ට්‍රම්ප් ආපසු හැරවිය නො හැකි දේශපාලන තීරනයක් අබියස

Trump at the Rubicon

2019 ජනවාරි 11

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනවාරි 10දා රටෙහි දකුනු දේශසීමාවට සංචාරය කල අතර, ඔහු එහි දී මෙක්සිකෝවේ සිට පැමිනෙන අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය නිසා එක්සත් ජනපදය අර්බුදයක හනුවලට හසු වී ඇති ය යන ඔහුගේ ව්‍යාජ දෙඩවිල්ල පුනරුච්ඡාරනය කලේ ය.

ඔහු ටෙක්සාස් බලා පිටත් ව යද්දී, කොංග්‍රසය මගහැර දේශසීමා තාප්පයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීම සඳහා දැනට පවතින ආන්ඩුව අක්‍රිය කිරීම ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට අවසන් කිරීමේ ඔහුගේ තර්ජනය අවධාරනය කලේ ය.

“ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මට සෑම අයිතියක් ම තිබෙනවා” යයි ට්‍රම්ප් කීවේ ය. “බොහෝවිට මම එය කරනවා... මං මේ කියන්නේ නිශ්චිත ව. මෙය ජාතික හදිසි තත්ත්වයක්.”

“ජාතික හදිසි තත්ත්වයක්” සමගින් කොංග්‍රසය නිෂ්ප්‍රභ කිරීමේ තර්ජනය හරහා ට්‍රම්ප් පැහැදිලි කරන්නේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ සැතපුම් කනුවක් සනිටුහන් කරමින් බල විභේදනය අහෝසි කිරීම සඳහා ජනාධිපති ධුරය යොදාගැනීමට ඔහු සූදානම් බව යි.

මෙම තර්ජනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ පාදක මූලධර්මයන්ට හා ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කෙරී ඇති මූලික අයිතිවාසිකම්වලට වලකැපීම පිනිස ජනාධිපති ධුරයේ බලතල ප්‍රසාරනය කිරීමට බුෂ් හා ඔබාමා පරිපාලනයන් යටතේ දැරූ ක්‍රමානුකූල ප්‍රයත්නයන්ගේ පරිසමාප්තිය යි.

2000 වසරේ මැතිවරනය හොරකම් කිරීමෙන් පසුව, දේශාභිමානී පනත සම්මත කරගැනීමටත් අවිනිශ්චිත කාලයකට රඳවාගැනීම, වධබන්ධනයන්ට ලක්කිරීම හා අවසරයකින් තොර අධීක්ෂනය ඇතුලු ව්‍යවස්ථා-විරෝධී පිලිවෙත් මාලාවක් ක්‍රියාවට දැමීම බුෂ් පරිපාලනය විසින් සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාර යොදාගත්තේ ය. ව්‍යාජ-නෛතික පදනම වූයේ මිලිටරියේ ප්‍රධාන අනදෙන්නා ලෙස ජනාධිපතිට තථ්‍යසම ව අසීමිත බලතල තිබෙන බව යි.

නිසි ක්‍රියාදාමයෙන් තොර ව එක්සත් ජනපද දේශසීමාවන් තුල ද ඇතුලු ව ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමට ඇති අයිතිවාසිකම කියාපෑමටත් 2013 දී බොස්ටන්හි මාෂල් නීතිය පැනවීමටත් ඔබාමා පරිපාලනය මෙම පූර්වාදර්ශය යොදාගත්තේ ය.

දේශීය දේශපාලන අර්බුදයක දී කොංග්‍රසයට විරෝධය පෑම සඳහා “හදිසි තත්ත්වයක්” යොදාගැනීම මගින්, ට්‍රම්ප් ඔහුගේ සුපුරුදු අපරාධකාරීත්වය සමගින් මෙම ක්‍රියාවලිය කූටප්‍රාප්තියකට ගෙන එමින් සිටී.

එවැනි ක්‍රියාවක් ඔහුගේ ද ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ ද දෑත් තුල නිර්බාධිත ජනාධිපති බලතල ක්‍රියාත්මක කිරීම සඳහා නව යාන්ත්‍රනයක් සංකේන්ද්‍රනය කරනු ඇත. මූලික ව නව්‍ය වන මෙම දේශපාලන පද්ධතිය තුල, සාම්ප්‍රදායික ව කොංග්‍රසය විසින් මිලිටරිය වෙත වෙන්කරනු ලබන සුවිසල් සම්පත්, හුදු ජාත්‍යන්තර ව පමනක් නො ව එක්සත් ජනපදය ඇතුලත ම ද ක්‍රියාවන් සඳහා ජනාධිපතිවරයා විසින් වෙන් කල හැකි ය.

දෝෂාභියෝග ක්‍රියාදාමයන් ක්ෂනික ව ආරම්භ කිරීම සාධාරනීකරනය කිරීම සඳහා යම් “මහා අපරාධ හා අයුතු ක්‍රියාවන්” තිබේ නම්, විධායක ආඥාව හරහා කොංග්‍රසය නිෂ්ප්‍රභ කිරීම එවන් තර්ජනයකි.

එහෙත් සිත්ගන්නාසුලු දෙය වන්නේ, වොෂින්ටනයේ හා මාධ්‍යවල ට්‍රම්ප්ගේ විවේචකයන්ගේ විවෘත සහයෝගය ඇතුලු අත්‍යසාමාන්‍ය ව සන්සුන් ප්‍රතිචාරය යි.

ඩිමොක්‍රටික් පක්ෂය හා මූල්‍ය ප්‍රභූවේ සැලකිය යුතු ස්ථරයක් වෙනුවෙන් කතාකරන නිව් යෝක් ටයිම්ස් පත්‍රය, “ජාතියේ අගනුවර ආන්ඩුව අක්‍රීය වීමේ අර්බුදයෙන් එලියට මාවතක් සම්පාදනය දේශපාලනික ව යථාර්ථවාදී එකම ක්‍රමය” ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම යයි කැඳවුම් කරමින් ජනවාරි 10දා ලිපියක් පලකලේ ය.

එම පියවර “ව්‍යවස්ථාමය සම්මතයන් අත්‍යසාමාන්‍ය ලෙස උල්ලංඝනය කිරීමක්” යයි පිලිගන්නා අතර ම, පුවත්පත කලේ එයට අනුමැතිය පලකිරීම පමනි. “ජනාධිපතිවරයා හා කොංග්‍රස් ඩිමොක්‍රටිකයන් අතර අයවැය අරබයා ඇති වී තිබෙන ආරවුලේ දී දෙපාර්ශවයට ම මුහුන බේරාගැනීමේ විසඳුමක් සම්පාදනය කරන්නේ ට්‍රම්ප් තර්ජනය කර ඇති පියවර යි.”

වඩා තියුනු උත්සුකතාවන් පලකලේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් සගයන්ය යන්න අවධානයට යොමු විය යුතුය. “අද දින ජාතික හදිසි තත්ත්වය දේශසීමා ආරක්ෂාව නම්, හෙට දින ජාතික හදිසි තත්ත්වය දේශගුන විපර්යාසය විය හැක” යයි කීවේ ට්‍රම්ප්ගේ පියවරට විරුද්ධ වූ සෙනෙට් සභික මාකෝ රුබියෝ ය.

වඩාත් ම රුදුරු පියවරයන් කරගෙන යාම සඳහා එකකට පසු තවෙකක් වසයෙන් ජාතික හදිසි තත්ත්වයන් යොදා ගනු ඇතැයි හඳුනාගැනීමට මහා විශාල කල්පනා ශක්තියක් අවශ්‍ය නැත.

මිලිටරි මෙහෙයුම් විශාල පරිමානයෙන් තීව්‍ර කිරීම වේවා මහජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත දුරදිග යන ප්‍රහාර එල්ල කිරීම වේවා, කොංග්‍රසයේ හා මහජනයාගේ විරෝධය මගහැර ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම පිලිවෙතක් ක්‍රියාවට දැමීමේ හැකියාව ධවල මන්දිරය විසින් ප්‍රකාශ කරන හදිසි තත්ත්වයක් විසින් ට්‍රම්ප්ට හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයන්ට ලබාදෙනු ඇත.

කොංග්‍රසය තුල “දේශපාලන බාධාව” යයි කියා ඇති දෙය ජයගැනීමේ උපක්‍රමයක් ලෙස එවැනි බලතල ජනාධිපති වෙත ප්‍රදානය කිරීම පාලක ප්‍රභූවේ බලගතු කොටස් විසින් දැකගන්නේ ය යන නිගමනය උකහා ගතයුතු ය.

ජාතික නය හා ජාතික බංකොලොත්භාවය යයි උපකල්පිත දේවල් විසින් නිර්මිත “හදිසි තත්ත්වය” යන්න මගින් සමාජ ආරක්ෂනය හා මෙඩිකෙයා පහසුකම් කප්පාදු කිරීම, ඉල්ලා සිටිය හැකි ය. මහා පරිමාන අත්අඩංගුවට ගැනීම් හා වැඩ වර්ජන තහනම් කිරීම සාධාරනීකරනය කිරීමට “ජාතික හදිසි තත්ත්වය” යොදාගැනීම හරහා ගුරුවරුන්, ප්‍රවාහන කම්කරුවන් හෝ කම්කරු පන්තියේ අනෙක් ඕනෑම කොටසක වර්ජන තලා දැමිය හැකි ය.

එවැනි දුරදිග යන බලතල ට්‍රම්ප් විසින් අත්පත් කරගත් විට, හදිසි තත්ත්වය කවරදාක හෝ අවසන් වනු ඇතැයි විශ්වාස කිරීමට ඇත්තේ අඩු ඉඩකඩකි. එය දිගට ම පවත්වා ගනිමින් ප්‍රසාරනය කිරීම සඳහා ඒ හෝ මේ ව්‍යාජ නිමිත්තක් සොයාගනු ඇත. එක් වරක් යොදාගත් පූර්වාදර්ශය නැවත නැවත ව්‍යවහාර කරනු ඇත.

දේශපාලනික ව ආපසු හැරවිය නො හැකි තීරනය (රූබිකොන් නදිය) තරනය කරනු ලැබෙමින් පවතී.

“රූබිකොන් නදිය තරනය කිරීම” යන යෙදුම ජනනය වන්නේ ක්‍රිස්තු පූර්ව 49 දී හමුදාවක් සමඟ ඉතාලියට ගොඩබැසීම සඳහා ජූලියස් සීසර් විසින් රෝම නීතිය උල්ලංඝනය කිරීමත් සමග යි. සිවිල් යුද්ධය, රෝම ජනරජය බිඳවැටීම නිශ්චිත වශයෙන් ගත් කල පරම ආඥාදායකත්වයක් වූ අධිරාජ්‍යයක් ස්ථාපනය කිරීම සඳහා එම ක්‍රියාව විසින් වේදිකාව සකස් කලේ ය.

හදිසි තත්ත්වයක් හරහා කොංග්‍රසය නිෂ්ප්‍රභ කිරීමට ට්‍රම්ප් කරන තර්ජනය එවැනි ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයකට සමාන වේ: එනම් වරෙක ආරම්භ කල විට ආපසු හැරවිය නො හැකි තීන්දුවකි.

ආඥාදායක පාලන ක්‍රම කරා වන එම ධාවනය ම ලොව පුරා රටක් රටක් පාසා විලක්ෂනය වේ. ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සඳහා තමන්ට “සෑම අයිතියක් ම” ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කරද්දී, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිටියේ මහජන විප්ලවයක් මර්දනය කිරීම සඳහා යෙදවූ හදිසි තත්ත්වයක් යටතේ සියගනන් ජනයා ඝාතනය කර දහස් ගනනක් සිරගත කල ඊජිප්තුවේ මිලිටරි ආඥාදායක ජනාධිපති අල්-සිසි ව උත්කර්ෂයට නංවමිනි.

ට්‍රම්ප්ගේ තර්ජන ගලා එන්නේ, සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ සහයෝගය සහිත ව මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ප්‍රහාරයට ලක්වෙද්දී ය. එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සිවල ආරම්භකත්වය හා ඩිමොක්‍රටික් පක්ෂයේ සම්පූර්න සහයෝගය සහිත ව ගූගල්, මුහුනුපොත හා ට්විටර් යන සමාගම් මහා පරිමාන වාරනයක් හා දේශීය ඔත්තු බැලීමක් කරගෙන යමින් සිටී.

ප්‍රජාතන්ත්‍රවාදය මත මෙම දුරදිග යන ප්‍රහාර පිටුපසින් තිබෙන්නේ සමාජ අසමානතාවේ පෙර නුවූ විරූ වර්ධනය යි.

“හදිසි තත්ත්වයක” ආධාරයෙන් අර්බුදය විසඳීමට ට්‍රම්ප් තර්ජනය කල තැන් පටන් සෑම දිනක ම කොටස් වෙලඳපොල මිල ගනන් ඉහල නැග තිබීම සැලකිල්ලට ගත මනා ය. ආඥාදායක පාලන රූප කරා හැරීම තුල ප්‍රකාශයට පත් නො කල එක් අවසන් ඉලක්කයක් පවතින බව පාලක කවයන් අවබෝධ කරගනී. එනම්, ට්‍රම්ප් ද නියෝජිතයෙක් වන මූල්‍ය කතිපයාධිකාරයේ සමාජ අවශ්‍යතා ආරක්ෂා කොට ප්‍රසාරනය කිරීම යි.

ට්‍රම්ප්ගේ ආන්ඩුව අක්‍රීය කිරීමේ තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස අකමැත්තෙන් නිවාඩු යවනු ලැබ හෝ වැටුප් රහිත ව වැඩකිරීමට බලකෙරී ඇති රජයේ සේවකයන්ගේ විරෝධය සමගින් පසුගිය වසරේ දැකගත් සමාජ අතෘප්තියේ වැඩෙන ප්‍රකාශනයක් 2019 වසර තුලට නො නැවතී පැමිනේ. ඔවුන්ගේ වැඩෙන විරෝධය තුල, රැකියා අහිමිවීමේ අනතුරට මුහුන දෙන ජෙනරල් මෝටර්ස් මෝටර් රථ කම්කරුවන් දහස් ගනනක් හා නිදහස් අධ්‍යාපනය බිඳදැමීමට විරෝධය පලකරමින් වර්ජනය කිරීමට සූදානම් වන ලොස් ඇන්ජලීස්හි ගුරුවරුන් දහස් ගනනක් සමග ඔවුන් එකතු වේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂාව බැඳී තිබෙන්නේ එක්සත් ජනපදයේත් ජාත්‍යන්තර වත් පන්ති අරගලය ප්‍රසාරනය කිරීම සමග ය. ට්‍රම්ප්ට විරුද්ධත්වය පැමිනෙන්නේ දූෂිත හා පරිහානිගත දේශපාලන සංස්ථාපිතය තුලින් නො ව, සමස්ත ධනේශ්වර පද්ධතියට එරෙහි කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් තුලිනි.

පැට්‍රික් මාටින් හා ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: