එක්සත් ජනපද ආන්ඩුව අකර්මන්‍ය කිරීමට එරෙහිව කම්කරු පන්තිය බලමුලුගන්වනු!

Mobilize the working class against the US government shutdown

2019 ජනවාරි 7

එක්සත් ජනපද මධ්‍යම ආන්ඩුවේ අර්ධ අකර්මන්‍ය කිරීම ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් කම්කරු පන්තිය මත එල්ල කෙරන ඉතා විශාල ප්‍රහාරයකි. මධ්‍යම ආන්ඩුවේ කම්කරුවන් 400,000ට වැඩි සංඛ්‍යාවක් වැටුප් නොමැති ව ලොකවුට් කර (පිටමං කර), අනිවාර්ය නිවාඩු යවා ඇත. තවත් 400,000ක් වැටුප් නොමති ව අනිවාර්ය සේවයේ යොදවා ඇත්තේ, වහල් සේවය හා වහල් ක්‍රමයේ බලහත්කාරී ශ්‍රම සූරා කෑමේ අනෙකුත් රූපාකාරයන් තුරන් කල, එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනය උල්ලංඝනය කරමිනි.

අකර්මන්‍ය කිරීම අනාවරනය කරන්නේ ඇමරිකානු කම්කරුවන්ගේ තත්වය වෙනුවෙන් ට්‍රම්ප් දක්වනවාය යැයි කියන අනුකම්පාවේ ප්‍රෝඩාව යි. එය වඩ වඩා කම්කරු පන්තිය හා පහල මධ්‍යම පන්තියේ පලල් ස්ථරයකට බලපාන්නේ, ජනගහනයේ දුප්පත් ම කන්ඩායම්වලට: එනම් අහාර සලාක ලබන්නන් මිලියන ගනනාවක්, අභ්‍යන්තර අමාත්‍යංශය මගින් විශාල වසයෙන් අරමුදල් සැපයෙන, මිලියන දෙකක් පමන වන දේශීය ඇමරිකානුවන් හා තම යැපීම සඳහා වෙනත් ආකාරයක ආන්ඩුවේ සත්කාරයන් මත යැපෙන තවත් මිලියන ගනනාවකට විශාලම බලපෑම ඇති කරමිනි.

ආදායම් බදු ආපසු ගෙවීම් හා අනෙකුත් මහබැංකු වේතනවල ප්‍රමාදයන් නිසා හා වැටුප් දිනයන්හි වැටුප් නොදීම නිසා ගමනාගමන පාලකයින් හා ආරක්ෂක පිරික්සන්නන් තම රැකියාවලින් ඉවත් කර දැමීමත් සමග ගුවන් ගමන් කඩාකප්පල් වීම, හා බොහෝ වෙනත් සේවාවන් හා පහසුකම් අහිමි වීම සමස්තයක් වශයෙන් මහජනයාට බලපානු ඇත.

ජනාධිපති වශයෙන් කොංග්‍රස් මන්ඩලය සැලකිල්ලට නො ගෙන, පෙන්ටගනයේ අරමුදල් යොදා ගනිමින් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ තාප්පයක් ඉදි කිරීමට ජාතික හදිසි නීති තත්වය ප්‍රකාශ කිරීමට හා මිලිටරියට නියෝග දීමට තමාට බලය ඇති බවට ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මතු කෙරෙන තර්ජනය ඊටත් වඩා අසුභ පෙර නිමිත්තකි. ට්‍රම්ප් ඉරිදා උදේ එම තර්ජනය පුනුරුච්ඡාරනය කලේ, දැඩි පියවර ගන්නේ දැ යි තමන් “දින කීපයක දී” තීරනය කරනු ඇති බව පවසමිනි.

නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ කතානායක නැන්සි පෙලොසි ඉරිදා උදේ ප්‍රචාරවූ සම්මිමු ඛ සාකච්චාවකදී පිලිගත් පරිදි "ජනාධිපතිවරයා කෙරෙන් , ඔහු පිලිබඳව ලැබෙන මනෝ භාවය නම් , ඔහු කැමති වන්නේ ආන්ඩුව වසාදැමීමට දැමීමට පමනක් නොව ,දේශසීමා පවුරක් ඇට වීමෙන් ද නොනැවතී , කොන්ග්‍රස් මන්ඩලය අහෝසිකිරිම මගින් , තමාගේ හඬ පමනක් ම ඇසෙන තත්වයක් නිර්මානය කිරීමටය."

ඉරිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡා වැඩසටහන් වල කතාකරන, එක් ප්‍රමුඛ ඩෙමොක්‍රටිකයෙක් හෝ, ව්‍යවස්ථාවේ පලමුවැනි වගන්තිය යටතේ විධායක අංශය විසින් වැය කෙරෙන සියලු අරමුදල් විසර්ජනය කල යුතු, කොංග්‍රස් මන්ඩලය එලෙස ඍජුව නොසලකා හැරීම, දෝෂාභියෝගයට ලක් කල හැකි වරදක් බව නො පැවැසී ය. දැනට නියෝජිත මන්ත්‍රී මන්ඩල සන්නද්ධ සේවා කමිටුවේ ප්‍රධානත්වය ගන්නා, නියෝජක ඇඩම් ස්මිත්, එවැනි පියවරක් ගැනීමට ට්‍රම්ප්ට අධිකාරිත්වය ඇති බව පවා පැවසුවේ, ඇෆ්ගිනිස්තාන් හා ඉරාක යුද්ධවල දී නියම කෙරුනු පූර්වාදර්ශයන් මත පදනම් ව ය. එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව යුද කලාපයක් ලෙස සැලකීමට ට්‍රම්ප්ට බලය ඇත යි ස්මිත් ඉඳුරාම තර්ක කලේ ය.

වසර 200ක ව්‍යවස්ථාදායක පූර්වාදර්ශ පාගා දැමීමට ඔහු සූදානම් බව ට්‍රම්ප් ප්‍රකාශ කිරීම හුදෙක් ඔහුගේ ම ආධිපත්‍යධාරී මනාපයන්ගේ ප්‍රතිඵලය නො වේ. බිලියනපති වංචාකාරයෙකු ඉහල ම ව්‍යවස්ථානුකූල තනතුරට එසවුනු ට්‍රම්ප්ගේ ජනාධිපතිකම ම, බිල් ක්ලින්ටන් දෝෂාභියෝගයට ලක් කිරීමේ අන්ත දක්ෂිනාංශික උද්ඝෝෂනයේ සිට, 2000 මැතිවරනය සොරකම් කිරීම හා ජෝජ් ඩබ්ලිව්. බුෂ් පදවියෙහි පිහිටුවීම, ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව හා යේමනයේ අප්‍රකාශිත හා ව්‍යවස්ථා විරෝධී යුද්ධ, ඡන්දය දීමේ අයිතීන් මත වැඩිවෙන්නා වූ විවෘත ප්‍රහාරයන් හා කිසියම් ආකාරයක අධිකරන, කොංග්‍රස් මන්ඩල හෝ නීතිමය බාධාවන්ගෙන් විධායක අංශය නිදහස් කිරීමට වන වැඩිවෙන උත්සාහය දක්වා, ගෙවී ගිය විසි වසර තුල ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වූ පිරිහීමේ ප්‍රතිඵලයකි.

වැඩිවෙන සමාජ එදිරිවාදකම්වල, විශේෂයෙන් ම ආර්ථික අසමනතාවේ අතිවිශාල වැඩිවීමේ බර යටතේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ඇද වැටෙමින් තිබෙන්නේ, පෙර නො වූ විරූ ලෙස වත්පොහොසත්කම් සහිත මූල්‍ය ප්‍රභූව දේශපාලන බලයේ සියලු උත්තෝලනය පාලනය කරන අතර ජීවත් වීමට පොරබදිමින් සිටින, කම්කරු පන්තියේ අතිමහත් බහුතරය, ආන්ඩුවේ ප්‍රතිපත්ති මත කිසියම් හෝ බලපෑමක් ඇති කිරීමෙන් ඉවත් කරමිනි.

දේශ සීමා තාප්පය සම්බන්ධ මතභේදයේ දී දෙපැත්තේ සතුරු ප්‍රකාශවලට විශ්වාසනීයත්වයක් නොමැත.

ට්‍රම්ප් දෙසාබාන ලෙස “ජාතික ආරක්ෂක හදිසි තත්වයක්” නොමැත. දේශසීමාව හරහා අපරාධකරුවන් හා ත්‍රස්තවාදීන්ගේ ගලා ඒමක් නැත, එය ධවල මන්දිරය හා ෆොක්ස් නිව්ස් සේවාවේ දොඩන්නන් විසින් අවසානයක් නැතිව ප්‍රචාරය කෙරෙන හිට්ලර් වර්ගයේ “ගජ බින්නයකි.” එහි සිටින්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මර්දනය හා මැදිහත්වීම්වල දීර්ග ඉතිහාසයේ ප්‍රතිඵලයක් වන ප්‍රචන්ඩත්වය හා නො ඉවසිය හැකි දුස්ස්වප්නයකින් බේරී සරන සෙවීමට, ප්‍රධාන වශයෙන් මධ්‍යම ඇමරිකාවේ සිට, එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව තරනය කිරීමට උත්සාහ ගනිමින් සිටින මංමුලා සහගත පිලිසරන පතන්නන්ගේ වැඩිවෙන සංඛ්‍යාවක් පමනකි.

පෙලෝසි කියන පරිදි, දේශසීමා තාප්පයක් සඳහා වන “අශික්ෂිත” යෝජනාවට එරෙහිව ප්‍රතිපත්තිමය සටනක් කරන ඩෙමොක්‍රටිකයෝ නැත. යන්තම් වසරකට පෙර, සංක්‍රමනික ප්‍රශ්නය මත ඇතිකර ගන්නා වඩා විශාල ගිවිසුමක කොටසක් ලෙස දේශසීමා තාප්පයක් සඳහා ඩොලර් බිලියන 25ක් වැය කිරීමේ සැලස්මකට දෙපැත්ත ම එකඟ වූහ. දැන් ඩොලර් බිලියන 1.6ක් හා ඩොලර් බිලියන 5.6ක් අතර වෙනස මත ඩෙමොක්‍රටිකයන් අතිවිශාල අරගලක නියලෙන බව පැවසේ. නමුත් කිසි ම ප්‍රමුඛ ඩෙමොක්‍රටිකයෙක් රඳවා ගැනීමේ කඳවරු වසා දැමීම, සරනාගතයන් නිදහස් කිරීම හා ඔවුන්ගේ සරනාගත අයිතිය පිලිගැනීම, දේශසීමා මුර කිරීම සහ ආගමන හා රේගු බලගැන්වීම් නමින් ප්‍රසිද්ධ ප්‍රචන්ඩ පොලිස් මැරවරයින්ගේ කන්ඩායම් ක්‍රියා කිරීම අත් හිටුවීම ඉල්ලා නො සිටි යි.

“දේශසීමා” තාප්පය මත ගැටුම පිටුපස සැබෑ කාරනය වන්නේ, මූලිකව ම විදේශ ප්‍රතිපත්තිය, විශේෂයෙන් ම සිරියාවෙන් එක්සත් ජනපද හමුදා ආපසු ගැනීම හා ඇෆ්ගනිස්තානයේ හමුදා භටයින් අඩු කිරීමේ ට්‍රම්ප්ගේ නියෝග හා ප්‍රධාන ක්ෂනික හතුරා ලෙස රුසියාව වෙනුවට චීනය මත යොමු වීමේ ඔහුගේ පූර්න තීරනය මත එක්සත් ජනපද පාලක ප්‍රභූවේ විවිධ ප්‍රතිගාමී කන්ඩායම් අතර ඉදිරියට ඇදෙන ගැටුම යි. වඩා පලල් ලෙස, එය පිලිබිඹු කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය රට තුල මෙන් ම විදේශයන් හි මුහුන දෙමින් සිටින සංකීර්න අභියෝග සමග බුද්ධිමත් ලෙස ගනුදෙනු කිරීමට ට්‍රම්ප් අසමත් බවට වැඩෙන උත්සුකය යි.

මධ්‍යවාර මැතිවරනයේ දී රිපබ්ලිකානු පරාජය, ඩිමොක්‍රටික් පාලිත නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ආසන ඉඩකඩ, ඩිමොක්‍රටික් පක්ෂය හා මාධ්‍යයේ කන්ඩායම් වලින් දෝෂාභියෝගයක් ඉල්ලා සිටීම යන සියල්ලට ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය වන්නේ තම ෆැසිස්ට්වාදී පදනමට කරන ආයාචනයන් තීව්‍ර කිරීම හා විවෘත ලෙස ආධිපත්‍යධාරී වැඩසටහනක් විස්තාරනය කිරීම යි. ව්‍යවස්ථාදායක පසුම්බියේ (මුදල් වෙන් කිරීමේ) ව්‍යවස්ථාදායක බලය යොදා ගනිමින්, විධායක ශාඛාව මත සීමා පැනවීමේ ව්‍යවස්ථාදායක උත්සාහයන් විසින් ඇති කෙරුනු, මීට පෙර අකර්මන්‍ය වීම්වලට වෙනස් ව, විධායක ශාඛාව විසින් මෙම අකර්මන්‍ය කිරීම පොලඹවා, ආරම්භ කලේ ජනාධිපතිගේ ඔට්ටු තැබීම් ඉටු කිරීමට ව්‍යවස්ථාදායකය බිය වැද්දීමට හෝ එය සම්පූර්නයෙන් ම ඉක්මවා යාමට ය.

පාලක ප්‍රභූව අතර මෙම ගැටුමේ සියලු ම පාර්ශ්ව ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර වැඩ කරමින් සිටින්නේ ව්‍යවස්ථාව යටපත් කරන ක්‍රමවේද මගින් තම අරමුන සාක්ෂාත් කර ගැනීමට යි. දේශසීමා මුර සංචාරක සංගමය හා අනෙකුත් පොලිස් ඒජන්සි වැනි ෆැසිස්ට්වාදී කන්ඩායම්වලින් තමන්ට ලැබෙන සහාය ට්‍රම්ප් විවෘතව ප්‍රදර්ශනය කරන්නේ, ජාතික හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට හා කොංග්‍රසයට අභියෝග කර තාප්පය බැඳීමට මිලිටරියට නියෝග කිරීමට තර්ජනය කරන අතරතුර ය. ඩෙමොක්‍රටිකයන් ක්‍රියාත්මක වන්නේ මාලිගා කුමන්ත්‍රන ක්‍රමවේද සමගිනි, ඒවා නම් මිලිටරි-ඔත්තුසේවා සංවිධාන විසින් අනුග්‍රහ දැක්වෙන ම්‍යුලර්ගේ රුසියානු විරෝධී විමර්ශනය, සමාජවාදී හා යුද විරෝධී අදහස් නිශ්ශබ්ද කිරීමට අන්තර්ජාල වාරනය ඉල්ලා සිටීම, යුද අපරාධවලට වරදකරුවන් වන ජනරාල්වරුන් “දැනුම් තේරුම් ඇත්තන්” ලෙස උත්කර්ෂයට පැමින වීම හා දැන් ජනාධිපතිට එරෙහිව මැදිහත්වීමට මිලිටරියේ කන්ඩායම්වලට ආයාචනය කිරීම යි.

මෙම පාර්ශ්ව දෙකම එකට එකතු වන්නේ කම්කරු පන්තියේ කුමන හෝ ස්වාධීන මැදිහත් වීමක් සම්බන්ධයෙන් වන තම පොදු බිය හේතුවෙනි. ට්‍රම්ප් පාලනාධිකාරියට හා අකර්මන්‍ය කිරීමට එරෙහි ඍජු කම්කරු පන්තික විරුද්ධත්වයක් දිරිමත් කිරීමට ඉඩ ඇති කිසි දෙයක් කිරීමට ඩෙමොක්‍රටිකයෝ ත්‍රස්ත වෙති.

මෙම අර්බුදයේ දී, මධ්‍යම ආන්ඩුවේ වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙමින් සිටින්නේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ශාඛාවලට වඩා වැඩි දෙයක් ලෙස නො වේ. ඇමරිකානු ඉතිහාසයේ විශාලම කම්කරුවන් පිටමං කිරීමකට එරෙහිව, ඔවුන් තනි පෙලපාලියක් හෝ විරෝධතාවක් කැඳවා නැත, වැඩවර්ජනයක් ගැන කියනුම කවරේ ද. සීමිත ආකාරයකින් වුවද, වෘත්තීය සමිති කම්කරු පන්තියේ ආරක්ෂක සංවිධාන ලෙස පෙනී සිටි අවස්ථාවේ, හාම්පුතුන්ගේ එවැනි ප්‍රහාරයක් විරෝධතා පොලඹවා, සහාය ඉල්ලා සිටීමට ඉඩ තිබිනි. ඒඑෆ්එල්-සීඅයිඕ ඇතුලු වෘත්තීය සමිති, ඇඟිල්ලක් පවා එසවීමට ප්‍රතික්ෂේප කිරීම ප්‍රදර්ශනය කරන්නේ ඒවා මහා ව්‍යාපාර සඳහා කාර්මික පොලිස් හමුදාවක් බවට පරිවර්තනය වී ඇති බව යි.

ඒකාධිපතිත්වයට වන ගමන තීව්‍රකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී විසඳුමක් සැලැසුම් කරන අතර, මධ්‍යම ආන්ඩුවේ අකර්මන්‍ය වීම ඉදිරියට ඇදී යාමට ඉඩ දීම හා කම්කරු පන්තිය මත පෙර නො වූ විරූ වඩා විශාල විනාසයක් පැටවීමට පාලක පන්තියේ තරඟ කරමින් සිටින කන්ඩායම්වලට අවකාශ සැලසීම කම්කරු පන්තියට කල නො හැක.

ට්‍රම්ප්ගේ හා ඩෙමොක්‍රටිකයන් විසින් පාලනය කෙරෙන පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ග්‍රහනය දිගටම පැවතුනහොත්, ප්‍රතිඵලය වනු ඇත්තේ වඩ වඩා සංක්‍රමනිකයන් මර්දනය කිරීම, මධ්‍යම ආන්ඩුවේ කම්කරුවන් හා කොන්ත්‍රාත් කම්කරුවන්ගේ පඩි චෙක් පත් හා රැකියා අහිමි වීම, සමාජ ශුභසාධන වැඩසටහන් තව දුරටත් ඛාදනය වීම, එමෙන් ම විභව ලෙස ව්‍යවස්ථාදායක සම්මතයන් විවෘත ව උල්ලංඝනය කිරීමේ ඉඩ කඩ හා සම්පූර්න ජනාධිපති ඒකාධිපතිත්වයක් මතුවීම යි.

මධ්‍යම ආන්ඩුවේ කම්කරුවන් ආරම්භකත්වය ගත යුතු ය. අකර්මන්‍ය කිරීම අවසන් කරමින් හා ආන්ඩුවේ සියලුම කම්කරුවන් හා කොන්ත්‍රාත් කම්කරුවන්ගේ රැකියා හා වැටුප් චෙක් පත් ප්‍රතිසාධනය කිරීමට හා එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව හා රට පුරා සංක්‍රමනිකයන් මත ම්ලේච්ඡ වද දීම් නතර කිරීම ඉල්ලා සිටීමට විරෝධතා හා පෙලපාලි, අසනීප නිවාඩු යාම හා සේවයෙන් ඉවත් වීමේ වෙනත් ක්‍රියාකාරකම් සංවිධානය කල යුත්තේ, බංකොලොත් හා ප්‍රතිගාමී වෘත්තීය සමිති මගින් නො ව, ස්වාධීන ව හා සමාජමාධ්‍ය ඔස්සේ ය. මෙය එලඹෙන අඟහරුවාදා වැඩවර්ජනය කිරීමට සූදානම් වන, ලොස් ඇන්ජලීස් හි 40,000ක ගුරුවරුන් වැනි අරගලයට පැමිනෙමින් සිටින අනෙකුත් අංශවල කම්කරුවන්ගේ සහාය ඉල්ලා සිටීම සමග ඒකාබද්ධ කල යුතු ය.

අවසාන ඉල්ලීම අලුත් අදහසක් නො ව මූලික ප්‍රතිපත්තියකි. දේශසීමාවේ දී සරනාගතයන් හා ආරක්ෂාව පතන්නන්ට කරමින් තිබෙන දේ (නඩු නොමැතිව හිරකිරීම, ලමුන් හා දෙමව්පියන් වෙන් කිරීම, කඳුලු ගෑස් එල්ල කිරීම හා අනෙකුත් ප්‍රචන්ඩතා, හා රඳවා ගැනීමේ කඳවුරු ඉදිකිරීම) කම්කරුවන් වටහා ගත යුත්තේ, සමස්ත කම්කරු පන්තිය මත ඒ ආකාරයේ ප්‍රහාරයකට සූදානම් වීමක් ලෙස ය. මෙය කම්කරු පන්තිය තුල රැකියා, ජීවන තත්වයන් හා සමාජ ශුභසාධන ආරක්ෂා කිරීමේ ඕනෑ ම ව්‍යාපාරයක් සමග ගනුදෙනු කිරීමට ට්‍රම්ප් හා ඩෙමොක්‍රටිකයන් සූදානම් වන්නේ කෙසේ දැ යි යන්න පෙන්ව යි.

පක්ෂ දෙකට හා සමස්ත දේශපාලන සංස්ථාපිතයට එරෙහි ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තිය මැදිහත් විය යුතු ය. එවැනි අරගලයක තර්කය වන්නේ ට්‍රම්ප් පාලනාධිකාරිය හා සමස්තයක් ලෙස ධනේශ්වර පද්ධතියට එරෙහිව මහා වැඩවර්ජනයක් සූදානම් කිරීම යි.

කම්කරුවන් අත්‍යාවශ්‍ය දේශපාලන නිගමනයන් උකහා ගත යුතු ය. ගුවන් ගමන්වල සිට දුප්පත් හා වඩාත් පීඩිත අය සඳහා වන සෞඛ්‍ය රැකවරන හා රජයේ සේවාවන් දක්වා වන නූතන සමාජයේ කේන්ද්‍රීය ක්‍රියාකාරකම්වලට තර්ජනය කිරීමෙන් පාලක පන්තිය ප්‍රදර්ශනය කරමින් සිටින්නේ තමන් පාලනය කිරීමට සුදුසු නැති බව යි.

අකර්මනය කිරීම පෙන්වා දෙන්නේ, තුනී ප්‍රභූවකගේ දේපල හා ධනය ආරක්ෂා කිරීම නො ව, කම්කරු පන්තියේ අවශ්‍යතාවන් මත පදනම් වූ, සම්පූර්නයෙන් ම වෙනස් ආකාරයක ආන්ඩුවක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය යි. ධනේශ්වර ආන්ඩුවේ බිඳවැටීම ඉස්මතු කරන්නේ කම්කරු පන්තිය තම අතට බලය ගැනීම හා කම්කරු ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය යි.

පැට්‍රික් මාටින්

Share this article: