සරනාගතයින්ට එරෙහි ගෝලීය යුද්ධය

The global war on refugees

2019 ජූලි 3

පසු ගිය සති දෙකේ සිදුවීම් මාලාවක් ලෝකය පුරා ධනේශ්වර ආන්ඩු විසින් සරනාගතයින්ට එරෙහි ක්‍රමානුකූල අපසැලකිල්ල හා අනුකම්පා විරහිත වධදීමට එරෙහිව මහජන කෝපය අවුලුවා ඇත.

ඉතාලි ආන්ඩුව හා එහි ෆැසිස්ට්වාදී අභ්‍යන්තර ඇමති මටේඕ සල්විනී විසින් සී වොච් 3 නම් සරනාගතයින් බේරා ගැනීමේ නෞකාවේ ජර්මානු මුහුදු කපිතාන්වරිය වන 31හැවිරිදි කාරොලා රැකෙට් සෙනසුරාදා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සියදහස් ගනනක් පුද්ගලයන් තම විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. වාර්තා වන පරිදි රැකෙට්ගේ “අපරාධය” වන්නේ මධ්‍යධරනී මුහුදේ අතරමං වූ, ගැබිනි කාන්තාවන් හා ලමුන් ඇතුලුව, අප්‍රිකානු සරනාගතයින් 52කු බේරා ගැනීම හා ලැම්පෙඩූසා නම් ඉතාලි භූමිභාගයට ඔවුන් ආරක්ෂාකාරී ලෙස රැගෙන ඒම යි.

සති දෙකක් තිස්සේ, සී වොච් නම් නැව ගොඩ බැසීමට සුදුසු යුරෝපා සංගම් වාරයක් සොයා මධ්‍යධරනී මුහුද ඔස්සේ යාත්‍රා කර තිබුනි. ප්‍රන්සය, ජර්මනිය හා ස්පාඤ්ඤය ඇතුලු යුරෝපා සංගම් ආන්ඩුවක් දුසිම් කීපයක සරනාගතයින් පිලි නොගත්තේ, මුහද හරහා සරනාගතයින් පැමිනීමට එරෙහි ඉතාලි ආන්ඩුවේ නීති විරෝධී තහනම නො තකා ලැම්පෙඩූසා භූමියට ගොඩ බැසීම හැර වෙනත් විකල්පයක් නාවික කන්ඩාමට නොමැතිවූ තතු තුලය.

පසු ගිය රාත්‍රියේ ඉතාලි විනිශ්චයකරාවරුන් විසින් රැකෙට් නිදහස් කිරීමට නියෝග කිරීම ඈ වෙනුවන් කම්කරු පන්තිය තුල දැවැන්ත සහයෝගයේ අතිමහත් ප්‍රකාශනයට දැක් වූ ප්‍රතිචාරයකි. ඊයේ වන විට, ජර්මානු විකට නලුවෙකු විසින් සී වොච් නෞකාවේ නීතිමය කටයුතු සඳහා අරඹන ලද අරමුදලට යුරෝ 800,000ක් එකතු වීතිබූ අතර වෙනත් ෆෙස්බුක් අරමුදලක්, 25,000ට වඩා ආධාරකරුවන්ගෙන් යුරෝ 400,000ක් එකතු කර තිබුනි. රැකෙට් වහාම නිදහස් කිරීම ඉල්ලා සිටි පෙත්සමකට 330,000ට වඩා පුද්ගලයෝ අත්සන් තැබූහ.

කෙසේ නමුත්, ඉතාලි තීරනය සරනාගතයන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන සියලු අය වෙත එල්ල කෙරෙන කඩාපැනීම්වලින් මොන ම ආකාරයක හෝ පසු බැසීමක් නො වේ. රැකෙට් ඉතාලියෙන් පිටමං කිරීමට නියමිත අතර නීතිමය තර්ජනයට මුහුන දී සිටි. මිනිසුන් 14,000ක් බේරා ගත් ලුවෙම්පා නැවේ කපිතාන් පියා ක්ලෙම්ප්ට ඉතාලිය චෝදනා එල්ල කර ඇත, “නීති විරෝධී සංක්‍රමනිකයන්ට ආධාර හා අනුබල දීම” වෙනුවෙන් ඇය 2017දී අත්අඩංගුවට ගැනුනි. ඇය විසිවසරක සිරදඬුවමකට මුහුන දී සිටියි.

අශික්ෂිත කුහකත්වය සමගින්, ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති ෆ්‍රෑන්ක් වෝටර්-ස්ටේන්මීයර්, හා ප්‍රන්ස අභ්‍යන්තර අමාත්‍ය ක්‍රිස්ටෝපර් කැස්ටනර් ඇතුලු, යුරෝපීය නිලධාරීහූ, මෘදු ලෙස සල්විනී විවේචනය කර සරනාගතයන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලති. ජර්මනිය හා ප්‍රන්සය පෙරමුනේ ඇතිව, කටුකම්බි හා මැෂින් තුවක්කුවලින් “බලකොටු යුරෝපය” ගොඩනගා, මධ්‍යධරනී මුහුදේ ගැලවීමේ මෙහෙවර අවසන් කර, හා යුරෝපීය දකුනු මුහද දැවන්ත සුසානභූමියකට හරවා ඇත්තේ යුරෝපා සංගමය බව සැවොම දනිති. සල්විනී හුදෙක් ඉතා නොසැලකිල්ලෙන් හා කෘර ලෙස ප්‍රකාශ කරන්නේ සමස්ත යුරේපා සංගමයේ ප්‍රතිපත්තිය යි.

2015දී, යුරෝපා සංගමය “ටි්‍රට්‍රොන් මෙහෙයුම” නිවේදනය කලේ, යුරෝපයට පලා එන සරනාගතයින් අල්ලා, වධහිංසා, ලිංගික අපචාර, ඝාතන හා සරනාගතයින් වහල්කමට විකිනීම පිලිබඳ ලේඛන ගත සාක්ෂි ඇති, ලිබියාවේ වද කඳවුරුවලට හරවා යැවීමට වෙරලාරක්ෂකයින් ලෙස ලිබියානු මිලීෂියා කන්ඩායම් පුහුනු කරන අතර ය. යුරෝපා සංගමය තම ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කල අතර, මානහිතවාදී රාජ්‍ය නොවන සංවිධානවල නාවික භටයින් හා කපිතාන්වරුන්ට නඩු පවරා ඇති අතර ඔවුන්ගේ නැව් පැදවීමේ අයිතීන් අහෝසි කර ඇත.

පසු ගිය වසර තුනේ දී, යුරෝපයට ලඟාවීමට උත්සාහ කරමින් අඩු වසයෙන් පුද්ගලයන් 14,000ක් මධ්‍යධරනී මුහුදේ ගිලී ඇත. සරනාගතයින්ට පක්ෂ කමාන්ඩෝ ෆ්‍රොන්ටේරාස් නම් ස්පාඤ්ඤ සංවිධානය විසින් පසු ගිය සතියේ ප්‍රකාශ කෙරුනු වාර්තාවක් නිගමනය කලේ, 2018 ජනවාරි මස සිටි 2019 ජූනි දක්වා, මොරොක්කෝව හා ස්පඤ්ඤය අතර ජිබ්‍රෝල්ටා සමූද්‍රසන්ධියේ දී පමනක් නැව් බිඳීයාම්වල අඩු වසයෙන් පුද්ගලයන් 1,020ක් ගිලී ගොස් ඇති බව යි.

1930 ගනන්වල ජාත්‍යන්තර වසයෙන් ආන්ඩු නාසි තන්ත්‍රයෙන් පලා යමින් සිටි යුදෙව්වන් ආසන්න වසයෙන් නිශ්චිත මරනයට ඇද දැමීමෙන් වසර 80ට පසු, යුරෝපා සංගමය ජන ඝාතක ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ සරනාගතයින්ට පනිවුඩයක් දීමට ය: යුරෝපයේ ආරක්ෂාව පැතීමේ නීත්‍යානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාවිච්චි කිරීමට උත්සාහ ගැනීම දියේ ගිලී මියයමාට මග පාදනු ඇත.

එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් පාලනාධිකාරිය රට තුල හා මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ සංක්‍රමනික කඳවුරු ජාලයක් නිර්මානය කර ඇත. ඒවායේ තත්වයන් ඉතාමත් නින්දා සහගත වන අතර, පසු ගිය සතියේ ටෙක්සාස් ජනපදයේ ලමුන් රඳවා සිටින මධ්‍යස්ථානවලට ඇවිද යන වෛද්‍ය ලුසියෝ සේවියර් පැවසුවේ ඒවා වඩා සමාන වන්නේ “වධක මධ්‍යස්ථානවලට” බව යි.

ඊයේ, ඩෙමොක්‍රටික් සෙනෙට් සභික ඇලෙක්සැන්ඩ්‍රා - ඔකෑසියෝ කොර්ටේස් ටෙක්සාස් ප්‍රාන්තයේ සමහර රැඳවුම් කඳවුරුවලට ගිය ගමනක් වාර්තා කලා ය. මෙම කඳවරු තුල බීමට ජලය නොමැතිව කාන්තාවන් රඳවා සිටින අතර වැසිකිලිවලින් බීමට ගන්නා ලෙස දේශසීමා රැකවල්ලු කියති. ඊට දවසකට පෙර, ප්‍රෝපබ්ලිකා නම් ලාභ නො ලබන සංවිධානයක් විසින් රහස් ෆෙස්බුක් කන්ඩායමක් හෙලිදරව් කල අතර, එය තුල ෆැසිස්ට්වාදී දේශසීමා මුරකරුවෝ සංක්‍රමනිකයන්ට එරෙහිව ප්‍රචන්ඩ විහිලු මෙන් ම ඇගේ සංචාරයට පෙර කොර්ටෙස්ට එරෙහිව ලිංගික තර්ජනයන් ද විසුරාවා හැරියෝ ය.

ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී සංක්‍රමනික ප්‍රතිපත්තියට එරෙහි මහජන පිලිකුල හා විරුද්ධත්වය ප්‍රකාශ කෙරුනේ “නෙවර් අගේන් මීන්ස් නව්” යනුවෙන් ගයමින් ඉරිදා නිව් ජර්සි ප්‍රාන්තයේ අයිසීඊ (සංක්‍රමනික හා රේගු බල ගැන්වීම්) රැඳවුම් කඳවරු පිටත ඇමරිකානු යුදෙව්වන් 200ට වඩා පැවත් වූ පෙලපාලිය තුල ය. එහි දී තිස්හයදෙනෙකු අත්අඩංගුවට ගැනුන අතර, අත්අඩංගුවට ගත් එක් විරෝධය දක්වන්නියක් තමන්ට “යහපත්” යැයි දැනුන බව වාර්තා කලේ, නාසීන්ට එරෙහිව සටන් කල ඇගේ ආච්චි හා සීයාට “සරානාගත කඳවුරුවලට එරෙහිව තමන් නැගී සිටීම ඕනෑ වෙන්නට ඇත” යි පවසමිනි.

සරානාගතයන් මත ගෝලීය ප්‍රහාරය යුරෝපය හා ඇමරිකාවට වඩා බොහෝ ඈත විහිදෙයි. ජූනි 27වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔස්ටේ්‍රලියානු ලේබර්/ලිබරල් සභාග ආන්ඩුව හා ලේබර් පක්ෂ විරුද්ධ පාර්ශ්වයේ සංක්‍රමන විරෝධි ප්‍රතිපත්තිවලට ප්‍රශංසා කලේ ය. ඕස්ටේ්‍රලියාවට ලඟාවීමට උත්සාහ කරමින් සිටින සියලු සරනාගතයන්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින්, අතර මග දී නැවැත් වීමට හා බාධා කිරීමට මිලිටරිය උපයෝගී කර ගන්නා ඔපරේෂන් සවරීන් බෝර්ඩර්ස් නම් ඒජන්සියේ සංක්‍රමනික විරෝධී ප්‍රතිපත්තිවලට ට්‍රම්ප් ප්‍රශංසා කලේ ය.

සරනාගතයින්ට එරෙහි ප්‍රහාර ජගත් ක්‍රියාදාමයක් ය යන කාරනය පෙන්වන්නේ එය ට්‍රම්ප් හා සැල්විනී වැනි තනි තනි දේශපාලඥයින්ගේ ෆැසිස්ට්වාදී පුද්ගලිකත්වය නිසා ඇති වන්නක් නො වන බව යි. එය විශේෂයෙන් ම ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික බිඳ වැටීමේ නින්දිත ප්‍රකාශනයකි. පිරිමි, ගැහනු හා ලමයි මිලියන ගනනාවක් එක්සත් ජනපදය හා යුරෝපා සංගම් අධිරාජ්‍යවාදී සහචරයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන, මැද පෙරදිග හා අප්‍රිකාවේ සියවස් කාලක යුද්ධයේ දී ඇති කෙරුනු සමාජ බිඳවැටීම් හා සමූහ ඝාතනයන්ගෙන් පලා යමින් සිටිති.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කවර කලකටත් වඩා අද සරනාගතයෝ විසිරී සිටිති. පසු ගිය සතියේ ප්‍රසිද්ධ කෙරුනු එක්සත් ජනපද වාර්තාවක් ප්‍රකාශ කලේ ලෝකය පුරා බලාත්කාරයෙන් අවතැන් කෙරුනු පුද්ගලයන් සංඛ්‍යාව 2009 මිලියන 43.3 සිට 2018 මිලියන 70.8ක් දක්වා ආසන්න වසයෙන් දෙගුන වී ඇති බව යි. 2018 සෑම මිනිත්තුවක දී ම පුද්ගලයන් 25ට තම නිවාසවලින් පලායාමට බල කෙරුනි. මනුෂ්‍ය වර්ගයාගේ යන්තම් සියයට 1ට අඩු, සෑම පුද්ගලයන් 108දෙනෙකුට එක් අයෙක් සරානාගතයෙකි.

1940දී, යුරෝපයේ ෆැසිස්ට් තන්ත්‍ර විසින් යුදෙව් සංහාරයේ “අවසන් විසඳුම” දියත් කිරීමට වසර දෙකකට පෙර, ශ්‍රේෂ්ට රුසියානු විප්ලවවාදියෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවූයේ ය: “අද පරිහානියට පත් වෙමින් තිබෙන ධනේශ්වර සමාජය එහි සියලුම සියුම් සිදුරුවලින් යුදෙව් ජනයා මිරිකා ගැනීමට උත්සාහ ගනිමින් සිටී; ලෝකයේ බිලියන දෙකක් වන ජනතහනයෙන් මිලියන දාහතකට, එනම් සියයට 1ට අඩු, පුද්ගලයන්ට, අපගේ ග්‍රහලෝකයේ තැනක් සොය ගැනීම අපහසු ය! පෘතුවිය හා මිනිසා වෙනුවෙන් අවකාශය මෙන් ම භූමියද අත්පත් කර ගෙන ඇති, තාක්ෂනයේ ආශ්චර්යයන්ගේ දැවන්ත ව්‍යාප්තිය මධ්‍යයේ, ධනේශ්වරය අපගේ ග්‍රහලෝකය දූෂිත හිරගෙයකට හැරවීමට සමත් වී ඇත.”

අද, ධනේශ්වර ආන්ඩු, ගෝලීය පර්යායේ ගැඹුරු වෙමින් තිබෙන අර්බුදයට හා වැඩිවෙන දේශීය දේශපාලන විරුද්ධත්වයට මුහුන දෙමින්, 1930ස් ගනන්වල ෆැසිස්ට්වාදී දක්ෂිනාංශය විදහා දැක්වුනු ජාතිකවාදී හා විදේශික භීතියේ ආදර්ශයන් ප්‍රචාරය කරමින් සිටී. පොදුවේ දුෂ්ට සංක්‍රමන විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කිරීම ලෝකය පුරා පාලක ප්‍රභූව විසින් අන්ත දක්ෂිනාංශය පුනුරුත්තාපනය කෙරෙමින් තිබෙන මාධ්‍යයන් ය.

1930ස් ගනන්වල යුදෙව් විරෝධය මෙන් ම, සරනාගතයින්ට එරෙහිව එල්ල කෙරෙන අධිපතිවාදී පියවරයන් සමස්තයක් වසයෙන් එල්ල කෙරෙන්නේ කම්කරු පන්තියට එරෙහිව යි. සරනාගතයින්ට එරෙහිව අද යොදා ගන්නා සරනාගත කඳවුරු හෙට යුද්ධය හා මිලිටරිවාදය, කප්පාදු හා සමාජ අසමනාතාවට එරෙහි කම්කරුවන් හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව යොදා ගනු ඇත.

කම්කරු පන්තිය තුල සරනාගතයින් වෙනුවෙන් තිබෙන බලගතු සහාය බලමුලු ගැන්විය හැකිවාක් මෙන් ම බලමුලු ගැන්විය යුතු ය. ම්ලේච්ඡත්වයට හා යුද්ධය වෙත යලිඇරඹෙන නැවත හැරීම වැලක්වීමේ එකම මාධ්‍ය වන්නේ සරනාගතයින්ට හතුරු ෆැසිස්ට්වාදී ප්‍රහාරයන්ට එරෙහි විරුද්ධත්වය දැනුවත් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීම යි. මෙහි අර්ථය වන්නේ ධනවාදය විසින් ඇති කෙරුනු සමාජ අර්බුදය සඳහා සංක්‍රමනිකයන් බිල්ලට දීමේ උත්සාහයන් ප්‍රතික්ෂේප කිරීම හා සෑම කම්කරුවෙකුට ම තමන් කැමති තැනක ජීවත් වීමට ඇති අයිතිය - සංචාරය කිරීමට හා වැඩ කිරීමට ඇති අයිතිය ඇතුලුව, සම්පූර්න පුරවැසි අයිතීන් ආරක්ෂා කිරීම යි.

සංගත කතිපයාධිකාරයේ පාලනයෙන් සමාජයේ සම්පත් නිදහස් කර ගත හැක්කේ ද දරිද්‍රතාව හා මර්දනයෙන් නිදහස්, ලෝකයේ සෑම පුද්ගලයෙකුට ම ඉහල ජීවන තත්වයක් සහතික කල හැකි වන්නේ ද කම්කරු පන්තිය ජාත්‍යන්තර වසයෙන් බලය ගැනීමෙන් පමනකි.

විල් මොරෝ