“ප්‍රජාතන්ත්‍රවාදය” වෙත වඩා කිට්ටු බැල්මක්

A closer look at American “democracy”

2018 දෙසැම්බර් 20

එක්සත් ජනපද දේශපාලනය තුල චූදිත රුසියානු ඇඟිලි ගැසීම් පිලිබඳ හිස්ටීරියාවේ කේන්ද්‍රීය තේමාව වන්නේ “අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට යටින් වල කැපීමට හා වංචා කිරීමට” (ඩෙමොක්‍රටික් සෙනේට් සභික මාර්ක් වෝර්නර්ගේ වචනවලින්) පුටින් විසින් අරඹා ඇත යි කියනු ලබන නරුම උත්සාහ යි.

ගෙවී ගිය වසර ඒක හමාරක කාලය තිස්සේ ඔත්තු සේවා ඒජන්සි විසින් ප්‍රබන්ධ කෙරුනා වූ ද ඩෙමොක්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍ය විසින් ප්‍රචාරය කෙරුනා වූ ද කතාන්දරයට අනුව, පුටින් හා ඔහුගේ ගැත්තන් විසින් ඩෙමොක්‍රටිකයන් හැක් කර (පරිගනක තුලට අනවසරයෙන් ඇතුලුවීම) සමාජ බෙදීම් හා මහජන අප්‍රසාදය කැලඹුවේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහනය සහතික කිරීමට ය. එමෙන් ම එතැන් සිට ඔවුන් වැඩ කරමින් සිටින්නේ “අපගේ ආයතන” විනාස කිරීමට යි.

අන්තර් ජාලය ඔවුන්ගේ තෝරා ගැනුනු සටන් බිම වන්නේ, ගූගල්, ෆෙස්බුක් හා ට්වීටර් වැනි යෝධ තාක්ෂනික සමාගම් විසින් සමාජ මාධ්‍ය පාලනය කිරීමේ මදකමේ වාසිය ගන්නා රුසියානු වෙබ් බහිරවයන් (ට්‍රොල්ස්) හා වෙබ් රොබෝවන් (බොට්ස්) විසින් රාජ්‍ය සංස්ථාපිතය ආසාදනයට ලක් කිරීම කිරීම සමගිනි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මෙම සමාගම්, රාජ්‍ය සමඟ වැඩ කරමින් ව්‍යාජ ප්‍රවෘත්ති යැයි හංවඩු ගසන, විරුද්ධ පාක්ෂික දෂ්ටිවාදයන් (විශේෂයෙන් ම වාමාංශික, යුද විරෝධී හා සමාජවාදී දෘෂ්ටිවාදයන්) නිශ්ශබ්ද කර ඒවා අන්තර් ජාලයෙන් තුරන් කල යුතු යැයි තර්ක කරයි. මෙලෙස ආරක්ෂා කරනවා යැයි කියන ප්‍රජාතන්ත්‍රවාදය එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පලමු සංශෝධනය තුල සහතික කෙරුනු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රවාද, එනම් භාෂනයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමක් ය යන කාරනය ගැන කිසිවක් නො කිය යි.

එහෙත් බොහෝ පාරට්ටු කෙරෙන මෙම ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් ද? අපි කිට්ටු ලෙස පරීක්ෂා කර බලමු.

ද්වි පක්ෂ ඒකාධිකාරය:

වේලා කලාප පහක හා සැතපුම් දහස් ගනනක පැතිරෙන, බොහෝ වෙනස් ජාතීන්, දේශීය භාෂා, ආගම් හා ජනසංඛ්‍යාවන්ගෙන් සමන්විත, මිලියන 328ක ජනගහනයක් ඇති, අතිවිශාල සංකීර්න රටක, දේශපාලන පක්ෂ දෙකක් මුලුමනින් දේශපාලන පද්ධතියේ ආධිපත්‍ය ගනී.

පාලක සංගත-මූල්‍ය කතිපයාධිපත්‍යය පක්ෂ දෙකම පාලනය කරන අතර, දේශපාලනික ආයතනවල, එනම් ධවල මන්දිරය, කොංග්‍රස් මන්ඩලය, ප්‍රාන්ත නියෝජිත මන්ඩල ආදියේ පාලනය තමන් අතර මාරු කර ගනිමින් තම පාලනය පවත්වා ගෙන යයි. වැඩිමනත් ලෙස කම්කරුවන්ගෙන් සමන්විත, පොදු මහජනයාට ඡන්දයට ගොස් මෙම ධනේශ්වර පක්ෂවලින් එකක් හෝ අනෙක තෝරා ගැනීමට සෑම වසර දෙකකට හෝ හතරකට වරක් අවස්ථාව ලබා දේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෙය යි.

මහා ව්‍යාපාරික පක්ෂ දෙකේ ඒකාධිකාරය තව දුරටත් ශක්තිමත් කෙරෙන්නේ සමානුපාතික නියෝජනයක් නැතිකම විසිනි, මෙය තුන්වැනි පක්ෂවලට හෝ ස්වාධීන අපේක්ෂකයෙකුට කොංග්‍රසය තුල සැලකියයුතු නියෝජනයක් ලබා ගැනීම අපහසු කර යි.

සංගත මුදල්වල කාර්යභාරය:

සමස්ත දේශපාලන ක්‍රියාදාම, එනම් අපේක්ෂකයින් තේරීම, මැතිවරන, දේශීය හා විදේශ ප්‍රතිපත්ති සැකසීමේ ආධිපත්‍යය ගනු ලබන්නේ සංගත මුදල් විසිනි. ඔහු හෝ ඇයට ජනගහනයේ පොහොසත් ම සියයට 1, නැත්නම් සියයට 0.01 ශ්‍රේනිවල අනුග්‍රාහක පිටුබලය නො මැති නම්, ජනාධිපති තනතුරු සඳහා බැරෑරුම් ලෙස තරඟ කල නො හැක. මැතිවරන මෙන් ම දේශපාලඥයින් මිල දී ගැනීම විවෘත මෙන් ම ලැජ්ජා විරහිත ය.

පසු ගිය වසරේ අන්තර්වාර මැතිවරන උද්ඝෝෂන වියදම් කිරීම් සඳහා වාර්තාවක් තැබුවේ ඩොලර් බිලියන 5.2ක්, එනම් 2014ට වඩා සියයට 35කින් ද, මීට වසර 20ට පෙර 1998 වියදම් කල මුදල තුන්ගුනයකින් ද වැඩි කරමිනි. මෙම මුදල් ප්‍රවාහයේ වැඩි පංගුව ආවේ සංගත හා බහු-මිලියනපති ආධාරකරුවන්ගෙනි.

තරඟ අතිමහත් බහුතරයක ජයග්‍රාහකයා තීරනය කෙරුනේ ඔහු හෝ ඇයගේ උද්ඝෝෂන මුදල් සංචිතයෙනි. නියෝජිත මන්ත්‍රී මන්ඩල තරඟ සියයට 89ක් ද සෙනෙට් සභා තරඟ සියයට 84ක් ද ජය ගනු ලැබුවේ ලොකු ම වියදම්කාරයා විසිනි.

රිපබ්ලිකානු තරඟකරුවන්ට වඩා ඩෙමොක්‍රටික් අපේක්ෂකයින්ට වියදම් කිරීමේ විශාල වාසියක් තිබුනේ, මහජනයාගේ පක්ෂය ලෙස මවා පෑමේ තම උත්සාහයේ බොරුව හෙලිදරව් කරමිනි. සුරකුම්පත් හා ආයෝජන කර්මාන්තය, එනම් වෝල් වීදිය සියයට 46ට සියයට 52කේ පරතරයකින් රිපබ්ලිකානුවන්ට වඩා ඩෙමොක්‍රටිකයන්ට පක්ෂපාතී ය.

මැතිවරන යනු ඡන්දදායකයින් විසින් මුහුන දෙනු ලබන විශාල ප්‍රශ්න හැර ඕනෑ ම දෙයක් විවෘත හා අවංක ලෙස සාකච්ඡා කිරීමේ වේදිකාවකි. සැබෑ ප්‍රශ්න, එනම් නව යුද්ධ සඳහා සූදානම් වීම, වඩා දැඩි කප්පාදු හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත වැඩි දුර ප්‍රහාර ප්‍රහරාත්මක දැන්වීම් හා මඩ ගැසීම් විෂ වාතය පිටුපස සැඟවේ. පීක්‍යූ මීඩියා නම් පර්යේෂන සමාගම මෙම වසරේ සමස්ත දේශපාලන දැන්වීම් වියදම ඩොලර් බිලියන 6.75ට ලඟා වනු ඇත යි තක්සේරු කරයි. පසු ගිය මාසයේ මැතිවරනයේ දී, කොංග්‍රස් මන්ඩල හා ආන්ඩුකාර (තනතුරු) සඳහා දැන්වීම් ඊට පෙර, 2014 මධ්‍ය වාර මැතිවරනයට වඩා සියයට 59න් ඉහල ගියේ ය.

ව්‍යවස්ථාදායකයේ ප්‍රතිපත්ති හා වගන්ති සැකසීමට ආධාර කරනු ලබන්නේ පෙලඹවීම් යන මිහිරි වචන මගින් හඳුන්වන සංගත අල්ලස් මගිනි. 2017දී පමනක්, ආන්ඩුව පෙලඹවීමට සංගත ඩොලර් බිලියන 3ක් වැය කලේ ය.

ඡන්ද ප්‍රවේශ සීමා කිරීම්:

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන, ඡන්ද තත්වය ලබා ගැනීමේ ගුප්ත, අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍රවාද විරෝධී තද ප්‍රහාරයක්, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ආධිපත්‍යට එරෙහි තුන්වැනි පක්ෂ අභියෝග වලක්ව යි. මෙයට බොහෝ ප්‍රාන්තවල නාම යෝජනා ඉදිරිපත් කිරීමේ ගාස්තු හා දසදහස් ගනනක් විසින් පෙත්සම් අත්සන් කිරීමේ අවශ්‍යතාව ඇතුලත් ය. තරුනයන් හා කම්කරුවන් අතර සහයෝගය දිනා ගන්නවා යැයි පෙනෙන සමාජවාදී හා වාමාංශික අපේක්ෂකයින්ගේ පෙත්සම්වලට ඩෙමොක්‍රටික් නිලධරයෝ පුරුද්දක් ලෙස අභියෝග කරති.

තුන්වැනි පාර්ශ්ව අපේක්ෂකයන් පිලිබඳ මාධ්‍ය වසන් කිරීම:

සංගත මාධ්‍ය ක්‍රමානුකූල ලෙස තුන්වැනි පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයින්ගේ, විශේෂයෙන් ම වාමාංශික හා සමාජවාදී අපේක්ෂකයින්ගේ උද්ඝෝෂන වසන් කර යි. තෙමේ ම පොහොසත් නැතහොත් පොහොසත් අනුග්‍රාහකයින්ගේ අනුබලය ඇති අපේක්ෂකයන් පමනක් මීට වෙනස්ය.

ජාතික ව විසුරුවා හැරෙන රූපවාහිනී අපේක්ෂක විවාදවලින් ද පොදුවේ තුන්වැනි පක්ෂ අපේක්ෂකයෝ ඉවත් කෙරෙති.

පසු ගිය මාසයේ පැවති මැතිවරනයේ දී, මිචිගන් ප්‍රාන්තයේ 12වැනි කොංග්‍රස් මන්ඩල දිස්ත්‍රික්කයේ කොංග්‍රස් මන්ඩලය සඳහා සමාජවාදී සමානතා පක්ෂ අපේක්ෂක නයිල්ස් නීමුත්, තම සමාජවාදී ක්‍රියාමාර්ගය සඳහා කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයින් අතර පුලුල් සහයෝගයක් දිනා ගත්ත ද සැබෑ මාධ්‍ය ආවාරනයක් නො ලැබී ය.

ඡන්දය දීම සීමා කිරීම්:

ඩෙමොක්‍රටිකයන් හෝ මාධ්‍ය වෙතින් සැබවින් ම විරුද්ධත්වයක් නොමැති ව, මහජන ඡන්දයෙන් පරාජය වූ ජෝජ් ඩබ්ලිව්. බුෂ්ට ධවල මන්දිරය පවරනු පිනිස ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඡන්ද ගනන් කිරීම ශ්‍රේෂ්ඨාධිකරනය විසින් නතර කර දැමීමේ අවස්ථාවේ, 2000 ජනාධිපතිවරනය සොරා ගැනුනු තැන් සිට, කම්කරුවන් හා දුප්පතුන්ගේ ඡන්දය අයිතිය මත ප්‍රහාර වැඩි වී ඇත.

ප්‍රාන්ත තිස්තුනක් ඡන්දදායකයා හඳුනා ගැනීමේ නීති ක්‍රියාත්මක කර ඇත. අධ්‍යයනයකට අනුව මෙය ජනගහනයෙන් සියයට 6ගේ ඡන්දය දීමේ අයිතිය වලක්වයි. ඡන්දය පැවත්වෙන දිනට පෙර ඡන්දය දීම හා ඡන්දය දීමෙන් වැලකී සිටීම ප්‍රාන්ත විසින් කපා දමා, කම්කරු පන්ති අසල්වාසයන් හි ඡන්ද ප්‍රදේශ වසා දැමා ඇත. 2013දී, ශ්‍රේෂ්ඨාධිකරනය 1965 ඡන්දය දීමේ අයිතිය පිලිබඳ පනත බලාත්මක කිරීමේ යාන්ත්‍රනය සෝදා හැරියේ, ඩෙමොක්‍රටිකයන්ගෙන් සැබෑ විරුද්ධත්වයක් නැතිව ය. එක්සත් ජනපදය වැඩ කරන දිනවල මැතිවරන පවත්වන රටවල් කීපයෙන් එකක් වී ඇත්තේ, කම්කරුවන්ට ඡන්දය දීම වඩ වඩා දුෂ්කර කරවමිනි.

පොහොසතුන් විසින් පොහොසතුන් සඳහා, පොහොසතුන්ගේ ආන්ඩුව:

සංගත පක්ෂ දෙක සමාජ ප්‍රතිවිප්ලවයක් අධීක්ෂනය කර ඇත්තේ, සමාජ අසමානතාවේ ඉතා විශාල වර්ධනයක් ඇති කරමිනි. මෙම ක්‍රියාදාමය සමග එක පෙලට, සමාජයේ කතිපයාධිපත්‍යය ව්‍යූහය වඩ වඩා විවෘත ප්‍රකාශනයක් සොයා ගෙන ඇත්තේ පාලනයේ දේශපාලන රූපාකාරයන් තුල ය. පොලිස් රාජ්‍යයක යටිතල ව්‍යූහය සකස් කිරීම (බහුජන සෝදිසි කිරීම්, දින නියමක් නැති රඳවා ගැනීම්, පොලිසිය මිලිටරීකරනය, වැඩපොලවල් මත ගෙස්ටාපෝ වර්ගයේ කඩා පැනීම් හා සංක්‍රමනිකයන් මත ප්‍රහාර, දේශපාලන කටයුතු කරා මිලිටරියේ නැගීම, අන්තර්ජාලවාරනය කිරීම) පසෙකින් ආන්ඩුවේ නිලධාරීන් වඩ වඩා බඳවා ගෙන ඇත්තේ පොහොසතුන් හා සුපිරි පොහොසතුන්ගෙනි.

ඇමරිකානු ජනගහනයෙන් හුදෙක් සියයට එකක් සමඟ සසඳන විට, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සාමාජිකයින්ගෙන් අඩකට වඩා මිලියනපතියෝ වෙති. පසු ගිය දශක තුනේ සියලු ජනාධිපතිවරු (එච්.ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන්, ජෝජ් ඩබ්ලිව්. බුෂ්, බරක් ඔබාමා) එක්කෝ බලයට ආ මිලියනපතියෝ වූහ, නැත් නම් තම ජනාධිපතිකම යොදා ගෙන බහු මිලියනපතියන් බවට පත්වූහ. බහු-බිලියනපති දේපල වෙලඳාම් සමපේක්ෂකයෙකු මෙන් ම රැවටිලිකාරයෙකු වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුද්ගලාරෝපනය තුල මූල්‍ය කතිපයාධිපත්‍යය විවෘත ව ධවල මන්දිරයේ පදිංචිය ඩැහැ ගෙන ඇත.

රජය හා විප්ලවය නම් කෘතිය තුල ලෙනින් මෙසේ සඳහන් කලේ :

“මධ්‍යකාලීන තත්වය සමග සසඳන විට ශ්‍රේෂ්ඨ ඓතිහාසික වර්ධනයක් වන නමුත්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය, හැමදා පවතින්නේ, හා ධනවාදය යටතේ පැවතීමට බැඳී තිබෙන්නේ, සීමිත, ලොප්කල, ව්‍යාජ හා කුහක, මෙන් ම පොහොසතුන් සඳහා පාරාදීසයක් ද සූරා කැවෙන, දුප්පතුන් සඳහා උගුලක් හා ඇස්බැන්දුමක් ද ලෙස ය.”

සංගත හිමිකරුවන් හා ඔවුන්ගේ රාජ්‍ය සංවිධාන විසින් සූරා කැවෙන, පීඩිත පන්තියක් ලෙස එය තිබෙන තාක් දුරට, කම්කරු පන්තිය කවර දා වත් අවංක ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් නො කර ගනු ඇතිවාක් මෙන් ම ධනේශ්වර පන්තියට එරෙහි සියවසකට වඩා වැඩි අරගලයේ ක්‍රියාදාමය තුල දී අත්පත් කර ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහන ආරක්ෂා කර ගැනීමේ දී සාර්ථක නො වනු ද ඇත. පොහොසතුන්ගේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ව, කම්කරුවන් හා පීඩිතයින් සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කර ගත හැකි වනු ඇත්තේ කම්කරු අරගලයන්ගේ සංවිධාන නිර්මානය කිරීම හා පාලනය කිරීම මෙන් ම පවතින්නා වූ රාජ්‍ය පෙරලා දමා, කම්කරු පන්තිය අතේ බලය තබන, ධනපතීන්ගේ භුක්තිය පැහර ගෙන සමාජ සමානතාව මත පදනම් සමාජවාදී ආර්ථිකයක් ස්ථාපිත කිරීම සඳහා වන විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම ඔස්සේ පමනි.

බැරී ග්‍රේ

Share this article: