වොෂින්ටනය වෙනිසියුලාවෙහි දක්ෂිනාංශික කුමන්ත්‍රනයක් මෙහෙයවයි

Washington engineers right-wing coup in Venezuela

2019 ජනවාරි 24

තමන් විසින්ම වෙනිසියුලාවේ “තාවකාලික ජනාධිපති” යැයි කියා ගන්නා, ඡන්දයකින් තේරී පත් නොවූ ජුවාන් ගයිඩො එක්සත් ජනපදය (එජ) ය විසින් පිලිගනු ලැබීම සනිටුහන් කරන්නේ වොෂින්ටනයේ පෙල ගැස්වෙන දක්ෂිනාංශික කුමන්ත්‍රනයක පැන නැගීමයි.

කරකස් නුවර ආන්ඩු විරෝධී මහජන රැලියක් හමුවේ බදාදා ගයිඩො තමන් විසින්ම දිවුරුම් දුනි. සැබවින් ම මේ මොහොතේම ඩොනල්ඞ් ට්‍රම්ප් තම ට්වීට් පනිවිඩයකින් දැක්වූයේ: “මදුරොගේ නීතිවිරෝධී ආන්ඩුව යටතේ ඉතාමත් දීර්ඝ කාලයක් පුරා වෙනිසියුලානු පුරවැසියෝ පීඩා විඳ ඇත. අද දින, වෙනිසියුලානු ජාතික ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ජුවාන් ගයිඩො වෙනිසියුලාවේ තාවකාලික ජනාධිපති ලෙස මා විසින් නිල වශයෙන් පිලිගනු ලැබ ඇත” යනුවෙනි.

ට්වීට් පනිවිඩය මගින් දැක්වූ මෙම තන්ත්‍ර මාරු වෑයම සඳහා, මෙම වසර ආරම්භයේදී පදවිප්‍රාප්තවූ බ්‍රසීලයේ හිටපු ෆැසිස්ට් ගැති හමුදා නිලධාරියකු වූ ජනාධිපති ජෙයිර් බෝල්සොනරෝ ඇතුලුව, ලතින් ඇමරිකාවේ දක්ෂිනාංශික ආන්ඩු ගනනාවක සහය ලැබී ඇත. කැනඩාව වහාම වොෂින්ටනයේ කුමන්ත්‍රනය සමග පෙල ගැසුනු අතර ප්‍රන්සයේ මැක්‍රොන් ආන්ඩුව වොෂින්ටනයේ රූකඩයාට යුරෝපීය සංගමයේ සහය ගොනු කිරීම පිනිස එතුල සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වී ඇත.

කියුබාව සහ බොලිවියාව කලාක් මෙන් රුසියාව, තුර්කිය සහ මෙක්සිකෝව නිකොලස් මදුරෝ ව්‍යවස්ථානුකූලව තේරීපත්වූ ජනාධිපති ලෙස තමන් පිලිගත් බව තහවුරු කලේය.

ජනාධිපති ලෙස ගයිඩො වොෂින්ටනය විසින් පිලිගනු ලැබීම, ලොව විශාලතම තෙල් නිධි ඇති බවට ඔප්පු වී ඇතැයි ප්‍රකට වෙනිසියුලාව තුල තම කොල්ලකාරී අරමුනු ඉටු කර ගැනීමේ එල්ලය සහිතව එජ අධිරාජ්‍යවාදයේ නග්න මැදිහත් වීම සනිටුහන් කරයි. ඒ සමගම, කරකස් සමග සමීප දේශපාලන සහ ආර්ථික සබඳතාවන් තහවුරු කරගෙන ඇති රුසියානු සහ චීන බලපෑම අර්ධ ගෝලයෙන් ආපසු හැරවීම එජයේ එල්ලය වෙයි.

මදුරෝගේ මෑතම පූර්ව ගාමිකයා වූ හියුගෝ චාවෙස්ට එරෙහි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ 2002දී සීඅයිඒ සංවිධානය විසින් මෙහෙයවන ලද අසාර්ථක බලකොල්ලයේ සිට, වෙනිසියුලාව “එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවටත් විදේශ ප්‍රතිපත්තියටත් ඉමහත් තර්ජනයක්” ලෙස හඳුන්වමින් ඔබාමා පරිපාලනය විසින් පනවන ලද සම්බාධක තුලින් ගමන් කිරීම දක්වා දශක දෙකක් පුරා මෙම තන්ත්‍ර මාරු මෙහෙයුම සකස් වෙමින් පැවතිනි.

ප්‍රතිමල්ලව ආන්ඩුවකට එජ සහය පුද කිරීම මගින් ට්‍රම්ප් පරිපාලනය මාන බලන්නේ වෙනිසියුලාව තුල හමුදා බලකොල්ලයක් හෝ සිවිල් යුද්ධයක් සඳහා මෙන්ම කිසිදු හේතුවක් නොමැතිව එජ හමුදා මැදිහත් වීමකට කොන්දේසි නිර්මානය කිරීමට ය.

වොෂින්ටනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ දැමීම මගින් එජ මැදිහත් වීමට ප්‍රතිචාරය දැක්වූ වෙනිසියුලානු ජනාධිපති මදුරෝ පැය 72 ඇතුලත රටින් පිටවී යන ලෙසට සියලුම එජ රාජ්‍යතාන්ත්‍රිකයින්ට නියෝග කලේය. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සමීප උපදෙස් මත ක්‍රියාත්මක වන බවට කිසිදු සැකයක් නැති ගයිඩො, මදුරෝගේ නියෝගය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කලේ තමන් “තාවකාලික ජනාධිපති” වශයෙන් එජ නිලධාරීන්ට රට තුල රැඳී සිටින ලෙස ඉල්ලා සිටින බවයි. මදුරෝගේ නියෝගය නොතකා හරින බවට ප්‍රතිචාරය දැක්වූ රාජ්‍ය දෙපාර්තමේන්තුව එජ මැදිහත් වීමකට කඩතුරාව ලෙස භාවිතා කල හැකි අභිමුඛ වීමකට මඟ පාදමින් සිටියි.

බදාදා වාර්තාකරුවන්ට දුන් ප්‍රකාශවලදී ට්‍රම්ප් පැහැදිලි කලේ හමුදා මැදිහත් කිරීමක් පිලිබඳව ක්‍රියාකාරීව සලකා බලමින් සිටින බවයි. එජ හමුදාවන් වෙනිසියුලාවට යැවීම ගැන සිතන්නේදැයි වාර්තා කරුවෝ විමසූ විට, ඔහු පිලිතුරු දුන්නේ “සියලුම විකල්පයන් මේසය උඩ ඇත” යනුවෙනි.

නම සඳහන් නොකරන ලෙස ඉල්ලු එක්සත් ජනපද නිලධාරියෙක් වාර්තාකරුවන්ට කියා සිටියේ මදුරෝ ආන්ඩුව ගයිඩො සහ ඔහුගේ සහකරුවන්ට එරෙහිව ක්‍රියා කලහොත් එම ආන්ඩුව “දින කිහිපයට වඩා නොපවතිනු ඇත” යනුවෙනි. මේ අතර මාධ්‍ය වාර්තාවන් ඇඟවුම් කලේ තෙල් අපනයන නතර කිරීමට නාවික බාධකයක් ගැනද “තාවකාලික ජනාධිපති” වෙනුවෙන් යයි පවසමින් එජ ය තුල වෙනිසියුලානු වත්කම් අල්ලා ගැනීම ගැනද වොෂින්ටනය සලකා බලමින් සිටින බවයි.

“බොලිවියානු සමාජ වාදය” ගැන කෙතරම් දෙඩවුවත් මදුරෝ නායකත්වය දෙන්නේ වෙනිසියුලාවේ පුද්ගලික දේපොල ආරක්ෂා කරන අතර වෙනිසියුලානු කම්කරු පන්තිය මත රටෙහි ගැඹුරු වෙමින් ඇති ආර්ථික අර්බූදයේ මුලු බර පටවා ඇති ධනේශ්වර ආන්ඩුවකට ය. මෙම ආන්ඩුව විසින් කම්කරු පන්තියේ වැඩ වර්ජන සහ විරෝධතාවන් රුදුරු ලෙස මර්දනය කෙරිනි. මදුරෝ සහ ඔහුගේ මෑතම පූර්වගාමිකයා වූ හියුගෝ චාවෙස් යටතේ, රටෙහි ආර්ථිකයේ පුද්ගලික අංශයේ පාලනය වැඩිදියුනු වෙමින් මූල්‍ය අංශයේ ලාභයන් ඇත්තෙන්ම ඉහල ගිය අතර වෝල් වීදිය සහ ජාත්‍යන්තර බැංකුවලට නය ගෙවීම් සඳහා දැවැන්ත සමාජ ධනස්කන්දයක් හරවනු ලැබිනි.

ඒ කෙසේවෙතත්, මෙම ආන්ඩුව “නීතිවිරෝධී” බවත් වොෂින්ටනය “ප්‍රජාතන්ත්‍රවාදය” වෙනුවෙන් පෙනීසිටින බවත් යන ට්‍රම්ප් පරිපාලනයේ කියාපෑම අතිශය නින්දිතකමකට වඩා අඩු නොවන දෙයකි. මෙම පරිපාලනයටම, සෞදි අරාබියේ රජ කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ මිනීමරු පොලිස් රාජ්‍යයේත් ඊජිප්තුවේ ජෙනරාල් සිසිගේ ආඥාදායකත්වයේත් වොෂින්ටනයේ මූලික සගයින්ගෙන් සැකසී ඇති මැද පෙරදිග තිබෙන විවිධ එවැනිම ආන්ඩුවලත් නීත්‍යානුකූලභාවය පිලිබඳව කිසිදු ගැටලුවක් නැති බව යමෙකුගේ අවධානයට ලක් විය යුතුය.

මදුරෝ “බල කොල්ල කරුවෙකු” යයි තහවුරු කිරීමට වොෂින්ටනය ඉදිරිපත් කරන කරුනු වලට වඩා පෙනුමෙන් දර්ශනීය කරුනු උඩ, තම විරුද්ධවාදියාට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා තේරී පත් වී බහුතරයක් ඇමරිකානු ජනතාගේ විරෝධයට ලක්ව සිටින ට්‍රම්ප්ගේ ආන්ඩුව “අවජාතක” යයිද එය පෙරලා දැමිය යුතුයයිද යන්න ලෝකයේ ඕනෑම ආන්ඩුවකට තහවුරු කලහැකි වෙයි.

එමතු නොව, වෙනිසියුලාවෙ එජ පිටුබලය සහිත මෙහෙයුමකින් මතු වන කුමන හෝ ආන්ඩුවක් වෙනිසියුලානු කම්කරු පන්තියට එරෙහි රුධිරස්නානයක් සංවිධානය කරන බැංකුවලත් මහා ව්‍යාපාරිකයින්ගේ සහ විදේශ ප්‍රාග්ධනයේත් දක්ෂිනාංශික ආඥාදායකත්වයක් වන්නේය. මෙම රුධිරස්නානය, 1989 ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව රටේ කම්කරුවන්ගේත් දුගීන්ගේත් කරකසෝ නමින් හැඳින්වෙන මහජන කැරැල්ලේදී සිදුකල සමූලඝාතනය පරයා යනු ඇත.

ආන්ඩුවේ සහ ජාතික ආර්ථිකයේ ප්‍රධාන තනතුරු වල පාලනය හමුදා නිලධාරීන් අත පවතින චාවෙස් සහ මදුරෝ මූලිකත්වය ගත් ධනේශ්වර ජාතිකවාදී ආන්ඩුවල ප්‍රධාන ස්ථම්භය ලෙස තිබෙන්නෙ යුද හමුදාවයි. මෙම කාරනය ජනාධිපති මදුරෝගෙ පාලනයේ ප්‍රධාන මරනීය දුර්වලකම වනු ඇතැයි ද හමුදා නිලධරයින්, පැති මාරු කර ගෙන කුමන්ත්‍රනයක් කිරීමට මෙහෙයවා ගත හැකියයිද වොෂින්ටනය අපේක්ෂා කරයි.

මදුරෝ බලයෙන් පහ කිරීම පිනිස එජ සහය සොයමින් සිටින වෙනිසියුලාවේ හමුදා නිලධාරීන්ගේ කන්ඩායමක් 2017 ගිම්හානය සහ පසුගිය වසර මුල අතර එජ නිලධාරීන් යලියලිත් හමුවූ බව පසුගිය වසරේ අනාවරනය විය. කුමන්ත්‍රනය ප්‍රමානවත්ව සූදානම් නොවී යැයි වොෂින්ටනය විශ්වාස කල බැවින් මෙම හමුවීම් ඵල නොදැරීය.

මෙම ගනන් බැලීම් දැන් වෙනස් වී තිබිය හැකියි. සඳුදා ආයුධ සහ පොලිස් ස්ථාන පැහැර ගත් ජාතික රාජ්‍යාරක්ෂක භටයින්ගේ කන්ඩායමක් විසින් සිදුකල හුදකලාවූ නැගිටීමකින් අනතුරුව ඊයේ අනෙකුත් නිලධාරීන් සමග එක්ව පෙනී සිටිමින් සේනාංකයේ ජෙනරාල් යේසුස් ඇල්බෙර්ටෝ මිලනෝ මෙන්ඩොසා වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කලේය. මෙහි ප්‍රකාශ වූයේ හමුදාව මදුරෝට එරෙහිව කැරැලි ගැසිය යුතු බවත් ඉහල බලඇනිය “තම පුද්ගලික වාසි තකා ආන්ඩුවේ හමුදා අංශය” ලෙස සේවය නොකල යුතු බවත් ය. මිලනෝ මෙන්ඩොසා පෙරාතුව චාවෙස්ගේ ජනාධිපති ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස සේවය කර තිබින.

එය නිකම්ම වෙනිසියුලාවේ බලකොල්ලයට ට්‍රම්ප් සහ සීඅයිඒ සංවිධානය සහය දැක්වීමක්ද ලතින් ඇමරිකාවේ දකුනට තියුනු හැරීමක්ද පමනක් ම නොවේ. මෙය ඕනාවටත් වඩා පැහැදිලි වූයේ ඩාවොස්හි සුවිශේෂ ස්වීස් අල්පයින් නිවාඩු නිකේතනයේ මෙම සතියේ විවෘත වූ ලෝක ආර්ථික සංසදය තුලය. මෙයට සහභාගි වූයේ ගෝලීය බිලියනපති විධායක නිලධාරීන්ද බැංකුකරුවන්ද හෙජ් අරමුදල් කලමනාකරුවන්ද, ප්‍රභූවරුන් සහ ආන්ඩුවේ නායකයින් සහ නිලධාරීන්ය.

මෙම වසර ආරම්භයේදී පදවිප්‍රාප්තවූ බ්‍රසීලයේ හිටපු ෆැසිස්ට්තාලයේ හමුදා නිලධාරියකු වූ ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝට ඩාවොස් හි රතු පලස එලන ලදී. බොල්සොනාරෝ සංසදය විවෘත කිරීමට ඉතාමත් විකාරසහගත සහ අතිශයින්ම කෙටි මූලදේශනය පැවැත්විය. මෙවැනි පුද්ගලයකු විසින් මෙහෙයවෙන නව ආන්ඩුවක් යටතේ ලාභ වැඩිවීම පිලිබඳ බලාපොරොත්තුව මගින් රැස්ව සිටි ආයෝජකයෝ “උත්තේජිත” වූ බව විස්තර කෙරිනි. හිටපු බ්‍රසීල ආඥාදායකත්වයටත් එහි වාමාංශික විරුද්ධවාදීන්ගේ ඝාතන සහ වධදීම් වලටත් තම සහය පල කල ඔහුගේ ආන්ඩුව ජෙනරාල්වරුන්ගෙන් සහ දක්ෂිනාංශික දෘෂ්ටිවාදීන්ගෙන් පිරී ඇත.

දේශපාලන ප්‍රතිගාමිත්වය වෙනුවෙන් මහාද්වීපය සිසාරා සිදු කෙරීගෙන යන ශුද්ධ යුද්ධයේ තමන්ම නිරත වෙමින් බොල්සනාරෝ ප්‍රකාශ කලේ, “මෙම කලාපයේ වාමාංශික ව්‍යාපාරය නොපවතිනු ඇත. මම විශ්වාස කරන්නේ මෙය දකුනු ඇමරිකාවට පමනක් නොව ලෝකයටමත් හොඳයි” යනුවෙනි. උග්‍රවන ආර්ථික අර්බූදය මගින්ද ජාත්‍යන්තර පරිමානයේ කම්කරු පන්තියේ අරගල පුනර්ජීවනය වීම මගින්ද තමන් වටලනු ලැබ ඇතැයි දැනෙන මූල්‍ය කතිපයාධිකාරය සහ ඔවුන්ගේ ආන්ඩුවල නියෝජිතයින්ගෙන් ඔහුට යහපත් ප්‍රතිචාරයක් ලැබිනි. මෙම සියල්ලෝම තම ධනය සහ පාලනය ආරක්ෂා කිරීමේ මාධ්‍යයක් ලෙස ආඥාදායකත්වයේත් අධිපතිවාදයේත් මර්දනයේත් වාරනයේත් සහ සෘජු ෆැසිස්ට්වාදයේත් ක්‍රමවේදයන් දෙස ඇස් යොමු කරමින් සිටිති.

එක්සත් ජනපදය තුලමත් වොෂින්ටනයේ එකිනෙකාගේ බෙලි සපාගන්නා දේශපාලන යුද්ධය තිබියදීම දිග හැරෙමින් පවතින වෙනිසියුලාවේ බලකොල්ලය පිලිබඳ මතභේද නොමැත. “වෙනිසියුලානු ජනතාව සඳහා වඩාත් අපේක්ෂා සහගත සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් දකින නිර්භීත දේශප්‍රේමීන්” වශයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පන්දම්කාර ගයිඩො සහ ඔහුගේ ආධාරකරුවන් උත්කර්ශයට නංවමින් එජ සෙනේට් සභික ඩිමොක්‍රටික සංවිධායක ඩික් ඩර්බන් ජනවාරි 23දා ප්‍රකාශයක් නිකුත් කලේය.

මීට අමතරව ගයිඩො තමන් ජනාධිපති වශයෙන් ප්‍රකාශ කල දිනම, “වෙනිසියුලාව බිඳ වැටෙමින් තිබියදී නව විරෝධතාවයේ හඬක් මතුවිය” යන ශීර්ෂ පාඨය යටතේ දක්ෂිනාංශික දේශපාලනික ක්‍රියාධරයින් වෙත දිදුලන ප්‍රශස්තියක් නිව්යෝර්ක් ටයිම්ස් පල කලේය. මෙම “නව හඬ” එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෙවීම් කරන හොරැනෑවක් බව සිය පාඨකයන්ට දන්වා සිටීමට එය උත්සාහ නොකලේය.

එජ යේ ධනේශ්වර ලිබරල්වාදී සංස්ථාපිතයේ පූර්ව හොරනෑව වූ මෙම පුවත්පතම 2002දී චාවෙස්ට එරෙහි අසාර්ථක සීඅයිඒ බලකොල්ලය වගවර්නනා කලේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතියකු ඔහුගේ නිලයෙන් ඇද දමනු ලැබ අත්අඩංගුවට ගැනීම සහ හමුදා පිටුබලය සහිත ව්‍යාපාරික සංගමයක නායකයකු ජනාධිපති ලෙස ප්‍රකාශ කරනු ලැබීමෙන් අනතුරුව “වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් තර්ජනයට ලක් නොවන” බව පවසමිනි.

වෙනිසියුලාවේ දිගහැරෙමින් පවතින කුමන්ත්‍රනයට සමස්ථ ලතින් ඇමරිකාවටත් සමස්ථ ග්‍රහලෝකයටත් ඇඟවුම් පවතී. මෙය, මෙම සහස්‍රවර්ෂය මුලදී මතුවී ආ ජාතික ධනපති ආන්ඩුවල ඊනියා “වාම මාරුව” මුහුදුබත් වීමේ කොටසකි. සමෘද්ධිමත් වෙමින් පැවැති වෙලඳ භාන්ඩ ආදායමේ කොටසක් සමාජ ශුභ සාධන වැඩපිලිවෙලවල් වෙත හරවා යැවූ මෙම ආන්ඩු, කලාපයේ එජ බලපෑම මග හැරවීමට නැගීඑන චීනය භාවිතා කලේය. සමාජවාදයේ නව රූපාකාරයක් ලෙස ජාත්‍යන්තරව පැබ්ලෝවාදීන් සහ අනෙකුත් ව්‍යාජ වාම ප්‍රවනතා විසින් ප්‍රවර්ධනය කරන ලදුව මෙම “රෝස නැගිටීම්”, ප්‍රතිගාමිත්වය සහ මර්දනය දෙසට අනිවාර්යව කෙරෙන මාරුව හමුවේ, කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමට පමනක් සේවය කලේය.

එමතු නොව, මෙය ප්‍රතිගාමිත්වය සහ පාලනයේ ආඥාදායක රූපාකාරයන් දෙසට ජාත්‍යන්තර ධනපති පන්තියේ හැරීම සමග වෙන් කල නොහැකි ලෙස බැඳී පවතී; එනම් “හදිසි නීති තත්ත්වය” පැනවීම සඳහා ට්‍රම්ප්ගේ තර්ජනයේ සිට මැක්‍රොන් විසින් පෙටේන් වැලඳ ගැනීමත්, ජර්මනියේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස ෆැසිස්ට් ගැති ඒඑෆ්ඩී යේ නැගීමත් සහ ඉතාලියේ ආන්ඩුව මත අන්ත දක්ෂිනාංශියේ ග්‍රහනය තහවුරු කිරීමත් දක්වාය. සෑමතැනකම පටු මූල්‍ය කතිපයාධිපත්‍යයේ ආධිපත්‍යය, පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී රූපාකාරයන් සමග නොගැලපේ.

වෙනිසියුලාවේ දේශපාලන අර්බූදය ප්‍රගතිශීලී ආකාරයට විසඳිය හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත් වීම මගින් පමනක් ය. අවශ්‍ය වන්නේ හමුදා මැදිහත්වීම නොව මහජනතාව සන්නද්ධ කිරීමයි. රටේ යටින් පවත්නා ආර්ථික අර්බූදය විසඳිය හැක්කේ ධනේශ්වර දේපොල අල්ලා ගනිමින් වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සම්පත් මහජන පාලනය යටතට පත් කිරීම මගින් පමනක් ය. තම සහය සඳහා සමස්ථ ඇමරිකානු මහාද්වීපය පුරා කම්කරුවන්ට සහ පීඩිතයින්ට ඉල්ලීම් ඉදිරිපත් කරන අතර මෙවැනි වැඩපිලිවෙලක් ගෙනයාමට මහජන නියෝජිත මන්ඩල ගොඩ නැගිය යුතුයි.

එක්සත් ජනපදයේ කම්කරු පන්තිය ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිගාමී මැදිහත් වීමට එරෙහි වෙමින් තම පොදු සතුරා වන ධනපති ක්‍රමයට එරෙහිව වෙනිසියුලාවේත් ලතින් ඇමරිකාව පුරාත් කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කිරීමට සටන් කල යුතුය.

බිල් වෑන් ඕකන්

Share this article: