ලොස් ඇන්ජලීස් ගුරුවරු වැඩවර්ජනයට සූදානම් වෙති

Los Angeles teachers prepare to strike

2019 ජනවාරි 9

කැලිෆෝර්නියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලීස් හි 33,000ට වඩා ගුරුවරු බ්‍රහස්පතින්දා ජාතියේ දෙවැනි විශාල ම පාසල් දිස්ත්‍රික්කයේ වැඩවර්ජනය කිරීමට සූදානම් වෙති. සැලැසුම් කෙරුනු මෙම ක්‍රියාව, ආසන්න වශයෙන් වසරකට පෙර බටහිර වර්ජීනියාවේ ගුරුවරුන්ගේ හදිසි වැඩවර්ජනය සමග ආරම්භ වූ, 2018 ප්‍රාන්ත මට්ටමේ ගුරුවරුන්ගේ වැඩවර්ජන රැල්ලට පසු එක්සත් ජනපදය තුල පැවත්වෙන විශාල ම ගුරු වැඩවර්ජනය වනු ඇත.

ලොස් ඇන්ජලීස් ගුරුවරුන් නැගී සිටීම, වෘත්තීය සමිති විසින් දශක ගනනාවක් තිස්සේ මර්දනය කිරීමෙන් පසු, පසු ගිය අවුරුද්දේ මතු වූ, එක්සත් ජනපද හා ජාත්‍යන්තර කම්කරුවන් අතර වැඩෙන සටන්කාමිත්වය හා විරෝධය පැමේ මනෝගතියේ ප්‍රකාශනයකි. වසර 2019 ඇරඹෙන්නේ ඉදිරියට ඇදෙන ප්‍රන්සයේ කහ බැනියම් විරෝධතාව, ඉන්දියානු කම්කරුවන් මිලියන ගනනාවකගේ වැඩවර්ජන, ජෙනරල් මෝටර්ස් විසින් දොට්ට දැමීමට එරෙහි එක්සත් ජනපද මෝටර්රථ කම්කරුවන්ගේ වැඩෙන විරුද්ධත්වය හා ට්‍රම්ප් ආන්ඩුවේ අකර්මන්‍ය කිරීම හා මධ්‍යම ආන්ඩුවේ සේවකයින් ලක්ෂ ගනනාවක් පිටමං කිරීම හා වැටුප් රහිත වැටුප් දින සම්බන්ධයෙන් වැඩිවෙන කෝපය මධ්‍යයේ ය.

හැම තැන ම කම්කරුවන් මුහුන දෙමින් සිටින ප්‍රශ්න වන: අඩමාන රැකියා හා පිරිහෙන සැබෑ ආදායම්, ආන්ඩුවේ කුරිරු කප්පාදු, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාර හා සමාජ අසමානතාවේ පිපිරීම ආදිය සියල්ලන්ට පොදු ය.

ලොස් ඇන්ජලීස් ගුරුවරුන් සවිය උරගා බලන්නේ සම්පූර්න දේශපාලන පද්ධතියට එරෙහිව යි. ප්‍රාදේශීය පාසල් පාලක මඬුල්ල හා නගර පාලනයේ සිට ආන්ඩුකාර නිලය හා ඩෙමොක්‍රටිකයන්ට සුපිරි බහුතරයක් ඇති සැක්‍රමෙන්ටෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය දක්වා, ලොස් ඇන්ජලීස් හා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ රාජ්‍ය බලයේ සෑම ලීවරයක් ම පාලනය කරනු ලබන්නේ ඩෙමොක්‍රටික් පක්ෂය විසිනි.

සඳුදා දිව්රුම් දුන්, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නව ආන්ඩුකාර, ඩෙමොක්‍රටික් පාක්ෂික ගවින් නිව්සම්, ප්‍රාන්ත ඉතිහාසයේ දැඩි ම අධ්‍යාපන කප්පාදු කීපයක් ක්‍රියාත්මක කල, ඩෙමොක්‍රටික පූර්වගාමී ජෙරී බ්‍රවුන්ගේ “මූල්‍ය වශයෙන් සැකසුරුවම්” ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට පොරොන්දු වී ඇත. ඩෙමොක්‍රටිකයන් සිලිකන් වැලිය, විනෝදාශ්වාද, ආරක්ෂක හා මූල්‍ය කර්මාන්ත මත විශාල බදු කප්පාදු වගුරුවා ඇති අතර, ඔවුන් රජයේ පාසල් පද්ධතිය හාමතේ තබා ඇත. වරෙක නිදහස් රජයේ විශ්වවිද්‍යාල හා ජාතියේ හොඳම න-12 (බාලාංශයේ සිට 12වැනි ශ්‍රේනිය දක්වා - පරිවර්තක)පාසල් පද්ධතිය හේතුවෙන් ප්‍රසිද්ධ වූ කැලිෆෝර්නියාවේ දැන් ඒක පුද්ගල ශිෂ්‍ය වියදම අනුව ශ්‍රේනිය වන්නේ 50න් 43වැනි තැනය.

රජයේ අධ්‍යාපනය පුද්ගලීකරනය හා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2ක “අධ්‍යාපන වෙලඳපොල” මූල්‍ය කතිපයාධිකාරයට බාර දීමට, බිලියනපති එලී බ්‍රෝඞ් හා බිල් ගේට්ස් ඇතුලු බලගතු සංගත උත්සුකයන්ගේ ජාතික කුමන්ත්‍රනයක ප්‍රමුඛස්තානයේ ප්‍රාන්තය හා විශේෂයෙන් ම ලොස් ඇන්ජලීස් ද තබා ඇත.

ලොස් ඇන්ජලීස් ප්‍රහාරය මෙහෙය වන්නේ පාසල් පරීක්ෂක ඔස්ටින් බෝට්නර් ය, බ්ලැක්ස්ටෝන් ආයෝජන සමාගමේ හිටපු හවුල්කරුවෙකු වන ඔහුගේ මහජන සම්පත් කොල්ල කෑමේ අත්දැකීම් 1990ගනන්වල මුල් කාලය දක්වා යයි. එම අවස්ථාවේ දී ක්ලින්ටන් පාලනාධිකාරිය පැරනි සෝවියට් සංගමයේ රාජ්‍ය වත්කම් කොටස් ගැලවීමට සහාය දීමේ රාජ්‍ය දෙපාර්තමේන්තු උත්සාහයන් මෙහෙය වීමට ඔහු පත්කලේ ය.

යහපත් වැටුප්, පුස්තකාලාධිපතීන්, උපදේශකයින් හා අධ්‍යාපන සහකාරවරුන් බඳවා ගැනීම වැඩි කිරීම, පන්තිවල ලමුන් සංඛ්‍යාව අඩු කිරීම හා බලපත්‍ර පාසල් ව්‍යාප්තිය සීමා කිරීම සඳහා වූ ගුරුවරුන්ගේ ඉල්ලීම් පිලිගැනීම ඔහු විසින් දැඩි ව ප්‍රතික්ෂේප කලේ ය. ඒ වෙනුවට ඔහු මාස ගනනක් වැඩවර්ජනයකට මුහුන දීමට සූදානම් වී ඇත්තේ, හොරිකඩයන් ලෙස ආදේශක ගුරුවරුන් බඳවා ගැනීමට කොන්ත්‍රාත්තු අත්සන්කරමින් හා එක් තහනම් නියෝගයකට පසු තව එකක් බලාපොරොත්තු වෙමිනි.

බටහිර වර්ජීනියා, ඔක්ලහෝමා, ඇරිසෝනා හා අනෙකුත් ප්‍රාන්තවල පසු ගිය වසරේ වැඩවර්ජන සාමාන්‍ය සාමාජික ගුරුවරුන් විසින් ආරම්භ කරන ලද්දේ සමාජ මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමිනි. මේ අතර, වෘත්තීය සමිති හැකි හැමදෙයක් ම කලේ ගුරුවරුන් හුදකලා කර, වැඩවර්ජන නතර කිරීමට යි.

නැවත වතාවක්, ලොස් ඇන්ජලීස් ගුරුවරුන් වෘත්තීය සමිති තුල මුහුන දෙන්නේ තමන් වෙනුවෙන් අරගලයක් ගෙන යමින් සිටින සංවිධානවලට නො ව, මෙම ඓතිහාසික ප්‍රහාරයට වන තම විරුද්ධත්වය මර්දනය කිරීමට සෑම දෙයක් ම කරමින් සිටින හතුරෙකුට ය. ආසන්න වශයෙන් ඒකමතික වැඩ වර්ජන විධානය නො තකා, ලොස් ඇන්ජලීස් එක්සත් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය (යූටීඑල්ඒ) ගුරුවරුන් රැකියාවේ රඳවා ඇත්තේ, මාස 20ක් තිස්සේ නව කොන්ත්‍රාත්තුවක් නොමැතිව යි.

ගුරුවරුන් කම්පාවට හා කනස්සල්ලසට පත් කරමින්, සඳුදා සවස යූටීඑල්ඒ සභාපති ඇලෙක්ස් කපුටෝ-පර්ල් නිවේදනය කලේ, බලපත්‍ර පාසල් පුලුල් කිරීම, රජයේ පාසල් පුද්ගලීකරනය සඳහා යොදා ගනිමින් තිබෙන අසීමිත ප්‍රමිතිකරන පරීක්ෂන හා අනෙකුත් යෝජනාක්‍රමවලට එරෙහි ගුරුවරුන්ගේ ඉතාමත් තීරනාත්මක ඉල්ලීම් වෘත්තීය සමිතිය විසින් අත් හරිමින් සිටින බව යි. එය සම්පූර්න යටත් වීමක් සූදානම් කරමින් සිටින බවට මෙය සංඥාවකි.

ජනවාරි 10වැනිදා වැඩවර්ජනය ඉදිරියට යන්නේ නම් (වෘත්තීය සමිතිය එය අත්හැර දැමීමට තවමත් හැකියාව ඇත) එය එසේ වන්නේ වැලක්විය නොහැකි යැයි වෘත්තීය සමිති නිලධාරීන් හිතන, එතරම් සටන්කාමී මනෝගතියක් ගුරුවරුන් අතර තිබෙන නිසා ය. යූටීඑල්ඒ හා එහි මව් සංගමය වන ජාතික අධ්‍යාපන සංවිධානය (එන්ඊඒ) හා ගුරුවරුන්ගේ ඇමරිකානු සම්ලෙනයේ (ඒඑෆ්ටී) අපේක්ෂාව වන්නේ එවැනි අරගලයක් හුදකලා කර, හැකි ඉක්මනින් එය නතර කර දැමීම යි.

මෙය අවධාරනය කරන්නේ කම්කරු පන්තියේ බලගතු ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීමට, දොට්ට දැමුන සියදහස් ගනනක් ආන්ඩුවේ කම්කරුවන් ඇතුලුව, ගුරුවරුන් හා කම්කරුවන්ගේ අනෙකුත් කන්ඩායම් එක්සත් කිරීමට පොදු සාමාජිකයින්ගේ වැඩවර්ජන කමිටු ගොඩනගමින් අරගලය මෙහෙය වීම ගුරුවරුන් තම අතට ගැනීමේ අවශ්‍යතාවය යි. රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කිරීමට ප්‍රාන්ත මට්ටමේ දොට්ට බැසීම් හා වැඩවර්ජන මෙහෙය වීමට වර්ජීනියා, ඉන්ඩියානා හා අනෙකුත් ප්‍රාන්තවල ගුරුවරුන් සමග එක පෙලට ලොස් ඇන්ජෙලිස්, ඔක්ලහෝමා හා අනෙකුත් නගරවල ගුරුවරුන්ගේ අරගල සම්බන්ධ කිරීම, කප්පාදු හා සමාජ අසමානතාවට එරෙහි ව සියලු කම්කරුවන්ගේ මහා වැඩවර්ජනයක් සඳහා සූදානම් වීමේ අත්‍යාවශ්‍ය කොටසක් විය යුතු ය.

රජයේ අරමුදල් සැපයෙන අධ්‍යාපන අයිතිය, ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධයට ද ලමා ශ්‍රමය හා ජිම් ක්‍රෝගේ (වාර්ගික) වෙන් කර තැබීම අහෝසි කිරීමේ දැවන්ත කම්කරු පන්තික සටන්වලට ද ආපසු යන, සියවස් ගනනාවක අරගලය තුල දී දිනූ කාර්යසිද්ධියකි. නමුත් මහජන අධ්‍යාපනය තුල අන්තර්ගත සමානාත්මතාවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති සමාජ හා ආර්ථික අසමානතාව විසින් ආධිපත්‍ය ගැනුනු සමාජය සමග නො පෑහේ. වඩ වඩා ධනය හඹා යාමේ උමතුවේ දී, ලෝකයේ තම සහචරයන් මෙන් ම ඇමරිකානු පාලක පන්තිය ද, කම්කරුවන්ගේ ලමුන් නූගත්කම හා බර වැඩවලට කොටු කරන අතර, අවශ්‍ය තරම් පොහොසත් අයට පමනක් යහපත් අධ්‍යාපනයක් දැරිය හැකි වූ කාලයේ මෙන්, පන්ති පාදක අධ්‍යාපන ක්‍රමයක දිනවලට ආපසු යාමට අධිෂ්ඨාන සහගත ය.

කැලිෆොර්නියාවේ බිලියනපතියන් 144ගෙන් පොහොසත්ම මාර්ක් ෂකර්බර්ග්ගේ ඩොලර් බිලියන 71, භුක්තිය පැහර ගෙන මහජන අවශ්‍යතාවන්ට යොදා ගත්තේ නම්, එක රැයකින් කැලිෆොර්නියාවේ රජයේ පාසල්වල ගුරුවරුන්ගේ සංඛ්‍යාව දෙගුන කර, ඔවුන්ග් වාර්ෂික වැටුප ඩොලර් 100,000 දක්වා වැඩි කල හැකිව තිබුනි. එහි රජයේ පාසල් ලමුන්ගේ අවශ්‍යතාවන් විසඳීමට නව පුස්තකාලාධිපතීන්, විශේෂ අධ්‍යාපන සහකාරයන් හා වැදගත් කාර්ය මන්ඩලවලට 100,000ක් දෙනා බඳවා ගැනීමට තවත් ඩොලර් බිලියන 20ක් ඉතුරු වීමට ද ඉඩ තිබුනි.

සමාජ ධනය වෙන් කල යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නය, සියල්ලටමත් වඩා, කුමන පන්තිය දේශපාලන බලය දරන්නේ ද යන්න පිලිබඳ ප්‍රශ්නයකි. සංගත හා මූල්‍ය කතිපයාධිකාරියේ ආර්ථික හා දේශපාලන පාලනය ආරක්ෂා කරන, ඩෙමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් අවධාරනය කරන්නේ අධ්‍යාපනය හෝ වෙනත් හදිසි සමාජ අවශ්‍යතාවන් සඳහා මුදල් නැති බව යි. ඒ අතරම වෝල් වීදියට ඇප දීම මත නාස්ති කිරීමට, සංගත බදු කප්පාදු, අවසානයක් නැති කොල්ලකාරී යුද්ධ හා සංක්‍රමනික කම්කරුවන් මත ප්‍රහාරයන් සඳහා ඔවුන්ට ඩොලර් ට්‍රිලියන ගනන් සොයා ගත හැක.

පොහොසත් කීපදෙනා තවදුරටත් පොහොසත් කරනවා වෙනුවට, අතිමහත් බහුතරයේ සමාජ අයිතීන් සුරැකීමට කම්කරුවන්ගේ සාමූහික ශ්‍රමයෙන් නිෂ්පාදිත ධනය යොදා ගත යුතු නම්, කම්කරුවන් තමන්ගේ ම අතට දේශපාලන බලය ගත යුතු ය. මෙහි අර්ථය වන්නේ සුපිරි පොහොසතුන් විසින් මුලුමනින් ම පවරා ගැනුනු ධනය අත්පත් කර ගැනීමට හා ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමට ධනේශ්වර බිලියනපතියන් හා බහුමිලියනපතියන්ගේ ආන්ඩුව කම්කරුවන්ගේ ආන්ඩුවකින් වෙනස් කිරීම යි.

ජෙරී වයිට්

Share this article: