වතු කම්කරු වැටුප් අරගලයෙන් කම්කරු පන්තිය උගත යුතු පාඩම්

2019 ජනවාරි 21

වතු කම්කරුවන් සඳහා තමන් යෝජනා කර ඇති වැටුප හැර කම්කරුවන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම මෙන්ම ආන්ඩුව සහ වෘත්තීය සමිති විසින් යෝජනා කෙරන කවර හෝ වැටුප් වැඩිවීමක් ප්‍රාදේශීය වතු සමාගම් පිලිනොගන්නා බව ලංකාවේ හාම්පුතුන්ගේ සම්මේලනයේ වතු සේවා අංශයෙහි සභාපති රොෂාන් රාජදුරෙයි ඬේලි එෆ්ටීපත්‍රයට සිකුරාදා කල ප්‍රකාශයක දී තරයේ අවධාරනය කර ඇත.

රුපියල් 500 දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස කම්කරුවන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම එක හෙලා ප්‍රතික්ෂේප කල වතු සමාගම් සියලු දීමනා ඇතුලත් රුපියල් 940 දෛනික දල වැටුපක් යෝජනා කර ඇත. ඒ අනුව මූලික වැටුප වැඩිවන්නේ රුපියල් 100 න් පමනි. ඉතිරි රුපියල් 340, උපයා ගැනීමට දුෂ්කර, නිෂ්පාදන හා පැමිනීමේ දීමනාවන්ට ගැට ගසා ඇත.

වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක, ජනවාරි 10 වෙනි දා, වතු කම්කරුවන් සඳහා වසර තුනක වැටුප් ක්‍රමයක් ලංකා හාම්පුතුන් ගේ සම්මේලනයට සහ වෘත්තීය සමිතිවලට යෝජනා කලේ ය. දෛනික මූලික වැටුප වැඩි වන්නේ පලමු වසරේ රුපියල් 125 න් හා ඊලඟ වසර දෙක තුල රුපියල් 25 බැගිනි. ඇමති විසින් කම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර යෝජනා කර ඇති සොච්චම් වැඩිවීම වත් පිලිගැනීමට සමාගම් සුදානම් නැත. වතුකරයේ වැටුප් ප්‍රශ්නය දික් ගැසීම නිසා කම්කරුවන්ගේ අරගලයක් යලි පිපිරීමෙන් ආන්ඩුවේ දේශපාලන අර්බුදය ගැඹුරු කරනු ඇතැයි තැතිගැන්මෙන් ඇමති දිසානායකගේ යෝජනාව ඉදිරිපත්විය.

තමන් ඉදිරිපත් කර ඇති යෝජනාවෙන් අඩියක්වත් පස්සට නොයන බවත් කම්කරුවන් එය පිලිගත යුතු බවත් අවධාරනය කරමින් රාජදුරෙයි ඬේලි එෆ්ටී පත්‍රයට කල ප්‍රකශයේ දී මෙසේ කියා ඇත. “ප්‍රාදේශීය වතු සමාගම් ප්‍රසිද්ධ සමාගම් නිසා සාමූහික ගිවිසුම හෝ තේ සහ රබර් පඩිපාලක සභාව මගින් මිස වෙනත් ආකාරයකින් අප මත වැටුප් යෝජනා පැටවිය නොහැක.” ඒ වෙනුවට කම්කරුවන් නිෂ්පාදන ඵලදායිතාවය මත පදනම් වූ ඊනියා ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය පිලිගත යුතු බව යලිදු අවධාරනය කරයි.

සමාගම් අවධාරනය කරන්නේ වතුවල කාලාන්තරයක් තිස්සේ පැවත එන වැටුප් ක්‍රමය ඉක්මනින්ම අහෝසිකර වතුවලින් කුඩා කොටසක් කම්කරු පවුල්වලට පවරා ඒවායේ වැඩකර ආදායම සොයා ගැනීමට කම්කරුවන් ක්‍රියා කලයුතු බවයි. කම්කරු පවුල් අඳ ගොවි පවුල් ලෙස ඉඩමේ කඹුරා නෙලාදෙන දලු අස්වැන්න සඳහා අඩුමිලක් ගෙවා තම ලාභය සුරක්ෂිත කර ගැනීමේ ක්‍රමයකට මාරුවීම සමාගම් වල එල්ලයයි. මෙය වනාහි කම්කරුවන් වෙත එල්ල කෙරෙන අතිමූලික ප්‍රහාරයකි.

සමාගම්කරුවන් කියා සිටින්නේ ජාත්‍යන්තර වෙලඳපොලේ ඔවුන් මුහුන දී ඇති අර්බුදයට කම්කරුවන් කරගසා තමන්ගේ ලාභ සුරක්ෂිත කරදිය යුතු බවයි. සමාජ ධනය නිෂ්පාදනය කරන්නේ කම්කරුවා මිස ධනපතියා නොවේ. එහෙත්, ලාභ ඉපයීම මත පාදකවන ධනපති ක්‍රමය අර්බුදයන්ට මුහුන දෙන කාල පරිච්ජේදයන්හි දී, කම්කරුවා අතීත අරගලයන් තුලින් දිනා ගත් සියලු අයිතීන් උදුරාගෙන ලාභ රැක ගැනීමට ධනපතියා රුදුරුලෙස හැරෙයි. ධනපති ආන්ඩු ඒවායේ ඒජන්තයන් ලෙස ක්‍රියාවට බසියි.

ගෝලීය ධනවාදය මුහුන දෙන ගැඹුරුවන කඩාවැටීම තුල, දියුනු ධනපති රටවල සිට රටක්-රටක් පාසා ධනපති පන්තිය සමාජ ප්‍රතිවිප්ලවය, එනම් කම්කරු-පීඩිත මහජනතාවගේ සියලු සමාජ හා ජීවන අයිතීන් උදුරා ගැනීම, ක්‍රියාවට නංවා ඇත. වතු කම්කරුවන් මුහුන දෙන රූපාකාරයෙන් හෝ වෙනත් ආකාරයන්ගෙන් ලොවපුරා කම්කරුවන් මුහුන දෙන්නේ මෙම සමාජ ප්‍රතිවිප්ලවයටයි.

එක්සත් ජනපදයේ ගුරුවරුන්, රථවාහන කම්කරුවන්, ආන්ඩුවේ පාර්ශවීය වසා දමීට හා වැටුප් නොගෙවීම ට එරෙහි එරට ප්‍රාන්ත කම්කරුවන්, මෙක්සිකෝවේ කාර්මික කම්කරුවන්, ප්‍රන්සයේ කහ බැනියම් විරෝධතාකරුවන් හා ඉන්දියාවේ දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් අතර, ජාත්‍යන්තර පරිමාන දැවැන්ත පන්ති සටන් වර්ධනය වී ඇත්තේ එම ප්‍රහාරයන්ට එරෙහිවය. ලංකාවේ වතු ක්ෂේත්‍රය තුල පැනනැගී ඇති අරගලය එම ජාත්‍යන්තර පන්ති අරගලයේ කොටසකි.

ජාත්‍යන්තර පන්ති අරගලයේ මෙම වර්ධනයන් නව හා බලගතු විප්ලවවාදී විභවයක් සහිතය. සෑම රටකම ආන්ඩු හා පාලක පන්ති තම ප්‍රහාරවලට එරෙහි සමාජ ප්‍රතිරෝධය තලා දමමින් ඒකාධිපති පාලන ක්‍රමයන්ට පැන ගැනීමට උත්සුක වී සිටිති,

කම්කරු ක්‍රියාකාරීන් දඩයම් කරමින් වැටුප් අරගලය මැඩලීමට වතු හාම්පුතුන් සහ ආන්ඩුව දැරූ ප්‍රයත්නයන් ද වෘත්තීය සමිතිවල කඩාකප්පල් කිරීම් ද නොතකා ඔක්තෝබර් මාසයේ දී පැරනි වැටුප් ගිවිසුම අහෝසි වූ තැන් පටන් වර්ජන, පෙලපාලි, පිකට් කිරීම් ඇතුලුව අතිශය අධිෂ්ඨානශීලී සහ සටන්කාමී අරගලයක යෙදී ගැනීම මගින් තම අයිතීන් සඳහා සටන් කිරීමට ඇති සූදානම වතු කම්කරුවෝ පෙන්නුම් කලහ. ඔවුන්ගේ අරගලයට වතු තරුනයන්ගේ, ගුරුවරුන්ගේ හා සුලු ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාශීලී සහයෝගයක් ද සෙසු කම්කරුවන් හා දුගීන්ගේ පුලුල් සහානුමතියක් ද ලැබුනි.

එහෙත් වෘත්තීය සමිති කලේ සාකච්ඡා මගින් වැටුප් ප්‍රශ්නය විසඳා ගත හැකිය යන මිත්‍යාවට කම්කරුවන් යටත් කොට හාම්පුතුන්ගේ සහ ධනපති ආන්ඩුවේ උවමනාවන්ට ඔවුන්ගේ අරගලය හිරකර තැබීමය. දෙසැම්බර් මාසයේ දින නවයක් පැවති අඛන්ඩ වර්ජනය ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් පාවා දුන්නේ ජනාධිපති වැටුප් ප්‍රශ්නය විසඳන බවට දුන් පච පොරොන්දුවකට ඔවුන් ව යටත් කිරීමෙනි. අනෙකුත් සමිති මෙම පාවාදීමට හවුල් වුහ.

එසේ වුවද, තවත් වැදගත් වර්ධනයක් දෙකක් වතු අරගලය තුල සිදුවිය. එය නම්, බොහෝ අවස්ථාවල කම්කරුවන් සමිති වල අන නොතකා වර්ජනයට පිවිසීමයි. මෙය වනාහි වෘත්තීය සමිතිවලට එරෙහිව වැඩෙන කැරලිකාරිත්වයේ මූලික ප්‍රකාශනයන්ය.

දෙවැන්න, වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයට සිර නොවී තමන්ගේ අයිතීන් සඳහා ස්වාධීනව අරගලය කිරීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු, වතුවල, වැඩබිම්වල සහ කම්කරුවන්ගේ නිවහන් පෙදෙස් ආශ්‍රිතව ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කල කැඳවුමට වතු කම්කරුවන්ගේ අවධානය යොමුවීම සහ හැටන් හි ඇබෝස්ලී වත්තේ එවන් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමයි. එය, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි ද එකඟතාව පල කලේය.

මෙම වර්ධනයන් ජාත්‍යන්තර වර්ධනයන්ගේ ප්‍රකාශනයකි. ඇමරිකාවේ ජීඑම් කම්කරුවෝ සමිති වල හිරකිරීමවලට එරෙහිව කැරලිකාරී වූ අතර ලෝක සමාජවාදී වෙබ අඩවිය හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය කල කැඳවුමට සහයෝගය දෙමින් වැඩබිම්වල සාමාජිකයන්ගේ (රෑන්ක් ඇන්ඞ් ෆයිල්) කමිටු තැනීමට එකඟවී ඒ සඳහා පියවර ගනිමින් සිටිති.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජනවාරී 3 වෙනිදා පලකල ප්‍රකාශය තුල සටහන් කල පරිදි: “කාලාන්තරයක් තිස්සේ යටපත් කරනු ලැබ, පිටමන් කෙරී සිටි කම්කරු පන්තිය සිය ස්වාධීන අවශ්‍යතාවයන් දෘඩතරව අත්කර ගැනීමට පටන් ගනිමින් සිටියි. ප්‍රන්සයේ ද එක්සත් ජනපදයේ ද දැවැන්ත සමාජ අරගලයන්ගේ පැතිර යාම ජාත්‍යන්තරව ම නව විප්ලවවාදී යුගයක ආරම්භය සඥා කරයි” වතු කම්කරුවන් ඇතුලු ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අරගල මෙම වර්ධනයන්ගේ අත්‍යන්ත කොටසකි. මෙම මුලිකත්වය කම්කරුවන්ගේ සෑම කොට්ඨාසයක් විසින්ම ගතයුතුය. හුදෙක් සමිතිවල හා නිලධරයේ පාවාදීම විවේචනය කිරීම ප්‍රමානවත් නොවේ. ඉන් පාවාදීම නතර කෙරෙන්නේ නැත. සමිතිවල හා නිලධරයේ දකුනු ගමන, ආන්ඩු හා පාලකයන් සමග ක්‍රියාකරන කාර්මික පොලීසියක් වීම, ඒවා ධනපති

ක්‍රමයට ජාතිකවාදයට අත්‍යන්තයෙන් ගැටගැසී තිබීම නිසා හටගැනී තිබේ.

සියලු වතුවල, වැඩපොලවල, කාර්යාලවල හා නිවහන් පෙදෙස් වල කම්කරුවන් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පත්කරගත් ක්‍රියාකාරී ගොඩ නැගීම අත්‍යවශ්‍යවේ. එවන් ක්‍රියාකාරී කමිටු, රැකියා විරහිත තරුනයන්, ශිෂ්‍යයන් හා පීඩිතයන්ට එල්ලවන ප්‍රහාරවලට විරුද්ධ වෙමින් තම අරගලයට ඔවුන්ගේ සහාය දිනා ගැනීමට මාවත පාදනු ඇත.

සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා කම්කරු පන්තියේ අරගලය අන් සියල්ලටමත් වඩා ධනේශ්වර ලාබ පද්ධතිය අහෝසි කිරීමේ සටනකි. ශ්‍රී ලංකාවේ වේවා අන් කවර රටක වේවා කම්කරු පන්තියට තම අයිතීන් තහවුරු කර ගත හැක්කේ ධනේශ්වර පන්ති පාලනය අහෝසි කරන හා සියලු මුලික ධනපති දේපොල කම්කරු පාලනය යටතේ ජනසතු කර විද්‍යාත්මක සහ සැලසුම්ගත ආර්ථික සැලැස්මක් ක්‍රියාවට දැමීම එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක් මගින් පමනි. ශ්‍රී ලංකාවේ දී එය ධනපති පන්ති පාලනය අහෝසිකර කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා සටනකි.

එවන් අරගලයක් සඳහා තීරනාත්මක සාධකය වන්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමයි. ජාත්‍යන්ත්ර කම්කරු පන්තියේ ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය ලෙස ගොඩ නැගෙන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකාවේ ශාඛාව සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතාශි) සසප තරුන සංවිධානයයි. අප පක්ෂයට බැඳී කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස එය ගොඩ නැගීමට සම්බන්ධවන ලෙස සියලු පන්ති විඥානිත කම්කරුවන්, තරුනයන් සහ බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ඩබ්ලිව්. ඒ. සුනිල්

Share this article: