ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාව සමග නය ගැන සාකච්ඡා යලි ඇරඹීමට යයි

IMF to resume Sri Lankan loan program discussions

සමන් ගුනදාස විසිනි, 2019 ජනවාරි 31

කල්දැමුනු ශ්‍රී ලංකා නය වැඩසටහන පිලිබඳ සාකච්ඡා යලි ඇරඹීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) පෙබරවාරි මැද කොලඹට නියෝජිත කන්ඩායමක් එවනු ඇත. ලංකාවේ ආන්ඩුව කඳු ගැසෙන විදෙස් නය හා බරපතල නය ගෙවීමේ ගැටලුවලට මුහුන පා සිටී.

මුදල් ඇමති මංගල සමරවීර නායකත්වය දුන් ශ්‍රී ලංකාවේ නියෝජිත කන්ඩායමක් සමග එක්සත් ජනපදයේ පැවති සාකච්ඡාවලින් අනතුරු ව ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටින් ලැගාඞ් ජනවාරි 15දා මේ බව ප්‍රකාශ කලා ය. නියෝජිත කන්ඩායමට මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග හා ආර්ථික ප්‍රතිසංස්කරන ඇමති හර්ෂ ද සිල්වා ඇතුලත් වූ හ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකිරීමට උත්සාහ දැරූ දේශපාලන කුමන්ත්‍රනයකට පසුව, 2016 දී අනුමත කල එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 නයෙහි අවසන් වාරික දෙක වන ඩොලර් මිලියන 500ක් නිදහස් කිරීම අත්හිටවූ ජාමූඅ පැවැත්වීමට නියමිත ව තිබූ සාකච්ඡාවක් නතර කලේ ය.

ඔක්තෝබර් 26දා රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කල සිරිසේන, එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කලේ ය. පාර්ලිමේන්තුවේ සහයෝගය දිනාගැනීමට රාජපක්ෂ අසමත් වූ විට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය.

වික්‍රමසිංහ යලි පත්කරන ලෙස වොෂින්ටනය යෙදූ තීව්‍ර පීඩනය හා සිරිසේනගේ ක්‍රියාවන් ව්‍යවස්ථා-විරෝධී බවට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කිරීමෙන් පසු ජනාධිපතිගේ කුමන්ත්‍රනය අසාර්ථක විය.

බීජිනය සමග සමීප සබඳතා වර්ධනය කරගත් කලින් පාලනයට නායකත්වය දුන් රාජපක්ෂ කිසි ලෙසකින් වත් යලි බලයට ඒමකට, චීනයට එරෙහි මිලිටරි, භූ-මූලෝපායික හා වෙලඳ යුද්ධ පියවරයන් තීව්‍ර කර ඇති වොෂින්ටනය සතුරු ය.

ජාමූඅ වාරික කල්දැමීම මූඩිස්, ෆිච් හා ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් යන ප්‍රධාන ජාත්‍යන්තර ඇගයුම් ඒජන්සි විසින් ලංකාවේ තත්වය පහලදැමූ අතර එය මූල්‍ය වෙලඳපොලවලින් නය ගැනීමට රටට ඇති හැකියාව දුර්වල කලේ ය. වික්‍රමසිංහ යලි පත්වීමෙන් පසු ආන්ඩුව එහි අරමුදල් සම්පාදනය කිරීම් යලි අරඹන ලෙස ජාමූඅ වෙත ආයාචනා කර සිටියේය.

ලංකාවේ බලධාරීන් ජාමූඅහි “ආර්ථික ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රයට” හා “ශක්තිමත් පිලිවෙත් මිශ්‍රනයක” අවශ්‍යතාව ගැන කොලඹ ආන්ඩුවේ කැපවීම ජාමූඅ වෙත තහවුරු කල බව ජනවාරි 15දා ලැගාඞ් මාධ්‍ය වෙත කීවා ය. මෙහි අර්ථය වන්නේ බැංකුවේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම රුදුරු ලෙස තීව්‍ර කිරීමකි.

කුඩා ගොවීන්ට හා දුගීන්ට දෙන සහනාධාර කපාහැරීම, රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය හා වානිජකරනය හරහා රැකියා කප්පාදු කිරීම හා සියලු වැඩකරන ජනයා අඩංගු වන පරිදි බදු දැල ප්‍රසාරනය කිරීම ජාමූඅහි “ප්‍රතිසංස්කරනවලට” ඇතුලත් වේ. මහ ව්‍යාපාරිකයට ඉහල බදු සහන ලබාදෙනු ඇති අතර, රටෙහි මුදලේ අගය වඩා ඍජු ලෙස වෙලඳපොල බලවේගයන් මගින් නීර්නය වීමට ඉඩහරිනු ඇත.

ලංකාවේ නියෝජිත පිරිස ජාමූඅ ප්‍රධානී හමුවීමට ප්‍රථම, රටෙහි නය ගැටලු වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට කල විශේෂ ප්‍රකාශයක් මගින් ගෙනහැර දැක්වී ය. මහබැංකුව සතුව හුදු ඩොලර් බිලියන 6.9ක විදේශ මුදල් සංචිතයක් පමනක් තිබිය දී මේ වසර තුල ඩොලර් බිලියන 5.9ක නය ගෙවීමට ඇතිබව ඔහු කීවේ ය.

මහබැංකුවේ විදේශ මුදල් සංචිතවලින් රුපියල් බිලියනයක් ඇද ගනිමින් ද ඉන්දියානු හා චීන මහබැංකුවලින් නය ගනිමින් ද භාන්ඩාගාරය ජනවාරි 15දාට නියමිත ව තිබූ ඩොලර් බිලියන 1.5ක් ගෙවී ය.

මෑත දී පැවති ලංකා වානිජ මන්ඩල සමුලුවක් ඇමතූ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, විදේශ නය ආපසු ගෙවීම සඳහා සංචිත ඉහල දමා ගැනීමට 2019 පලමු කාර්තුව තුල ඩොලර් බිලියන 5ක් උපයාගැනීම අවශ්‍ය බව කීවේ ය. “වසරේ පසුභාගයේ

“මහබැංකුවේ කාර්යය වන්නේ වියහැකි නරක ම දෙයට සූදානම් වීම වන අතර එම පාඩම අපි 2018 ඔක්තෝබර් 26දා ඉගන ගත්තා. ඊලඟට පැමිනිය හැකි දේශපාලන සුනාමිය කුමක්දැයි අප නො දන්නා නිසා හැකි ඉක්මනින් සැලසුම් කොට මුදල් ලබාගැනීමට අපට සිදුවෙනවා” යි කුමාරස්වාමි කීවේ ය.

මෙම තල්ලුවේ කොටසක් ලෙස මේ මස මුල දී ජාත්‍යන්තර බැඳුම්කර හරහා ඩොලර් බිලියන 2ක් ලබාගැනීම කැබිනට්ටුව විසින් අනුමත කලේ ය. ඩොලර්, යෙන්, රෙන්මින්බි හා යුරෝ මුදල්වල බැඳුම්කරයන්ගෙන් තව තවත් අරමුදල් රැස් කරගැනීමට තමන් ආන්ඩුව අපේක්ෂා කරන බව ද මහබැංකුව කීවේ ය.

ආන්ඩුවේ නය ලබාගැනීමේ ක්‍රියාවලිය බොහෝ සෙයින් ඉහල පොලී අනුපාතයන්ගෙන් කෙටි-කාලීන වානිජ නය ලබාගැනීමෙන් සමන්විත වෙයි. පර්යේෂන ආයතනයක් වන වෙරිතේ රිසර්ච් ආයතනය මෑත දී කල අධ්‍යයනයකට අනුව, ජාත්‍යන්තර බැඳුම්කර ද ඇතුලු මෙම නයවලින් බොහොමයක පොලී අනුපාතය සියයට 6ක් වන අතර වසර හතක් ඇතුලත ආපසු ගෙවිය යුතු ය.

2008 දී සමස්ත නයෙන් සියයට 11ක් වූ වානිජ නය 2017 දී සුවිසල් සියයට 54ක් බවට නැගෙමින් පසුගිය දශකය තුල ලංකාව වානිජ නය මත රඳා සිටීම ඉහල ගියේ ය.

මෙයින් බොහොමයක් ගෙවීමට ඇත්තේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩුවල දීර්ඝ යුද්ධයේ වියදම්වලට හා ඉහල යන වෙලඳ හිඟය පියවීමට ගත් නය සඳහා ය. ජාත්‍යන්තර බැඳුම්කර වෙලඳපොලවලින් නය ලබාගත් අතර, 2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ දී එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුව, බැංකු හා මූල්‍ය ආයතන බේරා ගැනීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනන් නිකුත් කල තතු යටතේ එලෙස නය ලබාගැනීම ප්‍රසාරනය විය.

එක්සත් ජනපදය තුල පොලී අනුපාත ඉහල යන නිසා දැන් මෙම ආයෝජන ආපසු ඇදගැනෙමින් පවතී. වාර්තාවලට අනුව, පසුගිය වසරේ මුල් මාස දහයේ කාලසීමාව තුල ලංකාවේ ආන්ඩුවේ සුරැකුම්පත්වලින් ඩොලර් මිලියන 640ක් ආපසු ගැනුනි. පසුගිය ඔක්තෝබරයේ කොලඹ පුපුරා ගිය දේශපාලන කුනාටුවෙන් ඉක්බිති ව මෙම ආපසු ගැනීම් ඉහල ගියේ ය.

විදෙස් මුදල් පිටතට ගලායාම ලංකාවේ රුපියල මත ඍජු ව බලපාමින් පසුගිය වසර තුල එහි අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව සියයට 20කින් පමන අවප්‍රමානය වී ඇත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල නංවමිනි.

“වසර 2000 දී දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 33ක් වූ අපනයන ප්‍රමානය දැන් සියයට 12.6ක් දක්වා වැටෙද්දී මූල්‍ය හා ජංගම ගිනුම් හිඟයන්ගේ ගැටලුවලට” ආර්ථිකය මුහුන දෙන බව මහබැංකු අධිපතිවරයා කීවේ ය.

ආනයනවල ඉහල යන පිරිවැය හා එකතැන පල්වන අපනයන රටෙහි වෙලඳ හිඟය නොනවත්වා ප්‍රසාරනය කර ඇති අතර, එය විදේශ ආයෝජන වැඩි කිරීමෙන් හෝ විදේශවල සිටින ශ්‍රී ලංකාවේ කම්කරුවන් එවන මුදල්වලින් ආවරනය කරගත නො හැක.

ජනවාරි 27දා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පලකල තීරු ලිපියක් සඳහන් කලේ, මහබැංකුව හා ලංකාවේ අනෙකුත් බැංකු විසින් නය ගැනීමට උත්සාහ දැරීම “සංචිත පිරිමසාලමින් ජාත්‍යන්තර විශ්වාසය ඉහල දමනු” ඇතත්, එලෙස නය ගැනීම රටෙහි විදේශ නය වගකීම් ඉහල දමනු ඇති බව යි.

“විදේශ සංචිත ප්‍රමානවත් නැති නිසා නය වගකීම් යලි ගෙවීම සිදුකර ඇත්තේ වැඩිදුර නය ගැනීම් හරහා ය. මෙය ආර්ථිකයේ බාහිර මූල්‍ය අනතුරුදායක භාවය හෙලිදරවු කරයි” යි පුවත්පත අනතුරු ඇඟවී ය.

ගැඹුරු වන ආර්ථික අර්බුදය හා පෙබරවාරි මැද ජාමූඅ සමග පැවැත්වීමට සැලසුම් කර ඇති සාකච්ඡාවලින් එලිමහනට එනු ඇත්තේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් වැඩකරන ජනයා හා දුගීන් මත වඩා රුදුරු පියවරයන් මුදාහැරීමයි.

Share this article: