා “බලපෑමේ ද්වාරයක්” විවෘත කරගැනීම මගින් පර්සියන් අධිරාජ්‍යය ප්‍රතිනිර්මානය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් ද ටෙහ්රානය හෙලාදකින ලද බකතපස් දේශනයක් එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් විසින් පවත්වනු ලැබී ය.

තම කතාව බයිබලයේ සැඳහුම් සමගින් සරසමින් විශ්වාසය හා දෙවියන් මැද පෙරදිගට සාමය ගෙන එනු ඇතැයි කියා සිටි පෙන්ස්, “ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන ප්‍රධාන රාජ්‍යය හා අප මෙහි රැස්වීමට හේතු වූ කලාපය තුල විශාලතම හානිය හා විශාලතම විසංවාදය වපුරන රාජ්‍යය” ලෙස ඉරානය හෙලාදුටුවේ ය.

“ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන ප්‍රධාන රාජ්‍යය” යන මෙම යෙදුම පිලිකුල් දනවන ලෙස එක්සත් ජනපද නිලධාරීන් විසින් පුනරුච්ඡාරනය කර ඇත්තේ, එම චෝදනාව කරුනු හෝ සාක්ෂි සමගින් තහවුරු කිරීමට උත්සාහ නොදරමිනි. මෙම චෝදනාව කරන්නේ, ලිබියාව හා සිරියාව යන රටවල් දෙකෙහි ම තන්ත්‍ර-මාරු කිරීම සඳහා උත්සාහ දරමින් අල් කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් විසින් කරගෙන යන ත්‍රස්තවාදී යුද්ධවලට ඩොලර් බිලියන ගනන් අරමුදල් යෙදවූ ආන්ඩුවක් විසිනි.

වෝර්සෝ සමුලුව පැවැත්වෙද්දී පවා, ඉරානයේ පාකිස්තාන දේශසීමාවේ දිගේලි කරනු ලැබ සිට ආපසු පැමිනෙමින් සිටි විප්ලවීය හමුදාවේ සාමාජිකයන් අවම වසයෙන් 27ක් වත් ත්‍රස්තවාදී මරාගෙන බෝම්බ තැබීමක් විසින් බිලිගත්තේ ය. අරාබි ලෝකයේ වොෂින්ටනයේ ප්‍රධාන සගයා වන සවුදි අරාබියට සම්බන්ධ අල් කයිඩාවේ සෙවන ලබන කන්ඩායමක් ප්‍රහාරය පිලිබඳ වගකීම බාරගත්තේ ය.

“විශාලතම හානිය හා විශාලතම විසංවාදය වපුරන රාජ්‍යය” යන්න සලකන කල, සමස්ත සමාජයන් බිමට සමතලා කරමින් හා මිලියන ගනන් මරා දමමින්, අංගවිකල කරමින් හා අවතැන් කරමින් ශතවර්ෂ කාලක් තිස්සේ නොනවතින හා විනාශකාරී යුද්ධ කලාපය තුල දියත් කර ඇති වොෂින්ටනයේ මුහුනට ම, මෙම පදවිය සඳහා සමීප ව තරඟ කල හැකි යයි කවරෙකුට හෝ කිව හැකි ද?

තව ද පෙන්ස්ගේ කතාවේ වඩාත්ම විසංගත අංශය යොමු වූයේ, ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ පිලිවෙත අනුයෑමට අසමර්ථ වූ වොෂින්ටනයේ මද කලකට පෙරවූ පැරනි නැටෝ සගයන්ට එරෙහි ව ය. ජර්මනිය, ප්‍රන්සය හා එක්සත් රාජධානියෙන් ද 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබූ සියල්ලන්ගෙන් ද එක්සත් ජනපද උප ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ, එම ගිවිසුම ඉරා දමමින් යුද්ධයට සමාන වන ආර්ථික සම්බාධක පැටවීම සඳහා වොෂින්ටනයේ නායකත්වය අනුගමනය කරන ලෙස යි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද අනුග්‍රාහිත යුද රැලියක් ලෙස නිවැරදි ව දැකගන්නා ලද වෝර්සෝ සම්මේලනයට, එක්සත් රාජධානිය හැර වෙනත් කිසිදු යුරෝපීය බලයක් විදේශ ඇමති වැනි නියෝජිතයෙකු යැවුවේ නැත. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම් සාකච්ඡාවන්ට සහභාගි වුනු යුරෝපීය විදෙස් පිලිවෙත් ප්‍රධානී ෆෙඞ්රිකා මොගෙරිනි ද එයට සහභාගි වීම ප්‍රතික්ෂේප කලා ය.

“ඉරානයේ මිනීමරු විප්ලවීය තන්ත්‍රයට එරෙහි ඇමරිකානු සම්බාධක බිඳ දැමීමට” උත්සාහ දැරීම ගැන “අපේ සමහර ප්‍රධාන යුරෝපීය සහකරුවන්ට” පෙන්ස් චෝදනා කලේ ය. ඔහු සැඳහුම් කලේ, එක්සත් ජනපදයේ දේශසීමාවෙන් පිටස්තර විශාල පරාසයකට විහිදෙන සම්බාධකවලින් වැලකීම සඳහා, ඍජු මූල්‍ය ගනුදෙනු හෝ එක්සත් ජනපද ඩොලරය භාවිතයෙන් තොර ව යුරෝපීය සමාගම් හා ඉරානය අතර භාන්ඩ හුවමාරු කිරීමට අවසර දීම පිනිස එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රන්සය විසින් හඳුන්වා දී ඇති මූල්‍යමය යාන්ත්‍රනය පිලිබඳ ව යි. මෙම පියවර ගන්නා ලද්දේ, ඉරාන න්‍යාෂ්ටික ගිවිසුමට මුක්කුව දීමට හා ගිවිසුම නිසා ටෙහ්රානයට ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවූ සහන නොලැබීම ඉදිරියේ ටෙහෙරානය විසින් එය අත්හැර දැමීම වැලැක්වීමටය.

න්‍යෂ්ටික ගිවිසුම අහෝසි කරමින් හා අනුමාන කල හැකි පරිදි ඉරානය සමග යුද්ධයට සූදානම් වෙමින් “අප සමග සිට ගන්නා” ලෙස එක්සත් ජනපද උප ජනාධිපතිවරයා යුරෝපීය බලයන්ට අනකලේ ය. ඉරානය න්‍යෂ්ටික ගිවිසුමට අනුකූල ව කටයුතු කරන බව පිලිගත් පෙන්ස්, ප්‍රශ්නය වන්නේ අනුකූල ව කටයුතු කිරීම නො ව ගිවිසුමේ ම නුසුදුසු භාවය යයි ප්‍රකාශ කලේ ය.

කලාපයේ එක්සත් ජනපද ආධිපත්‍යයෙහි කඩ ඇනය වූ එක්සත් ජනපද පිටුබය ලත් ෂා ආඥාදායකත්වය බලයෙන් පහකල 1979 විප්ලවය හේතුවෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉරාන කම්කරු හා දුගී මහජනතාවන්ට කිසි කලෙක සමාව දී නැත. අයතුල්ලා කොමෙයිනි යටතේ ස්ථාපනය කල ධනේශ්වර-ආගමික තන්ත්‍රයක් විසින් විප්ලවය පැහැර ගනු ලැබුව ද තන්ත්‍ර-මාරුවක් සිදුකර එක්සත් ජනපදයේ රූකඩ ආඥාදායකත්වයක් යලි පිහිටුවීමට අඩු කිසිවක් පිලිගැනීම වොෂින්ටනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජනපද සම්බාධක තන්ත්‍රය වැලකීමට දරන ඕනෑම උත්සාහයක් “යුරෝපය හා එක්සත් ජනපදය අතර වඩා වැඩි දුරස්ථ භාවයක් නිර්මානය කරනු” ඇතැයි තම වෝර්සෝ කතාවේ දී පෙන්ස් අනතුරු ඇඟවී ය.

එක්සත් ජනපදය විසින් 2003 දී ඉරාකය ආක්‍රමනය කරා වූ ධාවනයේ දී, අපරාධකාරී ආක්‍රමනශීලී යුද්ධයට ජර්මනිය හා ප්‍රන්සය දැක්වූ විරුද්ධත්වය, එම රටවලට “පැරනි යුරෝපය” ලෙස සැඳහුම් කරමින් එවකට ආරක්ෂක ලේකම් වූ ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ් විසින් අවඥාවට ලක්කලේ, ප්‍රධාන වසයෙන් පෝලන්තය ඇතුලු නැගෙනහිර යුරෝපා තන්ත්‍රයන්ගෙන් සැදුම් ලත් “නව යුරෝපයකින්” එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහයෝගය ලැබීම ප්‍රශංසාවට ලක්කරමිනි.

මැද පෙරදිග කටයුතුවල දී සුවිශේෂී තීරනාත්මක භූමිකාවක් ඉටුකර නැති පෝලන්තය විසින් ඉරාන යුද සමුලුවට අනුග්‍රාහකත්වය දීම, “පැරනි” යුරෝපයට එරෙහි ව “නව” යුරෝපය පිහිටුවීමේ මෙම පූර්ව උත්සාහය පුනරුත්ථාපනය කරයි.

ඉරාන-විරෝධී කුරුස යුද්ධයට වෝර්සෝවේ සහයෝගය, රුසියාවෙන් එතැයි උපකල්පිත ඕනෑම තර්ජනයකට එරෙහි ව පෝලන්තය තුල එක්සත් ජනපද මිලිටරිය ස්ථීර ව රැඳී සිටීමක් සුරක්ෂිත කරගැනීමට දක්ෂිනාංශික ආන්ඩුව දරන උත්සාහය සමග බැඳී තිබේ. පසුගිය වසරේ සැප්තැම්බරයේ ධවල මන්දිර මාධ්‍ය හමුවක දී කතා කල පෝලන්ත ජනාධිපති අන්ද්‍රසේ ඩූඩා, පෝලන්ත භූමිය මත “ට්‍රම්ප් බලකොටුවක්” ඉදිකිරීමට ඔහුගේ ආන්ඩුවට පවතින අභිලාෂය ප්‍රකාශ කලේ ය.

“සාමය” හා “ආරක්ෂාව” යොදාගෙන වෝර්සෝ සමුලුවේ දී හඬනැගූ ඉරාන-විරෝධී කර්කශ පූච්චානම් සමාන වූයේ, පෝලන්තය තුල උපාමාරු දැමීම සඳහා භටයන් යොදාගෙන සමුලුවේ පෙනී සිටි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දේශනා කල රුසියාවට එරෙහි දෝෂදර්ශනයට යි.

සීතල යුද සමයේ ජර්මනියේ යුද ටැංකි නිලධාරියෙක් ලෙස තමන්ගේ මිලිටරි වෘත්තීය පිලිබඳ ව පොම්පියෝ ස්මරනය කලේ ය. ඒ සමයේ සිදුකෙරෙතැයි උපකල්පනය කෙරුනු බටහිර යුරෝපය තුලට කෙරෙන සෝවියට් ආක්‍රමනයක ගැටුම් ලක්ෂ්‍යය ලෙස ජර්මනියේ ෆුල්ඩා ගැප් දැකගත් අතර, “රුසියාවේ ආක්‍රමනශීලීත්වය” නිසා පෝලන්තය දැන් එවැනි ස්ථානයක් භජනය කරන බව ඔහු ප්‍රකාශ කලේ ය.

අද දින වොෂින්ටනයේ “පැරනි යුරෝපීය” හිටපු සගයන්ට විරුද්ධ ව “නව යුරෝපයේ” දක්ෂිනාංශික තන්ත්‍රයන් කෙටවීමට වොෂින්ටනය දරන උත්සාහය, හුදෙක් ඉරානය තුල රුධිරස්නානයක් සමග පමනක් නො ව නව ලෝක යුද්ධයක් සඳහා සූදානම්වීම් සමග ද බැඳී තිබේ. ලෝකයේ බලශක්ති මූලාශ්‍ර මත අනභිබවනීය පාලනය පිහිටුවා ගැනීම සඳහා ඉරානය, මැද පෙරදිග, මධ්‍යම ආසියාව හා වෙනිසියුලාව මත ආධිපත්‍යය අවධාරනය කරගැනීමට අධිෂ්ටානවත් ව සිටින එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ඒ හරහා එහි ප්‍රධාන ගෝලීය ප්‍රතිමල්ලවයා වන චීනයට එම මූලාශ්‍ර වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව අහිමි කිරීමට මාන බලයි.

එහි සියලු හාස්‍යජනක අංශ හා රත් වුනු පූච්චානම් සියල්ල සමගින් වෝර්සෝ සමුලුවට පවතින්නේ මාරාන්තික තීරනාත්මක අන්තර්ගතයකි. එය ලෝකයේ ප්‍රධාන න්‍යෂ්ටික බලයන් අතර තුන්වන ලෝක යුද්ධයක් කරා ධාවනයේ මංසලකි.

බිල් වෑන් ඕකන්

Share this article: