බංග්ලාදේශ ආන්ඩුව විරෝධතාවේ යෙදෙන ඇඟලුම් කම්කරුවන්ට එරෙහිව පොලිස් ප්‍රහාර මෙහෙයවයි

Bangladesh government oversees police attacks on protesting garment workers

විමල් පෙරේරා විසිනි, 2019 ජනවාරි 16

ජනවාරි 14 වන සඳුදා, බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නුවරට යාබදව පිහිටි අශුලියා දිස්ත්‍රික්කයේ දහස් ගනන් ඇඟලුම් කම්කරුවෝ, ආන්ඩුව විසින් පත්කරන ලද කොමිටිය විසින් ඊට පෙර දිනයේ නිවේදනය කල සොච්චම් වැටුප් වැඩි කිරීමට විරුද්ධත්වය පලකරමින්, විරෝධතාවයේ යෙදුනාහ. බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක භට කන්ඩායම්වල පිටුබලය ලත්, දැඩි ලෙස සන්නද්ධ වූ පොලීසිය විසින් කම්කරුවන් විසුරුවා හරින ලදි.

වැඩවර්ජනවලින් සමන්විතවූ සඳුදා උද්ඝෝෂන, දරිද්‍ර-මට්ටමේ වැටුප් සහ දුෂ්කර කොන්දේසිවලට එරෙහි අරගලය යලි ආරම්භ කල ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතාවන්හි අටවන දිනය සනිටුහන් කලේ ය.

ඉරිදා, අගමැති ෂීක් හසීනාගේ අවාමි ලීග ආන්ඩුවේ, කම්හල් හිමියන්ගේ සහ වෘත්තීය සමිති නිලධරයින්ගේ නියෝජිතයින් දහ දෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් විසින්, විරෝධතාවන් දිය කර හැරීමේ අරමුනින් සංශෝධිත වැටුප් ගිවිසුමක් කෙටුම්පත් කලහ.

මෙම මෑතම යෝජනාව ඉදිරිපත් කෙරුනේ, පසුගිය සැප්තැම්බරයේ හසීනා විසින් හඳුන්වා දෙනු ලැබූ, ටකා 8,000 (එජ ඩොලර් 95) ක අවම මාසික වැටුපට පසුවයි. කෙසේවෙතත් කම්කරුවෝ ඉල්ලා සිටියේ, මෙම ප්‍රමානය මෙන් දෙගුනයකි. ආන්ඩුවේ මෙම වැටුප් වැඩිකිරීමේ ප්‍රතිපලයක් ලෙස, මධ්‍යයම වැටුප් ශ්‍රේනිවල කම්කරුවන්ට කිසිදු වැටුප් වැඩිවීමක් නොලැබින.

කොමිටිය ප්‍රකාශකලේ, සැප්තැම්බරයේ කිසි වැඩිවීමක් නොලද කම්කරුවන්ට ඉරිදා නිවේදනයෙන් වැටුප් වැඩිවීමක් සිදුවනු ඇති බවයි.

කම්කරුවෝ තම ඉල්ලීම් සපුරාලීමට අසමත්වීම ගැන, කොමිටිය හෙලා දකිමින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කලහ. වැටුප් විෂමතාව වැඩිවෙමින් තිබෙන බවත් දීර්ඝකාලීන සහ මධ්‍යම මට්ටමේ සේවකයින්ගේ වැටුප් එක්කෝ එකතැන පල්වෙමින් හෝ නැතහොත් අඩු වෙමින් පවතින බවත් ඔවුහු පැවසූහ. සමහරු පැවසුවේ, තමන්ට කිසිදු වැඩිවීමක්, අවමය පවා, නොලැබෙන පරිදි සමාගම් විසින් කම්කරුවන් එක් ශ්‍රේනියක සිට වෙනත් ශ්‍රේනියකට මාරු කරන බවයි.

ජනවාරි 6 දා, අශුලියා සහ සවාර් දිස්ත්‍රික්කවල කම්කරුවෝ වැඩි වැටුප් සඳහා තම දික්ගැසුනු උද්ඝෝෂනය යලි ආරම්භ කිරීමෙන් අනතුරුව පසුගිය සතියේ මුලදී ආන්ඩුව ත්‍රිපුද්ගල කොමිටිය පත් කලේය.

ජනවාරි 7 දා, අබ්දුල්ලාපූර්-බායිපායිල් අධිවේගී මාර්ගය අවහිර කරමින් අශුලියා කාර්මික තීරුවේ කම්හල් පහක දහස් ගනන් කම්කරුවෝ වීදි බටහ. 100 කට පමන තුවාල සිදු කරමින් පොලිසිය උද්ඝෝෂකයින්ට බැටන් පොලු, කඳුලු ගෑස් සහ රබර් උන්ඩවලින් ප්‍රහාර එල්ල කලහ. සවාර්හි කොර්නොපරා ප්‍රදේශයේ අන්ලිමා රෙදි කම්හලේ කම්කරුවකු වූ සුමොන් මියා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගියේය.

කම්කරුවෝ ඉරිදා වැටුප් නිවේදනය ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවන් දිගටම ගෙනගිය විට, බංග්ලාදේශ් ඇඟලුම් නිපදවන්නන්ගේ සහ අපනයනයකරුවන්ගේ සංගමයේ සභාපති සිදිකූර් රහමන් කම්හල් වසා දමන බවට තර්ජනය කලේය. අරගලය අවසන් නොකලහොත්, “ඔබලාට වැටුප් නොලැබෙනු ඇත, අපි කම්හල් දින නියමයක් නොමැතිව වසා දමන්නෙමු” යි ඔහු කම්කරුවන්ට පැවසුවේ ය.

ඊයේ, සඳුදා උද්ඝෝෂනවලට පහරදීමෙන් අනතුරුව, ආන්ඩුව කම්හල් භූමිය තුල සහ ඉන් පිටත සන්නද්ධ පොලිසිය සහ බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක භට කන්ඩායම් බලමුලු ගැන්වූහ. දි ඬේලි ස්ටාර් පුවත්පත වාර්තා කලේ, “නුඹලා වැඩට එන්නේ නැතිනම් වැටුප් නොලැබෙනු ඇත” යනුවෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පොලිසිය රහමන්ගේ තර්ජනය පුනරුච්ඡාරනය කල බවයි.

විරෝධතාවන්හි යෙදී සිටි බොහෝ ඇඟලුම් කම්කරුවෝ, ආපසු තම කම්හල්වල වැඩට ගියහ. අඟහරුවාදා “බොහෝ කම්හල් පිටත අමතර පොලිස් භට කන්ඩායම්වලට” මුහුන දීමට කම්කරුවන්ට සිදුවූ බවත් “කම්හල් තුල ද ආරක්ෂාව දැඩි කර තිබුනු” බවත් ස්ටාර් පුවත්පත වාර්තා කලේ ය.

ආන්ඩුව, පොලිසිය සහ කම්හල් හිමියෝ කම්කරුවන්ට එරෙහිව දඩයමක් දියත් කරමින් සිටිති. ඩකාහි කාර්මික පොලිස් අධිකාරිවරයා ඊයේ මාධ්‍යයන්ට පැවසුවේ, තම දෙපාර්තමේන්තුව “(ඇඟලුම්) අංශයේ නොසන්සුන්තාව අවුලුවන්නන් ලෙස ක්‍රියාත්මකවන පුද්ගලයින් ගැන විමර්ශනය කරමින් සිටින” බවයි.

“ඇඟලුම් අංශයේ නොසන්සුන්තාව ඇවිලවීම නිසා සමහර වැරැදිකරුවන් රැඳවුම්භාරයට ගෙන ඇත. අපි ඔවුන්ට එරෙහිව පියවර ගන්නෙමු” යි පොලිස් අධිකාරිවරයා තව දුරටත් පැවසුවේ ය. විරෝධතාවන්හි නිරත සමහර පුද්ගලයින්ට එරෙහිව පොලිසිය දැනටමත් නඩු පවරා ඇත.

කම්කරුවන්ට තම විරෝධතාවන් නවතා දමන ලෙස ඉල්ලා සිටීම තුල, අගමැතිනි ෂීක් හසීනා සහ ප්‍රධාන කර්මාන්ත සංගම් සමග ඒකාබද්ධ වෙමින්, සමාගම් සහ ආන්ඩුව වෙනුවෙන් ක්‍රියාත්මක වන කාර්මික පොලිසියක් ලෙස වෘත්තීය සමිති ඉටුකරන භූමිකාව හෙලිදරව් කෙරී ඇත.

බංග්ලාදේශ් ඇඟලුම් සහ කාර්මික කම්කරුවන්ගේ ෆෙඩරේෂනයේ සභාපති බාබුල් අක්තර් මෙම සතියේ මාධ්‍යයන්ට මෙසේ පැවසුවේ ය: “අපගේ අගමැතිනියගෙන් යෝජනා වූ නිසා අපට එය පිලි ගැනීමට සිදුවිය. අප එයට අගෞරව කල හැක්කේ කෙසේද? අප බල කලේ සියලුම කම්කරුවන්ට යලි වැඩට යන ලෙසයි. අප බලාපොරොත්තු වන්නේ අගමැතිනිය නුදුරු අනාගතයේදී අපට නියම වැටුප් සහතික කරනු ඇති බවයි”.

වෘත්තීය සමිතිවලට එරෙහිව කම්කරුවන්ගේ බලගතු විරෝධය පිලිබඳව ඇඟවුම් පවතී. අශුලියාහි ඇඟලුම් කම්හලක යන්ත්‍ර ක්‍රියාකරන්නෙකු වන මොන්ටෝ, දි ඬේලි ස්ටාර්ට පැවසුවේ, “අපට වෘත්තීය සමිති නායකයන් ගැන කිසිදු විශ්වාසයක් නැති” බවයි. බොහෝ කම්කරුවෝ වෘත්තීය සමිති නිලධාරීන්ගේ ප්‍රකාශවලට අවධානය යොමු කිරීම නවතා ඇති බව ඔහු තව දුරටත් කීවේ ය.

බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවෝ, ගෝලීය කර්මාන්තය තුල අවම වැටුප් ලබන්නන් අතරට වැටෙති. වැටුප් පරිමානයන් සම්බන්ධයෙන් ආන්ඩුව සිදුකොට ඇති වෙනස්කම් වල එල්ලය වන්නේ, මෙම කර්මාන්තය පුරා පවතින අධි-සූරාකෑම තහවුරු කිරීමයි.

සෙන්ටර් ෆෝ පොලිසි ඩයලොග් හි (ප්‍රතිපත්ති පිලිබඳ සංවාද සඳහා කේන්ද්‍රය) පර්යේෂන අධ්‍යක්ෂ ඛොන්දාකර් ගොලාම් මෝසම් විසින් එලිදැක්වූ ලියවිල්ලක, 2013 සැප්තැම්බර් සහ 2018 වැටුප් අතර වෙනස සංසන්දනය කර තිබින. ඔහු සඳහන් කලේ, ඇඟලුම් කම්කරුවෙකු සඳහා සහතික කල මූලික වැටුප සහ දීමනාවන් (මේවා සංගත විසින් පහසුවෙන්ම කපා දැමිය හැකි සහ අඩු කල හැකි දීමනාවන් ය) ඒකාබද්ධ දල වැටුපේ අනුපාතයන් ලෙස ගෙන සන්සන්දනය කල හොත්, මූලික වැටුප පහල වැටී ඇති බවයි.

අධ්‍යයනයට අනුව, 2013 දී, 7 වන ශ්‍රේනියේ කම්කරුවකුගේ මාසික මුලු වැටුප ටකා 5,300 ක් විය. මින් සියයට 56.6 ක් වූ මූලික වැටුප ටකා 3,000 ක් විය. පසුගිය වසරේ අවම මාසික මුලු වැටුප ටකා 8,000 දක්වා වැඩි කල විට මෙම ශ්‍රේනියේ ක කම්කරුවකුගේ මූලික වැටුප ඉන් සියයට 52.5 ක්, එනම් ටකා 4,200 විය.

මූලික වැටුපට කෙරෙන අඩුකිරීම්, විවිධ දීමනාවන් පහත හෙලීම සඳහා භාවිතා කල හැකි බව මෝසම් සඳහන් කලේ ය. මෙම දීමනාවන් කම්කරුවකුගේ සහතික කෙරුනු මූලික වැටුපෙහි අනුපාතයක් ලෙස නිතරම සකස් කෙරෙයි.

2016 දෙසැම්බරයේ මාසික වැටුප ටකා 16,000 ක් වෙනුවෙන් අරගලය ආරම්භ කල විට අශුලියා කාර්මික තීරුවේ කම්කරුවෝ 150,000 ක් පමන සහභාගිවූ උද්ඝෝෂනය දින 10 ක් පැවැතින. අවම තරමින් කම්කරුවන් 1,600 ක් නෙරපා හරිමින් ආන්ඩුව ව්‍යාපාරය මෘග ලෙස මැඩ පැවත්වීය. 1,500 ක් පමන පිරිසකට උද්ඝෝෂනය “ඇවිලවීම”, “අනවසර ප්‍රවේශය”, “දේපොල හානි කිරීම්” සහ සොරකම් කිරීම් ඇතුලු විවිධ චෝදනා ගොනු කෙරින. ගොදුරු බවට පත්වී අසාධු ලේඛනගතවූ බොහෝ දෙනෙකු මෙම කර්මාන්තය තුල රැකියා සොයා ගැනීමෙන් වැලැක්වින.

වෘත්තීය සමිති සහ සමස්ත දේශපාලන සංස්ථාපිතය සමග හසිනා ආන්ඩුව සහ සංගත ප්‍රභූව ඒ හා සමාන මර්දනයක් සූදානම් කරමින් සිටිති. ඔවූහු සන්ත්‍රාසයට පත්වී ඇත්තේ, මෙම වියවුල මගින් බංගලිදේශ කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ඇවිලවිය හැකි ය යන්න ගැනයි. රටේ, ඇඟලුම් කම්කරුවෝ මිලියන 4.5 ක් සිටිති.

බංග්ලාදේශයේ අරගල ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුනර්ජීවනයේ කොටසකි. එම අරගල, පසුගිය සතියේ මිලියන 150 ඉක්මවූ ඉන්දියානු කම්කරුවන්ගේ දින දෙකක මහා වැඩ වර්ජනය සමගත්, එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හි 33,000 ඉක්මවූ ගුරුවරුන් සේවයෙන් ඉවත් වීම සහ ප්‍රන්සයේ “කහ බැනියම්” විරෝධතාකරුවන්ගේ සති ගනනාවක් පුරා පැවැති උද්ඝෝෂන සමගත් සමපාත වෙයි.

Share this article: