විශ්වවිද්‍යාල බලාධිකාරීහු චීනයේ ශිෂ්‍ය විරෝධතා මඬිති

University authorities suppress student protest in China

පීටර් සිමන්ඞ්ස්විසිනි, 2018 දෙසැම්බර් 29

චීනයේ කීර්තිමත් පීකිං විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ, එහි පාලනාධිකාරිය මාක්ස්වාදී ශිෂ්‍ය සංගමය මැඬලීමට ගෙන ඇති තීන්දුවට එරෙහිව විරෝධතාවක් ඊයේ පැවැත්වූහ. ශිෂ්‍යයන් දොලොස්දෙනෙක් පමන විරෝධතා පුවරු රැගෙන සටන්පාඨ කියමින් සාමකාමීව විරෝධතාවේ යෙදුනාහ. වහාම මැදිහත්වූ විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරීහු විරෝධතාවය විසුරුවාහැර විරෝධතාකරුවන් ඉවතට කුදලාගෙන ගියහ.

“අපගේ මාක්ස්වාදී ශිෂ්‍ය සංගමය නැවත ලබාදෙනු, විශ්වවිද්‍යාලය තුල ප්‍රචන්ඩත්වයට එරෙහිවනු” යනුවෙන් ශිෂ්‍යයෝ හඬ නැගූහ. සවුත් චයිනා මෝනිං පෝස්ට් වෙත සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ,ඔවුන් එකිනෙකාගේ දෑත් අල්ලාගෙන සිටි බවකි. ආරක්ෂක නිලධාරීන් බලාත්කාරයෙන් ඔවුන් ගොඩනැගිල්ලක් තුලට ඇදගෙන යාමේදී ඇතැමෙක් තුවාල ලැබූහ.

“ඒගොල්ලන්ගෙන් කිහිපදෙනෙකු බිම පෙරලා මෙල්ලකරන්න හදද්දී සමහරුන්ගේ අත් කැපුනා, සමහර අයගේ කන්නාඩි කැඩුනා” යැයි සිද්ධිය දුටුවෙක් පැවසීය. ඊයේ සවස්යාමය වන විටත් අඩුමතරමේ ශිෂ්යයන් අටදෙනෙක් රඳවාගනු ලැබ සිටී.

විරෝධතා පැනනැඟුනේ, මාක්ස්වාදී ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ දේශපාලන අත්අඩංගුවට නතුවන පරිදි එහි ව්‍යූහය යලි සැකසීමත් සමගය. ඒ අනුව එහි සභාපතිවරයා වූකුයි ෂැන්ෂුආන් ඇතුලු නායකයන් ඉවත්කර කොමියුනිස්ට් තරුන ලීගයේ හෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ හෝ සාමාජිකයන් 32 දෙනෙක් අලුතෙන් පත්කරනු ලැබින.

සංගමය මර්දනයට ලක්වීමට ආසන්න හේතුව නම්, කුයි චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායකයාවූ 1893 දෙසැම්බර් 26 වැනිදින උපන් මාඕ සේතුංගේ 125 වැනි ජන්ම දිනය සැමරීමට කැඳවුමක් කිරීම ය. ඔහු රටපුරා ශිෂ්‍යයන්ගෙන් එම අවස්ථාව සැමරීමට අන්තර්ජාල ඉසව්වලට සම්බන්ධවන මෙන් ඉල්ලා සිටියේ ය.

පොලිසිය අඟහරුවාදා දිනයේ කුයි අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන බ්‍රහස්පතින්දා නිදහස් කලේ ඔහුට “විශ්වවිද්‍යාලය තුල සාමය කඩ කිරීම” ගැන අනතුරු ඇඟවීමේ ලිඛිත නිවේදනයක් ලබාදෙමිනි. ඔහු ඊයේ දිනයේ විරෝධතාවට සම්බන්ධවූ ශිෂ්‍යයන් අතරින් කෙනෙකි. තවමත් ඔහු රඳවාගනු ලැබ සිටී.

පීකිං විශ්වවිද්‍යාලයේ මාක්ස්වාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෝ ත් සෙසු ඉහල මට්ටමේ චීන විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝත් මෑතක සිට කම්කරු පන්ති අරගලවලට සහයෝගය පලකරමින් සිටිති. ඒ අතරිනුත් ෂෙන්ෂෙන්හි අධිතාක්ෂනික වෑල්ඩිං උපකරන නිෂ්පාදකයකුවන ජැසික් ටෙක්නොලොජිහි කම්කරුවන් ස්වාධීන වෘත්තීය සමිතියක් පිහිටුවීමට ගත් උත්සහයට දුන් සහයෝගය ප්‍රමුඛ තැනක් ගනී.

චීන පොලිසිය යලි යලිත් ජැසික් ටෙක්නොලොජි ගැටලුවට සම්බන්ධ කම්කරුවන් සහ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගනිමින් සිටී. පීකිං විශ්වවිද්‍යාලයෙන් මෑතකදී උපාධිය ලබාගත් ෂැංග්ෂෙන්ග්යෙ ද මෙයට ගොදුරු වූවෙකි. පසුගිය මාසයේදී “කලු හැඳගත් කන්ඩායමක්” විශ්වවිද්‍යාලයේදී ඔහු අත්අඩංගුවට ගත්තේය.

ජැසික් කම්කරුවන්ගේ සහයෝගිතා කන්ඩායමට අනුව මේ වසර ආරම්භයේ අත්අඩංගුවට ගනු ලැබූ 15ක් පමන ශිෂ්‍යයෝ සහ මෑතදි අධ්‍යාපනය නිම කොට උපාධිය ලැබූවෝ තවමත් රඳවාගනු ලැබ සිටිති. ඉන් හතර දෙනෙකුට නීතිඥයන් හමුවීමට හෝ ඉඩක්දී නොමැත.

පීකිං විශ්වවිද්‍යාලයේ මාක්ස්වාදී ශිෂ්‍ය සංගමය මර්දනය කිරීමට සැප්තැම්බරයේදී ද එවැනි ම උත්සාහයක් ගැනුනි. පාලනාධිකාරිය ශිෂ්‍ය කන්ඩායමේ ලියාපදිංචිය අවලංගු කර දැමීමට කල සැලසුම් හෙලිදරවුවීම නිසා ඔවුන්ට එය අතහැර දැමීමට සිදුවිය.

තම සමාජවාදී වදන් හරඹ මුලුමනින්ම පාහේ අතහැර දමා ඇති චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත්‍රය ශිෂ්‍යයන් කම්කරු අරගල දේශපාලනීකරනය කරනු ඇතැයි බියට පත්ව ඇත. 1978 පටන් ගැනුනු ධනපති පුනස්ථාපන ක්‍රියාවලියෙන් ලාභ ගරාගෙන තරවූ ධන කුවේර කතිපයාධිකාරයක වුවමනාවන් නියෝජන කරන චීන කොමියුනිස්ට් පක්ෂය තමන් සිටගෙන සිටින්නේ සමාජ කාලබෝම්බයක් මත බව ඉතා හොඳින් දනී. පසුගිය වසර 40 පුරාවට ඇතිනැති සමාජ පරතරය දැවැන්ත ලෙෂ වර්ධනය වී ඇත්තේ රටේ ආර්ථිකය විශදව මන්දගාමී වන තතු තුල මතුපිටට පුපුරා ඒමට දැන් නලියන බලගතු සමාජ ආතතීන් ජනිත කරවමිනි.

චීන කොමියුනිස්ට් පක්ෂය 1989 දී තියානන්මෙන් චතුරශ්‍රයේ ශිෂ්‍ය විරෝධතාවන්ට අනතුරුව පැන නැගි රටම අලලාගත් විරෝධතා ව්‍යාපාරය බඳු දෙයක් යලි සිදුවනු වැලැක්වීමට අධිෂ්ඨානශීලීව සිටී. එම විරෝධතාවන්ගේ හැරවුම් ලක්ෂ්‍යය පැමිනියේ කම්කරුවන් තම පන්ති අවශ්‍යතා පෙරට ගනිමින් එයට එක්වීමත් සමඟය. තන්ත්‍රය බීජිනයෙ සහ වෙනත් නගරවල පැනනැගි විරෝධතා ප්‍රචන්ඩකාරී ලෙස මර්දනය කලේය. චීන කොමියුනිස්ට් පක්ෂය එම මර්දනය මගින්, කම්කරු පන්තිය විනයගත කිරීමට තමන් සතු සියලු සම්පත් යොදාගන්නා බවට විදේශ ආයෝජකයන්ට සංඥා කලේය. අනතුරුව රටට ප්‍රාග්ධනය ගලා ආවේය.

දැවැන්ත ලෙස වර්ධනයවූ කම්කරු පන්තියක් හමුවේ අද දින බීජිනය වෙලාගෙන ඇති සන්ත්‍රාසය නම් ශිෂ්‍යයන්ගේ සහ කම්කරුවන්ගේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකින්, පාලනතන්ත්‍රය පදනම්වලින්ම සොලවා ලන දේශපාලන ව්‍යාපාරයක් අවුලුවාලනු ඇතිය යන්නයි.

ජැසික් කම්කරුවන්ගේ සහයෝගිතා කන්ඩායම මේ සතියේ සමාජමාධ්‍ය තුලින් තම සාමාජිකයන් කැඳවුම් කලේ මාඕගේ ජන්මදින සැමරුම්වලට සහභාගීවන මෙනි. “ ‘තරුනයෝ කම්කරුවන් හා මුන ගැසෙන මාවතක ගමන් කලයුතුයි’ යන සභාපති මාඕගේ ඉගැන්වීම මනාව සිත්හි දරාගත් ප්‍රගතිශීලි ශිෂ්‍ය රැල්ලක් පැන නැගී ඇත” ය යි එහි සඳහන් වේ.

“විශේෂයෙන්ම ආර්ථිකය නිසා පසුගිය අවුරුදු කීපය තුල සාමාන්‍ය මහජනතාව අතරින් මාඕවාදී වාමාංශයට ලොකු සහයෝගයක් ගොනුවනු දකගතහැකි වුනා. දැන් ජීවත්වීම දුෂ්කර බව ඔවුන්ට තේරෙනවා. ඔවුන් මාඕ යුගයේ පැවතුනා යයි කියන දැඩි සමානතාව දෙස හැරීබලනවා.” යැයි අයිතීන් පිලිබඳ බීජිනයේ ක්‍රියාකාරිකයෙකු වන ලීවෙයි රේඩියෝ ෆ්‍රී ඒෂියා වෙත පැවසීය.

තන්ත්‍රය කෙරෙහි ඇති පුලුල් සතුරු බවත් නරක අතට හැරෙන සමාජකොන්දේසිත් වටහා ගත හැකිය. නමුත මාඕ වාදය වෙතට කරන හැරීමක් විසඳුමක් සම්පාදනය කරන්නේ නැත. මාක්ස්වාදයේ බිංදුමාත්‍රයක් හෝ අඩංගු නොවන මාඕගේ සාරසංග්‍රහවාදී දෘෂ්ටිවාදය ගොවි ජනතාවාදයත් චීන දේශ ප්‍රේමයත් සමඟ ස්ටැලින්වාදී “තනිරටේ සමාජවාදය” පිලිබඳ ප්‍රතිගාමී න්‍යායත් එකට අනා තනාගත් අච්චාරුවකි.

පෙර පැවති “දැඩිසමානතාව” 1949 චීන විප්ලවයේ දැවැන්ත සමාජ නැගිටීමේ ඵලයකි. නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ තම ඇයිහොඳයිකම් සමඟින් මාඕ එය මෙහයවූයේ ධනේශ්වර පුනස්ථාපනයට මං පෑදූ ආවෘත අන්තයකට යි.

චීන ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ඇමරිකාවේ සැලකියයුතු අවධානයක් යොමුව ඇත්තේ වොෂින්ටනයේ හොරනෑවන රේඩියෝ ෆ්‍රී ඒෂියා වැනි මාධ්‍යයන් වෙතින් පමනක් නොවේ. කෝනෙල් විශ්වවිද්‍යාලය, බීජිනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය සමග සිසුන් හුවමාරු කරගන්නා වැඩසටහන් දෙකක් අත්හිටුවා ඇත්තේ, බුද්ධි විෂයක නිදහස සහ ශිෂ්‍ය අයිතීන් උල්ලංඝනය වීම ගැන තම කනස්සල්ල පලකරමිනි. වොෂින්ටනයේ සිට ක්‍රියාත්මකවන හියුමන්රයිට්ස් වොච් සංවිධානය රඳවාගනු ලැබ ඇති ශිෂ්‍යයන් නිදහස් කල යුතුයැයි නිවේදනයක් නිකුත්කරඇත.

වොෂින්ටනයට චීන ශිෂ්‍යයන් ගැන ඇත්තේ “මානව හිමිකම්” ගැන කැක්කුමක් නොවේ. එක්සත්ජනපදය තම ලෝක ආධිපත්‍යය රැකගැනීමට චීනයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ මිලිටරිමය යන සියලුම අංශයන්ගෙන් උග්‍ර කරන ගැටුම්වල කොටසකි එය.

චීනයේ සහ ජාත්‍යන්තර කම්කරුවන් ද සිසුන් ද චීන ශිෂ්‍යයන් සහ කම්කරු ක්‍රියාකාරීන් නිදහස් කලයුතු යැයිද පොලිස් රාජ්‍ය තන්ත්‍රයට එරෙහිව මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කලයුතු යැයි ද ඉල්ලාසිටියයුතුය. කෙසේ නමුත් එයට මඟ පෙන්විය යුත්තේ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයකිනි. ඒ සඳහා චීනය තුල අව්‍යාජ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදයේ පුනර්ජීවනයක් පූර්වාවශ්‍යකෙරේ.

Share this article: