මෙක්සිකෝවේ මැටමොරොස් වැඩවර්ජනය උතුරු ඇමරිකානු මෝටර් රථ කර්මාන්තය වසා දැමීමට තර්ජනය කර යි

Matamoros strike threatens to shut down North American auto industry

2019 ජනවාරි 21

මෙක්සිකෝවේ මැටමොරොස් නගරයේ අමතර කොටස් නිෂ්පාදන කම්කරුවන් 70,000ගේ වැඩවර්ජනය, එක්සත් ජනපද මොටර් රථ එකලස් කිරීමේ කම්හල්වල නිෂ්පාදනයට බලපෑමට පටන් ගනිමින් තිබෙන්නේ, උතුරු ඇමරිකාව සිසාරා මොටර් රථ නිෂ්පාදනය නැවතීමකට ගෙන ඒමේ හැකියාව ඉහල නංවමිනි.

වැඩවර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස පාලක මන්ඩලය ජෙනරල් මෝටර්ස් හා ෆෝර්ඞ් එකලස් කිරීමේ කම්හල්වල නිෂ්පාදනය අඩු කරමින් සිටින බව එක්සත් ජනපද කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා කරමින් සිටිති. වැඩවර්ජනයෙන් ඇති වූ අමතර කොටස් හිගය හේතුවෙන්, මිචිගන් නගරයේ ෆ්ලැට් රොක් එකලස් කිරීමේ කම්හලේ නිෂ්පාදනය මෙම සතිය තුල නවතා දමනු ඇත.

ටෙක්සාස් ජනපදයට යන්තම් දකුනේ මැටමොරෙස්වල වැඩවර්ජනය කෙරී ඇති මෝටර් රථ අමතර කොටස් කම්හල් 50ක කම්කරුවන්ට, අභීතව තම ශ්‍රමය ඉවත් කර ගැනීමෙන්, ලෝක ආර්ථිකයේ ප්‍රධාන අංශයක් දන ගැස්වීමට හැකි වී ඇත.

මෙම වැඩවර්ජනය ප්‍රදර්ශනය කරන්නේ එක්සත් ජනපද, කැනඩා හා මෙක්සිකෝ කම්කරුවන්ගේ වෛෂයික පන්ති එක්සත් කම හා පොදු පන්ති උත්සුකතා ය. එය එක්සත් ජනපද හා මෙක්සිකෝව අතර තාප්පයක් ගොඩනැගීමට වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වර්ගවාදී තර්ජනයට ද එමෙන් මෝටර් රථ නිෂ්පාදන හාම්පුතුන් හා ධනපති ලාභ ක්‍රමය නොව මෙක්සිකානු සහෝදර සහෝදරියන් තම පන්ති හතුරන් යයි සිතීමට ඇමරිකානු හා කැනේඩියානු කම්කරුවන් පෙලඹවීමට යූඒඩබ්ලිව් හා යුනිෆෝර් වෘත්තීය සමිතිය විසින් පතුරුවන ජාතිකවාදී විෂවලට ද කම්කරු පන්තියේ පිලිතුර යි.

මැටමොරොස් කම්කරුවෝ තම සමාජ ශක්තිය හඳුනා ගැනීම අරඹමින් සිටිති. ඊයේ, කම්කරුවන් දහස් ගනනක් තම කම්හල්වල සිට නගර චතුරශ්‍රයට පෙලපාලියේ ගියේ “ධනපතියන් පිට වෙයව්!” යැයි ගායනා කරමිනි. වැඩවර්ජකයන් තමන් “කම්කරුවන්ගෙන් තොර දිනයක්” යැයි කියන්නා වූ ජාතික මහා වැඩවර්ජනයට තමන් සමග එක්වීමට “සියලු මෙක්සිකානු කම්කරුවන්” වෙත සමාජ මාධ්‍ය ඉල්ලීමක් නිකුත් කර ඇත.

ඊයේ පැවති දැවන්ත පෙලපාලියේ එක් කන්ඩාමයක් ගමන් කලේ “වෘත්තීය සමිති හා සමාගම කම්කරු පන්තිය ඝාතනය කරති” යි යනුවෙන් සඳහන් වූ බැනරයකට පිටුපසිනි. සැවොම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ආවරනය කියවා ඇත යි වැඩවර්ජනය කරමින් සිටින කම්කරුවෝ වාර්තා කරති.

“වෘත්තීය සමිති හා සමාගම කම්කරු පන්තිය ඝාතනය කරති”

වැඩවර්ජනයට පැතිර යා හැකි බවට සංඥා පවතී. සිකුරාදා, ඇප්ටිව් නම් අමතර කොටස් සමාගම සියයට 100ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් අර්ධ වැඩවර්ජනයක නිරත වීම නිසා රෙනෝසා දේශසීමා නගරයේ කම්කරුවන් සිය ගනනක් සේවයෙන් පහ කලේ ය. දොට්ට දැමීම කම්කරුවන් අතර කෝපය ඇවිස්සී ය.

මෙක්සිකානු අපනයනවලින් ආසන්න වශයෙන් තුනෙන් දෙකකට වග කියන, එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව අසල මැකිලඩෝරා සමාගම් කම්කරුවෝ මිලියනයක් මැටමොරොස් අරගලය දෙස බලා සිටිති.

මෝටර් රථ කර්මාන්තයේ ජාත්‍යන්තර අන්තර් සම්බන්ධතාව සෑම තැනක ම කම්කරුවන්ගේ ප්‍රගාඪ ශක්තියේ මූලාශ්‍රයක් බව වැඩවර්ජනය පෙන්වා දෙයි. ලෝකය පුරා කම්කරුවන් අධික ලෙස සූරාකෑමට පහසුකම් සැපයීම සඳහා සමාගම ගෝලීයකරනය යොදා ගෙන ඇති අතර, මැටමොරොස් වැඩවර්ජනය ප්‍රදර්ශනය කරන්නේ සෑම නිෂ්පාදන කේන්ද්‍රයක ම කම්කරුවන්ට ගෝලීය ලාභ සඳහා නිෂ්පාදනයේ සම්පූර්න යන්ත්‍රය ම අවුල් කිරීමේ බලය ඇති බව යි.

ලෝකය පුරා දසදහස් ගනන් කම්කරුවන් වැඩවර්ජනය පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවි ආවරනය වටහා ගනිමින් සිටින අතර, වැඩිවෙන සංඛ්‍යාවක් සහයෝගිතා පනිවුඩ එවමින් සිටී.

* කැනඩාවේ ඔෂාවා හී ජෙනරල් මෝටර්ස් (ජීඑම්) කම්කරුවෙක් මෙසේ පවැසී ය: “සමාගම් උත්සාහ ගන්නේ දේශසීමාව හරහා ඔක්කොම කම්කරුවන් සූරා කන්න. මට ඒක එපා වෙලා. කැනඩාවට, එක්සත් ජනපදයට හා මෙක්සිකෝවට මෙය යෝග්‍ය නෑ. අපි අනුගමනය කරන්න යන්නේ හරියට ම මෙක්සිකෝවේ කම්කරුවන් කරන දේ. අපගේ වෘත්තීය සමිතිය අපි වෙනුවෙන් වැඩි යමක් කරන්නේ නෑ. ඔබ මේ සටන සටන් කල යුතුයි. ඔබ දිනිය යුතුයි. හිස නො නමනු.”

* මෙක්සිකෝවේ වැඩවර්ජනය කෙරී ඇති සමාගම් වලින් එකක් වන, ඔටෝලිව් හි රුමේනියානු කම්කරුවෙක් ලෝසවෙඅ මෙසේ පැවසී ය: “මෙක්සිකෝවේ තත්වය කුපිත කරවන සුලුයි. රුමේනියාවෙත් කොහොමටත් හොඳ නෑ. අපි පැයකට යුරෝ20ක පඩියකට පැය 12ක් වැඩ කරනවා. රුමේනියාවේ වෘත්තීය සමිතිත් මෙක්සිකෝවේ වගේමයි. ඒවා පුංචි ලොක්කෝ. මෙක්සිකෝවෙයි රුමේනියාවෙයි අපි වඩා හොඳ, ශිෂ්ට තත්වයන් ලබා ගන්න ඕනෑ.”

* මෙක්සිකෝවේ ගුවානජුආටෝවේ ජෙනරල් මෝටර්ස් සමාගමේ සිලාඕ කම්හල් කම්කරුවෙක් මෙලෙස තම එකඟත්වය පල කලේ ය: “සිලාඕවේ අපි ඒ සමාන දෙයක් මෙහි කරන්න ඕනෑ. මේ වෘත්තීය සමිති කිසි දේකට වටින්නේ නෑ.”

* මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට්වල අමතර කොටස් නිෂ්පාදන කම්කරුවෙක් මෙසේ කීවේ ය: “ඔබ මෙම ව්‍යාජ ජාතික දේශසීමා හරහා ඔබට උතුරේ සිටින සොහායුරු සොහොයුරියන් වෙත පැමින ‘එක් අයෙකුට වන තුවාලයක් ඔක්කෝටම වන තුවාලයක්’ යැයි කියන දේ මම හිතට ගන්නවා. අපි එක්සත් ගෝලීය බලයක් ලෙස නැගී සිටිය යුතුයි. ඇමරිකාවේ තියෙන කොම්පැනිවලට ධනවාදය නාමයෙන් මෙක්සිකෝවේ කම්කරුවන්ට රිදවන්ට අපි ඉඩ දෙන්නේ නෑ. ඔබලා අපේ සහෝදර කම්කරුවන්. ඔබලාට වෙන රටක ජීවත් වෙන්න සිදුවුනා පමනයි.”

පන්ති සහයෝගිත්වයේ මෙම පනිවුඩ අනාවරනය කරන්නේ උතුරු ඇමරිකාවේ රටවල් තුනේ කම්කරුවන්ට එකිනෙකට වෙනස් උත්සුකයන් ඇත යි වෘත්තීය සමිති විසින් පෙරට දමන බොරුව යි. එක් එක් රටවල වෘත්තීය සමිති පවසන්නේ තම පොදු සංගත හතුරාට එරෙහිව එක්සත් වීම වෙනුවට තම සහෝදර කම්කරුවන්ට එරෙහිව කම්කරුවන් තරඟ කල යුතු බව යි. වඩා පොහොසත් රටවල කම්කරුවන් තම රට තුල “රැකියා රැක ගනු” පිනිස වැටුප් හා ප්‍රතිලාභ කප්පාදු පිලිගත යුතු බව වෘත්තීය සමිති පවස යි.

මෙම මූලෝපාය කම්කරුවන්ට මහත් විනාසයක් වී තිබේ. එක්සත් ජනපද හා කැනේඩියානු මිඞ්වෙස්ට් ප්‍රදේශයේ පලල් කොටස් කම්හල් වසා දැමීම හා වෘත්තීය සමිතිවල පාවාදීම් මගින් වැනසී ඇති අතර, යුනිෆෝර් හා යූඒඩබ්ලිව් වෘත්තීය සමිති නිලධරයන්ගේ වැටුප් ඩොලර් සිය දහස් ගනන්වලට ඉහල ගොස් ඇත. දැන් ජෙනරල් මෝටර්ස් සමාගම, මැක්සිකානු අමතර කොටස් වැඩවර්ජනය බලපා ඇති එක්සත් ජනපද කම්හල් වසා දැමීම ඇතුලුව, රැකියා 15,000ක් කප්පාදු කිරීමට සැලැසුම් කරමින් සිටී.

මැටමොරොස් වැඩවර්ජනය ලෝක සිදුවීමකි. සිදු වෙමින් තිබෙන්නේ විවෘත පන්ති යුද්ධය යි. සමාගම් කම්කරු පවුල්වලට දිලිඳුකම තර්ජනය කරමින්, කම්කරුවන් සිය ගනනක් දොට්ට දමමින් සිටියි. සමාගම් විසින් කම්කරුවන් බාහිර බාධක ඉක්මවා යාම වලකා ලමින් කම්හල් තුල කම්කරුවන් හිර කරමින් සිටී. මෙක්සිකානු නාවික හමුදාව හා ප්‍රාන්ත පොලීසිය තම ප්‍රහාරක රයිෆල්වල කොකා මත තම ඇඟලි තබා ගනිමින් කම්කරුවන්ගේ පෙලපාලි මුරකරමින් සිටිති. සතියක් තුල, කම්කරුවන් සමාගම්වලට ඩොලර් මිලියන 100ක ලාභ අහිමි කර ඇත.

මේ දක්වා, මෙම වැඩවර්ජනය ගැන එක්සත් ජනපද මාධ්‍ය තුල එක වාර්තාවක් හෝ පල කෙරී නැත. මැක්සිකානු ජාතික මාධ්‍ය ද ආසන්න වශයෙන් ඒ සමාන ම දැඩි බවකින් යුක්තව වැඩවර්ජනය නො සලකා හැර ඇත.

නිව් යෝක් ටයිම්ස් වැනි එක්සත් ජනපද පුවත්පත් ලිංගික හා වාර්ගික අනන්‍යතාව පිලිබඳ ප්‍රශ්න ගැන අඟල් දහස් ගනනක තීරු ලිපි අවකාශ නාස්ති කරන අතර, ඔවුහු කම්කරුවන් මුහුන දෙමින් සිටින ජීවිතය හෝ මරනය අතර ප්‍රශ්න වාරනය කරති. එමෙන් ම ඔවුන්ගේ අරගල ද මකා දමති.

වෘත්තීය සමිති ඇතුලුව පාලක පන්තියට මැටමොරොස්වල වැඩවර්ජනය ගැන එක වචනයක් හෝ කීම දරාගත නො හැක්කේ, එහි ආදර්ශය මගින් ලෝකය පුරා කම්කරුවන් පොලඹවනු ඇත යි එය බියවන නිසා ය.

මැටමොරොස් කම්කරුවන් පිහිටුවමින් සිටින ආදර්ශය මෙය යි:

කම්කරුවෝ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සංවිධානය වෙමින් හා වැඩවර්ජනය සමායෝජනය කිරීමේ කාර්ය පැවරුනු, එක් එක් කම්හලකින් නියෝජිතයින් දෙදෙනෙකු සහිතව තමන්ගේ ම කමිටු ගොඩනගමින්, වැඩවර්ජනය කරමින් සිටින කම්හල් අතර තොරතුරු හුවමාරු කරගනිමින් හා සමස්තයක් ලෙස කම්කරු පන්තියට වඩා පුලුල් අභියාචනා ඉදිරිපත් කරමින් සිටිති. මෙය වඩ වඩා මතු වෙමින් තිබෙන්නේ 2019 පන්ති අරගලයේ කේන්ද්‍රීය තේමාව ලෙස ය.

මේවා තීරනාත්මක පලමු පියවරයන් ය. නමුත් සමාගම් හා වෘත්තීය සමිති ඔවුන්ගේ අරගල දුර්වල කිරීමට කම්කරුවන් “පෙලඹවීමේ උපක්‍රම” යොදා ගනිමින් සිටින බව මැටමොරොස් කම්කරුවන්ට අනතුරු ඇඟවිය යුතු ය. සේවයෙන් නෙරපීමේ තර්ජන හා ප්‍රචන්ඩත්වයට ඔබ්බේ, සමාගම් හා ප්‍රධාන වෘත්තීය සමිති, වෛරයට පත් වූ වෘත්තීය සමිති නිලධරය වෙනුවෙන් පෙනී සිටන අතර ම “ස්වාධීන ක්‍රියා” යොදා ගැනීම වෙනුවට වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනය කිරීමට පොලඹවමින්, කම්කරුවන්ට සහාය දෙන බව මවාපාන වෘත්තීය කම්කරු නීතිඥයින් විසින් කෙරන අභියාචනා යොදා ගනිමින් සිටිති.

බැංකු හා සංගතවලට ප්‍රසිද්ධියේ තම සහයෝගය පොරොන්දු වී ඇති, මෑත දී පත් කර ගැනුනු මෙක්සිකානු ජනාධිපති අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රදෝර්ට කෙරෙන ඒ සමාන ආයාචනා බීරි අලින්ට වෙන වැයුමක් වෙනු ඇත.

කම්කරුවන් මෙම උපදේශය පිලිපදින්නේ නම්, ඔවුන් මූලික උත්සාහයම අත් හැර දමනවා ඇත. ඔවුන්ගේ සැබෑ ශක්තිය නිශ්චිතවම පවතින්නේ වෘත්තීය සමිති හා ධනේශ්වර දේශපාලන පක්ෂවලින් නිශ්චිතව ම තමන් ස්වාධීන වීම තුල ය. සැබෑ ඉදිරි මාවත ඇත්තේ තම මැකිලඩෝරා සගයින්ට මෙන් ම එක්සත් ජනපදය හා කැනඩාව තුල සිටින තම පන්ති සහෝදර සහෝදරියන්ට ආයාචනා කිරීම තුල ය.

මැටමොරොස් වැඩවර්ජනය ඔප්පු කරමින් තිබෙන්නේ වර්ගය හෝ ජාතිකත්වය නො සලකා, සියලුම කම්කරුවන් සූරා කනු ලබන්නේ එකම සමාගම් විසින් වන අතර සියල්ල කතා කරන්නේ පන්ති අරගලයේ එකම භාෂාවෙන් වන බව යි. යුද්ධය, ජාතික එදිරිවාදිකම් හා සමාජ අසමානතාවෙන් නිදහස් සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා පදනම වන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම යි.

එරික් ලන්ඩන්

Share this article: