ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාව වැටුප් මත එල්ල කෙරෙන, වර්ධනය වන ප්‍රහාරය පිලිබඳව වාර්තා කරයි

2019 ජුලි 5

International Labour Organization report documents growing assault on wages

ප්‍රාග්ධනයට සහ ඉහල ආදායම් උපයන්නන් හට ධනය ක්‍රමානුකූලව නැවත බෙදී යමින් තිබියදී, ගෝලීය ආදායමෙහි කම්කරුවන්ගේ කොටස පසුගිය දශක දෙක තුල “සැලකියයුතු ලෙස” පහත වැටී ඇති බව ඊයේ නිකුත් කරන ලද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඑල්ඕ) වාර්තාවකින් පෙන්වා දී ඇත.

ගෝලීය වශයෙන් කම්කරුවන්ට ලැබෙන ජාතික ආදායමේ කොටස, 2004 දී සියයට 53.7 සිට 2017 දී සියයට 51.4 දක්වා පහල වැටී ඇති අතර ප්‍රාග්ධනයට ලැබෙන කොටස 46.3 සිට 48.6 දක්වා ඉහල නැඟී ඇත. 2008-2009 මූල්‍ය අර්බුධය අවධියේ හැර මෙය දිගටම පවතින ප්‍රවනතාවක කොටසකි.

කෙසේවෙතත් ශ්‍රමයේ සිට ප්‍රාග්ධනය කරා සිදුවන ධනයේ සමස්ත නැවත බෙදී යාම චිත්‍රයේ කොටසක් පමනි.

වාර්තාවේ වාඩාත්ම අර්ථභාරී ප්‍රකාශ අතරින් එකක් නම්, සමාජ අසමානතාවය පුලුල් වෙමින් ඇත්තේ කෙසේද යන්න පිලිබඳ සඳහනයි. කම්කරුවන්ගේ මැද සියයට හැට ලෙස අර්ථදක්වා ඇති මධ්‍යම ආදායම් උපයන්නන්ගේ වියදමින්, ආදායම ඉහල මට්ටම් වලට මාරු වෙමින් තිබේ. සමස්ත වැටුප් වලින් ඔවුන්ගේ කොටස 2004 දී සියයට 44.8 සිට 2017 දී සියයට 43 දක්වා පහල වැටුනි.

ප්‍රධාන අනාවරනයක් ලෙස වාර්තාව සඳහන් කරන්නේ, “සාපේක්ෂව ගත් කල, ඉහල ශ්‍රම ආදායම් වල වැඩිවීම හමුවේ අන් සියලු දෙනා, විශේෂයෙන්ම මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලාභී කම්කරුවන්, ආදායමේ සිය පංඟුව පහත වැටෙනු අත් විඳින” බවයි.

විශේෂයෙන්ම ප්‍රධාන ආර්ථිකයන්ගේ තත්වය මෙයයි. වාර්තාව සඳහන් කරන ආකාරයට “ඉහල අදායම් ලාභී රටවල් කිහිපයකම 2004 සහ 2017 අතර ශ්‍රම ආදායම බෙදීයාමේ රටාව දැකගත හැක්කේ ‘හොකී පිත්තක’ හැඩයටය. මධ්‍යම සහ පහල මධ්‍යම පාන්තික කොටස් වලට සැලකිය යුතු පාඩු සහ මුදුනේ සිටින්නන්ට වාසි. මෙම රටාව ජර්මනිය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල් තුල දක්නට ලැබේ”

ඉහල ආදායම් උපයන්නන්ට විශාල ආදායම් ද ආදායම් ව්‍යාප්තියෙ අන් සියල්ලන්ටම පාහේ පාඩු සිදුවීම ද සමග ඈඳුනු මෙම රටාව, විශේෂයෙන්ම සියයට 7 සිට සියයට 50 දක්වා පරාසයකට විශාලම පාඩු ගෙන දුන් බව වාර්තාව පෙන්නුම් කරයි. ඉහලම විසමතාව පෙන්නුම් කරනුයේ බි්‍රතාන්‍යයයි. ඉහල ආදායම් උපයන්නන්ට හිමිවූ වැඩිවීම්, ඇමරිකාව සහ ජර්මනිය තුලදී සිදුවූවාට වඩා බ්‍රතාන්‍යයේ “වඩා නිශ්චිත ලෙස පෙනෙන්නට” තිබුනු බව ද වාර්තාව සොයා ගත්තේය.

ගෝලීය පරිමානව ගත් කල, සමස්ත වැටුප් වලින් සියයට 48.9ක් ජනගහනයේ ඉහලම සියයට දහය විසින් ලබා ගත් බවත්, ඊලඟ සියයට දහය සියයට 20.1 ක් ලබා ගත් බවත් ඉතිරි සියයට 80 ලැබී ඇත්තේ සියයට 31.0 බවත් වාර්තාව සොයාගෙන තිබුනි. පහලම සියයට 20 ට ලැබී තිබුනේ මුලු ශ්‍රම ආදායමෙන් සියයට 1ක් පමනි.

වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අයිඑල්ඕ ආර්ථික විද්‍යාඥයෙකු වන රොජර් ගෝමිස් මෙසේ පැවසීය: “ගෝලීය ශ්‍රම බලකායෙන් බහුතරය කැපී පෙනෙන අඩු වැටුප් ලබන අතර බොහෝ දෙනෙකුට රැකියාවක් තිබීම යනු ජීවත් වීමට ප්‍රමානවත් තරම් ආදායමක් ඇතැයි යන්න නොවේ. ලෝකයේ කම්කරුවන්ගෙන් පහල අඩ ලබන සාමන්‍ය වැටුප මසකට ඩොලර් 198ක් වන අතර දුප්පත්ම සියයට 10ට ධනවත්ම සියයට 10 වසරක් තුල උපයන ප්‍රමානය ඉපැයීමට ශතවර්ශ තුනකට වඩා වැඩ කල යුතුය.”

මෙම තත්වය නිර්මානය කිරීමට සාධක ගනනාවක් ක්‍රියාත්මකවී ඇත. පලමුව, ධනපති නිෂ්පාදන මාදිලියේ මූලික වෛශික තර්කනය වන්නේ එක් ධ්‍රැවයක අති විශාල ධනයක් ගොඩ ගැසෙද්දී අනෙක් ධ්‍රැවයේ දරිද්‍රතාවය සහ කාලකන්නිභාවය ගොඩගැසීමය යන කාල් මාක්ස්ගේ විශ්ලේශනය, දශක ගනනාවක් පුරා ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන්ගේ හෙලාදැකීමට ලක්වුන අතර, අයිඑල්ඕ දත්ත මාක්ස්ගේ විශ්ලේෂනය සනාත කර තිබේ.

මෙම තර්කනය, විශේෂයෙන්ම 2008 දී පුපුරා ගිය ගෝලීය මූල්‍ය අර්බුධයේ සිට ලෝකය පුරා ආන්ඩු සහ මූල්‍ය ආයතන විසින් අනුගමනය කරන ලද පිලිවෙත් වලින් ශක්තිමත් වී ඇත.

කොටස් මිලෙහි සහ අනෙකුත් මූල්‍ය වත්කම් වල වටිනා කම ඉහල නැංවීම පිනිස මූල්‍ය පද්ධතියට ඩොලර් ට්‍රිලියන ගනනින් එන්නත් කිරීම, ධනය ඉහල ආදායම් ලාභීන් වෙත මාරු කිරීම සඳහා වන ප්‍රධාන යාන්ත්‍රනයන් ගෙන් එකකි. ජනගහනයේ ඉහල සියයට 10 සඳහා වැටුප් වල වැඩිවීම, මූල්‍ය පද්ධතියේ ඉහල මට්ටමේ සමපේක්ෂන මෙහෙයුම් වල නිරතව සිටින පිරිසගේ ආදායම් වල ඉහල නැගීමට සම්බන්ධය.

එසේම මෙම ආදායම් නැවත බෙදී යාමේ පරතරය තව තවත් වැඩි කිරීමට ආන්ඩු කටයුතු කරමින් සිටියි. ඒ ඉහල ආදායම් උපයන්නන්ට වාසි සලසන බදු කපා හැරීම් හරහාය. ආසන්නතම උදාහරනය වන්නේ, ට්‍රම්ප් පරිපාලනයේ මග පෙන්වීම අනුව, ප්‍රධාන පක්ෂ දෙකේම සහයෝගය ඇතිව, ඊයේ ඕස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව විසින් ධනවතුන් සඳහා සම්මත කරගත් ප්‍රධාන බදු කපා හැරීමයි.

කෙසේ නමුත්, මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ප්‍රධාන මුක්කුව බවට පත්ව තිබෙන්නේ, කම්කරු පන්තියේ විරුද්ධත්වය මර්දනය කිරීමේදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමග එක්ව, කම්කරු සහ වෘත්තීය සමිති විසින් ඉටු කරන භූමිකාවයි. අයිඑල්ඕ වාර්තාව සඳහන් කරන මූර්ත වැටුප් කප්පාදුව, ලෝකය පුරාම, ඊට පලවන විරුද්ධත්වය කඩාකප්පල් කිරීමට සහ මැඬීමට තමන්ට හැකි සියලු දේ කරන වෘත්තීය සමිතිවල කටයුතු සමග සිදු වන්නේය.

මෙය වෘත්තීය සමිති නායකත්වයේ සම්පූර්න යටහත්භාවයේ සහ ද්‍රෝහීත්වයේ නිෂ්පාදනයක් පමනක් නොව -එය පුලුල්ව දැකගත හැකි වුව ද- ජාතිකත්වය මත පදනම් වූ ව්‍යුහය සහ දිශාවනතිය තුල මුල් බැස ගත් වෘත්තීය සමිතිවල ම ස්වභාවයේම නිමැවුමකි.

පසුගිය දශක තුන පුරාවට නිෂ්පාදනයේ සහ මුල්‍යයේ ගෝලීයකරනයට ඔවුන්ගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ, මූර්ත වැටුප් කප්පාදුව සහ ඉහල සූරාකෑමකට පහසුකම් සැපයීම සඳහා වැඩ කොන්දේසිවල වෙනස් කම් පැනවීම හරහා වඩා “ජාත්‍යන්තරව තරඟකාරී” “තමන්ගේම” ධනපති පන්තියක් නිර්මානය කරගැනීමයි. මෙහි ප්‍රතිපල වශයෙන් ඔවුන් පරිවර්තනය වී ඇත. ලාභ පද්ධතියේ රාමුව තුල කම්කරුවන්ගේ වැටුප් සහ කොන්දේසි සීමාසහිතව ආරක්ෂා කල සංවිධානයන්ගේ සිට ප්‍රාග්ධනයේ අනකිරීම් සහ ඉල්ලීම් බලාත්මක කරන ප්‍රධානින් දක්වා ඔවුන් පරිවර්තනය කර ඇත.

කම්කරුවන්ගේ අරගල වෘත්තීය සමිති හරහා මෙහෙයවිය යුතු යයි ද සමාජ වෙනස පැමිනිය හැක්කේ ඇමරිකාව තුල නම් ඩිමොක්‍රටික් පක්ෂය හරහා හෝ අනෙකුත් රටවල නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හරහාය යන මාරක මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීමට වැඩ කොට ඇති සියලුම ව්‍යාජ වාම පක්ෂ විසින්, මෙම භූමිකාවේදී ඔවුන්ට සහය සහ අනුබලය ලබා දී ඇත.

කෙසේ වෙතත් දැන් නව සාධකයක් දර්ශනයට ප්‍රවිෂ්ට වී තිබේ. පාලක පන්තිය විසින් සිදුකරන සහ තීව්‍රකරමින් තිබෙන ප්‍රහාරය පන්ති අරගලයේ නැගීමක් ඇතිකරමින් තිබේ. මෙය ඇමරිකාවේ සහ අනෙකුත් තැන්වල සිදුවන ගුරුවරුන්ගේ සහ අධ්‍යාපනඥයන්ගේ වැඩවර්ජන තුල, ප්‍රන්සයේ “කහබැනියම්” ව්‍යාපාරය තුල, මෙක්සිකෝවේ වෘත්තීය සමිති නිලධරයට එරෙහිව යමින් සිදුකරන වැඩවර්ජන තුල, යුරෝපයේ වැටුප් කැටිකිරීමට එරෙහි වැඩවර්ජන තුල සහ උතුරු අප්‍රිකාවේ මහජන විරෝධතා තුල දක්නට ඇත.

තවමත් ආරම්භක අවධියේ පසුවන මෙම වර්ධනය වන ව්‍යාපාරය මුහුනදෙන තීරානාත්මක ප්‍රශ්නය වන්නේ වැඩපිලිවෙලක් සහ ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීමයි. පලමුවෙන්ම එය පදනම් විය යුත්තේ, සමාජ අසමානතාවය ඉහල නැගීම තුල වඩා පැහැදිලිව පිලිබිඹු වන, කම්කරු පන්තිය මුහුන දෙන සියලුම සමාජ අර්බුදයන්, හටගන්නේ ගෝලීය ධනපති ක්‍රමයේ පද්ධතිමය අර්බුදයක් විසින්ය යන අවබෝධය මතය.

මෙහි අර්ථය වන්නේ ඒවා විසඳිය හැක්කේ, ඒවායේ මූල හේතුව ඉලක්ක කරගත් ඒ හා සමානවම ක්‍රමානුකූල වැඩපිලිවලක් මගින් පමනි යන්නයි. එනම් ලෝකය පුරා කම්කරුවන්ගේ වර්ධනය වන අරගලයන්, ලාභ පද්ධතිය පෙරලා දැමීමට, කම්කරු පන්තිය විසින් දේශපාලන බලය ගැනීමට සහ මෙම අරගලය මෙහෙයවීම සඳහා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමට මෙහෙයවුනු ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කල යුතුයි.

නික් බීම්ස්