ටෙලිකොම් සේවකයන් වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදුවට එරෙහිව සංකේත වර්ජනයක යෙදෙයි

ඩබ්ලිව්. ඒ සුනිල් සහ නවීන් දේවගේ , 2019 ජනවාරි 19

වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුවට එරෙහිව ටෙලිකොම් සේවකයෝ දහස් ගනනක් බදාදා දීපව්‍යාප්ත එක් දින සංකේත වර්ජනයක නිරත වුහ. කොලඹ සහ සෙසු පලාත්වලින් පැමිනි 1000 ක් පමන සේවකයෝ කොලඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව පසුව අවට ප්‍රදේශයේ පාගමනක යෙදුනහ.

ටෙලිකොම් සේවක එක් දින සංකේත වර්ජනය

සංකේත වර්ජනය කැඳවුම් කලේ ක්‍රියාකාරී ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව (ක්‍රිටෙවෘසඑ) විසිනි. වසර ගනනාවක් පුරා කෙරෙන රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදුව සම්බන්ධයෙන් සේවකයන් අතර පවතින කෝපය මධ්‍යයේ සමිති එකමුතුව විරෝධතාවක් යලිත් කැඳවුයේ එය යටපත්කර දැමීමටය.

ක්‍රිටෙවෘසඑ විදුලි සංදේශ ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නිලධාරීන්ගේ සංගමය හා සමස්ත ලංකා විදුලිසේවක සංගමය ඇතුලු සමිති කිහිපයක එකතුවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, සමස්ත ලංකා ටෙලිකොම් සේවා සංගමය ඇතුලු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති සන්ධානය (ශ්‍රීලංටෙවෘසස) මෙම උද්ඝෝෂනයට සම්බන්ධ නොවීය. ඔවුන් ටෙලිකොම් පාලානාධිකාරයත් සමග ඉතා කුලුපගව කටයුතු කරමින් කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට සහයෝගය දෙන බවත් ඒ වෙනුවෙන් උසස්වීම සහ විදේශ සංචාර ඇතුලු විවිධ වරප්‍රසාද ඔවුන්ට ලැබෙන බවත් සේවකයෝ කීහ.

ශ්‍රීලංටෙවෘසස පසුගිය ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂට සහයෝගය දුන් අතර ක්‍රිටෙවෘසඑ සමිති සමහරක් සිරිසේනට සහයෝගය දුන්හ.

සියයට 10 වාර්ෂික වැටුප් වැඩිවීම ලබාදීම, මාසික වැටුප් හතරකට සමාන ප්‍රසාද දීමනාවක්, ආහාර සහ ප්‍රවාහන දීමනාව සියයට 30 න් වැඩිකිරීම, අත්හිට වූ රුපියල් 750 නිල ඇඳුම් දීමනාව යලි ලබාදීම වර්ජනයේ යෙදුන ටෙලිකොම් සේවකයන්ගේ මූලික ඉල්ලීම්ය.

මෙම ඉල්ලීම් මත දෙසැම්බර් 12 වෙනිදා ද ටෙලිකොම් සේවකයෝ උද්ඝෝෂනයක් කලහ. ඉහත ඉල්ලීම් මත පසුගිය වසර වල පැන නැගුන අරගල පාලකයන්ගේ පොරොන්දු වලට යටත් කොට නිර්ලජ්ජිත ලෙස සමිති විසින් පාවා දෙනු ලැබීය. දෙසැම්බර් 12 වෙනිදා පැවති උද්ඝෝෂන ය සම්බන්ධයෙන් නිකුත් කල පත්‍රිකාව තුල ක්‍රිටෙවෘසඑ මෙසේ සඳහන් කරයි: “පසුගිය වසර හතරක පමන කාලයක සිට ටෙලිකොම් පාලකයින් බහුතර සේවක අයිතීන් මෙන්ම භුක්ති විඳිමින් සිටින වරප්‍රසාද පවා කප්පාදු කරමින් සේවක වෘත්තීය සමිති ඉදිරියේ දිවදෙකෙහි ලිඛිත පොරොන්දු දෙමින් ඒවා ඉටු නොකරමින් කටයුතු කර ඇත.”

තමන් පාලකයන්ගේ දිවදෙකෙහි පොරොන්දු හිස් මුදුනින් පිලිගත්තේ මන්දැයි සමිති එකමුතුව පැහැදිලි කර නැත. ටෙලිකොම් සභාපති ඇතුලු පාලකයන්ගේ දුෂන වලට එරහි උද්ඝෝෂනයක් ඔවුන් අරඹා ඇත්තේ සියලු ප්‍රශ්න පැනනැගී ඇත්තේ ඒනිසා බවද ඔවුන් ඉවත් කල හොත් ප්‍රශ්න විසඳා ගත හැකියයි මිත්‍යාවක් වපිරීමටය.

බදාදා උද්ඝෝෂනයේදී සේවකයන් ඇමතු තොරතුරු සහ සියලු සේවක සංගමයේ සභාපති (තොසිසේස) මහේෂ් ප්‍රනාන්දු දුෂන හා වංචා නැති කර ආයතන රැක ගැනීම ගැනීම සඳහා සේවකයන් “කැපවීමෙන්” කටයුතු කල යුතු යයි ඉල්ලා සිටියේය. තම ඉල්ලීවලට විසඳුම් නොලැබුනොත් “අඛණ්ඩ වර්ජනයක්” කරන බවට ද ඔහු බොරු තර්ජනය කලේ ය.

වෘත්තීය සමිතිවල ඊනියා අඛන්ඩ වර්ජන ගැන ටෙලිකොම් සේවකයන්ට අත්දැකීම් ඇත. 2011 ජුනි-ජුලි දෙසතියක අඛන්ඩ වර්ජනය සහ එම වසරේ අගෝස්තු මාසයේ දින 5 ක අඛන්ඩ වර්ජනය සමිති විසින් පාවා දුන්නේ සේවකයන්ගේ කිසිදු මුලික ඉල්ලීමක් ජයග්‍රහනය කිරීමෙන් තොරව ය.

ටෙලිකොම් සේවකයන් අතර පාලකයන් ට හා ආන්ඩුවට එරෙහිව මෙන් ම, වෘත්තීය සමිති වලට එරෙහිව ද විරුද්ධත්වයක් වැඩෙමින් ඇත.

අයිතීන් කප්පාදු කිරීම සඳහා පාලකයන් විවිධාකාරයෙන් කටයුතු කරන බව කොලඹ ප්‍රධාන කාර්යාලයේ සේවිකාවක් පැවසුවාය: “උසස්වීම් සහ වැටුප් වර්ධක දෙන්නේ ක්‍රියාකාරිත්වය (ෆර්ෆොමන්ස් ) අනුව. නමුත් එය ගනනය කිරීමේ පදනම මොකක් ද කියල කිසි කෙනෙක් දන්නේ නැහැ. ගුප්ත එකක්. පාලකයෝ කැමති අයටයි ලකුනු ලැබෙන්නේ. අසාධාරනකම් වලට විරුද්ධව කතා කලොත් පලි ගන්නවා. මුල්‍ය වියදම් ඔඩිට් කරන්නේ නැහැ . වැඩි වැටුප් සහ දීමනා ගන්නේ ඉහල නිලධාරීන්. සභාපතිගේ මාසික ගෙවීම පමනක් මිලියන 10 ක්. සේවකයන් ට වඩා නිලධාරී ප්‍රතිශතය වැඩියි. කාර්යමන්ඩල පිරමීඩය උඩුයටිකුරු වෙලා. සාමාන්‍ය සේවකයන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැහැ”. ඇය පැවසීය.

ආයතනයේ ව්‍යාපෘති පිටස්තර සමාගම්වලට දීම මගින් සේවක අයිතීන් කප්පාදු කරන බව තාක්ෂන සේවකයෙකු පැවසීය. “නිවාස වලට සම්බන්ධතාවය දීම පවා කරන්නේ පුද්ගලික සමාගම් මගින්. පාරිභෝගිකයන් ට වගකීමක් නැහැ. සේවකයන්ගේ වැටුප් සහ දීමනා කපනවා. අයිතීන් දිනන්න නම් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍යයි. වෘත්තීය සමිති ඒකට සටන් කරන්නේ නැහැ”.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ සහ ප්‍රන්සයේ කම්කරුවන්ගේ කහ බැනියම් ව්‍යාපාරය ගැන ඔහු උනන්දුවෙන් කතා කලේ ය.

ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බාල සොහොයුරා ය. සේවක අයිතීන් කප්පාදු කරමින් ඔහුත් පාලනාධිකාරයේ ඉහල නිලධාරීනුත් මිලියන ගනනනින් වැටුප් සහ දීමනා ලබමින් මහාපරිමාන මූල්‍ය දූෂනයන් හා වංචාවන් හි යෙදෙන බවට සේවකයෝ චෝදනා කරති.

ටෙලිකොම් සේවකයන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප්‍රහාරයන්ගේ මූලය වන්නේ දුෂනය නො ව, ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ විදුලි සංදේශ සමාගම් අතර තරඟය තීව්‍රවීම සහ ලාබ පහත වැටීම ය. ලංකාව තුල ටෙලිකොම් හා ඩයලොග්, එටිසලාට් සහ හච් සමාගම් අතර තරඟය බෙලි කපා ගන්නා මට්ටමට තීව්‍ර වී ඇත. පුද්ගලීකරනයෙන් පසුව 2008 වනවිට රුපියල් බිලියන 6.6 දක්වා ලාබ ඉහල දමා ගැනීමට ටෙලිකොම් සමත් වුව ද තියුනු වන තරඟය මධ්‍යයේ 2017 බිලියන 3.9 ක් දක්වා පහත වැටුනි. 2018 මුල් මාස නවය තුල ලාබය බිලියන 3.99කි. සමාගමේ නය ප්‍රමානය රුපියල් බිලියන 50 කි.

ලාබ පහත වැටීම වලකා ගන්න ට ටෙලිකොම් පාලකයන් මූලිකව උත්සාහ කරන්නේ රැකියා හා සේවක අයිතීන්ට කෙටීම හරහා කෙරෙන වියදම් කප්පාදුවක් සහ දුරකථන සහ තොරතුරු තාක්ෂනය භාවිතාව සඳහා ගාස්තු විශාල වසයෙන් ඉහල දැමීමෙනි.

ස්වෙච්චා විශ්‍රාම ගැන්වීම සහ ඊනියා ගෝල්ඩන් හෑන්ඞ් ෂේක් නමින් වන්දියක් දීමේ ක්‍රමය මගින් පසුගිය දසකය තුල දහස් ගනනක් රැකියා කප්පාදු කර ඇත. ඒ වෙනුවට සේවයේ යොදවා ඇත්තේ අඩු වැටුප් සහිත කොන්ත්‍රාත් කම්කරුවන් ය. සියලු දීමනා සහිතව ඔවුන්ගේ වැටුප රුපියල් 25,000- 35,000 පමන වේ.

ඒකාබද්ධ වැටුප් ක්‍රමයක් නිර්මානය කිරීමේ ප්‍රෝඩාව යටතේ ජීවන වියදම් දීමනාව කපා හැර ඇත. රුපියල් 750 නිල ඇඳුම් දීමනාව අත්හිටුවා තිබේ. අලුතින් බඳවා ගන්නා තාක්ෂනික සේවයෙකුගේ මූලික ආරම්භක වැටුප රුපියල් 17,500 දක්වා පහත දමා ඇත. කලින් එය රුපියල් 44,000 කි. ස්ථීර සේවකයන් සඳහා පැවති සියයට 10 වාර්ෂික වැටුප් වැඩිවීම සියයට 7.5 දක්වා පසුගිය වසරේ අඩු කල අතර ඉන් ගෙවා ඇත්තේ සියට 2.5 ක් පමනි. ඉතිරි සියයට 5 පසුව දෙන බවට පාලකයන් පොරොන්දු වී ඇත. බදාදා පැවති උද්ඝෝෂනයේදී තොසිසේස සභාපති ප්‍රනාන්දු පැවසූ ආකාරයට මෙම සියයට 5 පසුව ගෙවීමේ පාලකයන්ගේ යෝජනාවට වෘත්තීය සමිති “නම්‍යශීලීව” එකඟ වී තිබේ. දැන් එය ගෙවීම දුෂ්කර යයි පාලකයන් පවසා ඇත.

ටෙලිකොම් පාලකයන් සහ ආන්ඩුව සේවකයන් මත මෙම ප්‍රහාර එල්ල කරන්නේ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පුද්ගලීකරනයට වෘත්තීය සමිති සහයෝගය දුන්හ. ඉන් අනතුරුව “ආයතනය රැක ගැනීමේ” වංචනික ධජයක් යටතේ රැකියා කප්පාදුවට සහ සේවක අයිතීන්ට කෙටීමට ඉඩසලසා දුනි. මෙම ප්‍රහාරයන් ටෙලිකොම් සේවකයන් මත පැටවීමට පමනක් නොව “ආයතනය රැක ගැනීමේ” නමින් ටෙලිකොම් පාලන ව්‍යුහය සමග බද්ධවීම ට ද සමිති නිලධරය සුදානම් ය. ඒසඳහා සමිති යෝජනා කල නමුත් පාලකයන් ඊට එකඟ නොවූ බව ප්‍රනාන්දු පැවසී ය.

සේවකයන්ගේ ඉල්ලීම් රිජුව ම ගැටෙන්නේ ටෙලිකොම් සමාගමේ ලාබ අවශ්‍යතාවයන් සහ ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ ධනපති ආන්ඩුව ක්‍රියාවට දමන ආර්ථීක කප්පාදු පිලිවෙත් සමගය. ලාබය සඳහා සෙසු සමාගම් සමග තරඟය උග්‍රවන තරමට සේවකයන් ගේ රැකියා සහ සේවා කොන්දේසිවලට එල්ල වන ප්‍රහාරය ද තීව්‍ර වේ.

ආන්ඩුවට බලපෑම් දැමීමෙන් සහ ටෙලිකොම් පාලනාධිකාරයේ දූෂන වංචා නැතිකර සමාගම තුල “මනා කලමනාකරනයක්” සහ “පාලනයක්” ඇති කිරීම මගින් අයිතීන් දිනාගැනීමට හැකියයි වෘත්තීය සමිති වගා දිගාකරන මිත්‍යාව සේවකයන් ප්‍රතික්ෂේප කල යුතුය. වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ පාලකයන්ගේ හා ධනපති ආන්ඩුවේ ඒජන්ත උපකරන ලෙස ය. කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී සිය අරගලයට අව්‍යාජ නායකත්වයක් සැපයිය හැකි කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ ඇබෝස්ලි වත්තේ වතු කම්කරුවන් සහ එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර් රථ කම්කරුවන් එවන් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ධනපති හාම්පුතුන්ගේ හා රාජ්‍යයේ ප්‍රහාරයන් ට එරෙහි ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමේ දිසාවට වැදගත් පියවරක් තබා ඇත. ටෙලිකොම් සේවකයන් එය ආදර්ශ කොට ගනිමින් සෑම ටෙලිකොම් කාර්යාලයක හා වැඩපොලකම ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් ධනපති පාලක පන්තියේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමට ද සෙසු රටවල විදුලි සංදේශ කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කරගැනීමට ද පියවර ගත යුතු ය.

ටෙලිකොම් සේවකයන් ඇතුලු කම්කරු පන්තියේ අයිතීන් දිනා ගත හැක්කේ සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් මගින් පමනි. එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ටෙලිකොම් ආයතනය ඇතුලු සියලු මූලික ධනපති ආයතන කම්කරු පාලනය යටතේ ජනසතු කර පවත්වාගෙන යන සැලසුම්ගත සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් යටතේ පමනි.

Share this article: