එක්සත් ජනපද දේශපාලන අර්බුදය ගිනියම් වෙයි

The US political crisis reaches fever pitch

2019 ජනවාරි 18

ට්‍රම්ප් රුසියානු ඒජන්තයෙකු ලෙස පින්තාරු කරන මාධ්‍ය උද්ඝෝෂනයක් සමඟ, රාජාසන කතාව අවලංගු කරන ලෙස ඩිමොක්‍රටික් පක්ෂය කරන ඉල්ලා සිටීම හා ඇෆ්ගනිස්තානයේ සිටින එක්සත් ජනපද භටයන් මුනගැසීමක් ද අඩංගු විය හැකි ව තිබූ කොංග්‍රස් කථානායිකා නැන්සි පෙලෝසි සැලසුම් කල විදෙස් චාරිකාවක් අවලංගු කරමින් ජනවාරි 17දා පස්වරුවේ ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය, එක්සත් ජනපද පාලක ප්‍රභූව ඇතුලත දේශපාලන ඝට්ටනය නව තීව්‍රතාවකට ලඟාකර තිබේ.

ට්‍රම්ප් වනාහි ව්ලැදිමීර් පුටින්ගේ ඒජන්තයෙක් ලෙස දෛනික ව “හෙලිදරවු” කරමින් නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් මූලිකත්වයෙන් ඔහුට එරෙහි ව ගෙනයන රුසියානු-විරෝධී උද්ඝෝෂනය තීව්‍ර වෙද්දී, ඩිමොක්‍රටික් පක්ෂය “රැඩිකල් වම” විසින් අරක්ගෙන ඇතැයි කියමින් පෙන්ටගනයේ මිලිටරි ශ්‍රාවකත්වයක් අමතමින් කල කතාවක දී ට්‍රම්ප් එම උද්ඝෝෂනයට පිලිතුරු දුන්නේ ෆැසිස්ට් වාචාලත්වය සමගිනි. “පක්ෂය විවෘත දේශසීමා වාටිය විසින් පැහැරගෙන ඇතැ”යි ඔහු කියාසිටියේ ය.

මෙලෙස එකිනෙකාට නින්දා කරගැනීම් සිදුවන්නේ ලබන ජනවාරි 22දාට මාසයක් සම්පූර්න වන, 800,000ක් මධ්‍යම ආන්ඩුවේ කම්කරුවන් පඩිරහිත ව වැඩකරන්නා වූ තතු තුල එය පාර්ශවික ව අකර්මන්‍ය කර ඇති කොන්දේසි යටතේ ය. 300,000කට වැඩි කම්කරුවන් නිවාඩු යවා ඇති අතර ආසන්න වසයෙන් 500,000කට වැටුප් රහිත ව වැඩකිරීමට බලකෙරී තිබේ.

අර්බුදයට සම්බන්ධ පුද්ගලයන්ගේ පෞරුෂයට හෝ ට්‍රම්ප් ජනාධිපතිත්වයට පත්වීම අහඹුවක් යැයි සැලකීමට, ලඝු කල නො හැකි ප්‍රධාන දේශපාලන අර්බුදයකට එක්සත් ජනපදය පැහැදිලි ව ම ඇතුලු වී තිබේ. ඕනෑම අර්ථභාරී දේශපාලන ප්‍රපංචයක් මෙන් මෙම අර්බුදය සතුව ද ගැඹුරු සමාජ-ආර්ථික ද්‍රව්‍යමය මූලයන් තිබෙන අතර, එමගින් එක්සත් ජනපද දේශපාලන පද්ධතිය තුල පෙර නුවූ විරූ මට්ටමක අකර්මන්‍යතාවක් ද පාලක ප්‍රභූව තුල ව්‍යාකූලත්වයක් ද නිර්මානය කර තිබේ.

මෙහි දී එකක් දශක කිහිපයක් තිස්සේ වර්ධනය වී තිබෙමින් හා අනෙක වඩා මෑත කාලීන සම්භවයන් සහිත ව ප්‍රධාන ඓතිහාසික සාධක දෙකක් ක්‍රියාකාරී වේ.

ඉන් පලමුවැන්න වන්නේ, සෝවියට් සංගමයේ ද සමස්තයක් ලෙස සෝවියට් කඳවුරේ ද අර්බුදයට හා බිඳවැටීමට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපද පාලක ප්‍රභූව විසින් අනුයන ලද සංකල්පයන් හා පිලිවෙත්වල නිරපේක්ෂ අසාර්ථකත්වය යි. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ගේ පරිපාලනයේ පටන් දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට කිසිදු කලෙකට වඩා පලල් පරිමානයකින් මිලිටරි බලය යොදාගැනීමට වොෂින්ටනය ධෛර්යය සම්පන්න විය.

සීතල යුද සමය පුරා එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම්වලට නිශ්චිත සීමා පැනවූ සෝවියට් සංගමයේ පීඩනයෙන් විමුක්ත ඇමරිකානු මිලිටරි ආධිපත්‍යය විසින් අර්ථ දක්වන ලද “නව ලෝක පර්යායක” හැකියාව බුෂ් විසින් උත්කර්ෂයට නැංවී ය. ගිනිකොනදිග ආසියාවේ පරාජයෙන් පසු විදෙස් මිලිටරි මදාවිකාරකම් කෙරෙහි පැවති ගැඹුරු මහජන විරෝධය හෙවත් “වියට්නාම් සහලක්ෂනය” අවසන් කිරීමට ඔහු අපේක්ෂා කලේ ය. “ඒකධ්‍රැව අවස්ථාව” ඩැහැගන්නා ලෙසට අධිරාජ්‍යවාදී මූලෝපායඥයෝ ඉල්ලා සිටිය හ. සමහරු “ඉතිහාසයේ අවසානය” පවා නිවේදනය කරමින්, පැරනි රෝමයේ අධිරාජයන් මෙන් ලෝකය මත ආධිපත්‍යය දරන ඇමරිකානු පරිපාලනයන්ගේ දීර්ඝ අනුප්‍රාප්තිකත්වයක් උපකල්පනය කල හ.

කාන්තාර කුනාටුව, සෝමාලියාව, බෝල්කන් කලාපය, පැනමාව, හයිටි රාජ්‍යය, 2001 දී ඇෆ්ගනිස්තානය ආක්‍රමනය කිරීම, 2003 දී ඉරාකය ආක්‍රමනය කිරීම, 2011 දී ලිබියාව මත බෝම්බ හෙලීම, සිරියාවේ හා යේමනයේ එක්සත් ජනපදයේ පිටුබලය ලත් සිවිල් යුද්ධ යන අඛන්ඩවම සිදුවූ බව පෙනෙන මිලිටරි ගැටුම්වල වසර 30කට පසු දැන් විදහාපාන්නේ කුමක් ද? උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යම ආසියාව දක්වා විශාල භූමි ප්‍රදේශයක මිලියන ගනන් ඝාතනය කරමින්, කෝටි ගනන් අවතැන් කරමින් හා සමස්ත සමාජයන් විනාශ කරමින් ඇමරිකානු බෝම්බ හා මිසයිල ව්‍යසනයන් සිදුකර ඇති බව යි.

රට තුල හා රටින් පිටත මානව පිරිවැය ගැන සඳහන් නො කල ද ඩොලර් ටි්‍රලියන ගනන් වියදම් කිරීම නො තකා මැද පෙරදිග තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ස්ථානය වඩා දුර්වල වෙද්දී, ප්‍රධාන කලාපීය ඉලක්කය වන ඉරානය ද එක්සත් ජනපදයේ ගෝලීය ප්‍රතිමල්ලවයන් වන චීනය හා රුසියාව ද වඩා ශක්තිමත් ව වැඩී ඇත. විශේෂයෙන් ම චීනයට සාපේක්ෂ ව එක්සත් ජනපදයේ ආර්ථික කඩාවැටීම එහි ගෝලීය ආධිපත්‍යය අහිමි වීමට ප්‍රධාන සාධකයක් වේ.

නැෂනල් ඉන්ටරෙස්ට්හි මෑත පලවූ විශ්ලේෂනයක උද්ධෘතය වූයේ “ඇෆ්ගනිස්තානය තුල මිලිටරි ජයග්‍රහනයක් නැත” යන්න යි. “ඇෆ්ගන් ජාතික ආරක්ෂක හමුදා (ඒඑන්එස්එෆ්) හා ඔවුන් විසින් ආරක්ෂා කරන චෞර ඉස්ලාමීය සමූහාන්ඩුව බටහිරින් එන නොමසුරු ආධාර නොමැති නම් වැඩිදුර පවතිනු නැත” යන දොම්නස් සහගත නිගමනය කරා එය එලැඹුනේ, “ලියාපදිංචිවීම්වලට අනුව 314,000ක් වන මෙම හමුදාවන්ට එහි තරමෙන් පහෙන් පංගුවකටත් අඩු තලිබාන් හමුදාව පරාජය කිරීමට නො හැකි” බවත්, ඇෆ්ගනිස්තානයේ ජාතික ආදායම සමස්තයක් ලෙස ම පාහේ උරාගන්නා ඔවුන් “මූල්‍යමය වශයෙන් පවත්වා ගෙන යා නො හැකි” බවත් වැඩිදුර සඳහන් කරමිනි.

ප්‍රධාන අධිරාජ්‍යවාදී චින්තන තටාකයක් වන මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (සීඑස්අයිඑස්) පසුගිය සතියේ පලකල රලුපරලු විශ්ලේෂනයක්, සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කරගැනීමට ට්‍රම්ප් කල නිවේදනය අරබයා වර්තමානයේ පවතින විවාදය අර්ථ විරහිත නොවැදගත් කරුනක් යයි කියන අතර, විශේෂයෙන් ම ඉරාකය හා ඉරානය ඇතුලු පර්සියානු ගල්ෆ් කලාපය තුල ශක්‍ය මූලෝපායක් වර්ධනය කරගැනීමට රිපබ්ලිකානු හා ඩිමොක්‍රටික යන පරිපාලනයන් දෙකම අසමත් වීම ගැන දෝෂාරෝපනය කලේ ය. සීඑස්අයිඑස්හි ඇන්තනි කෝඞ්ස්මන් තර්ක කරන පරිදි සැබෑ ගැටලුව වන්නේ, ඉරාකය තථ්‍ය වසයෙන් බංකොලොත් බැවින් ලෝක තෙල් වෙලඳපොලේ එක්සත් ජනපද අවශ්‍යතාවන්ට සේවය කිරීමට හෝ දේශීය ස්ථාවරත්වය පවත්වා ගැනීමට අසමත් ව සිටී.

එක්සත් ජනපද ආක්‍රමනයේ නාභිය මැද පෙරදිගින් ආසියා-පැසිෆික් කලාපයට විතැන් කිරීමට ට්‍රම්ප් දරන උත්සාහයන් ද ඵල දරා නැත. දකුනු චීන මුහුද අරබයා එක්සත් ජනපද නාවික හමුදාවේ චීනය සමග වන පොරයන්, බොහෝසෙයින් පිලිපීනය වැනි සගයන් දිරිමත් කිරීමට අසමත් බීජිනයේ කෝපය අවුලුවාලන හුදු ප්‍රදර්ශනයක් බවට ෆොරින් පොලිසි (ත්‍දරුසටබ ඡදකසජහ) සඟරාව විවේචනය කරයි. “චීනය පිලිබඳ සියලු දඩබ්බර කතා හා දකුනු චීන මුහුදේ වැඩිදියුනු ක්‍රියාකාරීත්වය තිබිය දී ගිනිකොනදිග ආසියාව තුල ට්‍රම්ප් පරිපාලනයේ විශ්වාසවන්ත භාවය මැකී යමින් තිබේ” යයි එම වාර්තාව නිගමනය කරයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය තත්ත්වයේ පරිහානිය දිග්ගැස්සුනු ක්‍රියාවලියක් වී ඇති අතර, වොෂින්ටනයේ දේශපාලන අර්බුදය යටින් දිවෙන දෙවන ප්‍රධාන සාධකය වඩා මෑත කාලයට අයත් එකකි. එනම්, එක්සත් ජනපදය තුල පන්ති අරගලයේ හා සමාජවාදී-හිතැති මනෝගතියේ වර්ධනය යි.

එක්සත් ජනපද පාලන ප්‍රභූව සම්බන්ධයෙන් ගත් කල 2016 ජනාධිපතිවරන උද්ඝෝෂනයේ වඩාත්ම භයංකර අංශය ට්‍රම්ප් තේරී පත්වීම නො වේ. ඔහු එම ප්‍රභූවේ අයෙක් වන අතර, මාධ්‍ය උන්මාදයට ප්‍රතිකූලව ඔහුගේ පන්තිමය ලැදියාව ගැන සැකයක් නැත. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පාලක ප්‍රභූවේ කන්ඩායම් දෙක ම බියවද්දන්නේ, බර්නි සෑන්ඩර්ස්ට මිලියන 13කට වඩා ඡන්දය දෙමින් වැඩකරන ජනයාගේ හා තරුනයන්ගේ පලල් ස්ථරයක් අතර සමාජවාදය කෙරෙහි සහයෝගයක් පැවතීමයි. ඇත්ත වසයෙන් ම ඔහුගේ “වාම” අක්තපත්‍ර සවිමත් කරගැනීමට සමාජවාදී වාගාලාප යොදාගත් වර්මන්ට් සෙනෙට් සභිකයා අව්‍යාජ සමාජවාදියකු නො වී ය. එහෙත් මහජන ප්‍රතිචාරය සමස්ත එක්සත් ජනපද පාලක පන්තිය හා සෑන්ඩර්ස් ද ඇතුලු එහි සියලු දේශපාලන නියෝජිතයන් ව තැතිගැන්වී ය.

බටහිර වර්ජිනියා, ඔක්ලහෝමා හා ඇරිසෝනාහි දසදහස් ගනන් ගුරුවරුන් වෘත්තීය සමිතිවලින් පරිබාහිර ව සමාජ මාධ්‍ය හරහා සංවිධානය වෙමින් ප්‍රාන්ත පුරා පැතිරුනු වර්ජනයන්ට සහභාගි වෙද්දී, මෝටර් රථ කම්කරුවන්, රාජ්‍ය සේවකයන් සහ සේවා හා විදුලිසංදේශ කම්කරුවන්ගේ අනෙකුත් වර්ජන හා අරගල සමගින් 2018න් ආරම්භ වුනු පන්ති අරගලයේ පුනර්ජීවනයක් ඉන්පසුව පැන නැග්ගේ ය. මෙය වනාහි ජාත්‍යන්තර පරිමාන ව කම්කරු පන්තියේ පලල් රැඩිකලීකරනයක කොටසක් වන අතර, විප්ලවවාදී ගම්‍යයන් සහිත දේශපාලනික අවදි වීමකි.

පාලක පන්තියේ දීර්ඝ-කාලීන භූ-දේශපාලනික මූලෝපාය අසාර්ථක වීම හා රට තුල කම්කරු-පන්තික විරෝධය ඉස්මතු වීම යන දෙක ම ඇමරිකානු පාලක ප්‍රභූව ප්‍රගාඪ ලෙස අවමංගත කර තිබේ. රටින් පිටත එක්සත් ජනපදයේ අසාර්ථකවීම් සමගින් කටුක දෝෂාරෝපනයන්ට ලක් කිරීමට දඩමීමකු සොයාගැනීමට පොලඹවා ඇත. මැකාතිගේ දඩයම් කිරීම්වල ප්‍රධාන භූමිකාවක් ඉටුකලේ “චීනය අහිමි කරගත්තේ කවුරුන් ද?” යන ප්‍රශ්නයයි. ඩිමොක්‍රටික් පක්ෂයේ නව මැකාතිවාදය “සිරියාව අහිමි කරගත්තේ කවුරුන් ද?” යන ප්‍රශ්නය ඉදිරිපත් කරයි.

රට තුල තීරනාත්මක පන්ති සටන් පුපුරා යාම, විදේශයන්හි පසුබෑම්වලට වඩා පාලක පන්තිය කලඹවමින් ත්‍රස්ත කරයි. දැන් එය, ධනේශ්වරයේ වඩාත් ම තීරනාත්මක අවශ්‍යතා පිලිබඳ ප්‍රශ්නයක් බවට පත්වෙමින් පහලින් වර්ධනය වන අභියෝගයෙන් ඔවුන්ගේ ධනය හා දේපොල ආරක්ෂා කරගැනීම බවට පත් වේ. වෙලඳ යුද්ධය සමග බද්ධ වන ට්‍රම්ප්ගේ දුෂ්ට සංක්‍රමනිකයන් හෙලාදැකීම් වේවා, ඩිමොක්‍රටිකයන්ගේ වඩා සාම්ප්‍රදායික එහෙත් මුලුමනින් ම ව්‍යාජ “කම්කරුවන්ගේ මිත්‍රයන්” ලෙස පෙනී සිටීම් වේවා පාලක ප්‍රභූවේ කන්ඩායම් දෙක ම කම්කරු-හිතැති ව්‍යාජෝක්තීන් මවාපාති. මෙම කන්ඩායම් දෙක ම කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතා කිසිදු අයුරකින් අවධාරනය කිරීමකට අත්‍යන්තයෙන් හතුරු ය.

කිසිදු ධනේශ්වර කන්ඩායමකට වර්තමාන අර්බුදයෙන් එලියට මාවතක් සොයාගත නො හැකි බවත්, පිලිතුර පැමිනිය යුත්තේ කම්කරු පන්තියේ මැදිහත් වීමෙන් බවත් යන්න කෙරෙහි වැඩෙන මනෝගතියක් පවතී. මධ්‍යම ආන්ඩුව අක්‍රීය වීම අවසන් කල හැක්කේ කෙසේදැයි ජනවාරි 17දා සවස එන්බීසී නිවුස්හි “මීට් ද ප්‍රෙස්” වැඩසටහන ඉදිරිපත් කරන චක් ටොඞ්ගෙන් විමසනු ලැබූ විට, තරඟවැදී සිටින කඳවුරු දෙකට ඔවුන්ගේ ව්‍යාජ මවාපෑම් අවසන් කිරීමට බලකරනු ලැබිය හැක්කේ සමස්ත ගුවන් ගමන් පද්ධතිය වසාදමනු ඇත්තා වූ ටීඑස්ඒ මගී පිරික්සුම්කරුවන්ගේ හා ගුවන් ගමන් පරිපාලකයින්ගේ සමස්ත වැඩ වර්ජනයක් විසින් යයි ප්‍රකාශ කල අවස්ථාවේ, සත්‍යය ප්‍රකාශයට පත්වීමේ දුර්ලභ අවස්ථාවක් පැන නැගිනි.

එක්සත් ජනපදයේ පමනක් නො ව, සමස්ත ලෝකය පුරා දේශපාලන තත්ත්වය වෙනස් කිරීමට අතිමූලික වන්නේ කම්කරු පන්තියේ ඉස්මතුවීම යි. වසරකට පෙර 2018 වසර ආරම්භය පිලිබඳ ව ලියූ ලිපියක දී ලෝසවෙඅ කර්තෘ මන්ඩල සභාපති ඬේවිඞ් නෝර්ත් මෙසේ ලිවී ය: “මාක්ස්ගේ උපතින් දෙසිය වන වසර යෙදෙන මෙම 2018 වසර සියල්ලට ඉහලින් විලක්ෂනය කෙරෙනු ඇත්තේ, ලොව පුරා සමාජ ආතතීන් හා පන්ති ගැටුම්වල විශාල පරිමාන තීව්‍ර වීමක් විසිනි.” පසුගිය වසරේ සිද්ධීන් විසින් මෙම තක්සේරුව දැන්ට මත් සනාථ කර ඇත. ඉදිරියට ඇදෙන කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ සමාජවාදී ඉදිරිදර්ශනයකට කැපවුනු නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම යි.

මාක්ස්ගේ උපතින් දෙසිය වසර, සමාජවාදය හා ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවය

[2018 ජනවාරි 11]

පැට්‍රික් මාටින්

Share this article: