සරනාගතයන් මත ගෝලීය කඩාපැනීම මධ්‍යයේ

ලෝක ජනගහනයෙන් හයෙන් එකකට තම මව් රටවලින් පලායාමට අවශ්‍ය ය

Amid global crackdown on refugees: One sixth of world’s people want to flee their home countries

2018 දෙසැම්බර් 31

ලෝකය ස්පන්දනය වෙමින් තිබෙන්නේ ලෝක ධනවාදයේ අර්බුදයේ බර යටතේ තම නිවෙස් වලින් පලායාමට සියල්ල පරදුවට තැබූ මිලියන සිය ගනනක පුද්ගලයන් සමගිනි. ගලුප් නම් ඇමරිකානු කලමනාකරන උපදේශන සමාගමේ මෑත අධ්‍යයනයකට අනුව, ලෝක වැඩිහිටි ජනගහනයෙන් හයෙන් එකකට, එනම් ලමුන් නොමැති ව, මිලියන 750ක සංඛ්‍යාවකට යුද්ධය, දරිද්‍රතාව, ගැටුම් හා රෝගවලින් බේරීමට තම නිවාස වලින් පලායාමට අවශ්‍ය වී ඇත.

මෙම සංඛ්‍යා අනාවරනය කරන්නේ දශක ගනනාවක අධිරාජ්‍යවාදී යුද්ධය හා සංගතවල සූරා කෑමේ විනාසකාරී බලපෑම යි. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමේ තැන් සිට සියවස් කාලකට වඩා වැඩි කාලයක් තුල, ප්‍රධාන බලවතුන්ගේ පාලක පන්තීන් පෙර නො වූ විරූ මිලිටරි කොල්ලකෑම් හා සමාජප්‍රතිවිප්ලවය මුදා හැර ඇත්තේ, මිලියන ගනනාවක් ඝාතනය කරමින් හා ලෝක ජනගහනයෙන් පුලුල් සමූහයක් විනාස කර දමමිනි.

අප්‍රිකාවේ උප-සහරා කාන්තාර ප්‍රදේශයේ ජනගහනයෙන් තුනෙන් එකකට පලායාමට අවශ්‍ය ය. ප්‍රන්ස, නෙදර්ලන්ත, බෙල්ජියානු හා ඇමරිකානු සංගත ලොල් කරන ඛනිජ ද්‍රව්‍ය හා තෙල්වලින් ආඪ්‍ය මෙම කලාපයේ ජීවිතාපේක්ෂා කාලය වසර 46ක් වන අතර ජනගහනයෙන් සියයට 70ක් ජීවත් වන්නේ දිනකට ඩොලර් 2ට අඩු ආදායමක් මත ය.

එක්සත් ජනපද ආක්‍රමන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු හා එක්සත් ජනපදය අනුබල දෙන ඒකාධිපතිත්වයන්ගෙන් පසු, ලතින් ඇමරිකාවේ පුද්ගලයන්ගෙන් සියයට 27කට තම මව් රටවල් අත්හැර යාමට අවශ්‍ය ය.

ස්ටැලින්වාදී නිලධරයන් ව සිට කතිපයාධිකාරීන් වූවන් විසින් රාජ්‍ය කර්මාන්ත පුද්ගලීකරනය කිරීමෙන් පසු සම්පූර්නයෙන්ම වාගේ සිදු කෙරුනු විනාශයෙන් නැගෙනහිර යුරෝපියානුවන්ගෙන් සියයට 26කට පලායාමට අවශ්‍ය ය.

මැද පෙරදිග හා උතුරු අප්‍රිකානුවන්ගෙන් සියයට 24ක්, පර්සියානු බොක්කේ යුද්ධය ඇරඹුනු දා සිට එක්සත් ජනපදය විසින් කලාපය මත පතිත කර ඇති බෝම්බ හා මිසයිල කුනාටුවෙන් බේරී වාසස්ථාන සොයා යාමට ප්‍රාර්ථනා කර යි.

රටවල් 13ක, වැඩිහිටි ජනගහනයෙන්, ආසන්න වසයෙන් අඩක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ජීවිතය දරාගත නො හැකි බව නිගමනය කර යි.

යුරෝපීය ආභරන නිෂ්පාදකයින්ට දියමන්ති සැපයීමේ ලේ වැකි සටනින් නටබුන්වී ඇති රටක් වන සියරා ලියෝනයේ වැඩිහිටියන්ගෙන් අඩකට පලායාමට අවශ්‍ය ය. සියවසකට වඩා වැඩි කාලයක ඇමරිකානු ආක්‍රමන හා වාඩිලා ගැනීම්වලින් පසු, හයිටි රාජ්‍යයේ සියයට 63කට රට අත්හැර යාමට අවශ්‍ය ය.

සැල්වදෝරියානුවන් සියයට 52ක් හා හොන්ඩ්‍යුරානුවන් සියයට 47කට 1980 ගනන් හා 1990 ගනන්වල සිවිල් යුද්ධවලින් පසු මධ්‍යම ඇමරිකාවේ බලපවත්නා ප්‍රචන්ඩත්වය හා දරිද්‍රතාවෙන් හා දූෂනයෙන් බේරීමට අවශ්‍ය ය. චෙව්රෝන් හා රෝයල් ඩච් ෂෙල් සමාගම් විසින් බොර තෙල් නිස්සාරනයෙන් කොල්ල කැවෙන තම රට අත්හැර යාමට නයිජීරියානුවන් සියයට හතලිස්අටදෙනෙකුට අවශ්‍ය ය.

මෙම වසරේ යුරෝපීය හා උතුරු ඇමරිකානු පාලක පන්තීහු වැඩෙන සමාජ අසමනාතවෙන් සිත වෙනතක යොමු කිරීමට හා කම්කරු පන්තියට එරෙහිව යොදා ගනු ඇති අන්ත දක්ෂිනාංශික කන්ඩායම් ශක්තිමත් කිරීමට පෙර නො වූ විරූ ලෙස සංක්‍රමන විරෝධී ප්‍රතිපත්ති හා විදේශිකයන් නොරිස්සීමේ මනෝගතීන් ප්‍රකෝප කලහ.

ජූනි මාසයේ, යුරෝපීය සංගමය ආගමන අඩු කිරීමට හා උතුරු අප්‍රිකානු සංක්‍රමනිකයන් රැඳවීමට සමූහ කඳවුරු ඉදි කිරීමට එකඟ වූහ.

අගෝස්තු මාසයේ, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සරනාගත යෝග්‍යතාව කප්පාදු කරන නීතියකට අත්සන් කලේ ය.

ඉතාලි අභ්‍යන්තර ඇමති මටේඕ සල්විනී සංක්‍රමනිකයන් 500,000ක් හා සමස්ත රොමා ජනසංඛ්‍යාව ම පිටුවාහල් කිරීමට තර්ජනය කලේ ය. එක්සත් රාජධානිය තුල, ටෝරී ආන්ඩුව බ්‍රෙක්සිට් ගිවිසුම සූදානම් කරමින් සිටින අතර, එය නැගෙනහිර යුරෝපීයානු සංක්‍රමනිකයන් එරටින් පිටුවාහල් කරනු ඇත. නැගෙනහිර ජර්මනියේ නව නාසිවාදී ජර්මනිය සඳහා විකල්පය පක්ෂය මෙම ගිම්හානයේ දී ආන්ඩුවේ අනුබලය ඇතිව සංක්‍රමනික විරෝධී පෙලපාලි පැවත් වී ය.

එක්සත් ජනපදයට වඩා වෙන කොහේ වත් සංක්‍රමනික විරෝධී දඩ මීමා කර ගැනීම් එතරම් බියකරු හා අනතුරුදායක නැත. අප්‍රේල් මාසයේ දී, ට්‍රම්ප් පාලනාධිකාරිය එක්සත් ජනපද - මෙක්සිකෝ දේශ සීමාවේ දී තම පවුල්වලින් ලමුන් වෙන් කිරීම ඇරඹූ අතර ලමුන් රැඳවීමට කුඩාරම් නගර සිර කඳවුරු ඉදි කලේ ය.

ඔක්තෝබරයේ දී ට්‍රම්ප් දකුනු දේශ සීමාවේ හමුදා භටයින් දහස් ගනනක් රැඳවී ය. මධ්‍යම ඇමරිකානු සංක්‍රමන කන්ඩායමින් පැමිනි දහස් ගනනක් මාස කීපයක් තිස්සේ ටිජුවානා නගරයේ වීදිවිල නිදා ගෙන සිට ඇත. මෙම මාසයේ එක්සත් ජනපද අත්අඩංගුවේ සිටිය දී ගෝතමාලා ලමුන් දෙදෙනෙකු මියගිය අවස්ථාවේ, ආන්ඩුව ඔවුන්ගේ දුප්පත් ස්වදේශීය දෙමව්පියන්ට දෝෂාරෝපනය කලේ ය.

ලෝකය පුරා “වාම” ජනප්‍රියවාදී කයිවාරුකරුවෝ අන්ත දක්ෂිනාංශිකයින්ගේ සංක්‍රමන විරෝධී පියවර යුක්තිසහගත කරමින් හා කම්කරු පන්තියට ජාතිකවාදී විෂ කා වැද්දීමට උත්සාහ ගනිමින් ඉතාමත් සාපරාධී කාර්යභාරයක් ඉටු කරති. එක්සත් රජධානියේ දී, ලේබර් පක්ෂ නායක ජෙරෙමි කෝබින්, බි්‍රතාන්‍ය විදේශීය කම්කරුවන් පැමිනීම සීමා කල යුතු යැයි මාර්තු මාසයේ දී ස්කොට්ලන්ත ලේබර් පක්ෂ සම්මේලනයකට පැවසූ අවස්ථාවේ දී අනුකරනය කලේ, එක්සත් රාජධානියේ ස්වාධීන පක්ෂ (යූකේඅයිපී) නායක නිගෙල් ෆරාග් ය.

මෙක්සිකෝව තුල, “වාම” ජාතිකවාදී අන්ද්‍රේ මැනුවෙල් ලෝපෙස් ඔබඩෝර්(ඇමිලෝ) ගේ නව ආන්ඩුව මධ්‍යම ඇමරිකානු සරනාගතයින් මෙක්සිකෝවේ රඳවා තැබීමට හා එක්සත් ජනපදය තුල ආරක්ෂාව පැතීමේ තම අයිතිය ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් වැලැක් වීමට ක්‍රියා කලේ ය.

ග්‍රීසියේ දී, රැඩිකල් වාම(සිරිසා) සභාග ආන්ඩුව සරනාගතයින් සියදහස් ගනනක් සිර කඳවුරුවල හිර කර ඇති අතර, මෑත දී තුර්කියේ එව්රෝස් ගඟ තරනය කිරීමට උත්සාහ ගත් සංක්‍රමනිකයන්ට ම්ලේච්ඡ ලෙස පහර දීමට පොලීසිය රැඳවී ය.

සංක්‍රමනිකයන් ගැන සිරිසාවේ ආස්ථානය හ්‍යුමන් රයිට් වොච් සංවිධානයේ මෑත වාර්තාවක සාරාංශ කෙරුනි:

ග්‍රීක (පොලීසියේ) අපචාරයන්ට අත්වලින් හා බැටන් පොලුවලින් පහර දීම, පා පහර දීම, හා එක් අවස්ථාවක දී, පෙනුනු පරිදි විදුලි කම්පා තුවක්කුවකින් පහර දීම ද ඇතුලත් වුනි. තවත් අවස්ථාවක දී, මොරොක්කෝ ජාතිකයෙකු පැවසුවේ මුහුන වසා ගත් මිනිසෙකු තම කෙස්වලින් තමා ඇද ගෙන ගොස්, බිම දන ගැසීමට බල කර, තම බෙල්ලට පිහියක් තබා, තමා ව්‍යාජ බෙල්ල ගසා දැමීමට ලක් කල බව යි. අනෙක් අය සිරියාවේ ඒෆ්‍රින්වලින් පැමිනි, දහනව වියෙහි ගැබිනි කාන්තාවක් තල්ලු කර දැමූ අතර, ග්‍රීක බලධාරීන් තම තරුන ලමුන්ගේ සපත්තු පැහැර ගෙන ගෙන ගිය බව ඇෆ්ගනිස්තානයෙන් පැමිනි කාන්තාවක් පැවසුවා ය.

එක්සත් ජනපදය තුල, බර්නී සෑන්ඩර්ස් ජනවාරි මාසයේ දී ට්‍රම්ප්ට වැඳ වැටුනේ “අපට ශක්තිමත් දේශ සීමා ආරක්ෂාවක් ඇති බව තහවුරු කර ගැනීමට අප සමග වැඩ කරන” ලෙස පවසමිනි.

මෙම වසර මුල දී, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (ඩීඑස්ඒ), “සංක්‍රමනයන් පිලිබඳ වාම ආස්ථානයක් උදෙසා” නමින් ප්‍රකාශනයක් ලියූ අතර, එයට “එය විවෘත දේශ සීමා පිබඳව නො වේ”යැයි අතුරු වගන්තියක් ඇතුලත් වෙයි.

ඩීඑස්ඒ මෙසේ ලියයි: “වර්තමානයේ පවතින සංක්‍රමනික ප්‍රතිපත්තියට සැබෑ විකල්පය වන්නේ ‘විවෘත දේශසීමා’ නොවේ. එය සාධාරන, සංක්‍රමනික කම්කරුවන්ට පක්ෂ ක්‍රමයකට මග පාදන, නව රැකියා හා සංක්‍රමනික නව නීති මගින් උනන්දු කෙරෙන, පවත්නා රැකියා නීති බලාත්මක කිරීමකි.”

තුනීවට ආවරනය කෙරුනු, සංක්‍රමන විරෝධී ජාතිකවාදය හා ස්වෝත්තමවාදයට වන මෙම නින්දිත ආයාචනය වෘත්තීය සමිති නිලධරය, ට්‍රම්ප් පාලනාධිකාරිය හා ස්ටීවන් බෙනන් වැනි අයගේ ඒවාට වඩා මූලික ආකාරයකින් වෙනස් නො වේ.

එවැනි ක්‍රියා හා ප්‍රකාශන සමග කෝබින්, සිරිසා, ඒඑම්එල්ඕ, සෑන්ඩර්ස් හා ඩීඑස්ඒ හෙලිදරව් කරන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය හා සමාජවාදයට වන තම වෛරය යි. ඔවුන් පොරොන්දු වෙමින් සිටින්නේ (නැත් නම් සිරිසා හා ඒඑම්එල්ඕ සම්බන්ධයෙන් ගත් විට දැනටමත් පෙන්වා ඇති පරිදි) තම දුක්ගැනවිලිවලට පිලියමක් ඉල්ලමින් සිටින කම්කරුවන්ට එරෙහිව තමන් රාජ්‍ය බලය යොදා ගන්නා බව යි.

ජාතික දේශසීමා ආරක්ෂා කරන, ඩීඑස්ඒ වැනි ජාතිකවාදී කන්ඩායම්වලට වෙනස් ව සමාජවාදී සමානතා පක්ෂය සමාජවාදී ජාත්‍යන්තරවාදය වෙනුවෙන් සටන් කරන අතර අධිරාජ්‍යවාදී යුද්ධයෙන් පලා යමින් සිටින, බලාපොරොත්තු සුන් වූ කම්කරුවන් හිර කිරීමට හෝ වෙනත් රටක ආරක්ෂාව හා යහපත් ජීවිතයක් සෙවීමෙන් ඔවුන් වැලැක් වීමට කිසියම් පාලක පන්තියකට අයිතියක් ඇත යි යන බොරුව ප්‍රතික්ෂේප කර යි. යුරෝපය හා ඇමරිකාවේ වැඩෙන දරිද්‍රතාව හා පිරිහෙන ජීවන තත්වයන් සම්බන්ධයෙන් සංක්‍රමනික කම්කරුවන්ට දෝෂාරෝපනය කල නො හැක. කම්කරුවන්ගේ සැබෑ හතුරන් වන්නේ පලමු වසයෙන් සංක්‍රමනික කම්කරුවන් තම නිවාසවලින් බලෙන් පලවා හැරීමට වගකිවයුතු එකම අධිරාජ්‍යවාදී ආන්ඩු හා අන්තර්ජාතික සංගත යි.

සමාජවාදී සමානතා පක්ෂය සිරගත කෙරුනු සියලු සංක්‍රමනිකයන් වහා නිදහස් කිරීම ද, සියලු සංක්‍රමනික කම්කරුවන්ට යහපත් වැටුප් ගෙවන රැකියා, නිවාස, සමාජ ශුභසාධන, අධ්‍යාපනය හා පිටුවහල් කිරීමේ බියෙන් තොර ව තම තේරීමේ ගමනාන්තයකට යාමට ආරක්ෂාකාරී මාර්ග ද සැපයීමට, බැංකු හා සංගතවල භුක්තියෙන් පැහර ගැනුනු ඩොලර් ටි්‍රලියන ගනනක ප්‍රතිපාදන ද ඉල්ලා සිටී.

ධනවාදය ලෝකයේ පුලුල් තීරයක් තුච්ඡ හිරගෙයක් බවට පරිවර්තනය කර ඇත්තේ, ඉන් හයෙන් එකක් බේරි යාමට සටන් කරමින් සිටින ජාතික රාජ්‍ය වදබන්ධනවල කම්කරුවන් හා දුප්පතුන් රඳවමිනි. සමාජවාදී විප්ලවය ලෝක කතිපයාධිකාරියේ පාලනයෙන් නිෂ්පාදන බලවේග නිදහස් කර ගන්නා අතර, ජාතික දේශසීමා තුරන් කර සැනසිල්ලේ ලෝකයේ සංචාරය කිරීමට සියලු කම්කරුවන්ට ඇති අයිතිය තහවුරු කරනු ඇත.

එරික් ලන්ඩන්

Share this article: