වතු කම්කරුවන් මත අධි-සූරාකෑමේ වැටුප් ක්‍රමයක් පැටවීමට සමිති, සමාගම් සහ ආන්ඩුව එකඟ වෙයි

පානි විජේසිරිවර්ධන විසිනි , 2019 ජනවාරි 27

වතු සමාගම් සහ ආන්ඩුව සමග, පසුගිය සිකුරාදා කල සාකච්ඡාවකදී, රුපියල් දහසක දෛනික වැටුප් ඉල්ලීම මුලුමනින්ම ඉවත දමා සමාගම් විසින් යෝජිත දෛනික වැටුපක් කම්කරුවන් මත පැටවීමට වතු වෘත්තීය සමිති එකඟ වී ඇත.

යෝජිත නව වැටුප් ක්‍රමයට අනුව, වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 500 සිට 700 දක්වා රුපියල් 200කින් වැඩි කෙරෙන අතර එම වැඩිකිරීමට හිලව්වන්නට මෙතෙක් දෛනිකව ලබා දෙමින් පැවති රුපියල් 140 ක ඵලදායිතා දිරිගැන්වීමේ දීමනාව සහ රුපියල් 60 ක පැමිනීමේ දීමනාව මුලුමනින්ම කප්පාදු කෙරේ.

මීට අමතරව තේ මිල සඳහා ලබාදෙන අතිරේක දීමනාව රුපියල් 30 සිට 50 දක්වා වැඩිකර රුපියල් 750ක් වනසේ දෛනික වැටුප ඉහල යන බව සමිති පවසයි. දිනක ඉලක්කය ඉක්මවා නෙලන සෑම දලු කිලෝවක් සඳහා ගෙවන මුදල රුපියල් 25 සිට 40 දක්වා වැඩි කෙරේ. කෙසේ නමුදු, මෙම ඉලක්කය වත්තෙන් වත්තට වෙනස් වන බවද යෝජනාවේ සඳහන් වෙයි.

වතු සමාගම් නියෝජනය කරන හාම්පුතුන්ගේ සංගමය සහ සමිති අතර ඇතිකර ගන්නා සාමුහික ගිවිසුම බොහෝ විට සඳුදා අත්සන් කිරීමට නියමිතය. ඊට අඩංගු කොන්දේසි හා එකඟත්වයන් කිසිවක් කම්කරුවන් ඉදිරියේ තබා ඒවා පිලිබඳව ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත විමසා නැත. වතු සමාගම් සහ ආන්ඩුව සමග කුමන්ත්‍රනය කොට වෘත්තීය සමිති විසින් තමන් මත පැටවීමට යන මෙම ගිවිසුම සියලු වතු කම්කරුවන් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය.

සමාගම් හා ආන්ඩුව සමග සිදු කෙරුනු සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී), සමසමාජ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවලට අයත් ඒකාබද්ධ වැවිලි වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ පාලක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික වතු කම්කරු සංගමය සහභාගී විය.

වතුකරයේ විශාලතම වෘත්තීය සමිතිය වන සීඩබ්ලිව්සී යේ නායක ආරුමුගම් තොන්ඩමාන් සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය: “අපි රුපියල් 1000 ක් ඉල්ලලා රුපියල් 855 ක් අරගෙන තියෙනවා. අපේ ඉල්ලීමෙන් රුපියල් 250 ක් අඩුවෙල තිබුනට 250 ක් වැඩි වෙලා. කේවලයකදි එහෙම තමයි වෙන්නෙ. මේක සියයට 40 ක වැඩිවීමක්. ඉතිහාසයෙ කවදාවත් මෙහෙම වැඩිවීමක් වෙලා නෑ.”

වැටුප් වැඩිවීම ගැන ඔහුගේ කතාව අතේ පත්තුවන බොරුවකි. සමාගම් වැටුප වැඩිකිරීමට එකඟවී ඇත්තේ රුපියල් 200 කිනි. මිල අතිරේක දීමනාව රුපියල් 50 කි. තොන්ඩමන් කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලට යැවීම සඳහා කැපෙන මුදල වන රුපියල් 105 ද වංචනික ලෙස දෛනිකව ලැබෙන වැටුප ලෙස එකතු කර ඔහුගේ ගනන හදාගෙන ඇත.

ඒකාබද්ධ වැවිලි වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් එස්. රාමනාදන් ඬේලි එෆ්ටී පුවත්පතට පවසා ඇත්තේ ඔවුන් “මුලුමනින්ම තෘප්තිමත් නොවුනත්” සමථයකට එලැඹිය හැකි “හොඳම විසඳුම” මෙය බවයි.

සමාගම් සහ ආන්ඩුව සමග සාකච්ඡාවලට සහභාගී නොවූ සමිති වන ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන, කඳුරට ජනතා පෙරමුන ඇතුලු අනෙකුත් සමිති සමග දිගටම ක්‍රියාකලේ කම්කරුවන්ගේ වැටුප් අරගලය කඩාකප්පල් කිරීමටයි. මෙම සමිති තුනේ නායකයෝ වත්මන් ආන්ඩුවේ ඇමතියන් ය. තොන්ඩමන් පසුගිය ආන්ඩුවේ ඇමතියෙකි.

එන්යූඩබ්ලිව් නායක පලනි දිගම්බරම් ජනතා විමුක්ති පෙරමුනේ ලංකා පුවත්පතට මෙසේ පැවසීය: “කම්කරුවන්ට සාධාරන වැටුපක් ලැබෙනවා වගේම වතු සමාගම් ලාබ ගත යුතුයි. ඔවුන් ලාබ ගන්නේ නැත්නම් කම්කරුවන්ට වැඩි වැටුපක් ගෙවන්න බැහැ..... රුපියල් දහසේ මූලික වැටුප දැන්නම් දෙන්න බැහැ. ඒ ඉල්ලීම අසාධාරනයි.”

ලංකාවේ පීඩිතම කොටසක් වන වතු කම්කරුවන්ගේ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් කවර හෝ උත්සුකයක් නොමැති මෙම ධනපති දේශපාලනඥයන්ට “තේ කර්මාන්තය රැක ගැනීම” යනු සමාගම්වල ලාභ ආරක්ෂා කර දීම හැර අන් කිසිවක් නොවේ.

ඔක්තෝබර් මාසයේ දී පැරනි වැටුප් ගිවිසුම අහෝසි වූ තැන් පටන්, රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා, වර්ජන, පෙලපාලි, පිකට් කිරීම් ඇතුලුව අතිශය අධිෂ්ඨානශීලී සහ සටන්කාමී අරගලයක කම්කරුවන් යෙදී ගත්තේ කම්කරු ක්‍රියාකාරීන් දඩයම් කරමින් වැටුප් අරගලය මැඩලීමට වතු හාම්පුතුන් සහ ආන්ඩුව දැරූ ප්‍රයත්නයන් ද වෘත්තීය සමිතිවල කඩාකප්පල් කිරීම් ද නොතකා ය. ඔවුන්ගේ අරගලයට වතු තරුනයන්ගේ, ගුරුවරුන්ගේ හා සුලු ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාශීලී සහයෝගයක් ද සෙසු කම්කරුවන් හා දුගීන්ගේ පුලුල් සහායක් ද ලැබුනි.

සීඩබ්ලිව්සීය පසුගිය දෙසැම්බරයේ දී වැඩ වර්ජනයක් කැඳවනු ලැබුවේ මෙම තතු තුලයි. එම කැඳවීමේ අරමුන වුයේ, කම්කරුවන්ගේ සටන්කාමිත්වය සහ පන්ති සහයෝගීතාවය ඉහල නංවන කාර්මික ක්‍රියාවලින් තොරව, වර්ජිත කම්කරුවන් නිවෙස් වල රඳවා තැබීම මගින් ඔවුනගේ සටන්කාමිත්වය වාෂ්පකර හැරීමයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පච පොරොන්දුවකට කම්කරුවන් යටත් කරමින්, දින නවයක් පැවති එම අඛන්ඩ වර්ජනය සීඩබ්ලිව්සීය විසින් අවසානයේ පාවා දුනි. අනෙකුත් සියලු සමිති මෙම පාවාදීමට මුලුමනින්ම කරබදු වුහ. කෙසේ නමුත්, වර්ජනය නතර කිරීමට සීඩබ්ලිව්සීය ගත් තීන්දුවට එරෙහි වෙමින් කම්කරුවන් දහස් ගනනක් තවත් දින දෙකක් වර්ජනයේ යෙදී සිටියහ.

වතු සමාගම් මුල සිටම කියා සිටියේ, රුපියල් දහසේ දෛනික වැටුප් ඉල්ලීම කිසිසේත්ම ඉටුකල නොහැකි බවයි. මූලික වැටුප රුපියල් 500 සිට 600 දක්වා වැඩි කෙරෙන සහ සියලූ දීමනා ඇතුලත් රුපියල් 940 දෛනික දල වැටුපක් ඔවුහු යෝජනා කලහ. මූලික වැටුපට අමතර රුපියල් 340, උපයා ගැනීමට දුෂ්කර වූ, නිෂ්පාදන හා පැමිනීමේ දීමනාවන්ට ගැට ගසා ඉදිරිපත් කෙරුනි.

ලංකා හාම්පුතුන්ගේ සංගමයේ වතු අංශයේ සභාපති රොශාන් රාජදුරෙයි එක දිගටම පවසා සිටියේ කාලාන්තරයක් පැවති වැටුප් ගෙවීමේ ක්‍රමය මුලුමනින් අහෝසිකර “ආදායම බෙදාගැනීමේ ක්‍රමය” වතුකරයේ තහවුරු කලයුතු බවයි. එනම්, කම්කරු පවුල්වලට නිශ්චිත තේ පඳුරු ප්‍රමානයක් සහිත ඉඩම් කට්ටියක් දේ එය බලාගැනීම භාර දී තේ දලුවලින් ලැබෙන ආදායමින් සමාගමට ගිය වියදම කපා ගෙන ඉතිරිය එම පවුල්වලට දීමයි.

මෙය සමාන වන්නේ පැරනි අඳ ගොවි ක්‍රමයටයි. මෙම ක්‍රමය ක්‍රියාවට දැමූ වතුවල කම්කරුවන් ආපසු ඉඩම් කට්ටි භාරදුන්නේ එය මුලුපවුලම කැඹුරුවත් නිසි ආදායම නොලැබෙන තත්වය තුලයි. මෙම ක්‍රමය ක්‍රියාවට දැමු විට කම්කරුවන් දැනට දිනා ඇති විශ්‍රාම අරමුදල් වැනි සීමිත කොන්දෙසි පවා අහෝසි වී යනු ඇත.

මෙවන් සූරාකෑම තියනු කෙරෙන කොන්දේසි දැන් අත්සන් කෙරෙන ගිවිසුමට ඇතුලත්වනු නිසැකය. වෘත්තිය සමිති ක්‍රියා කරනු ඇත්තේ කම්කරුවන් සමාගම්වල උවමනාකම වලට යටත් කරන කාර්මික පොලිසියක් ලෙසයි. දැනටමත් ඒවා සටන්කාමි කම්කරුවන් මැඩීමට හා පොලිසියට අල්ලා දීමට ක්‍රියා කරති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අරගලයේ සෑම අවධියකදීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය මගින් කම්කරුවන් ඉදිරියේ ඇති අභියෝග හා අන්තරායන් පැහැදිලි කරමින් ශිලාචාර ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වැටුපක් හා සමාජ සහ ජීවන කොන්දේසි ලබා ගැනීමට ඉදිරිදර්ශනයක් ද වැඩ පිළිවෙලක් ද ඉදිරිපත් කලේය.

වෘත්තීය සමිතිවල ධනපති සමාගම් හා ආන්ඩු ගැති හිරකිරීම කපාගෙන ඒවායින් වෙන්ව අරගලය වර්ධනය කිරීමට කම්කරුවන්ගේ ඡන්දයෙන් පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු වතු වල ඒ ආශ්‍රිතව ගොඩනගමින්, තමන් මෙන්ම ප්‍රහාරයට ලක්ව සිටින අවශේෂ කම්කරුවන් සමග එකාබද්ධව අරගලය වර්ධනය කිරීමට හැරෙන ලෙස සසප ඉල්ලා සිටියේය.

සසප තවදුරටත් අවධාරනය කලේ ලෝක පරිමානව දැන් අරගලයට ඇදෙන කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගැනීම හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස වතු සමාගම්, බැංකු හා මහා ව්‍යාපර කර්මාන්ත කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමෙන් තොරව ධනපති පන්තිය එල්ල කරන ප්‍රහාරයෙන් ජීවන හා සමාජ කොන්දේසි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට වෙනත් මාර්ගයක් නොමැති බවයි.

සසප කැඳවීමට සහාය දෙමින් දික්ඔය අබෝස්ටිලී වත්තේ කම්කරුවන් ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා මුලිකත්වයක් ගෙන ඇත. සෑම වත්තකම කම්කරුවන් එම මුලිකත්වය දැන් ගත යුතුය.

පහත සඳහන් යෝජනාව බලන්න.

වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම වෘත්තිය සමිති විසින් පාවාදීමට එරෙහිව අබෝස්ටලී වත්තේ ක්‍රියාකාරී කමිටුව පහත සඳහන් යෝජනාව 2019 ජනවාරි 27 ද සම්මත කලේය.

වතු කම්කරුවන්ගේ දයිනික මුලික වැටුප රුපියල් 1000 දක්වා රුපියල් 500කින් ඉහල දමන ලෙස කල ඉල්ලීම අත්හැර දමා මුලික වැටුප රුපියල් 700 දක්වා රුපියල් 200කින් පමණක් ඉහල දැමීමේ යෝජනාවකට ලංකා කම්කරු කොන්ග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ඒකාබද්ධ වැවිලි වෘත්තීය සමිති මධ්‍යස්ථානය සමාගම් සහ ආන්ඩුව සමග එකඟවීම අබෝස්ටලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව තරයේ හෙලා දකියි. එය අප දීර්ඝ කාලයක් කල අරගලය පාවාදීමකි.

වෘත්තීය සමිති අත්සන් කිරීමට යන ගිවිසුමේ කුමක් අඩන්ගුදැයි අපි නොදනිමු. එය අපට රහසින් සකස් කෙරෙන්නේ සමාගම් සහ ආන්ඩුව සමග සමිති නායකත්වයන් කරන සාකච්චා මගින් මිස කම්කරුවන්ගේ කැමැත්ත විමසා නොවේ. මෙම ගිවිසුමට සමාගම් තීන්දු කල පඩියක් මත වැඩ වේගවත් කිරීමේ සැලසුම් ඇතුල්වනු ඇත. අතීතයේ සමිති විසින් අත්සන් කල සාමුහික ගිවිසුම් වලින් සිදුකර ඇත්තේ ද එයයි. කම්කරුවන්ගේ අතීත අරගල මගින් දිනා ගැනුනු සීමිත සමාජ සහන පවා අහෝසිකරමින් නිෂ්පාදන පලදායිත්වය මත පාදක කෙරුන අද ගොවි ක්‍රමයකට සමාන ක්‍රමයකට වතු කම්කරුවන් යටත් කිරීමේ සැලසුමක් ක්‍රියාවට දැමීමට වතු සමාගම් සුදානම්ව සිටී.

අබෝස්ටලී වත්තේ ක්‍රියාකාරී කමිටුව සියලු වතුවල අපගේ සහෝදර කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සාමුහික ගිවිසුම ප්‍රතික්ෂේප කර ශිෂ්ට සම්පන්න වැටුපක් හා ජීවන තත්වයන් දිනා ගැනීමේ අරගලයකට එක්වන ලෙසයි.

වෘත්තීය සමිති විසින් යලිදු සනාත කරනු ලැබ ඇත්තේ ඒවා කම්කරු පන්තියේ අයිතීන් සඳහා සටන් වදින සංවිධාන නොව, වතු හාම්පුතුන්ගේ ලාබ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන බවයි. එනිසා කම්කරුවන්ගේ වැටුප් හා අනෙකුත් අයිතීන් සඳහා සටන් කිරීමට වෘත්තීය සමිතිවලින් වෙන්ව හා ස්වාධීනව කම්කරුවන්ගේ චන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගනු ලබන ක්‍රියාකාරී කමිටු සියලු වතු, කම්හල් හා වැඩපොලවල්වල පිහිටුවා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

එවන් ක්‍රියාකාරී කමිටු ජීවත් වීමට සරිලන වැටුපක්, සහ මනා නිවාස, නිදහස් සවුඛ්‍ය සේවාවක් සහ දරුවන් සඳහා ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා අරගලය සංවිධානය කල යුතුවේ.

වතු සමාගම් සහ පාලකයන් ධනපති ආන්ඩුවේ සහාය ඇතිව එවන් අරගලයකට එරහිව රාජ්‍ය මර්දනය ඇතුලු මුලු ශක්තිය යොදනු ඇත. එනිසා මෙමෙ ක්‍රියාකාරී කමිටු ධනපති පන්තියේ ප්‍රතිගාමී මැදිහත්වීමකට එරෙහිව කම්කරුවන්ගේ හා ගොවින්නේගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ විකල්ප දේශපාලන ක්‍රියා මාර්ගයක් සාකච්චා කලයුතු බව අපි යෝජනා කරමු.

වතු කම්කරුවන්ගේ ප්‍රශ්නවලට අව්‍යාජ විසඳුමක් ලබාදිය හැක්කේ සමාජවාදී ක්‍රියාමාර්ගයකින් පමණක් බව අබොස්ටලී කම්කරු ක්‍රියාකාරී කමිටුව විශ්වාස කරයි. එවන් අරගලයක දී වතු කම්කරුවන්ට ලංකාවේ අවශේෂ කම්කරුවන්ගෙන් මෙන්ම ජාත්‍යන්තර කම්කරු පන්තියේද සහාය දිනාගත හැකිය.

සමිති දැන් සිදුකර ඇති පාවාදීම මගින් සනාථ කෙරෙන්නේ ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් මෙම අරගලය දියත් කිරීමේ දැවෙන අවශ්‍යතාවයි.

Share this article: