ඇමරිකාවේ හා ගෝලීයව ධන සමුච්ඡය ඉහල නඟී

Wealth concentration increases in US and globally

නික් බීම්ස් විසිනි, 2019 පෙබරවාරි 15

කැලිෆෝනියා විශ්වවිද්‍යලයේ ආර්ථිකවිද්‍යා මහාචාර්ය ගේබ්‍රියෙල් සුක්මාන් විසින් ධන අසමානතාව පිලිබඳව අලුතෙන්ම කරන ලද පරියේෂනයකට අනුව, 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව ඇතිව තිබෙන එක් ප්‍රධාන සමාජ ආර්ථික ප්‍රවනතාවක් සටහන් කරයි. සමාජය මුදුනේම සිටින අය, බිඳවැටීමට තුඩුදුන් එම සමපේක්ෂන නාඬගමෙන් කෙලින්ම වාසි සලසා ගත්තේය. ඔවුන් සිය ධන සමුච්ඡය වඩාත් වේගවත් වනු දැකගත් අතර විශාල ජනතා බහුතරයක් ප්‍රධාන පරිහානියකට මුහුන දුන්නේය.

මේ ප්‍රවනතාව වඩාත් කැපී පෙනෙන්නේ ඇමරිකාව තුලය. එහෙත් පසුගිය මාසයේ සුක්මාන් විසින් ප්‍රසිද්ධ කල පරියේෂනයට අදාලව අනෙකුත් රටවල ද සංඛ්‍යා හෙලිදරව් කෙරේ. ඔහුගේ විමසුමට අනුව ඇමරිකානු ජනගහනයේ මුදුනේම සිටින සියයට 1, එරට කුටුම්භයන් සතු ධනයෙන් සියයට 40ක් හිමිකර ගනී. 1989 පටන් ඔවුන්ගේ පංගුව අඩුම තරමින් සියයට 10න් වැඩිකරගෙන ඇත. ඒ කාලය තුල, “ජනගහනයේ පහල සියයට 90ගේ පංගුව එම අනුපාතයෙන්ම පහත වැටී ඇත.”

වැඩිවීමේ වේගය ඉහලම ආදායම් මට්ටම් වලදී බෙහෙවින් කැපී පෙනෙයි. ඉහලම සියයට 0.00025ගේ, එනම්, ෆෝබ්ස් සඟරාවේ ගනන් බැලීම් අනුව පොහොසත්ම ඇමරිකානුවන් 400ගේ පංගුව, 1980 ගනන්වල සියයට 1 සිට 3 දක්වා වැඩිවී ඇත. ඉහලම සියයට 0.01 පංගුව ද ඒසා පරිමානයකින් ඉහල ගොස් තිබේ.

මෙම ප්‍රවනතාව ගෝලීයව ම සිදුව ඇත. චීනය, යුරෝපය සහ ඇමරිකාව ඒකාබද්ධව ගත් කල, ජනගහනයේ ඉහලම සියයට 1 හිමිකරගන්නා කොටස, 1980 ගනන්වල සිට අද දක්වා සියයට 28 සිට 33 තෙක් වැඩිවී තිබේ.

සුක්මාන් ද තෝමස් පිකෙටි හා එමෑනුවෙල් සයෙස් වැනි අය විසින් මීට පෙර කර තිබෙන අධ්‍යනයන්ට අනුව පසුගිය සියවස තුල ඇමරිකාවේ ධන සමුච්ඡය යූ (U) හැඩයක් ගෙන තිබේ. ඉහලම සියයට 0.1 කොටස 1929දී ඉහලම මුදුනකට නැඟී තිබුන අතර එය සියයට 25ක් පමන විය. එය 1930 ගනන්වල මහා ආර්ථික අවපාතයේ කාලයේ පටන් 1940 ගනන් අවසානය වන තෙක්ම තියුනු ලෙස පහත වැටුනි. පසුව 1950 හා 1960 ගනන්වල එය ස්ථාවර විය. එය පහතම මට්ටමට ලඟා වුනේ 1970 ගනන් වලය. ඉන් පසුව එය “වේගවත්ම විසි ගනන්වල මට්ටම් කරා” එනම් සියයට 20 තෙක් නැඟුනි.

මෙම මෝස්තරය, ආර්ථික සංවර්ධනයේ හා පන්ති අරගලයේ පුලුල් වක්‍රයට සමානුපාතිකවිය. 1930 ගනන්වල පටන් සිදුවූ පහත යාම මූල්‍ය අර්බුදයේ බලපෑම හා ඇමරිකාවේ සමාජ විප්ලවය වලක්වා ගැනීමට යයි පිලිගත්, ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් අනුගමනය කල නව සම්මුතිය යන දෙකේම බලපෑම මත සිදුවිය.

පශ්චාත් යුද්ධ ආර්ථික උත්පාතය වැඩී ආ 1950 හා1960 ගනන් අවධියේ ධන සංකේන්ද්‍රනය සාපේක්ෂව ස්ථාවර කලේය. කියන ලද්දේ “නැගෙන රල පහර බෝට්ටු සියල්ල උඩට එසවීය” යනුවෙනි. 1980 ගනන්වල පටන් ධන සංකේන්ද්‍රනයේ සිදුවූ වැඩිවීම, අන්තර් සම්බන්ධිත කාරනා දෙකක් නිසා සිදුවිය. දශක ගනනාවක් තිස්සේ සංවිධිතව වෘත්තීය සමිති නිලධරය විසින් පන්ති අරගලය පාවාදීම හා ඇමරිකානු ආර්ථිකයේ මූල්‍යකරනය ද ඒ සමඟ අත්වැල් බැඳගත් ලාභ රැස්කිරීමේ ක්‍රියාවලියෙහි ද සිදුවූ වෙනස්කම් ඊට මුල් විය.

1980 ගනන්වල සුපිරි ධනපතියන්ගේ ධනය ඉහල යාමට බලපෑ එක් සාධකයක් වුනේ, මූල්‍යයේ ක්‍රියාකලාපයයි. පොලී උපයන්නන් ඉහලම සියයට 0.1කොටස 1980 ගනන්වල බදු අයකල හැකි සියලු පොලියෙන් සියයට 2.6ක් ලැබූ අතර එය 2012 වනවිට දහ ගුනයකින් එනම් සියයට 27.3ක් දක්වා වැඩි විය.

සුක්මන්ගේ වාර්තාව ගෝලීය ධන අසමානතා පෙන්වා දෙයි. ඇමරිකාව, චීනය හා යුරෝපය එක්ව ගත් කල, ජනගහනයේ ඉහලම සියයට 10, සමස්ත ධනයෙන් සියයට 70ට වැඩි පංඟුවක් හිමිකර ගනී. පහල සියයට 50 සියයට 2ටත් වඩා අඩු කොටසක් ද මැද සියයට 40 සියයට 30ට අඩු පංගුවක් ද හිමිකර ගනී.

මුදුනේම සිටින අයගේ ප්‍රතිශතය පහල යත්ම, ධන සමුච්ඡය ද වේගවත්වේ. ඇමරිකාව, යුරෝපය හා චීනය ගත් කල 1987 සිට 2017 වන තෙක් ඉහලම සියයට 1 ධනය වසරකට සියයට 3.5න් වැඩිවී ඇත. ඉහලම සියයට 0.1 සිය ධනය වසරකට සියයට 4.4න් ද ඉහලම සියයට 0.01 වසරකට සියයට 5.6න් ද වැඩිකර ගත්තේය.

ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් සෝවියට් සංඟමය විසුරුවා හැරීමේ ප්‍රතිපලය වශයෙන්, රාජ්‍ය දේපොල පුද්ගලීකරනයෙන් පසුව රුසියාවේ ඉහත ප්‍රවනතාව කැපී පෙනේ. “රුසියාව ධනවාදයට පරිවර්තනය වීමෙන් පසුව, ධන සංකේන්ද්‍රනය හා අසමානතාව බෙහෙවින් ඉහල නැඟ තිබේ. එය එක්සත් ජනපදයට සමාන හෝ ඊටත් වඩා ඉහලින් පවතී.”

එවැනිම තත්වයක් චීනය තුල ධනවාදය පුනස්ථාපනයෙන් පසුව දක්නට ලැබේ. “ලබාගත හැකි තොරතුරු වලට අනුව, පසුගිය දශක දෙක තුල දෙරටෙහිම ධන අසමානතාව ඉහල මට්ටම් කරා නැඟී ඇත. ජනගහනයේ ඉහලම සියයට 1 පංඟුව දෙගුනවී ඇත. එය චීනයේ 1995දී සියයට 15 සිට 2015දී 30 දක්වා ද රුසියාවේදී අදාල කාලය තුල සියයට 22 සිට 43දක්වා ද ඉහල ගොස් තිබේ.

සුක්මන් සඳහන් කරන්නේ, ධන අසමානතාව වැඩිවන විට, විශේෂයෙන්ම මූල්‍ය ගොනුවල, හඳුනාගැනීමට දුෂ්කර, ධනයේ යම් ආකෘතියක් නිර්මානය කරන “විදේශයන්හි විශාල ධනය කලමනාකරනයේ කර්මාන්තයක්” වර්ධනය වන බැවින් මැනීම වඩාත් දුෂ්කරවී ඇති බවයි.

විදේශයන්හි සඟවා තිබෙන ධනය කෙතරම් ද යන්න පිලිබඳ බොහෝසෙයින් විෂම වන තක්සේරු තුලින් මේ ගැටලුව හඳුනාගත හැකිය. සුක්මන්ගේ ගනන් බැලීම් අනුව ඩොලර් ටි්‍රලියන 5.6ක් වන, ගෝලීය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ට සමාන, ලෝක පුද්ගලික ධනයෙන් සියයට 8ක්, 2007 ලෝක මූල්‍ය අර්බුදය හටගන්නා අවස්ථාව වන විට විදේශ ගතකර තිබුනි. ඔහු සඳහන් කරන තවත් විශ්ලේෂනවල මෙම ගනන් ඊටත් වඩා බෙහෙවින් විශාලය. එක් අධ්‍යයනයකට අනුව, ලෝකයේ ධනවතුන් 2007දී, බදු ක්ෂේමභූමිවල තැන්පත් කර තිබුන මුදල ට්‍රිලියන 12කි. තවත් අධ්‍යයනයකට අනුව එය ට්‍රිලියන 21ත් 32ත් අතර ප්‍රමානයකි.

මින් අදහස් වන්නේ, ස්වයං වාර්තාගත පිරික්සුම් හා බදු සටහන් යොදාගෙන සුක්මන් හා අනෙක් අය විසින් ධන සංකේන්ද්‍රන සම්බන්ධයෙන් කර තිබෙන සමීක්ෂන එහි සැබෑ පරිමානය හෙලිදරව් කරගැනීමට සෑහෙන්නේ නැති බවයි.

“මක්නිසා ද යත්, ලබාගත හැකිව තිබෙන තොරතුරු වලට අනුව, බදු සැලසුම් කර්මාන්තය ගෝලීයකරනය වන්නට පටන්ගත් 1980 ගනන්වල පටන්, බදු මඟහැරීම හා වසං කිරීම සඳහා ධනවතුන්ට නොයෙකුත් අවස්ථා ලැබී ඇති බැවින්, සම්ප්‍රදායික සංඛ්‍යා දත්ත මූලාශ්‍රයන් අසමානතාව අඩු තක්සේරු කරනවා විය යුතුය.

ඔහු ද අනෙකුත් අය ද පෙන්වා දෙන සමාජ අසමානතාව නැඟීමෙහි දේශපාලන ප්‍රතිවිපාක ගැන සුක්මන් ඉතාම සාවදානය. “ධනවතුන් සඳහා නම් ධනය බලයයි” එසේම ධන සංකේන්ද්‍රනය “ “1980 ගනන් වල සිට හඳුනාගෙන තිබෙන අසමානතාවයේ නැඟීමට එරෙහිව යලි බෙදාහැරීම යොදාගැනීම පිලිබඳව පලවන ප්‍රතිචාර ය ඉතා දුබල වීමේ කාරනය තේරුම් ගැනීමට ඉවහල් වනු ඇත.”

සුක්මන්ගේ නවතම සොයාගැනීම්, ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වන එලිසබෙත් වොරන් හා අලුතෙන් කොන්ග්‍රසයට පත්ව ඇති ඩිමොක්‍රටික් සමාජවාදීන් වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝටෙස්, ධනවතුන්ගෙන් වැඩි බදු අයකරන ලෙස ඉල්ලා සිටීම මඟින්, ඩිමොක්‍රටික් පක්ෂයට “වාම” මුහුනුවරක් දීම සඳහා දරන උත්සාහයේදී නිසැකවම ගසාකනු ඇත.

එහෙත් සුක්මන් හා අනෙක් අය ඉදිරිපත්කොට තිබෙන දත්ත මඟින්, සමාජ අසමානතාව ව්‍යවස්ථාමය සීරු මාරු කිරීම් වලින් ජයගත හැකිය යන අදහස ප්‍රතික්ෂේප කෙරේ. මක්නිසා ද යත්, බලයට පත්වූ ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකානු පාලනයන් විසින් දායකත්වය දරන ලද ධන සංකේන්ද්‍රන ක්‍රියාවලිය, අවසාන විග්‍රහයේදී මුල්බැස ඇත්තේ, එහි නැගෙමින් ඇති ඓතිහාසික අර්බුදයෙන් නිර්මානයවූ ඇමරිකානු මෙන්ම ගෝලීය ධනවාදයේ ව්‍යූහය තුලම වීම නිසාය.

වෙනත් වචන වලින් කිවහොත්, එය වනාහි, ධනපති වස්තු සංකේන්ද්‍රනයේම ප්‍රතිපලයයි. එය පදනම් වන්නේ, අදායම් සැකිල්ලේ ඉහලට ධනය ගලා යාම ආයතනගතකර තිබෙන මූල්‍යකරනය මතමය.

මෙය, තම මාවත වෙනස් කරන මෙන් මූල්‍ය කතිපයාධිකාරයට කරන ආයාචනා වලින් ජයගත නොහැකිය. එය කල හැක්කේ ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් සමාජවාදය සඳහා කරන මහජන අරගලයක් හරහා එම පාලනයන්ට එරෙහිව එල්ල කරන සෘජු ප්‍රහාරය මඟින් පමනි. සමාජ අසමානතාව ගැඹුරු වීමේ ප්‍රතිපල වශයෙන් ඉදිරියට ගමන් ගන්නා පන්ති අරගලයේ නව රැල්ල තුලින් මේ සඳහා කොන්දේසි සැකසී ඇත. වොරන්, ඔකාසියෝ, කෝටෙස් අරමුනු කරන්නේ, මෙම ව්‍යාපාරය පීලි පන්නා එය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස පෙල ගැස්සවීමට ය.

Share this article: