වැටුප් අරගලය පාවා දීමට වෘත්තීය සමිති දරන ප්‍රයත්නය සම්බන්ධයෙන් වතු කම්කරුවෝ කෝපය පල කරති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජනවාරි 17

ශ්‍රී ලංකාවේ වතු වෘත්තීය සමිති, රුපියල් දහසේ වැටුප් ඉල්ලීම අත්හැර දමා කම්කරුවන්ට හොර රහසේම, සමාගම් විසින් යෝජිත වැටුප් ක්‍රමයක් සඳහා ගිවිසුමකට එලැඹීමට සූදානම් වන බවට මෑත මාධ්‍ය වාර්තා ඉඟි කරයි.

ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ (ඊඑෆ්සී) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඬේලි එෆ්ටී පුවත්පතට පවසා ඇත්තේ, සමාගම් විසින් ඉදිරිපත් කරන යෝජනා තුනක් “සලකා බැලීම පිනිස නම්‍යශීලී ව කටයුතු කිරීමේ කැමැත්ත” වතු වෘත්තීය සමිති විසින් පෙන්නුම් කරන බවයි.

ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී), ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) හා ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජේපීටීයූසී) වතු සමාගම් සමග මෙලෙස ගිවිසුමකට සූදානම් වන අතරේ අනෙක් වතු සමිති ගිවිසුමට පිටතින් සිටිමින් එයට පූර්න සහයෝගය පල කරමින් සිටිති.

අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුවේ “කඳුරට නව ගම්මාන හා වතු යටිතල පහසුකම්” ඇමැති සහ ජාතික කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරම් මාධ්‍යයට පවසා ඇත්තේ වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප් ඉල්ලීම අසාධාරන බව යි.

ජනතා විමුක්ති පෙරමුන, තම ලංකා පුවත්පත තුල දිගම්බරම්ගේ ඉහත ප්‍රකාශයට මුල් තැනක් දෙමින් පලකොට ඇත්තේ ඒ පිලිබඳව තම එකඟත්වය වක්‍රව පල කරමිනි.

මෙම ද්‍රෝහී ක්‍රියාකලාපය හෙලිවීමත් සමගම, සමිති කෙරෙහි කම්කරුවන් අතර වැඩී ඇති වෛරය සහ කෝපය නව ඉහලකට නැග ඇත.

පසුගිය දා මහනුවර හන්තාන වත්තේ කම්කරුවන් හමුවීමට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට කම්කරුවන් පැවසුවේ, වැටුප් ඉල්ලීම සම්බන්ධයෙන් සටන් කිරීමේදී, සමිති සහ ආන්ඩුව කෙරෙහි කවර හෝ විශ්වාසයක් නොතිබුනු බවයි.

ටී. ජීවරානී

“සමිතිවල අයයි, ඇමැතිවරුයි, වතු පාලනය කරන අයයි, ඔය කිසි කෙනෙක් අපට විශ්වාස නෑ” යනුවෙන් හන්තාන වත්තේ මැද කොටසේ කම්කරු කාන්තාවක වන ටී. ජීවරානී ප්‍රකාශ කලාය.

සමාගම් විසින් යෝජිත, රුපියල් 600 දෛනික වැටුප සහ දිරි දීමනා ක්‍රමය ක්‍රියාත්මක කලත්, එයට හිලව් වශයෙන් සතියේ වැඩ දින ගනන සමාගම් විසින් අඩුකරන බවත්, එබැවින් එය වැටුප් වැඩිවීමක් නොවන බවත්, තම අතීත අත්දැකීමෙන් තේරුම් ගෙන ඇති බව ද ජීවරානි පැවසුවාය.

“අපි ගොඩාක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ, අපට සහනයක් ලැබෙයි කියලා හිතන්න නම් අමාරුයි, දවස් 18 ක් වැඩ කලොත් ඇඞ්වාන්ස් රුපියල් 1,500 යි, ඊ.පී.එෆ්. වලට ත් 700 ක් විතර කපලා මාසෙ අන්තිමට අතට ලැබෙන්නේ රුපියල් 10,000 ක විතර සුලු ගානක්, ඔය සමිති එකකින් වත් අපට වෙන සෙතක් නෑ” යි ජීවරානි කීවාය.

වෘත්තීය සංගම් කිසිවිටෙක කම්කරු පන්තිය වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔවුන් පාලක පන්තියට එරෙහිව නැග එන විරෝධතා වෙනතක හරවමින් පාලක පන්ති අවශ්‍යතා වෙනුවෙන් කම්කරු පන්තියට එරෙහිව කටයුතු කරන අයුරු ලෝසවෙඅ වාර්තාකරුවෝ ඇයට පෙන්වා දුන්හ.

වතු හාම්පුතුන් සමග සාකච්ඡා රූපයෙන් වෘත්තීය සමිති සිදු කරනුයේ කම්කරු පන්තියට හතුරු කුමන්ත්‍රනයක් ය යන්න පැහැදිලි කලවිට, තමා මුහුන දී සිටින දුෂ්කර ජීවන කොන්දේසි විස්තර කරමින් ජීවරානි පැවසුවේ තම වැටුප් ඉල්ලීම ජය නොගෙන කිසි විටකත් ජීවත්විය නොහැකි බවයි.

“මේ ලමයට සපත්තු අවශ්‍ය වෙලා තියෙනවා, ඉස්කෝලෙන් කියලත් එව්වා, ඉතින් කොහොමද අපි ඒව අරන් දෙන්නේ, වත්තෙන් ගන්න ගානෙන් ඒවා කරන්න බෑ, අපි නිවාඩු තියෙන ඉරිද වාගේ දවස් වල නුවර බංගලා වලට ගිහිල්ලා වැඩ කරනවා, එතකොට රුපියල් 600ක් 700 ක් විතර ගන්න පුලුවන්, අපටත් ඔය දෙනවයි කියල කියන රුපියල් 1,000 ගැන නම් විශ්වාසයක් නෑ.”

තමා විඳින දුක්ඛිත ජීවිතය තම දරුවන්ට උරුම නොකිරීම ඇයගේ දැඩි අභිලාෂය බව සාකච්ඡාවේදී විශද විය.

එම්. සින්නාතා

තවත් කම්කරු කාන්තාවක වන “එම්. සින්නාතා” වහලක් නොමැති ඇගේ නිවස පෙන්වමින් මෙසේ ප්‍රශ්න කලාය: “ඡන්ද කාලෙට ඇවිත් දේශපාලනය කරන අය අපට බොරු කියනවා, ගෙවල් හදල දෙන්න, ෆවුන්ඬේසන් දාල දෙන්න, පාරවල් හදල දෙන්න, වැසිකිලි හදල දෙන්න, පොරොන්දු වෙනවා. කොච්චර කල් අපි මේ බොරු ඇහුව ද? දේශපාලකයො අපිව රවටනවනම් වෘත්තීය සමිති අපේ සටන් පාවාල දෙනවනම් අපි කොහොමද අපේ ප්‍රශ්න විසඳ ගන්නෙ?”

එම වත්තේම කම්කරු කාන්තාවක් වන එස්. කනගේස්වරී ද තමා මුහුන දී සිටින දුෂ්කර ජීවන කොන්දේසි විස්තර කරමින් වැටුප් අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි විමසුවාය: “අපට කොහොමත් විශ්වාසයක් නෑ අපේ ඉල්ලීම ඔය ගිවිසුමෙන් ලැබෙයි කියල. අපේ සටන ඉදිරියටම ගෙනයන්න ඕන. ඒත් ඒක කරන්නෙ කොහොමද?”

එස්. කනගේස්වරී

ඉහත සියලු දෙනා රැස්කොට වැටුප් අරගලය ඉදිරියට ගෙනයන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් කිරීමට ලෝසවෙඅ වාර්තාකරුවන්ට හැකි විය.

වෘත්තීය සමිති තුල කම්කරුවන්ට අවස්ථාවක් නැති බවත් වතු සමාගම් සමග හොර රහසේ සියලු තීන්දු ගන්නා සමිති ඉන්පසු ඒවා කම්කරුවන් මත පටවන බවත් වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. ගෝලීය නිෂ්පාදනයේ කොන්දේසි යටතේ ලොව පුරා වෘත්තීය සමිති හාම්පුතුන්ගේ හා ආන්ඩුවල උපකරන බවට පත් ව ඇති බැවින් කම්කරුවන් එම සමිති වලින් බිඳී කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරාපත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව ඔවුහු පැහැදිලි කලහ.

වැටුප් අරගලයේදී වතු කම්කරුවන් නිරතව සිටින්නේ හුදෙක් වතු සමාගම්වලට එරෙහි සටනක පමනක් නො ව මෙම ගෝලීය නිෂ්පාදන ජාලයට හිමිකම් කියන මහා සංගතවලට ද විරුද්ධ සටනක බැවින්, එය ගෝලීය ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පාදක කලයුතු බව සහ කම්කරුවන් ජාත්‍යන්තර පන්තියක් ලෙස සංවිධානය වියයුතු බව ලෝසවෙඅ වාර්තාකරුවෝ පැහැදිලි කලහ.

පසුගිය දා පැවති වතු කම්කරු වර්ජනය මධ්‍යයේ හැටන් හි ඇබොට්ස්ලී වත්තේ කම්කරුවන් එවන් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවමින් ගනුලැබූ ආරම්භකත්වයේ වැදගත්කම ද එහිදී සාකච්ඡා කෙරුනි. ලොවපුරා කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳීම සඳහා ගනු ලබමින් සිටින ආරම්භකත්වයන් සම්බන්ධයෙන් දැන ගැනීමට සාකච්ඡාවට සම්බන්ධ වූ කම්කරුවෝ උනන්දු වූහ.

සමාජවාදී නිශ්පාදන ආර්ථික ක්‍රමයක මූලික අංග ලක්ෂන ද, ධනපති ක්‍රමය යටතේ වතු කම්කරුවන්ට අහිමි කෙරී ඇති සමස්ත සංස්කෘතිය ජාත්‍යන්තර සමාජවාදය යටතේ අත්පත්කර ගන්නේ කෙසේද යන කරුනු ද සාකච්ඡාවට භාජනය වූ අතර ඒ සඳහා කම්කරුවන් දැක්වූයේ බලගතු උනන්දුවකි.

Share this article: