විරෝධතාවයේ යෙදෙන අයිටීඑන් සේවකයන් මැඩලීමට ආන්ඩුව කැරලි මර්දන පොලීසිය යොදවයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජනවාරි 08

ස්වාධීන රූපවාහිනී ආයතනයේ (අයිටීඑන්) ඉහල පරිපාලන තනතුරු සඳහා, එහි සේවයේ නිරත නොවන, පිටස්තර අයට ලබාදෙන දේශපාලනික පත්වීම් නතර කිරීම ඇතුලු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් එහි සේවකයන් විසින් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරය මැඩීම සඳහා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ඊයේ කැරලි මර්දන පොලිස් බලඇනියක් යෙදවීය.

සේවකයන්ගේ බලගතු විරෝධතාවය නොතකා අලුතෙන් පත්කල නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වැඩ භාර ගැනීමට එවීමෙන් ආන්ඩුව සිතාමතා ඇතිකල ප්‍රකෝපකරනයක් සේවකයන්ට එරෙහිව පොලීසිය යෙදවීම සඳහා යොදා ගැනුනි.

දෙසැම්බර් 30 වන දා ආරම්භ කල විරෝධතාවයට 400 කට ආසන්න සමස්ත සේවක පිරිස සම්බන්ධ වී සිටින බව, විරෝධතාවයට නායකත්වය දෙන “ස්වාධීන රූපවාහිනිය සුරැකීමේ එකමුතුවේ” සුජිත් විදානපතිරන ලෝක සමාජවාදී වෙබි අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ ය. “මෙය වැඩ වර්ජනයක් නොවන” බවත්, “වැඩ සටහන් විකාශය ඇතුලු අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යන අතරේ අනෙකුත් සේවාවන්හි නියුතු සේවකයන් තම වැඩකටයුතු වලින් ඉවත්ව අයිටීඑන් භූමිය තුලම රැඳෙමින් විරෝධතාවයන්හි නිරත වන” බවත් ඔහු තවදුරටත් පැවසීය.

පරිපාලනය විසින්, විරෝධතාවයට නායකත්වය දෙන සේවකයන් 13 දෙනෙකුට ආයතනය තුලට ඇතුලුවීමට ඉඩ නොදෙන ලෙස ආරක්ෂක අංශ වලට විධානය කොට ඇත. ඒ සම්බන්ධයෙන් මෙතෙක් එම සේවකයන්ට කවර හෝ ලිඛිත දැනුම් දීමක් සිදුකොට නැත.

ආයතන භූමියට පිටතින් එහි ප්‍රධාන දොරටුව අසල රැඳී විරෝධතාවයේ යෙදී සිටින එම සේවකයෝ ලෝසවෙඅ ට කතා කරමින් ආයතනයේ අත්තනෝමතික පාලනය පිලිබඳව කෝපයෙන් විස්තර කලහ. “ආයතනයේ සභාපති තනතුරට අලුත් ආන්ඩුවෙන් පත්කොට ඇති තිලකා ජයසුන්දර තනතුරේ වැඩ භාර ගනිමින් අපට පොරොන්දු වුනේ සභාපති තනතුර සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුර පමනක් දේශපාලනිකව පත් කෙරෙන බවයි. පිටතින් පත් කිරීමට යෝජිත නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිලයන් හතර සහ අධ්‍යක්ෂ තනතුර අහෝසි කිරීමට කටයුතු කරන බව ඇය පැවසුවා” යයි එක් සේවකයෙකු පැවසීය.

නමුත් එම “පොරොන්දුව කඩ කරමින්” වැඩ භාරගත් දිනයට පසු දිනයේම එම තනතුරු පහ සඳහා ඇය විසින් පත්වීම් ලිපි නිකුත් කලේ කවර හෝ “සදාචාරයකින් තොරව” බව තවත් සේවකයෙකු පැවසීය.

ආයතනයේ ඉහලම තනතුරු වලට පිටස්තර අය පත් කිරීම හේතුවෙන් ආයතනයේ නිත්‍ය සේවකයන්ට තම උසස්වීම් හරහා එම තනතුරු කරා ලගා වීමට ඇති අවස්ථා අහුරා ඇති බවද ඔවුහු ලෝසවෙඅ ට පැවසූහ.

“සුදුසුකම් රහිත දේශපාලන හෙංචයියලා හත් දෙනෙකු” උපදේශකවරුන් ලෙස පත්කොට 2017-2018 වසර වලදී පමනක් රුපියල් මිලියන 6 කට අධික මුදලක් වැටුප් සහ දීමනා සඳහා වැයකල බව ද ඔවුහු පැවසූහ. මීට අමතරව, ආයතනය උපයාගත් ලාභය තැන්පත් කර පවත්වාගෙන යන ලද ස්ථාවර තැන්පත් සංචිතයෙන් රුපියල් කෝටි 67 ක් පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙනයාම සඳහා වියදම්කොට ඇති බවට ඔවුහු චෝදනා කලහ.

“ජනප්‍රියත්වය අතින් අංක එකෙහි” පැවති අයිටීඑන් නාලිකාව දැන් අංක හතට රූටා ගොස් ආදායම් පහල වැටී ඇති තතු තුල ආයතනය සතු මුදල් මෙසේ වියදම් කිරීමෙන් ආයතනය බිඳ වැටී තම රැකියා අහිමි වෙතැයි යන බියෙන් සේවකයෝ වෙලී සිටිති.

සේවකයන් බහුතරයක් ලෝසවෙඅ ට පැවසුවේ, අනුප්‍රාප්තික ආන්ඩු වලින් පත් කෙරෙන මෙම දේශපාලනික නිලධරයන් විසින් ආධිපත්‍යධාරී ලෙස ක්‍රියාවට නංවන ඒ ඒ ආන්ඩුවේ දේශපාලනික න්‍යාය පත්‍රයන් හේතුවෙන් වැඩ සටහන් සම්පාදකවරුන්ට සහ කලා නිර්මානකරුවන්ට නිදහසේ වැඩ කිරීමේ හැකියාවක් තම ආයතනය තුල නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස 1979 අප්‍රේල් හි දී අයිටීඑන් ආරම්භ කෙරුනේ පුද්ගලික ආයතනයක් ලෙසයි. එම වසරේ ජූනි මාසයේ රජයට පවරා ගැනීමෙන් අනතුරුව, අනෙකුත් සෑම රාජ්‍ය මාධ්‍යයක් මෙන්ම අයිටීඑන් නාලිකාව ද, අනුප්‍රාප්තික ආන්ඩුවල හොරනෑවක් බවට විවෘතවම පත්විය.

විශේෂයෙන්ම, දෙමල පීඩිත ජන වර්ගයට එරෙහිව දශක තුනකට ආසන්න කාලයක් කොලඹ ආන්ඩු විසින් ගෙනගිය යුද්ධයේ ප්‍රධාන උද්ඝෝෂකයෙකු ලෙස එය ක්‍රියාත්මක විය.

එමෙන්ම, එම ආන්ඩු විසින් කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල සෑම ප්‍රහාරයකදීම එය යුක්තියුක්ත කිරීමටත්, එම ප්‍රහාරයන්ට එරෙහිව මතුවූ කම්කරු සහ ශිෂ්‍ය අරගලයන්ට එරෙහිව මහජනතාව පිහිටුවීම සඳහාත් පාලකයෝ මෙම නාලිකාව දැනුවත්ව යොදා ගැනුනි.

2008 දී මුදා හැරුනු ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය ධනපති ක්‍රමයේ පද්ධතිමය බිඳ වැටීමක් බවට වර්ධනය වී ඇති තතු යටතේ, සෑම රටකම පාලක පන්තීහු එම අර්බුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාවන්ගේ උරමත පැටවීම සඳහා ආඥාදායක පාලනයන් වෙත මාරු වෙමින් සිටිති. අන්තර්ජාල වාරනය ඇතුලු විවෘත ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර හරහා මාධ්‍යයන්ගේ සමස්ත පාලනය තම අතට ගැනීම මෙහි ප්‍රධාන අංගයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මෙම මාධ්‍ය පාලනයේ අවශ්‍යතාව යලියලිත් අවධාරනය කොට ඇත.

මෙම තතු තුල අයිටීඑන් වැනි රාජ්‍ය මාධ්‍යයන් තුල තම ග්‍රහනය දැඩිලෙස තහවුරුකර ගැනීම ආන්ඩුවේ දැවෙන අවශ්‍යතාවයකි. අනෙක් අතට, එයට එරෙහිව අයිටීඑන් සේවකයන් දක්වන විරෝධතාව, තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව ලංකාව තුල මෙන්ම ලොවපුරා වර්ධනය වන කම්කරු පන්තික සටන්කාමිත්වයේ ප්‍රකාශනයකි.

තම ආයතනයට ආන්ඩුවේ දේශපාලන හෙංචයියන් පත් කිරීම සම්බන්ධ විරෝධතාවයක් ලෙස එය ප්‍රකාශයට පත් වුවද, තම දුෂ්කර සේවා සහ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් සමස්ත කම්කරු පන්තිය තුල කැකෑරෙන කෝපය එය තුල ගැඹුරින්ම අන්තර්ගත වෙයි.

එමෙන්ම, අයිටීඑන් සේවකයන්ගේ සාමකාමී විරෝධතාවය මැඩීම සඳහා කැරලි මර්දන පොලීසිය යෙදවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුව සමස්ත කම්කරු පන්තියට එරෙහිව කෙතරම් රුදුරු කඩා පැනීමකට සූදානම් වන්නේද යන්නයි.

Share this article: