ආන්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන පාජාව සහ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය

2019 ජනවාරි 16

අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ නමින් කොලඹ ආන්ඩුව ගෙන යන ප්‍රෝඩාව පසුගිය සිකුරාදා ඊනියා ව්‍යවස්ථා සම්පාදක මන්ඩල රැස්වීමෙන් ප්‍රදර්ශනය විය. කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම සහ මෙම ප්‍රෝඩාව අතර කිසිදු සම්බන්ධයක් නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් ලෙස සිකුරාදා රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සභාවට “විද්වතුන්” විසින් සකස් කෙරුනු බව කියන වාර්තාවක් ඉදිරිපත් කලේය. පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟත්වයෙන් 2016 මාර්තු මාසයේ පිහිටුවූ මේ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයේ මෙහෙයුම් කමිටුව අවුරුදු තුනක් විලි ලෑමෙන් පසුව ද තවමත් කෙටුම්පතක් සකස් කර නැත.

සිකුරාදා රැස්වූ සභාවට මන්ත්‍රීන් 225 සහභාගී වියයුතුව තිබුනත් ඊට එදින පැමින සිටියේ එම සංඛ්‍යාවෙන් හතරන් එකකටක් අඩු, මන්ත්‍රීන් 56ක් පමනක් බව වාර්තාවිය. “මහජන නියෝජිතයන්” ලෙස තමන් හංවඩු ගසාගන්නාවූත් රටේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා තමන්ට ජනවරමක් ඇතැයි මැත දොඩවන්නාවූත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන පවතින නරුම ආකල්පය එවන් ය.

නව ව්‍යවස්ථාවක් පිලිබඳ ඝෝෂාව අලුතින් ආරම්භ කෙරුනේ, 2015 ජනාධිපතිවරනයට මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කරමින් ගෙන ගිය දක්ෂිනාංශික දේශපාලන ව්‍යාපාරය විසිනි. එම ව්‍යාපාරය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයේ අවසාන කාලය වෙද්දී, 1978 පටන් පැවති විධායක ජනාධිපති ක්‍රමය ඇතුලු අවුරුදු හැටහතක ධනපති පන්ති පාලනය කෙරෙහි කඳු ගැසුනු මහජන විරුද්ධත්වය අවමන් ගත කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් ඇතිකර පාර්ලිමේන්තුව ශක්තිමත් කෙරුනු “යහපාලනයක්” තහවුරු කරන බවට පොරොන්දු විය.

යුද්ධයෙන් ඇති කෙරුනු මහා විනාශය, සමාජ, ජිවන හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීම ඇතුලු රාජපක්ෂ පාලනයේ සියලු කුරිරුකම් ඔහු හා ඔහුවටා සිටි දුෂ්ටයන් පිරිසකගේ පුද්ගලික පරිහානියක් ලෙස හුවා දැක්වුනි. සිරිසේන පච පොරොන්දු රොත්තක් ඉදිරිපත් කරගෙන ජනාධිපතිවරනයෙන් දිනූවිට නව ව්‍යවස්ථාවක් සඳහා “ජනවරමක්” ලැබී ඇතැයි ඔහු වටා රැලිවූ ව්‍යාපාරයේ පිරිස් හඬ තැලූහ.

ඊනියා යහපාලන පොරොන්දුව පිටුපසින් ක්‍රියාත්මක වූයේ වෙනත් ප්‍රතිගාමී වැඩසටහනකි. එය නම්, ඇමරිකාව වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ උදවු ඇතිව සිරිසේන පෙරට දමා රාජපක්ෂ ඉවත්කිරීමේ පාලන තන්ත්‍ර මෙහෙයුමක් ක්‍රියාවට දැමීමයි. රාජපක්ෂගේ යුද්ධයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට සහයෝගය දුන් වොෂින්ටනය ඔහුට විරුද්ධ වූයේ චීනය සමග ආයෝජන, නය සහ යුද අවි ලබා ගැනීම සඳහා සම්බන්ධකම් ඇති කර ගැනීම හේතුවෙනි. ඇමරිකාවට අවශ්‍ය වූයේ ඔහු චීනය සමග ඇතිකරගෙන තිබූ සම්බන්ධකම් බිඳ එරටට එරෙහි යුද සූදානමේ කක්ෂය තුලට ලංකාව ඒකාග්‍ර කරගැනීමයි.

දෙමල ජාතික සන්ධානය (දෙජාස), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු ධනපති පක්ෂ ද ව්‍යාජ වාම කන්ඩායම් හා ඊනියා සිවිල් ක්‍රියාකාරින් ද එක පොදියට එකතුවී මෙම තන්ත්‍ර මාරුව ප්‍රජාතන්ත්‍රවාදයේ වහන්තරාවෙන් ආවරනය කලහ.

ව්‍යවස්ථා මන්ඩලය ආරම්භ කල දවසේ වික්‍රමසිංහ එය හැඳින්වූයේ ”සියලු පක්ෂවල එකඟත්වයෙන්” එවන් මන්ඩලයක් ඇතිකල ප්‍රථම වතාව එය බවයි. දෙජාස, එය දෙමල ධනපතියන්ගේ වරප්‍රසාද සඳහා කේවල් කිරීමට ලැබුනු අවස්තාවක් ලෙස සලකා ඊට සහභාගිවෙමින් යුද්ධයෙන් විනාශයට ලක්වූ ජනයාට කියා සිටියේ ඔවුන්ගේ අයිතීන් රැක ගැනීමට අවස්තාව ලැබී ඇති බවයි. ජවිපෙ “පවතින විධායක ජනාධිපති ක්‍රමය ඇතිකල ඒකාධිපති ව්‍යවස්ථාවට” බොරුවට බැටදෙමින් අතීතයේ ජනාධිපතියන්ට ඒකාධිපති බලතල පාවිච්චි කිරීමට උදවු කිරීම ඇතුලු තමන් සිදුකල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වසා ගැනීමට තැත් කරන අතර අලුත් ව්‍යවස්ථාවක ට පොට පෑදී ඇතැයි උදම් ඇනුවේය.

මෙම පක්ෂ සියල්ලේ “එකඟත්වය” පච මවා පෑමකි. ගිය අවුරුදු තුනේ මෙම පක්ෂවල කියුම්කෙරුම් පැත්තකින් තැබුවත් දිනකීපයකට පෙර මෙහෙයුම් කමිටුවේ කෙටුම්පත ඉදිරිපත් කරන බව නිවේදනය වීමත් සමග ඒවා සිංහල වර්ගවාදී පච මෝලේ වැඩ ඇරඹුහ. රට බෙදීමේ ව්‍යවස්ථාවක් ඉදිරිපත්වී ඇතිබවට රාජපක්ෂ චෝදනා කලේය. තවත් නිවේදයකින් ඔහු කීවේ රටට උදාවී ඇති “තුන් බියෙන්” එකක් නම් රට බෙදන භයානක ව්‍යවස්ථාව බවයි. ඉන් කියා සිටියේ දෙමල ජාතික සන්ධානයට උතුරු නැගෙනහිර බෙදා දීමට යන බවය.

සිකුරාදා රැස්වීමේදී ඊට උත්තර දෙමින් ව්‍යවස්ථාවක කෙටුම් පතක් තවමත් සකස්කර නැති බව වික්‍රමසිංහ විසින් පිලිගැනීම හෙලිකලේ ඔහුගේ ආන්ඩුවේ ව්‍යවස්ථා ව්‍යායාමය අමු ප්‍රෝඩාවක් බවයි. රට බෙදීමට තමන් ඉඩ නොදෙන බවටද රටේ ඒකීය භාවය හා බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය එලෙසම තබන බවට ද ඔහු සපථ විය. සිරිසේන, වික්‍රමසිංහ සහ රාජපක්ෂ ඇතුලු ලංකාවේ පාලක පන්තියේ සෑම කල්ලියක්ම සිංහල වර්ගවාදී විස නාගත්තවුන් ය.

ඔක්තෝබර් මාසයේ අග පටන් මාස දෙකක් පමන මෙම ධනපති කන්ඩායම් දේශපාලන යුද්ධයක යෙදී සිටියහ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අධිපතිවාදී ලෙස ක්‍රියාකල සිරිසේන දේශපාලන කුමන්ත්‍රනයකින් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත්කර රාජපක්ෂ එතනට පත් කලේය. ආන්ඩු මාරුවෙන් එතනට පැනගත් රාජපක්ෂ නීතිවිරෝධී ලෙස බලය යොදා ගැනීමට ක්‍රියාත්මකවී සිටි අතර වික්‍රමසිංහ වොෂින්ටනයේ උදව්වෙන් යලි බලය අල්ලා ගැනීම සහතික කර ගත්තේය.

ධනපති පන්තියේ මෙම කන්ඩායම් කාකොටාගනිමින් සූදානම් වෙමින් සිටියේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලවල පුනර්ජීවනයේ කොටසක් ලෙස ලංකාව තුල වැඩෙන සමාජ විරුද්ධත්වය තලා දමා ධනපති පන්ති පාලනය ආරක්ෂා කර ගැනීම සඳහායි.

රාජපක්ෂ රටබෙදීමට ඉඩ නොදෙන බවට හඬතලමින් කම්කරු පන්තිය බෙදීමේ ධනපති පන්තියේ චිර කාලීන විසකුරු ආයුධය අමෝරාගෙන සිටින්නේ සිංහල වර්ගොත්තමවාදී කන්ඩායම් පෙරට දමා දක්ෂිනාංශික ව්‍යාපාරයකින් අවුලුවා යලි බලයට පැමින පොලිස් පාලනයක් ඇටවීමටයි. සිරිසේන ඔහුට මුක්කුව දෙයි. මිලිටරියේ මුදුන්වල යුද අපරාධ ආවරනය කරන සිරිසේන මෑතකදී යුද අපරාධ ගැන චෝදනා එල්ලවී ඇති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාන්ඩලික ප්‍රධානියා කිරීම අහම්බ සිද්ධියක් නොවේ.

වික්‍රමසිංහ ද තමන්ගේ පැත්තෙන් පන්සල් ගානේ ගොස් සිය සිංහල බෞද්ධ සහතික පත්‍ර පෙන්වමින් දක්ෂිනාංශික බලවේග තර කිරීමට ක්‍රියා කරන්නේ එලෙසම පොලිස් පාලනයකට මාරුවීම එල්ල කරගෙන ය.

කල්පසුවී ධනවාදී සංවර්ධනය ඇතිවූ සෑම රටකම ධනපති පන්තීන් මෙන්ම ලංකාවේ පාලක පන්තිය ද පෙන්නුම් කර ඇත්තේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කිරීමට එය මුලුමනින්ම අපොහොසත් බවයි. ලංකාවේ ඊනියා නිදහස් රාජ්‍ය වනාහි, 1947-1948 කලාපයේ ධනපති පන්තීන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග කුමන්ත්‍රනයෙන් පෙරලිකාරීව සිටි කම්කරුවන් හා දුගීන්ට එරෙහිව අටවන ලද රාජ්‍ය පද්ධතියේ කොටසකි. මේ ධනපතියන් සිය පාලනය ඇරඹුවේ, බි්‍රතාන්‍යන් සමග හවුල්ව, ඉන්දු උප මහාද්වීපය තුල හින්දු ඉන්දියාව හා මුස්ලිම් පකිස්තානය යන රාජ්‍යයන් දෙකක් අටවා කම්කරු පන්තිය වාර්ගිකව භේදකර ලේ විලක ගිල්වමිනි.

බ්‍රිතාන්‍ය විජිත පාලකයන් සමග සම්මුතියෙන් 1948 බලය තමන් අතට පවරාගත් ලංකාවේ ධනපතියන්ගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව එම වසරේම කලේ වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසිකර දමා කම්කරු පන්තිය වර්ගවාදී භේද කරනයට ලක් කිරීම ඇරඹීමයි. එතැන් පටන් අර්බුදය උග්‍රවීමේ සෑම අවධියකම ධනපති ක්‍රමය රැකගැනීම සඳහා කම්කරු පන්තිය බෙදීමට දෙමල විරෝධී වර්ගවාදය වඩවඩා උග්‍රකර පාලනය ගෙන ගිය ලංකාවේ පාලක පන්තියේ පක්ෂ 1983 දී තිස් අවුරුද්දක් ඇද්දී ගිය විනාශකාරී සිවිල් යුද්ධයට පාර කැපුවේය. මෙම වර්ගවාදය මුදුන් කරගත් මර්දනකාරී පාලනය සංකේතවත් වී ඇත්තේ උතුරු නැගෙනහිර දිගින් දිගටම පවත්වා ගෙනයන මිලිටරි වාඩිලා ගැනීමෙනි.

ධනපති පන්තියේ අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම සමාජ පක්ෂය හා ස්ටැලින්වාදීන්ගේ කොමියුනිස්ට් පක්ෂ ඇතුලත් වූ සභාග ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමේ නාමයෙන් 1972 පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් ලෙස බලහත්කාරයෙන් නම් කර සිංහල රාජ්‍ය භාෂාව සහ බුද්ධාගම රාජ්‍යාගම ලෙස ඔටුනු පැලඳු ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව්‍යවස්ථාවක් සම්මත කලේය. එමගින් කම්කරු පන්තිය බෙදීම සඳහා වාර්ගික වෙනස්කම් කිරීම තවත් ගැඹුරු කෙරුනි.

සභාග ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ගසාකා බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විධායක ජනාධිපති ක්‍රමය මුල් කරගත් පාලනයක් ඇටවීමට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් බවට හැර වුයේය. කම්කරු පන්තිය මැඩ ජාත්‍යන්තර ප්‍රග්ධනයේ අවශ්‍යතා මත විවෘත ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දැමීම එම පාලන වෙනසේ එල්ලය විය. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මන්ඩල බවට පත්කල මේ ව්‍යායාමයන් දෙක මෙන්ම වික්‍රමසිංහ-සිරිසේන ආන්ඩුවේ ව්‍යවස්ථා සභාව ද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ය.

දැන් ප්‍රකාශයට පත්වන්නේ, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අතීතය මැදින් ආ ලංකාවේ ධනපති පාර්ලිමේන්තු පාලනයේ කුනුවීම උච්චස්ථානයට පත්වීම හා පාලක පන්තියේ සෑම කොටසක්ම පොලිස් රාජ්‍ය පාලනයකට මාරුවීමට කැසකැවීමයි. ධනපති පන්තිය මුහුන දී සිටින බරපතල ආර්ථික අර්බුදය හා කම්කරුවන්ගේ හා දුගීන්ගේ පෙරලිකාරිත්වය තුල පාලක පන්තියට වෙනත් විකල්පයක් නැත. එය වනාහි, ගෝලීය ධනවාදයේ අර්බුදය තුල අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රය වන ඇමරිකාවේ පටන් සෑම රටකම පාලක පන්තීන් මිලිටරිවාදයට හා සමාජ අයිතීන් කප්පාදුවට එරෙහිව අරගලය කරන කම්කරු පන්තිය තලා දැමීම සඳහා පොලිස් රාජ්‍ය පාලන ක්‍රමවලට හැරීම තුලින් ද ප්‍රකාශයට පත්වන ජාත්‍යන්තර ප්‍රවනතාවයේ කොටසකි.

ප්‍රතිගාමිත්වයෙන් හිස සිට දෙපතුලටම කුනුවූ ධනපති පන්තියේ සියලුම කොටස් කම්කරුවන්ගේ ද දුගීන්ගේ හා පීඩිත ජන කන්ඩායම් වලද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සතුරුය. අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා කරන සටන සියලු ආකාරයේ වාර්ගික හා ආගමික වෙනස්කම් අහෝසි කෙරුනු අනාගමික ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සඳහා සටන සමග බැඳී ඇත.

එම අරගලය සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය ධනපති පන්තියේ සෑම කොටසකින්ම තම දේශපාලන ස්වාධීනත්වය තහවුරු කරගනිමින් නාගරික හා ගම්බද දුගීන් මෙහෙයවාගෙන සමජවාදී වැඩපිලි වෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනකි. එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ යෙදෙමින් දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කිරීමයි.

අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරීම සඳහා වෙනත් මාවතක් නැතිබව ලංකාවේ, කලාපයේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීමයි. සමාජවාදී සමානතා පක්ෂය මෙම ඉදිරිදර්ශනය සඳහා කරන අරගලයට කම්කරුවන්, තරුනයන් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන් එක්වීම තීරනාත්මක වන්නේ මේ නිසාය.

කේ. රත්නායක

Share this article: