කැනඩාවේ “බහුවිධ” අධිරාජ්‍යවාදය

Canada’s "diversity" imperialism

2018 ජනවාරි 25

වෙනිසියුලාවේ ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහි ව වොෂින්ටනය දියත් කර ඇති තන්ත්‍ර-මාරු කුමන්ත්‍රනයේ දී, කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ හා වෘත්තීය සමිති විසින් පිටුබලය දෙන ඔහුගේ “ප්‍රගතිශීලී” ලෙස මවාපාන ලිබරල් ආන්ඩුව මූලික භූමිකාවක් ඉටුකරමින් සිටිති.

වෙනිසියුලාවේ ස්වයං-ප්‍රකාශිත “අන්තර්වාර ජනාධිපති” ජුවාන් ගුවයිදෝ රටෙහි රාජ්‍යයේ නායකයා ලෙස පිලිගනිමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනවාරි 23දා කල නිවේදනය කැනඩාව විසින් ක්ෂනික ව අනුමත කලේ ය.

2015 ඔක්තෝබරයේ බලය දිනාගෙන ටෲඩෝ නම් කල කැබිනට්ටුව, විවිධත්වය හා සියලු දෙනා ඇතුලත් කරගැනීමට උදාහරනයක් ලෙස උත්කර්ෂයට නංවනු ලැබී ය. ගැහැනුන් හා පිරිමින් සමාන සංඛ්‍යාවක් සහිත වූ එයට පුවත්පත් අටුවාකරුවන් විසින් “ලිංගික ව සමතුලිත කැබිනට්ටුවක්” ලෙස ගුන ගායනා කලේ ය. දේශීය අධිකරන ඇමතිවරියක්, ඉන්දියාවේ උපත ලත් ෂික් ජාතික ආරක්ෂක ඇමතිවරියක්, සෝමාලියාවෙන් පැමිනි සරනාගතයෙකු වන සංක්‍රමන ඇමතිවරියක්, සම-ලිංගික භාන්ඩාගාර මන්ඩල සභාපතිවරයෙක් හා පක්ෂාඝාතයෙන් අප්‍රානික කෘතහස්තයන් පිලිබඳ ඇමතිවරයෙක් පිලිබඳ ව එය පුරසාරම් දෙඩවී ය.

ටෲඩෝ විසින් ක්‍රිස්ටියා ෆ්‍රීලෑන්ඞ් විදේශ කටයුතු ඇමති ධුරයට ඔසවා, කැනඩාව “ස්ත්‍රීවාදී විදෙස් පිලිවෙතක්” අනුයමින් සිටින බවට ප්‍රකාශ කිරීම, ලිබරල් මාධ්‍ය වෙතින් වැඩිදුරටත් ගොජ දමන උත්කර්ෂයක් ජනනය කලේ ය. කැනඩාව “මේ වසරේ ජී-7 සභාපතිත්වය යටතේ කාන්තාවන්ගේ ගැටලුවලට ප්‍රමුඛතාව දෙමින් කරන කැපවීමේ කොටසක් ලෙස, කාන්තා විදෙස් ඇමතිවරියන්ගේ පලමු රැස්වීමට” සත්කාරකත්වය දෙන බව, මෙම වර්ධනයන්ට හුරේ දමමින් ෆොරින් පොලිසි සඟරාව පසුගිය වසරේ ලීවේ ය.

එම රැස්වීම “ලෝක වේදිකාව මත කාන්තා බලය ප්‍රදර්ශනය කිරීමේ පෙර නුවූ විරූ එකක් ” බව ෆොරින් පොලිසි ලීවේ ය.

“තමන් ව ම ස්ත්‍රීවාදීන් ලෙස ප්‍රකාශ කිරීමට තරම් ආඩම්බර වන අගමැතිවරයෙක් හා ආන්ඩුවක් අපට තිබීම වැදගත් හා ඓතිහාසික වෙනවා” යයි ෆ්‍රීලෑන්ඞ් ප්‍රකාශ කලා ය. “කාන්තාවන්ගේ අයිතීන් යනු මානව අයිතීන් ය.”

වෙනිසියුලාවේ එක්සත් ජනපදය ක්‍රියාවට දමන තන්ත්‍ර-මාරු මෙහෙයුමට සහයෝගය හා ආධාරය දීමේ දී කැනඩාවේ භූමිකාව විසින් සලකුනු කරන ලෙස යථාර්ථයේ දී ටෲඩෝගේ කැබිනට්ටුවේ සියලු සාමාජිකයන්ට අදාල වන එක ම “අනන්‍යතාව” වන්නේ අධිරාජ්‍යවාදයේ ආරක්ෂකයන් ය යන්න යි.

නිව් යෝක් ටයිම්ස් හා ගාඩියන් පුවත්පත් විසින් උත්කර්ෂයෙන් යුතු ව ටෲඩෝ ඉදිරියට දමා ඇත්තේ අද්‍යතන ලිබරල්වාදයේ ප්‍රදර්ශක ලමයෙකු ලෙස යි. එය වනාහි සියලු සමාජ ප්‍රතිසංස්කරන අත්හැර දැමූ, කප්පාදු-හිතැති හා යුදවාදී සහ ධනවත් මධ්‍යම පන්තියේ කොටස්වල සහයෝගය රැලි කරගැනීමේ ක්‍රමයක් ලෙස වර්ගයේ, වාර්ගිකත්වයේ හා ලිංගිකත්වයේ අනන්‍යතාවට වරප්‍රසාද දෙන ලිබරල්වාදයකි.

වෙනිසියුලාවේ සාම්ප්‍රදායික ව එක්සත් ජනපදය සමග පෙලගැසී සිටින කතිපයාධිකාරයේ නියෝජිතයෙක් වන ගුවයිදෝ, එරට මහජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයන්හි ප්‍රතිමූර්තිය යයි සීඅයිඒ හා බ්‍රසීලයේ නව අන්ත-දක්ෂිනාංශික ජනාධිපති ජායර් බොල්සොනාරෝ වැන්නවුන්ගෙන් ජනනය වන ව්‍යාජ ප්‍රචාරනය ටෲඩෝ හා ෆ්‍රීලෑන්ඞ් විසින් ප්‍රතිචක්‍රීකරනය කරමින් හා විශාලනය කරමින් සිටී.

එහෙත්, ඔටාවාහි භූමිකාව, තවත් “එක්සත් ජනපදයේ සාදන ලද” කුමන්ත්‍රනයකට ධූමාවරනයක් සම්පාදනය කිරීමට උත්සාහ දැරීම සහ, වොෂින්ටනය වර්තමානයේ වෙනිසියුලාව තුල සිදුකරන කුමන්ත්‍රයන් හා 1898 පටන් වොෂින්ටනය ලතින් ඇමරිකාව තුල ක්‍රියාවට දමා ඇති ආක්‍රමන, වාඩිලාගැනීම් හා කුමන්ත්‍රනයන් අතර පවතින අඛන්ඩ සබඳතාව වහංගු කිරීමට වඩා බොහෝ දුර යයි.

ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව, මදුරෝට හා ඔහු නායකත්වය දෙන ධනේශ්වර ජාතිවාදී තන්ත්‍රයට එරෙහි ව “තන්ත්‍ර-මාරු” මෙහෙයුමේ ඊලඟ පියවරයන් සැලසුම් කිරීම සඳහා ඇමරිකානු මහාද්වීපය තුල එක්සත් ජනපදයේ සහකරුවන්ගේ සභාගයක් වන ලිමා කන්ඩායමේ රැස්වීමකට ඔටාවා විසින් ක්ෂනික ව සත්කාරකත්වය දෙනු ඇත.

2017 අගෝස්තුවේ ලිමා කන්ඩායම ස්ථාපනය කරන ලද තැන් පටන් කැනඩාව ක්‍රියා කර ඇත්තේ එම කන්ඩායම තුල වොෂින්ටනයේ ප්‍රධාන ඒජන්තයා ලෙස ය. පසුගිය සැප්තැම්බරයේ, වෙනිසියුලාව තුලට කරන කිසිදු විදෙස් මිලිටරි මැදිහත්වීමකට, එනම්, එක්සත් ජනපද ආක්‍රමනයකට විරුද්ධ වන බවට ලිමා කන්ඩායම දුන් “පොරොන්දුවකට” විරුද්ධ වීමේ දී කැනඩාව කැපී පෙනුනි.

ජනවාරි 23දා එක්සත් ජනපදය ඇවිලවූ කුමන්ත්‍රනය, දිලිඳු දකුනු ඇමරිකානු රට සිවිල් යුද්ධයෙහි මුවවිටට තල්ලු කර ඇති අතර, “සියලු විකල්පයන් විවෘත ය” යනුවෙන් ට්‍රම්ප් කල ප්‍රදර්ශනාත්මක ප්‍රකාශය, එක්සත් ජනපදය වෙනිසියුලාවට මිලිටරි ප්‍රහාරයක් එල්ල කිරීම අද්දරට ම ගෙන ආවේ ය.

2004 දී හයිටි රාජ්‍යයේ ඡන්දයෙන් පත්වූ ජනාධිපති ජීන්-බර්ට්‍රන්ඞ් අරිස්ටයිඞ් බලයෙන් පහකිරීමේ දී එක්සත් ජනපදයට කැනඩාව දුන් සහයෝගයේ දී ඉටුකල භූමිකාවට වඩා නිශ්චිත ව ම පුලුල් හා ලේවැකි පරිමානයකින් යුතු භූමිකාවක් පුනර්කරනය කරමින්, එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහි ව ගන්නා ඕනෑම මිලිටරි ක්‍රියාවකට කැනඩාව සහභාගි වනු ඇති බව විශ්වාස කිරීමට සෑම හේතුවක් ම තිබේ.

වොෂින්ටනයේ ගෝලීය ආර්ථික ස්ථානය පිරිහීම හිලව් කරගැනීමට දරන වඩ වඩා මංමුලා සහගත වන උත්සාහයේ දී 1991 පටන් කිසිදා අවසන් නො වන යුද්ධයන් මාලාවක් දියත් කරමින්, වොෂින්ටනය අධිරාජ්‍යවාදය පුනර්ජීවනය කිරීමට නායකත්වය දී ඇත. එහෙත් විශාල හා කුඩා යන දෙවගේ ම අධිරාජ්‍යවාදී හා නැග එන මහා බලයන්, රාජ්‍ය ප්‍රතිපත්තියේ තීරනාත්මක උපකරනයක් ලෙස යුද්ධය ප්‍රතිසන්නද්ධ කරමින්, පුනර්ජනනය කරයි.

ප්‍රධාන යුදවාදී සහ ආර්ථික හා මූලෝපායික දෘෂ්ටියකින් ගත්කල පසුගිය ශතවර්ෂයේ ලෝක අධිරාජ්‍යවාදී යුද්ධ දෙකෙන් වාසි ලබාගත් රටක් ලෙස, කැනඩා අධිරාජ්‍යවාදය මීට වෙනස් නැත. කම්කරු පන්තිය තම පාලනයට දේශපාලනික ව හා දෘෂ්ටිවාදාත්මක ව සවි කරගැනීමේ දෘෂ්ටියක් සමගින්, කැනඩාවේ පාලක ප්‍රභූව විසින් කැනඩාව හා එහි මිලිටරියට විශේෂ “සාමසාධක” වෘත්තීයයක් ඇතැයි කියූ දවස් අයත් වන්නේ ඈත අතීතයට ය.

පලමු ගල්ෆ් යුද්ධය, 1999 යුගෝස්ලාවියාව මත නැටෝ යුද්ධය, ඇෆ්ගන් යුද්ධය, 2011 ලිබියාවේ තන්ත්‍ර-මාරු යුද්ධය හා තවමත් පවතින එක්සත් ජනපදයේ මැද පෙරදිග යුද්ධය ඇතුලු එක්සත් ජනපදය නායකත්වය දෙන යුද්ධවල දී එකකට පසු තවෙකකට වසයෙන්, 1991 පටන් ලිබරල් හා කොන්සවැටිව් යන දෙවගේ ම ආන්ඩු යටතේ කැනඩාව ප්‍රධාන භූමිකාවක් ඉටුකර ඇත.

අද දින වෙනිසියුලාවේ මෙන් ම, මෙම යුද්ධ හා මැදිහත්වීම්වල දී කැනඩාවේ ආන්ඩුව හා මිලිටරිය අන්ත දක්ෂිනාංශික හා අත්‍යන්තයෙන් ෆැසිස්ට්වාදී බලයන් සමග යලි යලිත් පෙලගැසී තිබේ. ලිබියාවට බෝම්බ දැමීමේ නිරත වූ කැනඩා සන්නද්ධ හමුදා (සීඒඑෆ්) භටයන් තමන් ව ම විස්තර කරගත්තේ “අල්කයිඩාවේ ගුවන් හමුදාව” ලෙස ය. ඒ හා සමාන ව, 2014 දී යුක්රේනය තුල ඡන්දයෙන් පත්වූ ජනාධිපතිට එරෙහි ව සිදුකල ෆැසිස්ට්වාදීන් නායකත්වය දුන් කුමන්ත්‍රනය ක්‍රියාවට දැමීමට එක්සත් ජනපදය සමගින් කැනඩාව උදවු කලේ ය.

කැනඩාවේ ම කොල්ලකාරී අධිරාජ්‍යවාදී අවශ්‍යතා හා ඉලක්ක ලෝක වේදිකාව මත අවධාරනය කිරීමේ හොඳ ම ක්‍රමය ලෙස, එය වොෂින්ටනය හා වෝල් වීදිය සමග පවත්වාගෙන යන දීර්ඝ-කාලීන හා වේගයෙන් ප්‍රසාරනය වන මිලිටරි-ආරක්ෂක සන්ධානයට කැනේඩියානු පාලක පන්තියේ ඒකමතික සහයෝගය ලැබේ.

කැනඩාවේ බැංකු හා සම්පත් සමාගම් ලතින් ඇමරිකාව හා කැරීබියන් දූපත් තුල වැදගත් ක්‍රියාධරයන් වන අතර, ඇමරිකානු මහාද්වීපය තුල චීනයේ හා රුසියාවේ ආර්ථික හා භූ-දේශපාලනික බලපෑම ආපසු හැරවීමේ වොෂින්ටනයේ අධිෂ්ටානය කැනේඩියානු පාලක ප්‍රභූව බෙදා හදා ගනී.

ටෲඩෝ හා ඔහුගේ අභිප්‍රේරිත “ස්ත්‍රීවාදී විදෙස් පිලිවෙත” යටතේ, නව කොන්සවැටිව්වාදී හා වරෙක ඉරාක යුද ලෝලියකු වූ ස්ටීවන් හාපර් යටතේ තිබුනාටද වඩා ලෝක කටයුතුවල දී කැනඩාව කෑදර හා ප්‍රතිගාමී භූමිකාවක් ඉටුකරමින් සිටී.

21වන ශතවර්ෂයේ යුද්ධයන්ට සූදානම් වෙමින්, එක්සත් ජනපදය නායකත්වය දෙන ලෝක පර්යායක් පවත්වාගෙන යාමේ දී වඩා විශාල භූමිකාවක් කැනඩාව විසින් ඉටුකල යුතු බව ප්‍රකාශ කරමින්, 2016 ජුනි සැලසුම්වල දී ටෲඩෝ ආන්ඩුව නිවේදනය කලේ 2026 වන විට එහි මිලිටරි වියදම සියයට 70කින් ඩොලර් බිලියන 33කට ආසන්න ප්‍රමානයක් දක්වා වැඩි කරන බව යි.

කැනඩාව දැනට මත්, න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් අතර යුද්ධයක් බවට ක්ෂනික ව පුපුරා යා හැකි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන මිලිටරි-මූලෝපායික ප්‍රහාරයන් තුන, එනම්, මැද පෙරදිග යුද්ධය, රුසියාවට එරෙහි හා චීනයට එරෙහි ප්‍රහාරයන්, තුල ඉදිරිපෙල භූමිකාවක් ඉටුකරමින් සිටී.

රුසියානු දේශසීමාවේ “ඉදිරිය බලා දිගේලි” කර ඇති නැටෝවේ නව බල ඇනි තරමේ ප්‍රහාරක කන්ඩායම් හතරෙන් එකකට කැනඩාව නායකත්වය දෙයි; කලු මුහුද, බෝල්ටික් රාජ්‍යයන් හා නැගෙනහිර යුරෝපය තුල මුර සංචාරයන්ට පුරුද්දක් ලෙස යුද යානා හා යුද නෞකා දියත් කරයි; ටෲඩෝගේ වචනවලට අනුව නැගෙනහිර යුක්රේනය “නිදහස් කරගැනීම” සඳහා, යුක්රේන හමුදාවට හා ජාතික ආරක්ෂක භටයන්ට පුහුනුව දෙමින් සිටී.

වොෂින්ටනයේ ඉල්ලීම යටතේ දෙසැම්බර් 1දා හුවාවි විධායක නිලධාරිනී මෙං වැන්ෂෝ අත් අඩංගුවට ගැනීමට ඔටාවාව විසින් නියෝග කිරීමට බොහෝ පෙර, චීනය සමග තීව්‍ර වන වොෂින්ටනයේ ගැටුම සමග කැනඩාව සමීප ව පෙලගැසුනි. 2013 රහසිගත එක්සත් ජනපද-කැනඩා මිලිටරි ගිවිසුමක එකඟ වී තිබූ ආසියා-පැසිෆික් කලාපයේ මෙහෙයුම් සම්බන්ධීකරනය කිරීමේ එකඟතාවට අනුව, සීඒඑෆ් ආසියාව තුල එහි දිගේලි කිරීම් විශාල වසයෙන් ප්‍රසාරනය කර ඇත. චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුමේ මූලික මුරපොලවල් වන දකුනු චීන මුහුද හා මලක්කා සමුද්‍ර සන්ධිය, කැනඩාවට මූලෝපායික ව තීරනාත්මක ලෙස වැදගත් යයි සීඒඑෆ් ප්‍රධානී ජොනතන් වෑන්ස් දැන් ආකාරගත ව විස්තර කරයි.

ට්‍රම්ප්ගේ වෙනිසියුලානු කුමන්ත්‍රන උත්සාහයේ දී ටෲඩෝගේ භූමිකාවෙන් ඉගෙන ගැනීමට ඇති තීරනාත්මක පාඩම් ලොව පුරා ඕනෑම රටකට ව්‍යවහාර කල හැකිය. ඔවුන්ගේ වාර්ගිකත්වය, ලිංගිකත්වය හෝ ලිංගික යොමුව කුමක් වුවත් මූල්‍ය කතිපයාධිකාරයේ එක් නියෝජිතයන් පිරිසක් තවෙකකින් විස්ථාපනය කිරීම, වඩා “මානව හිතවාදී” ප්‍රතිඵලයක් ගෙන නො දෙනු ඇත. අධිරාජ්‍යවාදයට හා සමාජ අසමානතාවට එරෙහි අරගලය පදනම් විය යුත්තේ ධනවාදයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ විය හැකි සමාජ බලවේගය වන කම්කරු පන්තිය මත යි.

කීත් ජෝන්ස්

Share this article: