වෙලඳාම සම්බන්ධ සාකච්ඡා ඇරඹීමට සූදානම් වෙද්දී ඇමරිකාව හා චීනය ගව්වක් දුරිනි

US and China still miles apart as trade talks are set to begin

නික් බීම්ස් විසිනි, 2019 ජනවාරි 29

ඩොලර් බිලියන 200ක චීන භාන්ඬ සඳහා අයකරන තීරු බදු මාර්තු 01දායින් පසුව සියයට 10 සිට 25 දක්වා වැඩි කිරීමේ සැලැස්ම ට්‍රම්ප් ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න තීරනය කල හැකිවන පරිදි ඉහල පෙලේ ඇමරිකානු හා චීන නියෝජිතයන් අතර දෙදින සාකච්ඡා 30 දින ආරම්භ වනු ඇත. එය ක්‍රියාත්මක වන්නේ නම් චීනය සමඟ වන ඇමරිකානු වෙලඳ යුද්ධය තව තවත් පැතිර යනු ඇත.

ඇමරිකාවේ වෙලඳ නියෝජිත රොබට් ලයිට්සිසර් ගේ ද වෙලඳාම සම්බන්ධ චීනයේ ප්‍රධානියා ලෙස උප අගමැති ලියු හේගේ ද මූලිකත්වයෙන් සාකච්ඡා සිදුවන්නේ, චීනය කරනවා යයි කියන බුද්ධිමය දේපොල සොරකම් නතර කල යුතු බවට ද කාර්මික හා තාක්ෂනික වර්ධනය සඳහා එරට වැඩසටහන අකුලාගත යුතු බවට ද වන ඇමරිකාවේ ප්‍රධාන ඉල්ලීම ගැන දෙපාර්ශවය අතර කිසිදු සමීප එකඟත්වයක් නොමැති වාතාවරනය තුලය.

පසුගිය සතියේ පැවති රූපවාහිනී වැඩසටහන් වලදී ඇමරිකාවේ වෙලඳ ලේකම් විල්බර් රොස් පැහැදිලි කලේ, දෙරට අතර ඇති වෙලඳ අසමතුලිතතා ඇමරිකාවේ ප්‍රධාන උත්සුකය නොවන බවය. ඊනියා “ව්‍යූහාත්මක” වෙනස්කම් උපයෝගී කර ගනිමින් චීනය, එහි අනාගත ආර්ථික සංවර්ධන වැඩසටහන අත්හල යුතු බව ඇමරිකාව කියා සිටියි.

සීඑන්බීසීහි ව්‍යාපාරික නාලිකාව සමඟ කථා කරමින් පසුගිය 24දා රොස් මෙසේ පැවසීය: “අප විසඳුමකට පැමිනීම සම්බන්ධයෙන් සිටින්නේ සැතපුම් ගනනක් දුරින්ය. වෙලඳාම ඉතා සංකීර්න කාරනයකි. විසඳා ගැනීමට බොහෝ ප්‍රශ්න ඇත.”

ප්‍රශ්න වන්නේ, සෝයා බෝංචි හා එල්එන්ජී වැනි ඇමරිකානු වෙලඳ ද්‍රව්‍ය චීනය විසින් වැඩිපුර මිලට ගන්නේ ද යන්න නොවේ. “වඩාත් වැදගත් වන්නේ, චීන ආර්ථිකයෙහි අවශ්‍ය යයි අප සිතන ආකාරයේ ව්‍යූහාත්මක වෙනස්කම්ය. එයටත් වඩා වැදගත් වන්නේ, අප එකඟ වන කුමක් හෝ සම්බන්ධව කටයුතු කිරීමට අසමත් වීම අරභයා දන්ඩන යාන්ත්‍රනයක් බලගැන්වීමයි.”

බ්ලූම්බර්ග් සමඟ පැවති හමුවකදී රොස් අවධාරනය කලේ, ඇමරිකානු භාන්ඩ වැඩි වැඩියෙන් චීනයට ආනයනය කිරීමේදී වෙලඳ අසමතුලිතතා හරිගස්සා ගත හැකි නමුත්, චීනයට එරෙහි ඇමරිකානු පියවර පදනම් කරගත් 1974 වෙලඳ පනතේ 301 වන කොටස යටතේ, යූඑස්ටීආර් කාර්යාලය මඟින් පසුගිය වසරේ ඉදිරිපත් කල වාර්තාවට අනුව හඳුනාගෙන තිබෙන ව්‍යූහාත්මක වෙනස්කම් ප්‍රධාන ප්‍රශ්න වන බවයි.

බලහත්කාරී තාක්ෂන මාරුකිරීම හා බුද්ධිමය දේපොල සොරකමේ යෙදී සිටින බවට ඇමරිකාව චීනයට චෝදනා කරයි. ඒ සඳහා ලෝක වෙලඳපොලවල සිය තත්වය නඟා සිටුවීම පිනිස චීනය, රාජ්‍ය සහනාධාර පිරිනැමීම මඟින් “වෙලඳපොල ගසාකෑමේ” යෙදී සිටින බව ඔවුන් පවසයි. මෙම භාවිතාවන් ඇමරිකාවේ ගෝලීය ආර්ථික හා මිලිටරි අධිකාරයට පැතිර පවතින තර්ජනයක් එල්ල කරන බවට ඇමරිකාවේ දේශපාලන, ව්‍යාපාරික හා ජාතික ආරක්ෂක පර්යායේ ප්‍රමුඛ කොටස් විසින් සලකනු ලබයි.

චීනය කියන්නේ තාක්ෂන මාරුව බලහත්කාරී නොවන බවත් එය, චීන වෙලඳපොල තුලට වැඩි ප්‍රවිෂ්ටයක් වෙනුවෙන් ඇමරිකානු සමාගම් විසින් ඇතිකරගත් වානිජ්‍ය ගනුදෙනුවල කොටසක් වන බවත්ය. බුද්ධිමය දේපොල සොරකමට එරෙහි නීති දැඩි කිරීමට තමන් සුදානම් බව චීනය පවසා ඇත. එසේම අවම වශයෙන් ප්‍රමුඛ රාජ්‍ය ආයෝජන උත්සුක වනතාක් දුරටවත් සිය “චීනයේ නිපදවන ලදී” වැඩසටහනෙන් යම් තරමක් ඉවත් වීමට තමන් කැමත්තෙන් සිටින බවත් චීනය පවසයි. එහෙත් අර්ධ සන්නායක හා අනෙකුත් තීරනාත්මක තාක්ෂන මෙවලම් ලෝක තත්වයෙන් නිෂ්පාදනය කිරීමේ සිය උත්සාහය අත් නොහරින බව බීජිනය පවසා ඇත. එසේම ඔවුන්, ආර්ථිකය හා මූල්‍ය පද්ධතිය කෙරෙහි වන සමස්ත රාජ්‍ය පාලනයේ ප්‍රමුඛ වෙනස්කම් ඇති නොකෙරෙන බවත් පවසයි.

රොස් හා අනෙක් අය අඟවා ඇති පරිදි ඇමරිකාව උත්සුක වන්නේ, කුමන ගිවිසුමක් සඳහා හෝ වැදගත්ම කාරනය, චීනය තමන්ගේ ඉල්ලීම් පරිදි කටයුතු කරන බව සහතික කරන යාන්ත්‍රනයක් පිහිටුවිය යුතු වීමය. චීන නීතියේ හෝ ආන්ඩුවේ පිලිවෙත්වල වෙනසක් පිලිබඳ නිල නිවේදන පමනක් සෑහෙන්නේ නැති බව ඔවුහු පවසති.

රොස් විසින් කර තිබෙන ප්‍රකාශනයන්හි පැහැදිලි ඇඟවුම වන්නේ, “බලගැන්වීමේ යාන්ත්‍රන” හරිහැටි ක්‍රි යාත්මක වන බව සහතික කරගැනීම සඳහා චීන ආන්ඩුවේ පිලිවෙත හා එරට නීති පද්ධතිය සෘජුවම ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි සැකසෙන ගිවිසුමක් පිලිගැනීමට පමනක් ඇමරිකාව සූදානම් බවයි.

වෙනත් වචන වලින් කිවහොත්, ආර්ථික පිලිවෙත් හා එහි නීතිමය ඇඟවුම් පිලිබඳ වනතාක් දුරට චීනය, ඇමරිකාව සම්බන්ධයෙන් යටත් අර්ධ කොලනියක තත්වය පිලිගත යුතු බවයි. එවන් ආස්ථානයක් සී ජින්පින් තන්ත්‍රයට හෝ වෙනත් ආන්ඩුවකට හෝ පිලිගත හැකි තත්වයක් නොවේ.

තත්වය එය බව වටහාගෙන සිටින ඇමරිකාව, චීනයට එරෙහි එහි ආර්ථික යුද්ධය සියලු පැතිවලින් මුවහත් කරමින් සිටී. සියල්ලටත් වඩා එරට අපරාධ නීති පද්ධතිය “සන්නද්ධ කිරීමේ” ඔවුන් කියා සිටින ක්‍රමය හරහාය.

28දා ඇමරිකානු නීතිධරයින්, කැනඩාවේදී හුආවේ සමාගමේ විධායක මෙන් වැන්ෂූ රඳවා ගැනීමට පදනම් වූ, ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පනවන ලද ආර්ථික සම්බාධක මඟහැරීම පිනිස චීන සන්නිවේදන යෝධයෙකු වන හුආවේ සමාගම බැංකු වංචා සිදුකර ඇතැයි යන චෝදනාව යටතේ එම සමාගමට විරුද්ධව අපරාධ චෝදනා මාලාවක් ගොනුකලේය. එහිදී සමාගම ටී මොබයිල් යන ඇමරිකානු සමාගමෙන් වෙලඳ රහස් සොරාගෙන ඇතැයි චෝදනා නැඟී ඇත.

හුආවේ සමාගමට හා එය 5වන පරම්පරාවේ මොබයිල් දුරකථන තාක්ෂනය වර්ධනය කිරීමේ ක්‍රියාවලිය තුලින් අන්තර්ජාලයේ ගුනාත්මක වර්ධනයක් ඇතිකිරීමට එරෙහි ඇමරිකානු පියවර පුලුල් සන්දර්භයක තබන ප්‍රධාන ලිපියක් සති අන්ත නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතෙහි පල විය.

ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවලින් සමන්විත “ෆයිව් අයිස්” යන ඔත්තු සේවා ජාලය 2018 ජූලි මාසයේ පැවැත්වූ රැස්වීමකදී හුආවේට එදිරිව ඇමරිකාවේ මූලිකත්වයෙන් වූ තල්ලුවක් එය සිහිපත් කරයි. එහිදී තීරනය වී ඇත්තේ බටහිරදී 5ජී ජාලයන් ගොඩනැඟීමෙන් හුආවේ සමාගම වැලැක්වීමට ඒකාබද්ධ පියවර ගත යුතු බවයි.

ටයිම්ස් පත්‍රයට අනුව ඇමරිකාවේ ආස්ථානය, සම්ප්‍රධායික අවි වෙනුවට “ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට එතරම්ම අනතුරක් වන, තාක්ෂනය සම්බන්ධ වන නව අවි තරඟයකට ලෝකය පැටලැවී ඇත” යන්නයි. න්යමෂ්ඨික අවි වලට මඳක් පසුපසින් සිටින නමුත් සයිබර් පාලනයක් සහිත වඩාත් බලගතු අවි පිලිබඳ යුගයක, 5ජී අධිකාරය දරන කුමන රටක් හෝ මේ සියවසේ වැඩිහරියක් තුල ආර්ථික හා මිලිටරි ශක්තිය දරනු ඇත.”

ට්‍රම්ප්ගේ ධවල මන්ඳිරයෙහි මේ පිලිබඳ ඒත්තු ගැනීම සැලකිය යුතුය. එය ඇමරිකාවේ මිලිටරිය හා ඔත්තු සේවා සංස්ථාපිතය පුරා ද පැතිර පවතියි. එනම්, “මේ අවි තරඟයේදී එක් ජයග්‍රාහකයෙක් පමනක් සිටිය යුතුය, පරාජිතයා හුදෙකලා කල යුතුය” යන්නයි. ඇමරිකානු සමාගම් වලට චීනයේ ආරම්භකත්වය ඇති මෙවලම් පාවිච්චිය වහාම තහනම් කරන විධායක නියෝගයක් ආන්ඩුව විසින් සූදානම් කෙරෙමින් ඇති බව ලිපිය කියා සිටී. මෙය ආන්ඩුවේ ජාලයන් ආවරන වන පරිදි පනවා ඇති, පවත්නා තහනමට වඩා බොහෝ ඈතට ගමන් කරයි.

ආන්ඩුවේ හා මිලිටරියේ අනසකට යටත්විය හැකි චීන සමාගක් ලෙස සලකීමේ පදනම යටතේ, හුආවේ මත තහනම් පැනවීමට පියවර ගැනීම, එම සමාගම විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි. හුආවේ හා චීන සමාගම් වටා “ආරක්ෂාව පිලිබඳ කථාවක් ගෙතීමේ” උත්සාහය 28දා යුරෝපීය සංඟමයේ චීන තානාපති සැන්ඟ් මින් විසින් හෙලාදකිනු ලැබුවේ, “මඬගැසීමක් හා වෙනස්කම් කිරීමක්” ලෙස ය.

ටයිම්ස් ලිපිය පිලිගන්නා පරිදි, “මේ දක්වා හුආවේ වටා කැරකෙන බිය මුලුමනින්ම න්‍යායාත්මකය.” වත්මන් හා හිටපු ඇමරිකානු නිලධාරීන් “කෙඳිරි ගාන්නේ, චීන කඩාකප්පල්කිරීම් පිලිබඳ සමාගමට එරෙහි රහසිගත වාර් තා, කිසිවක් ප්‍රසිද්ධියට පත්කර නැති” බවටය.

2010 තරම් ඈතදී ජාතික ආරක්ෂක ඒජන්සිය, සමාගම චීන මිලිටරිය විසින් රහසිගතව පාලනය කරන්නේ යයි ඔප්පු කිරීම පිනිස හුආවේ මූලස්ථානය විනිවිදි නමුත් එවන් කිසිවක් සනාථ කරන සාක්ෂි සොයා ගත්තේ නැත. පසුගිය සිකුරාදා වොෂිටන් ටයනිම්ස් වෙත කල ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ ප්‍රකාශය සලකුනු කලේ, වෙලඳ සාකච්ඡා, ඇමරිකාවේ ආර්ථික හා මිලිටරි අධිකාරය පවත්වාගැනීම පිනිස අවශ්‍ය යයි එරට සලකන සියලු පියවර ගැනීමේ පුලුල් තල්ලුව අතර සම්බන්ධයයි.

“ජනාධිපති ට්‍රම්ප් මෙම ආර්ථික ගැටලුව ජයගැනීම තීරනාත්මක වන බව සලකයි. අන් සෑම අයෙකුම පිලිගන්නා නීති වලට අනුව චීනයට ද කටයුතු කිරීමට සලස්වමින්, ආර්ථික වශයෙන් සමතුලිත වීමේ හුදු අයිතිය පමනක් නොව, අනාගතයේදී ද දේශපාලන/මිලිටරි බලයේ අසමතුලිතයන් වලක්වා ගැනීම ද ඊට අයත්ය. මෙම කාරනා දෙකම ඔහුගේ සිතෙහි ඉතා තදින් මුල්බැසගෙන ඇතැයි” බෝල්ටන් පැවසීය.

30දා පැවැත්වෙන වෙලඳ සාකච්ඡා වලදී ඉදිරිපත් කිරීමට නියමිත ආන්ඩුවේ ආස්ථානයෙහි පදනම වන “නීති වලට අනුකූලව කටයුතු කිරීම” යන්නෙහි තේරුම චීනය, ඇමරිකාවේ ආර්ථික අධිකාරය අනිවාර් යෙන් පිලිගත යුතු බවත්, කාර්මික හා තාක්ෂනික වර්ධනය සඳහා වන එරට ක්රිියාමාර්ගය අත්හල යුතු බවත්, ආර්ථික වශයෙන් අර්ධ කොලනියක තත්වය පිලිගත යුතු බවත් ය.

Share this article: