ශ්‍රී ලංකාවේ වතු සමාගම්, වෘත්තීය සමිතිවල පාවාදීමෙන් පසු, වැඩිදුර වැටුප් වැඩිකිරීම ප්‍රතික්ෂේප කරති

Sri Lankan plantation companies rule out further wage increases after union sellout

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2019 පෙබරවාරි 13

පසුගිය සිකුරාදා අදහස් දැක්වූ ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ඔබේසේකර, කම්කරුවන්ගේ සොච්චම් වැටුප් කිසිදු ලෙසකින් වැඩිකිරීමක් ප්‍රධාන වතු සමාගම් විසින් පිලි නො ගන්නා බව පැහැදිලි කලේ ය.

ඒ වෙනුවට, මෑත දී වෘත්තීය සමිති විසින් අත්සන් කල පාවාදීමේ සාමූහික ගිවිසුම අනුයමින් සමාගම් විසින් පීඩිත වතු කම්කරුවන් සූරාකෑම තීව්‍ර කරනු ඇත. ගිවිසුමෙන් නාමික වැටුප් වැඩිකිරීමක් සිදු කෙරෙන අතර කලින් පැවති දීමනා කපා දැමෙයි.

ඔබේසේකර ඬේලි එෆ්ටී වෙත කී පරිදි: “වැටුප් වැඩිකිරීම හේතුවෙන් අපට දැනට මත් රුපියල් බිලියන 9 ක් අහිමි වී ගොස් තිබෙන අතරේ කර්මාන්තයට තවදුර වැඩිකිරීම් දරාගත නොහැක.” ඔහුගේ ප්‍රකාශයන් ඉඟි කරන්නේ, වෘත්තීය සමිතිවල හවුල්කාරීත්වය ද සමගින් වැඩ කොන්දේසි හා දීමනා මත ප්‍රහාර තීව්‍ර කිරීම හරහා සමාගම් විසින් වැඩිකිරීම් හිලවු කරගැනීමට උත්සාහ දරන බව යි.

ඔබේසේකර මෙම අදහස් පලකලේ, වතු කම්කරුවන්ගේ කෝපය සමනය කිරීම සඳහා දීමනා යලි ලබාදෙන ලෙස ආයාචනා කල වෘත්තීය සමිති කිහිපයක් සහ වැවිලිකරුවන්ගේ සංගමය අතර පෙබරවාරි 8 දා පැවති සාකච්ඡාවලින් අනතුරු ව ය. නව ගිවිසුම යටතේ අහෝසි කර ඇති ප්‍රතිලාභ අතරට රුපියල් 140ක මාසික දීමනාවක් හා රුපියල් 60 ක දිරි දීමනාවක් ඇතුලත් ය.

ජනවාරි 28 දා ගිවිසුමට, වතු සමාගම් වෙනුවෙන් ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය සහ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) හා ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) අත්සන් තැබූ හ.

මූලික දෛනික වැටුප සියයට 100කින් රුපියල් 1,000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් කම්කරුවන් නිරත වූ දිග්ගැස්සුනු කාර්මික හා දේශපාලන ක්‍රියාව අවසන් කිරීමට වෘත්තීය සමිති, සමාගම් හා ආන්ඩුව දැරූ උත්සාහයන්ගේ ප්‍රතිඵලය වූයේ මෙම ගිවිසුම යි.

ගිවිසුම කම්කරුවන්ගේ ඉල්ලීම්වලට ඇන ගැසී ය. එය දෛනික මූලික වැටුප වැඩිකරන්නේ රුපියල් 500 සිට 700 දක්වා පමනි. මිල කොටස් පූරන දීමනාව රුපියල් 30 සිට 50 දක්වා වැඩිකිරීම සමගින් දෛනික දල වැටුප යන්තම් රුපියල් 750ක් වනු ඇත.

පාවාදීමේ ගිවිසුම නිවේදනය කිරීම කම්කරුවන් අතරින් පලල් විරෝධයක් හා විරෝධතා පැනනැංවී ය.

ගිවිසුමට අත්සන් නො කල ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) එතැන් පටන් අහිමි කල දීමනා යලි ලබා දෙන ලෙස ආන්ඩුවෙන් හා සමාගම්වලින් ඉල්ලා ඇත. ඔවුන් මංමුලා සහගත ව උත්සාහ දරන්නේ වෘත්තීය සමිතිවලට එරෙහි කැරැල්ලක් වැලැක්වීමට යි.

සියයට 100 ක වැටුප් වැඩිවීමක් සඳහා කම්කරුවන් ගෙන ගිය අරගලයට මුල පටන් විරුද්ධ වූ මෙම සමිති, පාවාදීමට මග පෑදූ හ.

වතු කම්කරුවන් මත ප්‍රහාර හසුරුවන දේශපාලන සංස්ථාපිතය තුලට සමිති නායකයෝ මුලුමනින්ම ඒකාග්‍ර වී ඇත්තා හ. එන්යූඩබ්ලිව්, ඩීපීඑෆ් හා යූපීඑෆ්හි ප්‍රධානීන් වන පී. දිගම්බරම්, මනෝ ගනේෂන් හා ආර්. රාධාක්‍රිෂ්නන් වර්තමාන ආන්ඩුවේ ඇමතිවරුන් ය.

ඔවුන්ගේ මවාපෑමේ කොටසක් ලෙස, මෙම සමිති නායකයෝ තිදෙනා දීමනා යලි ලබාදීම පිලිබඳ ඔවුන්ගේ ඉල්ලීම ලබා නොදුනහොත් ආන්ඩුවෙන් ඉල්ලා අස්වන බවට ඉඟි කල හ.

ගිවිසුම කෙරෙහි වැඩෙන විරුද්ධත්වය පෙරලොප් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සාමූහික ගිවිසුම පිලිබඳ ගැසට් නිවේදනය කල්දමා ඇත.

එහෙත් ආන්ඩුව ගිවිසුමකට දෙන පූර්න පිටුබලය දැනට මත් පෙන්වා ඇත. අගමැති කාර්යාලයේ පෙබරවාරි 8දා පැවති සාකච්ඡාවක දී වැවිලිකරුවන්ගේ සංගමය යලි වතාවක් පැහැදිලි කලේ තමන් කිසිදු දීමනාවක් යලි ලබා නොදෙන බව යි. වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක හා කම්කරු ඇමති රවීන්ද්‍ර සමරවීර සාකච්ඡාවට සහභාගි වූ හ.

එහෙත් දිගම්බරම් උත්සාහ දරා ඇත්තේ ගිවිසුමට ආන්ඩුවේ ආශීර්වාදය තිබෙන බව වසං කිරීමට යි. පෙබරවාරි 8දා හැටන් අසල දික්ඔය දී පැවති රැස්වීමක දී ඔහු ප්‍රෝඩාකාරී ලෙස කියා සිටියේ, එන්යූඩබ්ලිව්, ඩීපීඑෆ් හා යූපීඑෆ්හි පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස දීමනා සම්බන්ධයෙන් ආන්ඩුව “සාධාරන තීන්දුවක්” සඳහා සහතික වනු ඇති බව යි.

ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (ජේපීටීයූසී) ලේකම් එස්. රාමනාදන්, දීමනා යලි ලබා නොදුනහොත් නීතිමය පියවර ගැනීමට පොරොන්දු වී තිබේ. මෙය වනාහි, අත්‍යන්තයෙන් ම සමාගම් හා මහ ව්‍යාපාරිකය වෙනුවෙන් පෙනී සිටිනු ඇති උසාවි වෙත කරන ආයාචනාවන් වෙතට කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීමේ උත්සාහයකි.

ජේපීටීයූසීය සැදුම් ලද්දේ ලංකා සම සමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරන වෘත්තීය සමිතිවලිනි. එය හාම්පුතුන් සමග ගනන් නැති පාවාදීමේ ගිවිසුම්වලට අත්සන් තබා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම සන්ධානයට සිටින්නේ කිහිප සියයක සාමාජිකත්වයක් පමනි.

වැදගත් දෙය වන්නේ, කම්කරුවන්ගේ අයිතීන් මත ප්‍රහාරය ගැඹුරු කිරීම ඉලක්ක කර ගිවිසුමට ඇතුලත් කර තිබෙන මූලික වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් එන්යූඩබ්ලිව්, ඩීපිඑෆ්, යූපීඑෆ් හා ජේපීටීයූසී මුලුමනින් ම නිහඬ වීම යි. උදාහරනයක් ලෙස, එක් වගන්තියක් සඳහන් කරන්නේ “වැවිලිකාර මාදිලිය” ලෙස ද විස්තර කරන “ආදායම් බෙදාගැනීමේ ක්‍රමය” ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති වතු සමාගම්වලට උදවු කරන බව යි.

මෙම ක්‍රමයේ ඉලක්කය වන්නේ දැනට පවතින වැටුප් ක්‍රමය අහෝසි කොට කම්කරුවන් අඳගොවියන් බවට පරිවර්තනය කිරීම යි. එහි අභිප්‍රාය වන්නේ කම්කරුවන් සූරාකෑම යෝධ ලෙස තීව්‍ර කොට ඔවුන් ව අංශුවලට විසිරවීම යි.

වෘත්තීය සමිති “වතුවල කාර්යක්ෂමතාව හා ඵලදායකත්වය වර්ධනය කිරීමට සහයෝගය දෙමින් කැපවන” බව ද ගිවිසුම ප්‍රකාශ කරයි. “මෙහෙයුම් ගැටලු වතු මට්ටමින් සාමකාමී ව විසඳාගැනීමට” ද වෘත්තීය සමිති පොරොන්දු වී ඇත.

කම්කරුවන් විනයගත කරමින් හා වැඩිදුර පිරිවැය කප්පාදු කිරීම් සඳහා සමාගම්වලින් අනවරත ව කරන ඉල්ලීම් පැටවීමට වෘත්තීය සමිති කාර්මික පොලිස් බලයක් ලෙස ක්‍රියාකරන බවට වන පොරොන්දු ය, මේ.

සමහර වෘත්තීය සමිති ගිවිසුම පිලිබඳ ව කරන සීමිත විවේචන අත්‍යන්තයෙන් ව්‍යාජ ය. ඔවුන් සියලු දෙනා ඔවුන් නියෝජනය කරනවා යයි ව්‍යාජ ව කියාපාන කම්කරුවන්ට විරුද්ධ ව සමාගම් හා ආන්ඩුව සමග එක්ව වැඩ කරති.

ශිෂ්ට සම්පන්න වැටුපක්, වෛද්‍ය හා නිවාස පහසුකම් සහ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුලු ඉල්ලීම් කම්කරුවන්ට සුරක්ෂිත කරගත හැක්කේ, වෘත්තීය සමිතිවලින් බිඳී ක්‍රියාකාරී කමිටු වැනි අරගලයේ නව සංවිධාන පිහිටුවීම හරහා පමනි.

සියල්ලට ඉහලින්, වතු මහජන අයිතිය හා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමක් අවශ්‍ය කෙරේ.

ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් සමාජවාදී සමානතා පක්ෂයේ සහයෝගය සහිත ව කැඳවා ඇති වතු කම්කරුවන්ගේ සමුලුවට සහභාගි වන ලෙස අපි කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලමු. මාර්තු 17දා හැටන් නගර ශාලාවේ දී පැවැත්වෙන මෙම සමුලුවෙහි තේමාව වන්නේ “වතු කම්කරු අරගලයේ පාඩම් සහ වැටුප් හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීමේ ඉදිරි මාවත” යන්න යි.

Share this article: