එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග මිලිටරි සබඳතා තර කරගනී

The US boosts military ties with Sri Lanka

විජිත් සමරසිංහ විසිනි , 2019 ජනවාරි 17

එක්සත් ජනපදයේ හත්වන නාවික බලඇනියේ යාත්‍රා මෑත දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර ත්‍රිකුනාමල වරායට කල සංචාරයන්, දිවයින වොෂින්ටනයේ චීනයට එරෙහි යුද සූදානම්වීම් තුලට වේගයෙන් ඒකාග්‍ර කර ගැනෙමින් තිබෙන බව පැහැදිලි කරයි. ජපානයේ මූලස්ථානය පිහිටා ඇති හත්වන නාවික බලඇනිය නෞකා 60-70ක්, ගුවන් යානා 300ක් හා ප්‍රහාරක භටයන් 40,000කට වැඩි සංඛ්‍යාවක් සහිත ව යුද්ධය සඳහා සූදානම් කරන ලද ප්‍රහාරක ඒකකයකි.

නැගෙනහිර ශ්‍රී ලංකාවේ ත්‍රිකුනාමලයේ එක්සත් ජනපද නාවික හමුදා ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට පෙන්ටගනය කරගෙන යන සැලසුම්වල කොටසක් ලෙස, යූඑස්එස් ජෝන් සී. ස්ටෙනිස් ගුවන් යානා නෞකාව ත්‍රිකුනාමලයට සංචාරය කලේ ය. හත්වන බලඇනියේ තවත් යාත්‍රාවක් වන යූඑස්එස් ඇන්කරේජ් හා නාවික ඒකකයක් පසුගිය අගෝස්තුවේ වරායට සංචාරය කලේ ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙස එහි ශක්‍යතාව ඇගයීම පිනිස යි.

ලෝකයේ දෙවන ගැඹුරුතම ස්වාභාවික වරාය වන ත්‍රිකුනාමලය, ඉන්දියන් සාගරය තුල විශාල මිලිටරි මූලෝපායික වැදගත් කමක් දරයි. දෙවන ලෝක යුද්ධයේ අවසන් වසරවල එය බි්‍රතාන්‍ය නැගෙනහිර බලඇනියේ නාවික අනදෙන මධ්‍යස්ථානය ලෙස සේවය කලේ ය.

යූඑස්එස් ස්ටෙනිස් නෞකාවේ සංචාරය ගැන අදහස් දක්වමින් නම් සඳහන් නො කල කොලඹ රාජ්‍යතාන්ත්‍රිකයෙක් නිකෙයි ඒෂියන් රිවීව් වෙත දෙසැම්බර් 29 දා කීවේ: “ත්‍රිකුනාමලය ශ්‍රී ලංකාවේ වඩාත් ම වැදගත් මූලෝපායික දේපොල වන නිසා එය තර්කානුකූල තෝරාගැනීමකි. පසුගිය වසර හය පුරා චීනය පැහැදිලිව හා පුලුල් ව පෙනී සිටින දකුනු ආසියාවේ මෙම කලාපය සම්බන්ධයෙන් වොෂින්ටනය අලුතින් හිතන බවට සංඥා තිබේ.”

වරායේ ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට වොෂින්ටනය තල්ලුව දෙන්නේ, ට්‍රම්ප් පරිපාලනය චීනයට එරෙහි එහි වෙලඳ යුද පියවරයන් වැඩි දියුනු කරද්දී ය. ආසියාව පුරා චීනයට එරෙහි ව එක්සත් ජනපදයේ මූලෝපායික ස්ථානය පලල් ලෙස ශක්තිමත් කිරීම ඉලක්ක කරගන්නා “ආසියා පුනරාරක්ෂන ආරම්භකත්ව පනතට” ට්‍රම්ප් දෙසැම්බර් 31දා අත්සන් තැබී ය.

එක්සත් ජනපද නාවික හමුදාව ත්‍රිකුනාමලයට ඇස ගසාගෙන සිටීම මගින්, ඔක්තෝබරය අග ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ නෙරපා එම ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමෙන් පසුව පුපුරා ගිය කන්ඩායමික යුද්ධයට වොෂින්ටනය දැක්වූ ප්‍රතිචාරය ද පැහැදිලි කරයි.

ජනාධිපතිවරයා ලෙස චීනය සමග සමීප සබඳතා ස්ථාපනය කරගෙන සිටි රාජපක්ෂ පත්කිරීමට විරුද්ධ වූ වොෂින්ටනය වික්‍රමසිංහ යලි පත්කරන ලෙස ඉල්ලී ය.

රාජපක්ෂ බලයෙන් ඉවත් කර සිරිසේන ජනාධිපති ධුරයට එසැවීමට 2014-2015 සමයේ එක්සත් ජනපදය තිරයෙන් පිටුපස සිට දේශීය දේශපාලන සගයන් සමග උපාමාරු දැමී ය. සිරිසේන හා වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමග දේශපාලන හා මිලිටරි සබඳතා ශක්තිමත් කරගත්තේ ය.

පසුගිය වසර අගභාගයේ තම පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කිරීමට රාජපක්ෂ දැරූ උපරිම උත්සාහයන් නො තකා වොෂින්ටනය හා නව දිල්ලිය ඔහු ව අගමැති ධුරයට පත්කිරීමට විරුද්ධ විය. එක්සත් ජනපදයේ පීඩනය යටතේ හා පාර්ලිමේන්තුව විසිරවීමට සිරිසේන ගත් තීරනය ව්‍යවස්ථා-විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවකින් පසුව අවසානයේ සිරිසේන වික්‍රමසිංහ ව යලි පත්කලේ ය.

එක්සත් ජනපද නාවික හමුදාව, දෙසැම්බර් 9 දා, ඉන්දියානු සාගරය තුල තම මෙහෙයුම් සඳහා ත්‍රිකුනාමලයේ ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් දරන මූලෝපායික වැදගත් කම සටහන් කලේ ය: “තාවකාලික ගුවන් ප්‍රවර්ධන මධ්‍යස්ථාන සංකල්පය, නිවැරදි ද්‍රව්‍යයන් නිවැරදි ස්ථානයට නිවැරදි වේලාවේ දී ලැබීම සහතික කරමින් නෞකාවලට මුහුදේ මෙහෙයුම් දිගට ම කරගෙන යාමට ඉඩ ලබා දී, ගුවන් තීරුවක් භාවිතා කිරීමට හා කුඩා නැව්බඩු තොගයන්ට විවිධ දිශාවන්ට ගමන් කිරීම පිනිස මහා පරිමාන නෞකා තොග ලබාගැනීමේ ගබඩා පහසුකම් සම්පාදනය කරනු ඇතැ” යි එක්සත් ජනපද නාවික හමුදා වෙබ් අඩවිය විස්තර කලේ ය.

යූඑස්එස් ජෝන් සී. ස්ටෙනිස් නෞකාවේ තොග පාලන අංශයේ නිලධාරී නාවික ලුතිනන් බ්‍රයන් ඕටිස් විස්තර කල පරිදි: “මෙහෙයුමේ ප්‍රමුඛ අභිප්‍රාය වන්නේ, ඉන්දියන් සාගරය තුල ගමනේ යෙදෙන හා ක්‍රියාත්මක වන එක්සත් ජනපද නාවික හමුදා නෞකාවන්ට මෙහෙයුම් සඳහා තීරනාත්මක සැපයුම් හා සේවා සම්පාදනය කිරීම යි ...දෙවන අභිප්‍රාය වන්නේ එක්සත් ජනපද නාවික හමුදාවේ කල්පවත්නා ප්‍රවර්ධන මධ්‍යස්ථාන නොමැති වෙරලක තාවකාලික ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට එක්සත් ජනපද නාවික හමුදාවට ඇති හැකියාව ප්‍රදර්ශනය කිරීම යි.”

පසුගිය වසරේ එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ මිලිටරි අතර ප්‍රධාන ඒකාබද්ධ මෙහෙයුම් පහක් සිදු විය. යූඑස්එස් ජෝන් සී. ස්ටෙනිස් මෙන් යූඑස්එන්එස් රෝහල් නෞකාව ද ත්‍රිකුනාමලයට සංචාරය කල අතර, ශ්‍රී ලංකාවේ නාවික හමුදාව හා යූඑස්එස් ඇන්කරේජ් අතර මුහුදු අභ්‍යාස පැවැත්වින. ශ්‍රී ලංකා නාවික හමුදාව සමග වන ඒකාබද්ධ වැඩසටහනක කොටසක් ලෙස දෙසැම්බර් 21දා යූඑස්එස් රෂ්මෝ නැමති නෞකාංගන ගොඩබැසුම් නෞකාව කොලඹට සංචාරය කලේ ය. ලෝකයේ විශාලතම ජාත්‍යන්තර නෞකා යුද අභ්‍යාසය වන හවායිහි පැවති පැසිෆික් රිම් නාවික අභ්‍යාසයන්ට ද ශ්‍රී ලංකාවේ මිලිටරිය නිරීක්ෂකයෙකු ලෙස සහභාගි විය.

නිකෙයි ඒෂියන් රිවීව් හා අනෙකුත් මාධ්‍ය වාර්තා අවධාරනය කරන්නේ, ඉන්දියන් සාගරය තුල ඉහල යන එක්සත් ජනපද මිලිටරි ක්‍රියාකාරකම් සිදු කෙරෙන්නේ චීනයේ ඊනියා “ස්ටි්‍රං ඔෆ් පර්ල්ස්” (මුතු වැල) මූලෝපායට ප්‍රතිචාරයක් ලෙස බව යි. බීජිනයේ “නය-උගුල් රාජ්‍යතාන්ත්‍රිකත්වය” හා එය කුඩා ජාතීන් උගුලට හසු කරගන්නේ කෙසේදැයි යන්නට උදාහරනයක් ලෙස ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ගෙනහැර දක්වමින්, එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් පසුගිය ඔක්තෝබරයේ හඞ්සන් ආයතනයට යුදවාදී කතාවක් කලේ ය.

වොෂින්ටනය ප්‍රතිචාර දක්වමින් සිටින්නේ චීනය ඉන්දියන් සාගරය මත ආධිපත්‍යය දැරීමට දරන උත්සාහයන්ට ය යන්න ව්‍යාජ ය. වඩ වඩා යුදවාදී වන එක්සත් ජනපදයේ හා එහි සගයන්ගේ ආර්ථික හා මිලිටරි යුදවාදී ක්‍රියාවන්ට ප්‍රගතිශීලී පිලිතුරක් බීජිනයේ චීන තන්ත්‍රයට නැත. “මුතු පොට” මූලෝපාය වනාහි ඉන්දියානු සාගර ජාතීන් අතර භූ-මූලෝපායික සහකරුවන් දිනාගැනීම මගින් එක්සත් ජනපදයේ නායකත්වයෙන් සිදු කෙරෙන වටකිරීම බිඳ දැමීමට දරන මංමුලා සහගත උත්සාහයකි.

එහි කියාපෑම්වලට විපරීත ව, නාවික යුද නෞකා නිරන්තරයෙන් ප්‍රදේශය පුරා දිගේලි කරමින් සහ බි්‍රතාන්‍ය ඉන්දියානු සාගර භූමියේ ඩියේගෝ ගාෂියාහි ප්‍රධාන මිලිටරි කඳවුරක් පවත්වාගෙන යමින් ද ආසන්න පර්සියානු ගල්ෆ් කලාපයේ කඳවුරු පවත්වාගෙන යමින් ද එක්සත් ජනපදය බොහෝ කාලයක සිට ඉන්දියන් සාගරය තුල නාවික හා මිලිටරි ආධිපත්‍යය ස්ථාපනය කරගෙන සිටී.

එක්සත් ජනපදයේ මූලික සහකරුවෙක් හා චීනයේ විරුද්ධවාදියෙක් වන ඉන්දියාවට ද අන්දමන් දූපත්වල හා ලැකඩිව්ස්හි නාවික හා ගුවන් කඳවුරු තිබෙන අතර, එක් කඳවුරක් මොරිෂස් තුල ඉදිකරමින් තිබේ; ඉන්දියාව ෂීසෙල්ස්, මැඩගස්කාර් හා ඕමානය යන රටවල රේඩාර් නිරීක්ෂන මධ්‍යස්ථාන ද පවත්වාගෙන යයි.

2007 දී වොෂින්ටනය එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ සමග දුරදිග යන අයත් කරගැනීමේ හා හරස්-සේවා ගිවිසුමකට අත්සන් තැබී ය. ඉන්ධන යලි පිරවීම හා අනෙකුත් සේවාවන් සඳහා ශ්‍රී ලංකාවේ වරායන් වෙත එක්සත් ජනපද නාවික නෞකාවන්ට ප්‍රවේශය ලබාදෙන මෙම 10-අවුරුදු ගිවිසුම 2017 දී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අලුත් කලේ ය.

සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ ගෙවුනු වසර හතර තුල කොලඹ ආන්ඩුව ශ්‍රී ලංකා නාවික ඒකකයක් ස්ථාපනය කොට, එක්සත් ජනපද නාවික හමුදාව සමග සිදුකරන නාවික පුහුනු හා අභ්‍යාස ආරම්භ කොට ඇත.

ඉන්දු-පැසිෆික් කලාපයේ මූලික එක්සත් ජනපද හවුල්කාරයන් වන ඉන්දියාව හා ජපානය ද ත්‍රිකුනාමලයේ නාවික මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ හැකියාවන් ගවේෂනය කරමින් සිටිති. ජපාන අධිරාජ්‍යවාදයේ ඊනියා “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් මූලෝපාය” යටතේ මියන්මාරයේ දාවෙයි, බංග්ලාදේශයේ මතාබාරි සමගින් ත්‍රිකුනාමලය ආයෝජන සඳහා ප්‍රමුඛ ඉන්දියන් සාගර වරායන් ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු, එක්සත් ජනපදයේ චීනයට එරෙහි යුද සැලසුම් තුලට ශ්‍රී ලංකාව වඩ වඩා ඒකාග්‍ර කොට ඇත. දෙරට ම න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් වෙද්දී, එක්සත් ජනපදයේ චීනයට එරෙහි මිලිටරි ප්‍රචන්ඩත්වය ව්‍යසනකාරී විපාකයන් සඳහා තර්ජනය කරයි. එවැනි ගෝලීය ව්‍යසනයක් වැලැක්විය හැකි එකම බලවේගය වන්නේ, යුද්ධයේ මූලික හේතුව වන ධනේශ්වර පද්ධතිය හා එය විසින් ලෝකය යල්පිනූ ප්‍රතිමල්ලව ජාතික රාජ්‍යයන්ට බෙදා තිබීම අහෝසි කිරීම ඉලක්ක කරගත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද-විරෝධී ව්‍යාපාරයකට පමනි.

Share this article: