ඉන්දියාවේ දෙදින මහා වැඩ වර්ජනයේ දේශපාලන අර්ථභාරය

The political significance of India’s two-day general strike

2019 ජනවාරි 12

උමතු දක්ෂිනාංශික ආන්ඩුවේ “ආයෝජන හිතවාදී” පිලිවෙත්වලට සිය විරෝධය ප්‍රකාශ කිරීම පිනිස ඉන්දියාව පුරා දස මිලියන ගනනින් කම්කරුවන් පසුගිය අඟහරුවාදා (ජන 8-9) සහ බදාදා පැය 48 ක වැඩ වර්ජනයකට සම්බන්ධ විය.

වැඩ වර්ජනයට පතල් සහ නිශ්පාදන ක්ෂේත්‍රයේ සිට බැංකු, ප්‍රවාහන සහ අනෙකුත් රජයේ සේවාවන් දක්වා වූ කම්කරු පන්තියේ පලල් කොටසක් සම්බන්ධ වූ අතර ඉන්දියානු පාලක පන්තියේ “බෙදා වෙන් කොට පාලනය කිරීමේ” දැනුවත් මූලෝපායේ කොටසක් ලෙස දශක ගනනාවක් තිස්සේ පවත්වා ගෙන ගිය කුලවාදී සහ වර්ගවාදී බෙදීම් ඉක්මවා යමින් එම වැඩ වර්ජනය දියත් විය.

ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනයන්ගෙන් එකක් වන මේ සතියේ ඉන්දියාවේ මහා වැඩ වර්ජනය ලෝක කම්කරු පන්තියේ වැඩෙන නැගී සිටීමේ කොටසකි.

අසල්වැසි බංග්ලාදේශයේ දරිද්‍රතාවයෙන් පීඩිත ඇඟලුම් කම්කරුවන් දස දහස් ගනනක් රාජ්‍ය මර්දනය හා ප්‍රචන්ඩත්වය ඉහල නැංවීම හමුවේ මේ සතියේ වැඩ වර්ජන සහ විරෝධතාවයන්හි යෙදී ගත්හ. අඟහරුවාදා පොලීසිය විරෝධතාවයන්හි නිරත කම්කරුවන්ට පහර දෙන විට විසි දෙහැවිරිදි කම්කරුවකු ඝාතනය කෙරිනි.

ඉන්දියාවේ ගිනිකොන වෙරල තීරයට ආසන්න ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් දරිද්‍රතා වැටුප් වලට එරෙහිව මාස ගනන් දිග්ගැසුනු විරෝධතාවයක නිරත වෙමින් සිට ඇත. මෙයට දෙසැම්බරයේ රජයට පක්ෂපාතී වෘත්තීය සමිති වල පීඩනය කපා හරිමින් කම්කරුවන් ලක්ෂයක් පමන විසින් දියත් කල දින නවයක වැඩ වර්ජනයද ඇතුලත්ය.

ලක්ෂ ගනන් කම්කරුවන් ජනාධිපති ඉමානුවෙල් මැක්රන් ගේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව ප්‍රන්සයේ “කහ බැනියම්” ව්‍යාපාරයට සහභාගී වී ඇත.

එජ තුල, වෘත්තීය සමිති පිටුබලය ලබන, ඩිමොක්‍රටික් පක්ෂය විසින් මෙහෙයවන පාසල් දිස්ත්‍රික්ක සහ කැලිෆෝනියා ප්‍රාන්ත ආන්ඩුවේ මහජන අධ්‍යාපනය කාබාසිනියා කිරීමට එරෙහිව අධ්‍යාපනඥයන් 30,000 කට වැඩි පිරිසකගේ වැඩ වර්ජනයක් වැලැක්වීමට ලොස්ඇන්ජලීස් එක්සත් ගුරුවරුන්ගේ සංගමය මහත් උත්සාහයෙන් කටයුතු කරමින් සිටී.

උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ වාහන කම්කරුවන් අතර රැකියා කප්පාදු කිරීමට සහ කම්හල් වසා දැමීම සඳහා අන්තර්ජාතික වාහන සමාගම් විසින් ගෙන යන සැලසුම්වලට එරෙහි රනකාමී අභියෝගයක් එල්ල කිරීම සඳහා වූ සහය වර්ධනය වෙමින් පවතී. කැනඩාවේ ඔෂාවාහි ජීඑම් කම්හලේ කම්කරුවන්, එම වැඩ බිම සහ එජ යේ තවත් කම්හල් 04 ක් වසා දැමීමට ගෙන ඇති තීරනය වාහන නිශ්පාදකයා විසින් යලි සනාථ කිරීමෙන් අනතුරුව, සමාගම් හිතවාදී (කොපරෙට්වාදී) යුනිෆෝර් වෘත්තීය සමිතියෙන් ස්වාධීනව කටයුතු කරමින් මේ සතියේ වෘත්තීය ක්‍රියාමාර්ග ගනනාවක යෙදී ගත්හ.

වංචාකාරී සංස්ථාපිත “වම”, එනම් වෘත්තීය සමිති, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ස්ටැලින්වාදී පක්ෂ මෙන්ම ඔවුන්ගේ ව්‍යාජ- වාම උපාංග විසින් කෘතීම ලෙස පන්ති අරගලය මර්දනය කල දශක ගනනාවකින් පසු කම්කරු පන්තිය තමාගේම ස්වාධීන අභිලාෂයන් ස්ථිරසාරව ප්‍රකාශ කිරීමට පටන් ගනිමින් සිටී.

21 වන සියවසේ ධනවාදයේ ම්ලේච්ඡත්වයට ඉන්දියාව උදාහරන සපයයි. ඉන්දියානු ජනගහනයෙන් සියයට 70 ක් හෝ මිලියන 900 කට වැඩි ජනතාවක් දිනකට ඩොලර් 02 කට වඩා අඩු ආදායමක් මත දිවි ගැටගහ ගනී. ඒ අතරම ප්‍රභූ පැලැන්තිය සහ එහි මාධ්‍ය, 1990 දශකයේ මැද වත්කම් ඩොලර් බිලියන 03 සිට අද 131 දක්වා ඉන්දියාවේ දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 15 කට සමාන ධනයක් ගිල දමනා ඉන්දියාවේ බිලියන පතියන්ගේ ඝාතීය වර්ධනය උත්සවාකාරයෙන් සමරයි.

නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ඉන්දියාවේ කම්කරුවන් සහ පීඩිතයන් වඩාත් දරුනු සූරාකෑමට යටත් කිරීම පිනිස 2014 දී බලයට ගෙන එනු ලැබීය. මෝදි ආන්ඩුව, දරුනු කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීම, කොන්ත්‍රාත් පදනම මත ශ්‍රමය ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීම, පුද්ගලීකරනය වේගවත් කිරීම ආදී පිලිවෙත් ක්‍රියාත්මක කරන අතර, චීනයට එරෙහිව එජ අධිරාජ්‍යවාදය විසින් ගෙන යන හමුදා-මූලෝපායාත්මක ප්‍රහාරයේ පෙරමුනු ගත රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීම සහ එහි වර්ගවාදී ප්‍රතිගාමීත්වය ඇවිලවීම සිදු කර ඇත.

නමුත් මෙම සතියේ වැඩවර්ජනය, ඉන්දියානු කම්කරු පන්තිය සූරාකෑමේ ගොදුරක් ම පමනක් නොවන බව ඉතා විශද ලෙස පෙන්නුම් කලේය. එය දැවැන්ත සමාජ බලයක් දරා සිටියි.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ යලි නැගිටීම, ලෝක අධිරාජ්‍යවාදයට එරෙහිව, එහි ගෝලීය වශයෙන් සංවිධිත අන්තර් ජාතික සමාගම් වලට, එහි යුද්ධ වලට සහ කුමන්ත්‍රනයන්ට මෙන්ම, අධිකාරිවාදී පාලන ක්‍රමයන්ට සහ අන්ත දක්ෂිනාංශික සහ ෆැසිස්ට් වාදී බලවේගයන් වෙත හැරී ගැනීමට එරෙහිව, ප්‍රතිප්‍රහාරයක් සඳහා වෛෂයික පදනම් සම්පාදනය කරයි.

දැන් පවත්නා කර්තව්‍යය වනුයේ නැතිබැරි කමෙන් සහ යුද්ධයෙන් විනිර්මුක්ත නව සමාජ පර්යායක්, එනම් ජාත්‍යන්තර සමාජවාදය, නිර්මානය කල හැකි වන පරිදි ජාත්‍යන්තර මූලෝපායකින් සහ අරගලයේ නව සංවිධාන වලින් කම්කරු පන්තියේ කැරලිකාරී ව්‍යාපාරය දේශපාලනිකව සන්නද්ධ කිරීමයි.

කම්කරු පන්තිය සදහා නව දේශපාලන මාවතක් හෙලි පෙහෙලි කිරීමේ මූලිකාංගයක් වනුයේ, එය, එජ යේ එක්සත් වාහන කම්කරු සංගමය (යූඒඩබ්ලිව්) වුවද, ප්‍රන්සයේ සීජීටී වුවද නොඑසේනම් ජර්මනියේ වාම පක්ෂය වුවද, කම්කරු පන්තියේ නාමයෙන් කථා කරන බව ප්‍රකාශ කර සිටින ධනේශ්වර හිතවාදී සංවිධානයන් නිර්දය ලෙස හෙලිදරව් කිරීමයි.

ඉන්දියාව පුරා දියත් කෙරුනු විරෝධතා වැඩවර්ජනය දේශපාලනිකව මෙහෙය වන ලද්දේ, ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) නොහොත් සීපීඑම් සහ එහි වෘත්තීය සමිති සහකරුවා වන ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) විසිනි. එමෙන්ම අර්ථභාරී භූමිකාවන් රඟ දැක්වූයේ සීපීඑම් හි සහෝදර ස්ටැලින්වාදී පක්ෂයේ එනම් සීපීඅයි හි වෘත්තීය සමිති ෆෙඩරේෂනය, සහ මහ ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂයේ සහ තමිල්නාඩුව මත පදනම් වූ දක්ෂිනාංශික පක්ෂයක් වූ ඩීඑම්කේ හි වෘත්තීය සමිති උපාංග යි.

මේ සියලු පක්ෂ ගෝලීය ධනවාදය සඳහා ලාභ ශ්‍රම සුරපුරයක් බවට පත් කිරීමට වූ ඉන්දියානු ධනපති පන්තියේ ධාවනය ක්‍රියාවේ යෙදවීමට අත්‍යවශ්‍ය භූමිකාවක් ඉටු කලාහු වෙත්. 1991 සහ 2008 අතර සීපීඑම් සහ සීපීඅයි, ආන්ඩු ගනනාවක් බලයේ තබාගැනීමට සහාය වූ අතර, ඉන් බොහොමයක් කොංග්‍රස් පක්ෂ නායකත්වය යටතේවූ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කල සහ වොෂින්ටනය සමග සමීප සම්බන්ධතා හඹා ගෙන ගිය ආන්ඩු විය.

මේ සතියේ වැඩ වර්ජනයට කම්කරුවන් සම්බන්ධ වූයේ වෙලඳපොල හිතවාදී ප්‍රතිසංස්කරනයන්ගේ 25 වසරකට වඩා වැඩි කාලයක් විසින් නිර්මානය කල සමාජ පරිහානියට විරෝධය දැක්වීමටය. කෙසේ වුවද ස්ටැලින්වාදීන් ට එය, අප්‍රේල්- මැයි මහ මැතිවරනයෙන් පසු, කොංග්‍රස් පක්ෂය විසින් නායකත්වය දෙන හෝ කුඩා ප්‍රාදේශීය දක්ෂිනාංශික පක්ෂ මාලාවක් මගින් නායකත්වය දෙන හෝ විකල්ප ධනේශ්වර ආන්ඩුවක් බලයට ගෙන ඒම පිටුපස කම්කරු පන්තිය ගාල් කිරීම ඉලක්ක කරගත් තුච්ඡ දේශපාලන සැලසුමකි.

ස්ටැලින්වාදීන්, බීජේපී හි සහ එහි හින්දු- දක්ෂිනාංශික සගයින්ගේ අපරාධ පෙන්වමින්, ධනපති පන්තියේ පක්ෂ සහ ආයතනයන්ට කම්කරු පන්තිය තමන් විසින් ක්‍රමානුකූලව යට කර තැබීම සාධාරනීකරනය කිරීමට උත්සාහ කරයි.

නිසැකවම මෝදි සහ ඔහුගේ බීජේපී ය කම්කරු පන්තියේ දරුනු සතුරන්ය. නමුත් හින්දු දක්ෂිනාංශයට එබඳු අන්තරායක් දක්වා වර්ධනය වීමට හැකිවී ඇත්නම් ඒ ස්ටැලින්වාදීන් ප්‍රතිගාමිත්වය වර්ධනය වීමට භූමිය සාරවත් කොට ඇති හෙයිනි. ස්ටැලින්වාදීන් සමාජ අර්බුදයට තමාගේම සමාජවාදී විසඳුමක් වර්ධනය කර ගැනීමෙන් කම්කරු පන්තිය වැලැක්වීමත් සමගම බීජේපීයට විවිධ ස්ටැලින්වාදීන්ගේ සහය ලත් “අනාගාමික” ආන්ඩු මගින් ක්‍රියාත්මක කරන වෙලඳපොල හිතවාදී පිලිවෙත් වල විනාශකාරී ප්‍රතිපලයන් පිලිබඳ කෝපය රුදුරු ලෙස ගසා කෑමට හැකිවී ඇත.

ඉන්දියාව තුල එමෙන්ම එක්සත් ජනපදය, ප්‍රන්සය සහ ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කොට ප්‍රතිගාමිත්වය පරාජය කිරීමට එකම ශක්‍ය මූලෝපාය ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලය මත පදනම් වූ සහ ගරා වැටෙන ධනේශ්වර පර්යායට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලුගන්වන එකකි.

ඉන්දියානු කම්කරු පන්තිය, මෝදි ආන්ඩුවට සහ ඉන්දියානු කම්කරුවන් සහ පීඩිතයන් සූරාකෑම නාටකාකාරව වර්ධනය කිරීම එහි කාර්යභාරය ලෙස එහි ධනේශ්වර ස්වාමීන් විසින් පවරනු ලබනු ඇති, ඊලඟ ආන්ඩුවට එරෙහි අරගලය සඳහා සූදානම් විය යුතුය. මෙය අරගලයේ නව සංවිධාන ගොඩනැගීම ඉල්ලා සිටී.

මේ තත්ත්වය තුල ඉන්දියානු කම්කරුවන් සමාජවාදී සමානතා පක්ෂයේ මග පෙන්වීම යටතේ, දශක ගනනාවක් තිස්සේ කුරිරු සූරාකෑම තුල තමන් රඳවා සිටි වෘත්තීය සමිති වලින් සම්පූර්නයෙන්ම ස්වාධීනව ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපනය කොට ඇති ශ්‍රී ලංකාවේ ඇබොස්ලි වතුයායේ කම්කරුවන්ගේ උදාහරනය අනුගමනය කල යුතුය.

එබඳු ක්‍රියාකාරී කමිටු ඉන්දියාව පුරා කම්කරුවන්ගේ අරගලය ඒකාබද්ධ කිරීම මගින් සහ ගෝලීය ධනේශ්වර නිශ්පාදනයේ අත්‍යන්ත ක්‍රියාදාමය තුල සමීපව බැඳී සිටින, ලෝකය පුරා කම්කරුවන් වෙත හැරීම මගින්, කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කල යුතුය.

මෙම කමිටු, ව්‍යාජ ඝාතන චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිරගතකොට ඇති මරුටි සුසුකි කම්කරුවන් 13 දෙනා නිදහස් කරගැනීම සඳහා සටන අතට ගත යුතුය. කල එකම “අපරාධය” දරිද්‍රතා වැටුප් සහ කොන්ත්‍රාත් ශ්‍රම පදනම මත බඳවාගන්නා රැකියා වලට එරෙහිව සටන් කිරීම පමනක්ම වූ මෙම කම්කරුවන්, ස්ටැලින්වාදීන් සහ වෘත්තීය සමිති විසින් නිර්ලජ්ජීතව අත්හැර දමනු ලැබ ඇත්තේ ඔවුන් මෙම කම්කරුවන්ගේ රනකාමී නිදසුනට බියවන නිසාය. මරුටි සුසුකි කම්කරුවන් 13 දෙනා නිදහස් කරගැනීම සඳහා වූ සටන, අසීරු සේවා කොන්දේසි සහ අස්ථාවර රැකියාවන්ට එරෙහි පලල් අරගලයට සම්බන්ධ කරන ව්‍යාපාරයක්, කම්කරු පන්තිය තුල මෙම පන්ති-යුද සිරකරුවන් වෙනුවෙන් පවත්නා පලල්ව පැතිරුන සහයෝගයට පන පොවා, පන්ති අරගලය සඳහා බලමුලු ගැන්වීමෙ නාභිය ලෙසද සේවය කරනු ඇත.

ඉන්දියානු කම්කරුවන් සහ තරුනයන් අධිෂ්ඨාන සහගත සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෝකය පුරා ගොඩනැගීමට දකුනු ආසියාවේ සහ ලෝකය පුරා කම්කරුවන් සමග සම්බන්ධ විය යුතුය. වොෂින්ටනය සමග එක පෙලට සිට ගැනීම මගින් ඉන්දියානු ධනපති පන්තිය චීනයට එරෙහි යුද ධාවනය තුල එජ අධිරාජ්‍යවාදය විපාක නොතකමින් දිරිගන්වා ඇත. ඊටත් වඩා ඉන්දියානු පාලක ප්‍රභූව කම්කරු පන්තිය අධෛර්යකර බෙදා වෙන් කිරීමේ ඉලක්කය ඇතුව වර්ගවාදය සහ අධිදේශානුරාගය ඇවිලවීමට පකිස්තානය සහ චීනය සමග සිය ප්‍රතිගාමී මිලිටරි - මූලෝපායාත්මක ගැටුම් ක්‍රමානුකූලව මෙහෙයවීම කරයි.

සියල්ලටමත් වඩා ඉන්දියානු කම්කරුවන්ට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සහ මූලෝපායක් මත පදනම් වූ සහ කම්කරුවන්ගේ බලය සඳහා වූ අරගලය ක්‍රියාවට නැගීම සඳහා ලෝක කම්කරු පන්තියේ අරගලයන්ගේ සියලු මූලෝපායාත්මක පාඩම් උකහා ගත් විප්ලවවාදී පක්ෂයක් අවශ්‍යය. එම පක්ෂය වනුයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) බඳු එහි ජාතික ශාඛාවන්ය.

1938 ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කල හතරවන ජාත්‍යන්තරය, 1917 රුසියානු විප්ලවයට ජීවය දුන් නොනවතින විප්ලව න්‍යාය ආරක්ෂාකර වර්ධනය කලා මෙන්ම සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධාරීවාදී පිරිහීමට ද එරෙහි අරගලය ආරක්ෂාකර වර්ධනය කලේය. ධනේශ්වර සංවර්ධනය ඓතිහාසික වශයෙන් කල්පමාවූ රටවල ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී විප්ලවයේ කාර්යයන් එකිනෙක බැදී ඇතිබව එහි මූලික ඉගැන්වීම් අතරින් එකකි. ඉඩම් හිමිකාරිත්වය සහ කුලවාදය අහිමි කිරීමේ සිට කම්කරු පන්තියේ සමාජ අයිතීන් සහ සැබෑ සමාජ සමානතාවය දක්වා පීඩිත ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් කිසිවක් කම්කරු පන්තිය තම දේශපාලන ස්වාධීනත්වය තහවුරු කර, ධනේශ්වර විරෝධී වැඩපිලිවෙලක් මත තමන් පිටුපස ග්‍රාමීය ප්‍රජාව බලමුලු ගන්වා ගනිමින් කම්කරු පන්තියේ බලය සඳහා කරන අරගලයකින් තොරව සාක්ෂාත් කරගත නොහැකිය.

අපි ඉන්දියානු කම්කරුවන්ට සහ තරුනයන්ට හජාජාක ඉන්දියානු ශාඛාව ගොඩනැගීමට වූ සටනට සම්බන්ධ වෙමින් සමාජ අසමානතාවයට, ධනේශ්වර ප්‍රතිගාමිත්වයට සහ යුද්ධයට එරෙහි සටනට නායකත්වය දෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

කීත් ජෝන්ස්

Share this article: