බර්නී සෑන්ඩර්ස් 2020 ජනාධිපතිවරන උද්ඝෝෂනය නිවේදනය කර යි

Bernie Sanders announces 2020 presidential campaign

2019 පෙබරවාරි 20

සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස් අඟහරුවාදා වර්මොන්ට් ප්‍රාන්ත රජයේ ගුවන් විදුලියේ ද යූ ටියුබ් වෙත නිකුත් කල වීඩියෝවක ද තමන් 2020 මැතිවරනයේ දී ජනාධිපති තනතුරු සඳහා ඩෙමොක්‍රටික් පක්ෂ නාමයෝජන ලබා ගැනීමට උත්සාහ කරන බවට අපේක්ෂිත නිවේදනය කලේ ය. සෑන්ඩර්ස් උද්ඝෝෂනයක් හෝ ගවේෂක කමිටුවක් යෝජනා කල 10වැනි ඩෙමොක්‍රටික අපේක්ෂකයා වන අතර අඩු වශයනේ තවත් 16දෙනෙකු ජනාධිපති තනතුර සඳහා තරඟ කිරීම ක්‍රියාශීලීව සලකා බලමින් සිටි.

2016දී, සෑන්ඩර්ස් සමාජ අසමානතාවට එරෙහිව සටන් කිරීමේ පොරොන්දුව මත කම්කරුවන් හා තරුනයන්ගෙන් පුලුල් සහයක් ආකර්ෂනය කර ගත්තේ ය. ඔහු සමාජ අසමානතාව ප්‍රතික්ෂේප කිරීම හා “බිලියනපති පන්තියට ” එරෙහිව ඔහු “දේශපාලන විප්ලවයක්” ඉල්ලා සිටීමට සවන් දීමට විශාල ප්‍රේක්ෂක සමූහයක් හැරුනි. ඩෙමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයට කම්පනයක් මෙන් ම බියක් ද අපේක්ෂකයාට ම පුදුමයක් ද ඇති කරමින් සෑන්ඩර්ස් මිලියන 13ට වඩා ඡන්ද ලබා ගත්තේ, මිචිගන්, ඉන්දියානා හා විස්කොන්සින් මලකඩ තීරුවේ (පරිහානිගත කාර්මික තීරුව-පරිවර්තක) ප්‍රාන්තවල හිලරි ක්ලින්ටන්ට එරෙහි ව අනපේක්ෂිත ජයග්‍රහන ලබා ගනිමිනි.

ඔහු මහජන සහයෝගය දිනමින් සිටිය දී පවා, විකී ලීක්ස් විසින් ප්‍රසිද්ධ කෙරුනු ඊමේල් පෙන්වා දුන්නේ සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනය යටින් හාරා දැමීමට හා ඇගේ යුද ගැති හා ව්‍යාපාර ගැති ප්‍රතිපත්ති හේතුවෙන් කම්කරුවන් හා තරුනයන් විසින් පුලුල් ලෙස වෛර කෙරුනු, ක්ලින්ටන් පක්ෂයේ තේරීම වනු ඇති බව තහවුරු කිරීමට ක්ලින්ටන් උද්ඝෝෂන මෙහෙයුම ඩෙමොක්‍රටික් ජාතික කමිටුව සමග වැඩ කරමින් සිටි බව යි.

මෙම හානිකර හෙලිදරව්ව නො තකා, සෑන්ඩර්ස් තමා පවරා ගත් කාර්යභාරය ඉටු කලේ, පක්ෂ සම්මේලනයේ දී ක්ලින්ටන්ගේ නාම යෝජනා අනුමත කරමින් හා වෝල් වීදිය, මිලිටරි/ඔත්තුසේවා සංස්ථාපිතයන්ගේ මනාප අපේක්ෂිකාව සඳහා ඡන්දය දීමට තම ආධාරකරුවන්ට උපදෙස් දෙමිනි. ඔහුගේ දේශපාලන විප්ලවයේ ප්‍රතිපලය මෙය විය.

සෑන්ඩර්ස්ගේ පලමු මැතිවරන උද්ඝෝෂනයේ සිට සමාජ හා දේශපාලන ජීවිතයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇති වී ඇත. ගෙවී ගිය දෙවසර එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර ව පන්ති අරගලයේ හදිසි නැගීමක් අත්දැක ඇත. 2018 වර්ෂයේ එක්සත් ජනපදය තුල වැඩවර්ජන වසර 32ක කාලය තුල පැවති ඉහල ම ඒවා විය. පසු ගිය වසරේ බටහිර වර්ජීනියා ප්‍රාන්තයේ ඇරඹුන ගුරුවරුන්ගේ වැඩවර්ජන රැල්ල මෙම සතියේ යලි එම ප්‍රාන්තයට පැමිනි අතර කැලිෆෝනියාවේ ඔක්ලන්ඞ් හි ගුරුවරු දහස් ගනනක් වැඩවර්ජනයට සූදානම් වෙමින් සිටිති. පසු ගිය මාසයේ ලොස් ඇන්ජලීස් ගුරුවරුන් 33,000ට වඩා වැඩවර්ජවනවල නියලුනු අතර, පසු ගිය සතියේ ඩෙන්වර් නගරයේ 5,600ක් ගුරුවරු වැඩවර්ජනය කලහ. කම්හල් වැසීම හා වරදානවලට එරෙහි එක්සත් ජනපදය හා කැනඩාවේ මෝටර් රථ කම්කරුවන්ගේ විරෝධය වැඩි වෙමින් තිබෙන්නේ, මෙම වසර අවසානයේ දී කොන්ත්‍රාත්තු සාකච්ඡා නියමිතව තිබිය දී ය.

මෙක්සිකෝවේ මැකිලඩෝරා කම්කරුවන් දහස් ගනනක් තම වෘත්තීය සමිතිවලට එරෙහි ව කැරලි ගසමින් වැඩවර්ජනය කරමින් සිටිති, ප්‍රන්සයේ මැක්‍රෝන් ආන්ඩුවට එරෙහි කහ කබා විරෝධතා ඉදිරියට යමින් තිබෙන අතර, බි්‍රතාන්‍යය, ජර්මනිය, හංගේරියාව, ඉන්දියාව, දකුනු අප්‍රිකාව හා වෙනත් රටවල මහා වැඩවර්ජන පිපිරී ඇත.

වැඩෙමින් තිබෙන පන්ති අරගල රැල්ල සමාජවාදී ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය සමග අන්තර්ඡේදනය වනු ඇත යි පාලක පන්තිය බියවෙති.

තම වාර්ෂික සමූහ දේශනයෙන් පසු, සඳුදා ට්‍රම්ප් විසින් කරන ලද ෆැසිස්ට්වාදී කතාවේ වැදගත්කම මෙයයි. “සමාජවාදයේ අඳුරු හෝරාව අපගේ අර්ධගෝලයට පැමිනි ඇතැ”යි ට්‍රම්ප් ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ ප්‍රේක්ෂකයන්ට පවසුවේ, කොංග්‍රස් මන්ඩලය සැලකිල්ලට නො ගෙන එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ තාප්පයක් ඉදි කිරීමට මිලිටරිය බලමලු ගැන්වීමට හදිසි තත්වය ප්‍රකාශ කිරීමෙන් යන්තම් දින කීපයකට පසු ය. කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථාදායක අයිතීන් මත ට්‍රම්ප්ගේ ප්‍රහාරය කම්කරු පන්තිය හා සංගත හා මූල්‍ය ප්‍රභූවේ නියෝගයන්ට වන සියලු විරුද්ධත්වයන් මත යුද ප්‍රකාශ කිරීමකි.

ට්‍රම්ප් අපේක්ෂා කරන්නේ කුමක් වුවත්, එය සමාජවාදයේ “අඳුරු හෝරාව”නො ව, ඊට වෙනස් ව එහි අනෙක් පැත්ත යි. කම්කරු හා තරුන ජනයාගේ අරගල ඔවුන් පාලක පන්තිය හා ධනේශ්වර පද්ධතිය සමග ඍජු ගැටුමකට ගෙන එමින් තිබේ.

සෑන්ඩර්ස් කැරලිකාර කම්කරු ව්‍යාපාරයේ නියෝජිතයා නො වේ. ඩෙමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක තේරීමේ මුල් අවධියේ දී ජනමත විචාරන ඔහුගේ වැඩෙන සහයෝගය සටහන් කරමින් තිබුන අතරතුර, 2016 ෆෙබරවාරියේ දී ලෝසවෙඅ ලියු පරිදි: “ඊට වෙනස් ව ඔහු සමාජ හා පන්ති විභේදනයේ ආරම්භක අවධීන් පමනක් පසුකරමින් නැගෙන මහජන විරෝධී රැල්ලේ තාවකාලික ප්‍රතිලාභියෙකි.” සෑන්ඩර්ස් යනු මෙම ව්‍යාපාරයට පාලක පන්තිය තුලින් එන ප්‍රතිචාරය බව ලෝසවෙඅ පැහැදිලි කලේ ය. ඔහුගේ කාර්ය වූයේ ද වන්නේද සමාජ විරුද්ධත්වය ඩෙමොක්‍රටික් පක්ෂය පසු පසු යැවීමේ අකුනු සන්නායකය ලෙස සේවය කිරීම යි.

කැපීපෙනෙන ලෙස සෑන්ඩර්ස්ගේ ආරම්භක උද්ඝෝෂන ප්‍රකාශනයෙන් “ධනවාදය,” “සමාජවාදය,” “ෆැසිස්ට්වාදය,” “අධිරාජ්‍යවාදය,” “ජාත්‍යන්තරවාදය,” “සමානතාව” හෝ “කම්කරු පන්තිය” පිලිබඳ කිසි සඳහන් කිරීමක් නොමති ව ඉවත් කෙරුනි.

තම උද්ඝෝෂනය “අපගේ රට පරිවර්තනය කරමින් ආර්ථික, සමාජ, වාර්ගික හා පාරිසරික සාධාරනත්වයේ ප්‍රතිපත්ති මත පදනම් ආන්ඩුවක් නිර්මානය කිරීම සඳහා” යයි ඔහු අඟහරුවාදා ප්‍රකාශ කලේ ය. නමුත් ඩෙමොක්‍රටික් පක්ෂ වාහනය මගින් මෙය අත්පත් කර ගත හැක්කේ කෙසේ දැ යි යන්න ගැන ඔහු කිසිවක් පැවසුවේ නැත.

ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ කොර්ටෙස් වැනි පුද්ගලයන් සමග එක පෙලට, සෑන්ඩර්ස් විසින් ප්‍රචාරය කරනු ලබන අතිමූලික බොරුව වන්නේ ඩෙමොක්‍රටික් පක්ෂය වමට තල්ලු කල හැකි බව මෙන් ම ප්‍රගතිශීලී වෙනසක් සඳහා බලවේගයක් කල හැකි බව යි. මෙම දේශපාලනික ප්‍රබන්ධය උච්චාරනය කරමින් ජැකොබින් කර්තෘ මෙන් ම ප්‍රමුඛ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී(ඩීඑස්ඒ) සාමාජිකයෙකු වන භාස්කර් සුන්කාරා අඟහරුවාදා ගාර්ඩියන් පුවත්පතේ තීරු ලිපියක ප්‍රකාශ කලේ, “2016දී සෑන්ඩර්ස් විප්ලවයක් ආරම්භ කලේ ය. 2020දී ඔහුට එය අවසන් කල හැක” යනුවෙනි.

සෑන්ඩර්ස් ඩෙමොක්‍රටිකයන් වමට තල්ලු කරමින් සිටිතැ යි යන ප්‍රකාශය සැබෑ කරනුවලින් නිෂ්ප්‍රභා කෙරේ. ගෙවී ගිය දෙවසර තුල, ඩෙමොක්‍රටිකයන් තම ට්‍රම්ප් විරෝධය යොමු කර ඇත්තේ අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ ප්‍රශ්න, විශේෂයෙන් ම මැද පෙරදිග හා රුසියාවට එරෙහිව ආක්‍රමනකාරී මිලිටරි ක්‍රියා සඳහා ඉල්ලා සිටීම මත ය. “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහිව සටන් කිරීම නාමයෙන් අන්තර්ජාල වාරනය තීව්‍ර කිරීමක් ඉල්ලා සිටීමේ දී ඔවුන් මිලිටරි හා ඔත්තුසේවා සංවිධානවල ප්‍රමුඛ කන්ඩායම් සඳහා හොරනෑවක් ලෙස සේවය කර ඇත. මෙම දක්ෂිනාංශික වැඩ පිලිවෙලට විරුද්ධ වීම වෙනුවට ඊට සෑන්ඩර්ස් සහය දී තිබේ.

ඩෙමොක්‍රටිකයන් “දේශ සීමා ආරක්ෂාව” සඳහා ඩොලර් බිලියනකට වඩා සපයමින් සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වා ඇත්තේ, මිලිටරිය සඳහා අරමුදල් සැපයීමේ දී දැවන්ත වැඩිකිරීමකට සහාය දෙමින් සිටින අතර ය. සමාජ ශුභ සාධන වැඩසටහන් මත පාලනාධිකාරියේ ප්‍රහාරයන්ට මෙන් ම පොහොසතුන් සඳහා ඩොලර් ටි්‍රලියන ගනනක බදු කප්පාදු පනත්වලට ඔවුන් පහසුකම් සපයා දී ඇත.

#මීටූ දඩයම මගින් ද ඇතුලුව, ඩෙමොක්‍රටිකයන් කුරිරු ලෙස අනන්‍යතා දේශපාලනය ප්‍රචාරය කර ඇති අතර, එය සේවය කරන්නේ නියමිත පටිපාටිය හා නිවැරදි බව පිලිබඳ පූර්වානුමානය වැනි මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හාරා දමන අතර කම්කරු පන්තිය බෙදීමට ය. ආර්ථික අසමානතාවට වන විරුද්ධත්වය සමග සෑන්ඩර්ගේ හුදු සම්බන්ධයට පවා, තමන්ගේ ම පක්ෂය තුලින් තරවටු කෙරී ඇත. 2016දී මෙන්, එය බලාපොරොත්තු වන්නේ වෝල් වීදිය හා මිලිටරිය පසු පස ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කන්ඩායම් බලමුල ගැන්වීමට ඉලක්ක කෙරුනු දක්ෂිනාංශික උද්ඝෝෂනය සඳහා වර්ගය, ලිංග භේදය හා ලිංගික දේශපාලනය පදනම කිරීමට ය.

“ප්‍රගතිශීලී” හා “කම්කරුවන්ට හිතැති” ඩෙමොක්‍රටිකයන් පිලිබඳ අත්දැකීම්වල අඩුවක් නැති තර, ඔවුන් හැම විටම විනාසයකින් අවසන් වේ. ඩෙමොක්‍රටික් පක්ෂය සියලු ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරවල සොහොන් භූමියයි. සෑන්ඩර්ස් නැවත වතාවකත් උත්සාහ කරමින් සිටින්නේ කම්කරු පන්තිය හා තරුනයන් දේශපාලන ආවෘත අන්තයට තල්ලු කර දැමීමට යි.

සමාජ අසමානතාව හා පොහොසතුන්ගේ ඒකාධිපතිත්වය තුරන් කිරීම, හා යුද්ධය, ෆැසිස්ට්වාදය හා ආධිපත්‍යවාදයේ අනතුරට එරෙහි විරුද්ධත්වය, අශ්ලීල ලෙස පොහොසත් හා පරපුටු කතිපයාධිකාරියක් විසින් ඉහල සිට පහලට ආධිපත්‍ය දරන ධනේශ්වර සමාජ ව්‍යුහයක් ඔස්සේ සුළු ප්‍රතිසංස්කරන හරහා (ඒවා ම අත්පත් කරගැනීමට අපහසු), දාර පෑස්සීමෙන් අත්පත් කර ගත නො හැකි වනු ඇත. කම්කරු පන්තියේ උත්සුකයන් ආරක්ෂා කර ගත හැකිවනු ඇත්තේ එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර ව සමාජ හා ආර්ථික ජීවිතයේ අතිමූලික හා විප්ලවවාදී ප්‍රතිසංවිධානය ඔස්සේ පමනි.

සමාජ සමානතාව හා අවංක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල හැක්කේ සමාජවාදය ස්ථාපිත කිරීම මගින් පමනි. මෙයට කම්කරු පන්තිය අතට බලය ගැනීම සඳහා සංවිධාන ගොඩනැගීම, පොහොසතුන්ගේ දේපල අස්වාමික කිරීම, හා යෝධ සමාගම් මහජනයා විසින් පාලනය කෙරෙන උපයෝගිතාවන් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය ය. ධනේශ්වර පද්ධතියට ම ඍජු ප්‍රහාරයක් එල්ල නො කර දිනා ගත හැකි දෙයක් නැත.

නයිල්ස් නීමුත්

Share this article: