2020 එක්සත් ජනපද මැතිවරනය තුල වහල් වන්දි ප්‍රශ්නයක් මතු කරගෙන ඇත්තේ ඇයි?

Why are reparations for slavery being made an issue in the 2020 US elections?

2019 ජුනි 21

ජාතික සමාව ඉල්ලා සිටීමක් ද, වහල් භාවය සඳහා වන්දි ගෙවීමක් සහ අප්‍රිකානු ඇමරිකානුවන්ට එරෙහිව පසු කාලීනව සිදු වූ වාර්ගික සහ ආර්ථික වෙනස්කම් කිරීම ද, පිලිබඳව අධ්‍යයනය කිරීමට හා සලකා බැලීමට කොන්ග්‍රස් කොමිසමක් පිහිටු වීම සඳහා වූ එච්ආර් 40 නමැති පනතක් සඳහා විවාදසම්පන්න විමර්ශනයක් බදාදා ( ජුනි 19 වැනිදා), එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ අධිකරන කමිටුව ඉදිරියේ පැවැත්විනි.

ටෙක්සාස් හූස්ටන්හි ඩිමොක්‍රටික නියෝජිතවරිය වන ෂිලා ජැක්සන් ලී විසින් ඉදිරිපත් කෙරෙනු මෙම පනත 1989 දී හිටපු කොන්ග්‍රස් සභික ජෝන් කොන්යර්ස් විසින් ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබ, දශක තුනක් පුරාම පාහේ සෑම වාර්ෂික සැසිවාරයකදීම ඉදිරිපත් කෙරින. කෙසේ වෙතත් බදාදා සනිටුහන් වූයේ වහල්භාවයට වන්දි ගෙවීම සම්බන්ධිත පනතක් සමස්ථ කොමිටියක් විසින් සලකා බැලූ ප්‍රථම අවස්ථාව ලෙසිනි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි මුල් පිටු සහ කතුවැකි පිටු ඇතුලු මාධ්‍ය මගින් පුලුල් ආවරනයක් සිදු වූවද වන්දි ගෙවීම සඳහා පොදු මනෝගතියේ විශාල උද්ගතයක් නොවීය. ඇත්තෙන්ම, 2018 ජන මත විමසුමකින් අනාවරනය වූයේ ඇමරිකානුවන්ගෙන් යන්තම් සියයට 26ක් වහලුන්ගෙන් පැවතෙන්නන් සඳහා මුල්‍ය වන්දි ගෙවීමට සහය දක්වන බව යි.

සමාජ අසමානතාවය , කම්කරුවන් සහ තරුනයින්ගේ වැඩෙන ව්‍යාපාරයක් ධාවනය කෙරෙන මෙවන් මොහොතක ඩිමොක්‍රටික් පක්ෂය විසින් මෙම විෂය සිතාමතාම ඔජ වඩවනු ලබන්නේ 2020 මැතිවරන ව්‍යාපාරයේ කේන්ද්‍රයටම වර්ගවාදී භේද කිරීම් නික්ෂේපනය කිරීම සදහාය.

පක්ෂයේ ජනාධිපති නාමයෝජනා සඳහා වර්තමානයේ ඉදිරිපත්ව සිටින ඩිමොක්‍රටික නියෝජිත හතර දෙනාගෙන් තිදෙනෙක් වන තුල්සි ගැබැර්ඞ්, එරික් ස්වොල්වෙල් සහ ටිම් රියාන්ගෙ සම අනුග්‍රාහකත්වයෙන් මෙම කොමිසම ගොඩ නගනු ලැබ ඇත. ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු වන මැසචුසෙට්ස්හි හි සෙනේට් සභික එලිසබෙත් වොරන් සහ නිව් ජර්සි හි සෙනේට් සභික කොරි බුකර්ගේ පිටුබලය මෙම පනතට ලැබී ඇත . බදාදා විමර්ශනයේ දී කරුනු දැක් වූ ප්‍රථමයා වූයේ බුකර් ය.

මෙම කොමිසමට වරප්‍රසාදිත ඉහල මධ්‍යම පන්තික අප්‍රිකානු ඇමරිකානුවන්ගේ හරස්කඩක් ඇතුලත් ය. මෙයට වන්දි ගෙවීම් වෙනුවෙන් කථා කල බරක් ඔබාමාගේ ප්‍රබල ආධාරකරුවකු වන ලේඛක ටා-නෙසි කෝට්ස්ගේ සිට සමාජවාදය සහ මාක්ස්වාදය හෙලා දකිනා මහා හෑල්ලක් ඉදිරිපත් කරමින්, අන්ත දකුනින් වන්දි ගෙවීමට එරෙහි වීමට කාලය වැය කල විශ්‍රාමික පාපන්දු ක්‍රීඩකයකු වන බුර්ගෙස් ඕවන්ස් දක්වාවූ අය ඇතුලත් වෙති.

මෙම ඉල්ලීමට කරගසා ඇති මොවුන්ගෙන් කිසිවකු කෙසේ වත් ආමන්ත්‍රනය නොකල සංකීර්න දේශපාලන සහ ආර්ථික ප්‍රශ්න වන්දි ගෙවීම් සඳහා කෙරෙන කැඳවුම විසින් මතු කෙරෙයි.

වහලා, ස්වමියාගෙ තනි පූර්න අයිතියට යටත් පුද්ගලික භාන්ඩයක් ලෙස සැලකූ (chattel slavery ලෙස හඳුන්වන) මෙම ‘අරුමැති සංස්ථාවෙන්’ ඉතිරිව ඇති ජිවමාන පුද්ගලයන් නැති තතු තුල එය නීත්‍යානුකුල වන්දි වල රාමුව තුල කිසිසේත් පිහිටවිය නොහැකිය. එවන් වන්දි ගෙවන්නේ කෙසේ ද ? කවුරුන් විසින් ද ? වහල් හිමියන්ගෙන් කෙලින්ම පැවතෙන්නන් විසින් ද ? වහල් ක්‍රමය පැවැති සමයේ එක්සත් ජනපදය තුල තම මුතුන්මිත්තන් ජිවත්ව සිටි අය විසින් පමනක් ද? සියලු සුදු ජාතිකයන් විසින් ද ? නැතහොත් එය සමස්ත සමාජයෙන් මිරිකා ගත යුතු ද ?

තවදුරටත්, වහල්භාවය සඳහා වන්දි ලබා ගැනීමට සුදුසුකම් ඇත්තේ කාහටද යන්න තීරනය කිරීම සඳහා යොදා ගන්නේ කුමන අන්දමේ යාන්ත්‍රනයක් ද? වර්ගයට ජීව විද්‍යාත්මක පදනමක් නොමැති බැවින් වන්දි ගෙවීම් සඳහා උනන්දු යෝජකයින්, කල්ලෙක් වන්නේ කවරකුද යන්න නිර්නය කිරීමට දකුනේ (ඇමරිකාවේ දකුනෙහි ) ප්‍රචලිතව පැවැති වර්ගවාදී “එක බිඳුවක්” නීතිය ("one drop˜"rule - කළු ලේ එක බිඳුවක් හෝ පරම්පරාවේ ඇත්නම් එවැන්නෙක් ‘කල්ලෙකි’) කරා ආපසු ලුහුටා යනවාද? එසේ නැතිනම්, තමන් සුදු ජාතිකයින් ලෙස හදුන්වා ගන්නාවුත් එම නිසාම අනුමානිතව “සුදු ජාතික වරප්‍රසාද” වලින් ප්‍රතිලාභ ලබන්නාවුත් අප්‍රිකානු මුතුන්මිත්තන්ගෙන් පැවතෙන ඇමරිකානුවන්ට වන්දි ගෙවීමට ඔවුහු එරෙහි වනු ඇත්ද?

එපමනක් නොවේ, වන්දි ලැබියයුත්තේ අප්‍රිකානු ඇමරිකානුවන් ට පමනක් ද ? එක්සත් ජනපදය පිලිබඳ කතාව වනාහී, අයර්ලන්ත, චීන, ජර්මානු ජාතිකයන්ගේ සිට ඉතාලි සහ යුදෙව්වන් දක්වා, කම්කරු පන්තියේ සියලු ජන කොටස්වල ජනයා ගනන් නැති බෙදවාචකයන්ට සහ ඓතිහාසික අයුක්තින්ට භාජනය කලාවූ ඉතිහාසයකි. සත්තකින්ම, සිය ඉඩම් සොරාගනු ලැබද, මහ ආන්ඩුව සමගවූ ගිවිසුම් නිරන්තරව උල්ලංඝනයට භාජනය වූද දේශජ ඇමරිකානු ගෝත්‍ර බොහෝය . ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තවමත් ඉතා දුර බැහැර රක්ෂිතයන් තුල ජීවත්වන අතර, ඔවුහු අප්‍රිකානු අමෙරිකානුවන්ටත් වඩා වැඩි මට්ටමකින් දුප්පත් කම ද පොලිස් ප්‍රචන්ඩත්වයද අත්විඳිමින් සිටිති.

වන්දි ගෙවීම්වල යෝජකයෝ වර්ගය, සකල අමරිකානු ඉතිහාසය වටහා ගැනීමේ සාරභුත රාමුවේ අතිමුලික ප්‍රවර්ගය බවට, පරිවර්තනය කර ගනිති. වහලා ස්වමියාගේ භාන්ඩය ලෙස සලකන මෙම වහල් ක්‍රම විශේෂය, චිරස්ථායි “ධවල ආධිපත්‍යයේ” හුදෙක් එක් තනි අවස්ථවක් ලෙස දැකගනු ලැබ, ජනවාර්ගික පීඩනයේ ම තවත් රූප ලෙස, ජිම් ක්‍රෝ ජනවර්ග වියෝජනය, නිවාස අසාධාරනය හා වර්තමාන මහා පරිමාන සිරබන්දන ලෙස, සිවිල් යුද්ධයෙන් පසු නිරායාසයෙන්ම පවත්වා ගෙනයනු ලැබ ඇත.

ඇත්තෙන්ම, වහල්ක්‍රමය වනාහි, අප්‍රිකානු මහාද්වීපයේ හදවතේ සිට කැරිබියානු උක් ගොවිපොලවල් ද මහා බ්‍රිතාන්‍යයේ නැව් තටාකාංගන දක්වා ද ගෝලීයවූ ව්‍යාප්තියක් පැවති සමාජ-ආර්ථික සූරාකෑමේ ක්‍රමයකි. දෙවැනි ඇමරිකානු විප්ලවය වූ මහා සිවිල් යුද්ධයකින් පසු වසර 150කට ත් පෙරාතුව එක්සත් ජනපදය තුල මෙය අහෝසි කෙරිනි.

වන්දි ගෙවීම් ගැන ඔජවඩවන්නවුන් සත්‍යය ඓතිහාසික අත්දැකීම් කෙරෙහි මුලුමනින්ම උදාසීනතාවය ප්‍රදර්ශනය කරති. කම්කරු පන්තිය තීරනාත්මක භූමිකාවන් සිදු කල සිවිල් යුද්ධයේ වැදගත්කම ඔවුහු නොතකා හරිමින් ඉවත දමති. වහලුන්ගේ නිදහස වෙනුවෙන් දිවි පිදූ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් වහල්කමට එරෙහි දෘෂ්ඨිවාදාත්මක සහ දේශපාලනික අරගලයකින් උත්තේජනය ලැබුවාවූ සුදු ජාතිකයන් වූහ.

එකල සිටි වඩාත්ම දියුනු දේශපාලන චින්තකයෝ ධනවාදයට එරෙහි කම්කරු පන්තික ව්‍යාපාරයේ ප්‍රගමනය හා වහල්භාවය නැති කිරීම හා එහි පැවැති අති මූලික සබඳතාවය ද ගැන අවබෝධ කරගෙන සිටියහ. කාල් මාක්ස් ප්‍රාග්ධනය කෘතියේ සඳහන් කලේ: “ජන රජයේ කොටසක් වහල්භාවය විසින් විකෘතිකර තිබෙනතාක් කම්කරුවන්ගේ සෑම ස්වාධීන චලනයක්ම පක්ෂාඝාත වී තිබුනි. කලු හමෙහි හංවඩුව පවතිනතාක් සුදු හම තුල පවතින ශ්‍රමයට තම විමුක්තිය සලසා ගත නොහැක.”

සිවිල් යුද්ධයෙන් ඉක්බිත්තේ අප්‍රිකානු ඇමරිකානුවන් කෙරෙහි මර්දනය, නවීන ධනවාදයේ වර්ධනයට සහ පන්ති අරගලයට බද්ධ වී තිබින. සුදු ජාතික සහ කලු ජාතික කම්කරුවන් බෙදීම සඳහා ප්‍රභූන් සහ වාචාලයෝ වර්ගවාදය සිතා මතාම ඇවිලවූහ. කලු ජාතික සහ සුදු ජාතික කම්කරුවන් ද අඳ ගොවියන් ද අතර බෙදීම් බලාත්මක කිරීම උදෙසා කූ ක්ලැක්ස් ක්ලෑන් වැනි කන්ඩායම් විසින් ත්‍රස්තවාදී සහ අනීතික ඝාතන ව්‍යාපාර දියත් කෙරින.

සියලු දෙනා සඳහා නෛතික සමානතාවය බලාත්මක කිරීමේ සටනට කලු ජාතිකයින් සහ සුදු ජාතිකයින් එක්සත් කරනා මහජන ව්‍යාපාරයක් ලෙෂ 1950 දශකයේදීත් 1960 දශකයේදීත් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය වර්ධනය විය. තම ජීවිතයේ අවසන් භාගයේ දී මෙම ව්‍යාපාරයේ එක් නායකයෙක් වූ කනිෂ්ඨ මාටින් ලූතර් කිංග්, ජනවාර්ගිකත්වය නොතකා සියල්ලන් වෙනුවෙන් ආර්ථික යුක්ති සාධාරනත්වය බලකර ඉල්ලීම පිනිස දුගී ජනතා පෙලපාලියක් (Poor Peoples March) සඳහා කැඳවුම් කලේය.

ඒ කෙසේ වෙතත්, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ අවසානයේ පටන් ගතවූ අර්ධ ශතකය තුල, අප්‍රිකානු ඇමරිකානු කම්කරුවන් මුහුන දෙන සමාජ ගැටලු, සමස්ථයක් ලෙස කම්කරු පන්තියේ එවායින් වෙන් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය විසින් අති මහත් පරිශ්‍රමයක් දරනු ලැබ ඇත. ඇෆමේටිව් ඇක්ෂන් (Affirmative Action - සුලු ජන කන්ඩායම් වලට යම් වාසි ලබාදීම) වැනි ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක වශයෙන් පහල ජන කන්ඩායම් සඳහා අති විශාල සමාජ විනාශයත්, කලු ජාතික මිලියන පතියන් සහ බිලියනපතියන්ගේ තුනී තට්ටුවකට ධනවත් සමෘද්ධියත් ගෙන දී ඇත.

ඇමරිකානු සමාජයේත්, සමස්ථයක් වශයෙන් ලෝක ධනවාදයේත්, අති මූලික බෙදුම් රේඛාව වන්නේ වර්ගය, ජාතිකත්වය හෝ ලිංග භේදය නොව පන්තියයි. “වත්මන් සුදු ජාතික විරැකියා රේට්ටුව මෙන් දෙගුනයක රේට්ටුවක් ද; සුදු ජාතික පවුල් සතු සම්පත් වල සාමාන්‍ය යට වඩා 1$16 ටත් අඩු තත්වයක්ද සහිතව, කාලයත් සමග වැඩිදියුනු නොවූ නමුත් වඩා නරක බවට හැරුනු විෂමතාවයන්”, අප්‍රිකානු ඇමරිකානුවන්ට ඇති බව වන්දි පනත සඳහන් කරයි. අප්‍රිකානු ඇමරිකානුවන් අතර පවතින පන්ති පරතරය ගැන හෝ සුදු ජාතික ඇමරිකානුවන් අතර පවතින පන්ති පරතරය ගැන හෝ මෙය කෙසේවත් සඳහන් නොකරයි. පොහොසතුන් සහ කම්කරු පන්තිය අතර ධන අසමානතාවය වෙන කවරදාටත් වඩා වැඩිය, සමෙහි පාට කුමක් වූවත් මෙය සෑම දෙනෙකුටම පොදුය.

අප්‍රිකානු ඇමරිකානුවන් මුහුන දෙන අති මූලික ගැටලු - විරැකියාව, දුගීකම, නය බර, වැටුප් සහ සෞඛ්‍ය රැකවරනයට එල්ල වන ප්‍රහාර, පොලිස් ප්‍රචන්ඩත්වය, යුද්ධය - වනාහි , සුදු ජාතික සහ කලු ජාතික කම්කරුවන් ද, සංක්‍රමනිකයින් මෙන්ම භූමියෙහි උපත ලැබූවන්ද වශයෙන් සියලු කම්කරුවන් සමානව මුහුන දෙමින් සිටින ප්‍රශ්නම වෙයි. මෙම තත්වයන් යටතේ, එක් හෝ තවත් ජන කන්ඩායමකගේ සෙත සැලසීම සඳහා සමාජ වැඩ පිලිවෙලක් යෝජනා කිරීම පිලිකුල් සහගත ය.

මූල්‍ය වන්දි සඳහා ඉල්ලීම් දැමීම තුල පවතින්නේ මූල්‍ය සෝලියක අප්‍රසන්න දුර්ගන්ධයයි. කෝට්ස් සහ බුකර් වැන්නවුන් කථා කරන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් නොව, සමාජය මුදුනේ සම්පත් වඩාත් සාධාරනව බෙදී යා යුතු බවට උත්සුක වී ඇති ඉහල මධ්‍යම පන්තියේ ස්ථරයක් වෙනුවෙනි. කොන්ග්‍රස් මන්ඩලය තුල කෙදිනක හෝ වාර්ගිකව වන්දි ගෙවීමේ වැඩ පිලිවෙලක් අනුමත වන්නේ නම්, යමෙකුට ස්ථිර සාරව දැකිය හැක්කේ එයින් ප්‍රතිලාභ ලබන්නේ ඉහල මධ්‍යම පන්තික අප්‍රිකානු ඇමරිකානුවන් බවත් මේස පල්ලෙන් වැටෙන කටු ටික පමනක් කම්කරුවන්ට ලැබෙන බවත් ය.

එපමනක් නොව, මෙයට දේශපාලන සෝලියක පැහැදිලි ලක්ෂන පවතී. ජාත්‍යන්තර පරිමානව වැඩෙන කම්කරු පන්තියේ අරගල යටතේ, මෙහි අරමුන වන්නේ කම්කරුවන් එකිනෙකා අතර කාකොටා ගැනීම් අවුලවමින්, වර්ගවාදය ඇතුලු සමස්ථයක් ලෙස කම්කරු පන්තිය මුහුන දෙන සියලු දෝෂයන්ගේ මුල ඇති සමාජ සහ ආර්ථික ක්‍රමය වන ධනවාදය ආරක්ෂා කර ගැනීමයි. මේ අනුව සංක්‍රමන විරෝධී වර්ගෝත්තමවාදයට ෆැසිස්ට් තාලයෙන් ආයාචනය කරන ට්‍රම්ප්ගේ කාර්යයට සමාන කාර්යයක් එමඟින් ඉටුවේ.

සමාජවාදී සමානතා පක්ෂය මෙම වන්දි ගෙවීම් වලට සහය නොදක්වයි. අව්‍යාජ සමානතාවය සඳහා අරගලය තුල කම්කරු පන්තිය එක්සත් කිරීමට එය සටන් කරයි. පොහොසතුන්ගේ ඒකාධිකාරයට ලක් කොට ඇති අති දැවැන්ත සම්පත් අස්වාමික කල යුතු අතර පුද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතාවය මත පදනම් වී ගත් ප්‍රජාතන්ත්‍රීයව පාලනය වන ආයතන බවට යෝධ සංගත පරිවර්තනය කල යුතුය. මෙය වනාහි එක්සත් ජනපදය සහ ලෝකය පුරා සමාජවාදය සඳහා සටනයි.

නීල්ස් නීමුත්