වතු කම්කරුවන්ගේ අරගලය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආන්ඩුව වැටුප් “සූත්‍රයක්” යෝජනා කරයි

Sri Lankan government proposes pay “formula” to end plantation workers’ struggle

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 ජනවාරි 15

යෝජිත තුන් අවුරුදු වැටුප් සැලැස්මේ ඉලක්කය වන්නේ වතු කර්මාන්තයේ අර්බුදයෙහි බර කම්කරු පන්තිය මත පැටවීම යි.

වතු කම්කරුවන්ගේ සියයට 100 ක වැටුප් ඉල්ලීම යටපත් කිරීම සඳහා අවුරුදු තුනක් පුරා ක්‍රියාත්මක වන සොච්චම් වැටුප් වැඩිවීමක් ආන්ඩුව යෝජනා කර ඇත. පසුගිය මාස තුන පුරා, තමන්ගේ දෛනික වැටුප රුපියල් 500 රුපියල් 1,000 දක්වා දෙගුනයකින් ඉහලදමා ගැනීම සඳහා කම්කරුවෝ උද්ඝෝෂනයක යෙදී සිටිති. දෙසැම්බර් මාසයේ දී ඔවුන් අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කල ද දින නවයකට පසු වෘත්තීය සමිති එය නතර කලහ.

වතු සමාගම් නියෝජනය කරන ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය (ඊඑෆ්සී) විසින් යෝජනා කරන ලද සියයට 20ක හෙවත් රුපියල් 100ක වැටුප් වැඩිකිරීම කම්කරුවෝ කලින් ප්‍රතික්ෂේප කල හ.

ජනවාරි 10දා ඊඑෆ්සී හා වෘත්තීය සමිති සමග වෙන් වෙන් ව පැවැත්වූ රැස්වීම්වල දී වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක හා කම්කරු ඇමති දයා ගමගේ තුන් අවුරුදු සූත්‍රයක් යෝජනා කලේ ය. ඒ අනුව පලමු වසරේ දී මූලික වැටුප රුපියල් 125ක සොච්චමකින් හෙවත් සියයට 25කින් වැඩිකරනු ඇත. දෙවන වසරේ දී එය රුපියල් 25කින් හෙවත් සියයට 4කින් වැඩි කොට තුන්වන වසරේ දී තවත් රුපියල් 25කින් වැඩිකරනු ඇත.

විවිධාකාර දීමනා සමගින් කම්කරුවන්ට රුපියල් 1,000ක් හෝ ඊට වැඩියෙන් උපයාගත හැකි බව දිසානායක කීවේ ය. “නෙලනු ලබන තේ දලු ප්‍රමානය” අනුව වැටුප් වැඩිකිරීම වර්ධනය වනු ඇතැයි ඔහු සඳහන් කලේ ය.

මෙහි අර්ථය වන්නේ සමාගම් විසින් යෝජනා කරන පරිදි ඵලදායිතාවට ඍජු ව ගැටගැසූ දීමනා සමගින් පමනක් කම්කරුවෙකුට රුපියල් 1,000ක් උපයාගත හැකි බව යි. පැමිනීමට හා ඵලදායිතාවට ගැටගැසූ ඉලක්ක කරා ලඟා වීමට සාමාන්‍යයෙන් බොහෝ කම්කරුවන් ට නොහැකිය. මෙම දීමනා ගෝලීය තේ හා රබර් වෙලඳපොලේ මිල උච්ඡාවචනයන්ට ද ගැටගසනු ලැබේ.

ඒ අනුව සාමූහික ගිවිසුම් අත්සන් කරන ලෙස දිසානායක සමාගම්වලට හා වෘත්තීය සමිතිවලට කීවේ ය. හාම්පුතුන් සමග එක්ව වැටුප් විරෝධතා අවසන් කිරීම අවශ්‍ය කරන ආන්ඩුවට වැඩ ප්‍රමානය ඉහල දැමීම සඳහා කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව කම්කරුවන් මත මෙම ගිවිසුම් පැටවීම අවශ්‍ය ය.

වෘත්තීය සමිති කර්මාන්තය කෙරෙහි “තැකීම” පෙන්විය යුතු බව හා “සමාගම් මත පීඩනය වැඩි කල නො හැකි” බව සමාගම් ප්‍රතිරාවය කරමින් දිසානායක ප්‍රකාශ කලේ ය.

යෝජනාව පිලිබඳ තීරනයක් ගැනීම සඳහා හාම්පුත්තු කල් ඉල්ලා සිටිය හ. මාධ්‍යවලට අනුව වෘත්තීය සමිති මෙම යෝජනාව “ප්‍රතික්ෂේප කරමින්” රුපියල් 1,000 දීමනාව වෙනුවෙන් “දෘඩ” ලෙස පෙනී සිටින බව කියා ඇත. මෙය ව්‍යාජ මවාපෑමකි. සියයට 100ක වැටුප් වැඩිකිරීමක් සඳහා වන ඉල්ලුම පහත හෙලීම කෙරෙහි කම්කරුවන් අතර පවතින පලල් විරුද්ධත්වය පිලිබඳ ව හොඳින් දන්නා වෘත්තීය සමිති වතු කම්කරුවන් අතර අතෘප්තිය අපසරනය කිරීමට උත්සාහ දරමින් සිටිති.

සාකච්ඡාවන්ට සහභාගි වන වෘත්තීය සමිති අතරට ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ) හා ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජේපීටීයූසී) අයත් වේ. මාස ගනනක් තිස්සේ හාම්පුතුන් හා ආන්ඩුව සමග රහස් සාකච්ඡා පවත්වා ඇති ඔවුහු, කම්කරුවන්ගේ වර්ජන හා විරෝධතා නතර කර ඇත.

වෘත්තීය සමිතිවල ඊනියා ඍජු භාවයේ පල්ල යවමින්, වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති හා එල්ජේඊඩබ්ලිව්යූ මහ ලේකම් වඩිවේල් සුරේෂ් කියාසිටියේ, මේ වසර සඳහා ආන්ඩුව යෝජනා කල මුදලට වඩා යන්තමින් රුපියල් 25ක් වැඩිව රුපියල් 150කටත් ඊලඟ වසර සඳහා රුපියල් 50ක වැඩිකිරීමකටත් ඔහුගේ වෘත්තීය සමිතියට එකඟ විය හැකි බව යි.

ලංකා පුවත්පතට අදහස් දැක්වූ ආන්ඩුවේ තවත් ඇමතියෙකු වන ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්) නායක පී. දිගම්බරම්, වතු සමාගම්වල ලාබ වැටී ඇති නිසා මේ මොහොතේ රුපියල් 1,000ක් ඉල්ලීම “අසාධාරන” බව කීවේ ය. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන ලංකා පත්‍රය ඔහුගේ ප්‍රකාශය කිසිදු අදහස් දැක්වීමකින් තොර ව පලකලේ එන්යූඩබ්ලිව් නායකයා සමග එකඟ බව ඉඟිකරමිනි.

පසුගිය මාසයේ නිකුත් කල ප්‍රකාශයක් තුල වැවිලි කරුවන්ගේ සංගමය ද එලෙස ම අවධාරනය කලේ ය. “වෘත්තීය සමිති නායකයන්ගේ ඉල්ලීම් ධාරිතාව බෙහෙවින් ඉක්මවන” බව එය අවධාරනය කලේ ය. “විශේෂයෙන් ම තම දෛනික ජීවිතය මෙම කර්මාන්තය මත රඳා පවතින සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ කර්මාන්තයේ ඉරනම ගැන කල්පනා කරන ලෙස යි.”

වතු සමාගම් එකදිගට ම කනිපින්දම් කියන්නේ පහල තේ මිලගනන් කම්කරුවන් ගේ ඉහල වැටුප් ඉටු කල නො හැක්කක් බවට පත්කරන බව යි. ඔවුන්ගේ පාලනයෙන් පිටස්තර සාධකයන් විසින් කර්මාන්තයට බාධා කරන බව ඔවුහු කියති.

පහල මිල ගනන්වලට හේතු වී ඇත්තේ චීනය, ඉන්දියාව හා කෙන්යාව ඇතුලු තේ නිපදවන රටවල් අතර පවතින තීව්‍රතර තරඟය යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2014 දී ඩොලර් බිලියන 1.63ක් වූ ශ්‍රී ලංකාවේ වාර්ෂික සාමාන්‍ය තේ අපනයන ආදායම 2017 දී ඩොලර් බිලියන 1.53 දක්වා පහත වැටුනි. පසුගිය වසරේ ජනවාරි හා අගෝස්තු අතර කාලයේ වසරකට පෙර පැවති කාලයට සාපේක්ෂ ව රටෙහි තේ අපනයන ආදායම ඩොලර් බිලියනයක සිට ඩොලර් මිලියන 970 දක්වා පහත වැටුනි.

මෙම අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා ආන්ඩුව හා වතු සමාගම් අවධාරනය කරන්නේ වැටුප් ක්‍රමය අහෝසි කොට ඊනියා ආදායම් බෙදාගැනීමේ ක්‍රමයක් හරහා නිෂ්පාදනය කිහිප ගුනයකින් වැඩි කරගැනීම ගැන යි.

මෙම ක්‍රමය යටතේ කම්කරුවන්ට තේ පඳුරු 1,000ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් සහිත ඉඩම් කොටසක් පවරයි. සමාගම කම්කරුවන්ට පොහොර හා කෘෂිරසායන විකුනා ඒවායේ පිරිවැය කම්කරුවන්ගේ ආදායමෙන් අඩු කර ගනී . මුලු පවුල ම වැඩ කලත් ජීවත්වීමට තරම් ආදායමක් ඉන් උපයාගත නො හැකි බව කියමින් මෙම ක්‍රමය දැනට මත් ක්‍රියාවට දමා ඇති වතුවල කම්කරුවන් එය ප්‍රතික්ෂේප කර ඇත.

හාත්පසින්ම් ඇඟවුම් කෙරෙන්නේ ආන්ඩුවේ ද පිටුබලය සහිත ව ඊඑෆ්සීය හා වෘත්තීය සමිති කම්කරුවන්ට හොරෙන් යෝජිත ආදායම් බෙදාගැනීමේ ක්‍රමයන්ට හා අනෙකුත් ඵලදායිතා අවශ්‍යතාවන්ට ඔවුන් ව ගැටගසන නියෝග අඩංගු සාමූහික ගිවිසුම්වලට ඉක්මනින් ම එලැඹීමට සැලසුම් කරන බව ය.

මෙම යෝජනා ප්‍රතික්ෂේප කරමින් වතු කම්කරුවෝ ශ්‍රී ලංකාවේ සෙසු කම්කරුවන් හා ජාත්‍යන්තර ව ද සිය පන්ති සහෝදරයන් සමග එකමුතුව තහවුරුකර ගනිමින් පොදු අරගලයක් සංවිධානය කල යුතු ය. ආන්ඩුවට හා ධනපති පන්තියට එරෙහි දේශපාලන අරගලයකින් තොර ව, කම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරගත නො හැක.

මෙම අරගලය ඉදිරියට ගෙනයාම සඳහා කම්කරුවන් වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු වතු, වැඩපොල හා නිවහන් ප්‍රදේශවල ස්ථාපනය කල යුතු ය. සමාජවාදී සමානතා පක්ෂයේ මගපෙන්වීම යටතේ හැටන් ආසන්න ඇබොස්ලී වත්තේ කම්කරුවන් ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගමින් එවන් ආරම්භකත්වයක් ගෙන ඇත.

අර්බුදයෙහි බර පැටවීමේ පාලක පන්තියේ ධාවනයට එරෙහි ව තමන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා කම්කරුවන්ට සමාජවාදී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය ය. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ පාලනය යටතේ විශාල වතු, බැංකු හා ප්‍රධාන ව්‍යවසායයන් කම්කරු පාලනය ජනසතු කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදිය යුතු ය.

Share this article: