ජූලි හතර 2019: මිලිටරිවාදය සහ ආඥාදායකත්වයේ අවතාරය

Fourth of July 2019: Militarism and the specter of dictatorship

2019 ජූලි 4

විදේශීය අනතුරට එරෙහි ආරක්ෂාවීමේ මාධ්‍යයන් සෑම විටම රටතුල ප්‍රජාපීඩනයේ උපකරන වී ඇත. කැරැල්ලක සැකයක් මතු වූ ඕනෑම අවස්ථාවක යුද්ධයක් ඇවිලවීම රෝමානුවන් අතර ස්ථාවර ආප්තෝපදේශයක් විය. යුරෝපය පුරාම, ආරක්ෂාව සැපයීමේ කඩතුරාව යටතේ පවත්වා ගත් හමුදාවන් මහ ජනතාව වහල්භාවයට පත් කර ඇත. (ජේම්ස් මැඩිසන්, ජුනි 1787)

ජූලි හතර නිවාඩුව (ඇමරිකානු නිදහස් දිනය) වන අද දින වොෂින්ටනයේ පැවැත්වීමට නියමිත නිල උත්සවය, පෙරනුවූ විරූ හමුදා සහභාගිත්වයකින් සංලක්ෂිත පසුබිමක් යටතේ, තම ප්‍රධාන මැතිවරන උද්ඝෝෂන අරමුදල් ආධාරකරුවන් ද ඇතුලු දේශපාලනික සබඳතා සහිත ප්‍රභූ ප්‍රේක්ෂකත්වයකට ට්‍රම්ප් විසින් එල්ල කෙරෙනු ඇත .

ට්‍රම්ප්ගේ නියෝග මත මෙම අවස්ථාව සඳහා ජෝර්ජියාවේ ස්ටුවර්ට් බලකොටුවේ සිට M1-A1 ඒබ්‍රහම් යුද ටැංකි දෙකක් සහ බ්‍රැඞ්ලි සන්නද්ධ රථ (Bradley Fighting Vehicles -armored cars) දෙකක් ද පිටත් කර යැවිනි. වාහන තදබදය මග හැරීම සඳහා මහා රාත්‍රියේ වොෂින්ටනය වෙත දුම්රිය මාර්ග සහ ප්‍රවාහන ට්‍රක් රථ භාවිතයෙන් ගෙනෙන මෙම දැවැන්ත යුද මෙවලම්වල ගමන දින ගනනාවක් පුරා ඇමරිකානු රූපවාහිනි නාලිකා තුල ආධිපත්‍යය දැරිනි.

මෙම වාහන ලින්කන් ස්මාරකය අසල රඳවනු ලැබීමට සිදුවූයේ කන්ස්ටිටිව්ෂන් මාවත (Constitution Avenue) ඔස්සේ හෝ වෙනත් මාවත් ඔස්සේ හෝ ධාවනය කිරීමට තරම් මේවායේ බර ඉතා අධික නිසා ය. මේවා ප්‍රදර්ශනය කරනු ලැබීම වැදගත් දේශපාලන අරමුනක් ඉටු කරයි. ඒ, වොෂින්ටනයේ ජුලි 4 වන දා උත්සවයට මිලිටරිමය සහ මර්දනකාරී ස්වභාවයක් ලබා දීමටයි. 2003 දී සියල්ල කුඩුපට්ටම් කරමින් බැග්ඩෑඩයට ගමන් කල මෙම සන්නද්ධ රථම, සංක්‍රමනික විරෝධී මර්දනයත් ප්‍රචන්ඩත්වයත් මත පදනම් වූ ෆැසිස්ට් පන්න ව්‍යාපාරයක් ගොඩ නැගීමේ ට්‍රම්ප්ගේ දේශපාලන ප්‍රයත්නයන්ට සහය පිනිස එවනු ලැබ ඇත.

තම කථාව සඳහා ට්‍රම්ප්ට ගුවනින්ද ආවරනය සැපයෙනු ඇත. CNN නාලිකාවට කථා කල පෙන්ටගනයේ මූලාශ්‍රයන්ට අනුව රට පුරා සෑම තැනකින්ම යුද ගුවන්යානා ගෙන්වා ගනිමින් ඇත. මේවාට ඇතුලත් වන්නේ කැලිෆෝර්නියාවේ, ලේමුවර් නාවික ගුවන් මධ්‍යස්ථානයේ සිට නාවික F-35C ගුවන් යානා ද; කෙන්ටුකි හි කැම්ප්බෙල් බලකොටුවේ සිට සන්නද්ධ අපාචෙ හෙලිකොප්ටර් යානා ද; මිසූරි වයිට්මන් ගුවන් හමුදා බලකායේ සිට රහසිගතව පියාසර කල හැකි ස්ටෙල්ත් බෝම්බ හෙලන B-2 යානාවක්ද: සහ ෆ්ලොරීඩාහි පෙන්සකෝලායහි නාවික ගුවන් මධ්‍යස්ථානයේ සිට “බ්ලූ ඒන්ජ්ල්ස්” F/A-18 ඒකකයක් ද වෙයි. F-22 රැප්ටර්ස්, VC‍-25, ඔස්ප්‍රෙ නැමැති (හෙලිකොප්ටර සෙ හැසිර විය හැකි- tilt-rotor planes) ගුවන්යානා ද සහ තවත් F/A -18 යානාද ඇතුලත්ව අනෙකුත් යුද ගුවන් යානා වර්ජිනියා සහ මේරිලන්ඞ් සිට පැමිනීමට නියමිත ය.

ගිනිකෙලි සංදර්ශනයන්ට පැය දෙකකට මත්තෙන් හවස් වරුවේ මුල් භාගයේ, “ඇමරිකාවට ආචාරය” ඇරඹීමට නියමිතය. වේදිකාව අසලම අසුන් ගනු ඇති - රිපබ්ලිකානු ජාතික කමිටුව සහ ට්‍රම්ප් යලි තෝරා පත් කිරීමේ උද්ඝෝෂනය මගින් ටිකට් පත්‍ර බෙදා හරිනු ලැබ -පරිස්සමින් තෝරා ගත් ප්‍රභූ (VIP) පුද්ගලයින් සහ දහස් ගනන් හමුදා නිලධාරීන් වෙත ට්‍රම්ප්ගේ කියාපෑම් යොමු වීමට නියමිතය. උත්සව සංවිධායකයෝ පෙන්ටගනය වෙත ටිකට් පත් 5,000 ක් සපයා ඇත.

උත්සවයේ මිලිටරිමය ස්වභාවය ශක්තිමත් කිරීම සඳහා, වේදිකාව මත ට්‍රම්ප් සමග හමුදා නායකයින් කන්ඩායමක් පෙනී සිටීමට නියමිතය. ඒකාබද්ධ කාර්ය මන්ඩල ප්‍රධානීන් පස් දෙනාගෙන් හතර දෙනෙකු පැමිනීමෙන් වැලකෙනු ඇති අතර (ට්‍රම්ප්ගේ අතවැස්සන් සේ පෙනී සිටීම වලක්වා ලනු පිනිස යැයි වාර්තා විය) ඔවුන්ගේ නියෝජිතයින් සහ බොහෝ අනෙකුත් හමුදා සහ සිවිල් පෙන්ටගන නිලධරයෝ ට්‍රම්ප්ගේ ආමන්ත්‍රනයට හුරේ දමන්නන් ලෙස සේවය කරනු ඇත.

2019 ජූලි හතර, දේශපාලන රික්තයක පැවැත්වෙනවා නොවේ. එජ- මෙක්සිකෝ දේශසීමාවට හමුදාව පිටත් කර යැවීමෙන් අනතුරුව ට්‍රම්ප් තම හමුදා ප්‍රධානී භූමිකාව තහවුරු කරමින් සංක්‍රමනික රැඳවියන් සඳහා සංකේන්ද්‍රිත රැඳවුම් කඳවුරු ගොඩ නැගීමට හමුදා භටයින් සහ දේශසීමා ආරක්ෂයකයන් භාවිතා කරමින් සිටියි. කොන්ග්‍රස්මතය නොතකා තම දේශසීමා තාප්පය ගොඩ නැගීම සඳහා පෙන්ටගන අරමුදල් භාවිතා කිරීමට ඔහු “ජාතික ආපදා තත්වය” ප්‍රකාශ කර ඇත. තවද, තම දේශපාලන ප්‍රතිමල්ලවයින්ට එරෙහිව ප්‍රචන්ඩත්වය යෙදීමට කැඳවුම් කරමින්, සංක්‍රමනික විරෝධී වර්ගවාදයේ ගිලී ගත් ෆැසිස්ට් පන්න රැලියකින් ඔහු තම යලි තෝරාපත් වීමේ උදඝෝෂනය දැන් ආරම්භ කර ඇත.

ට්‍රම්ප්ගේ දේශපාලන න්‍යායපත්‍රය ගැඹුරින්ම ජනතා අප්‍රසාදයට පත්ව ඇත. ගුරුවරුන්ගේත් කාර්මික කම්කරුවන්ගේත් වැඩ වර්ජන වලින් ප්‍රකාශිත වූ කම්කරු පන්තියේ කැරලිකාරිත්වයේ නව කැලඹීම් වලට ඔහු මුහුන දී සිටී. ඉරානයට එරෙහි යුද්ධය කරා ඔහුගේ පියවර කෙරේ පුලුල් මහජන විරෝධයක් පවතී. රැකවරන (asylum) තත්වය පතා සිටින්නන් සහ සරනාගතයින් සදහා පෘථුල අනුකම්පාවක් ඇති අතර ඔවුන්ට එරෙහි පරපීඩාකාමී සැලකිලිවලට එරෙහිව වෛරය ගොනු වී ඇත.

පාලනාධිකාරය වැඩි වැඩියෙන් තම දේශපාලන පන නල ගැට ගසා ගැනීම සඳහා සම්මත මැතිවරන දේශපාලනය මත නොව පොලිස් - මිලිටරි තන්ත්‍රය මත වාරු වීමට තැත් දරන්නේ මෙම හේතුව නිසාය.

තම මෑතම ට්වීට් පනිවිඩයකින් ඔහු ප්‍රකාශ කලේ යුද ටැංකි සහ ප්‍රහාරක යානා ප්‍රදර්ශනය කිරීමේ අරමුන “ලෝකයේ කුමන හෝ තැනක ඇති වඩාත්ම ශක්තිමත් සහ වඩාත්ම දියුනු හමුදාව .... ඇමරිකානු ජනතාවට ප්‍රදර්ශනය කිරීම” බවයි. මෙය ප්‍රකාශකයා නොසිතූ ලෙසින් සිදු කෙරුනු අනාවරනීය ප්‍රකාශයකි: මෙම අවි ආයුධ ප්‍රදර්ශනය සඳහා ඉලක්කගත ප්‍රේක්ෂකත්වය වන්නේ විභව්‍ය විදේශීය සතුරෙකු නොව ඇමරිකානු මහජනතාවයි. සරලව පවසතොත් : අභ්‍යන්තර විරෝධතාවය, විශේෂයෙන්ම කම්කරු පන්තිය තුලින් පැන නැගිය හැකි, තැති ගැන්වීම අරමුනු කර ට්‍රම්ප් තම බල ප්‍රදර්ශනය කරලියට නංවයි.

ඩිමොක්‍රටික පක්ෂයවත් එය සමග පෙල ගැසී සිටින ලිබරල් මාධ්‍ය ආයතන වත් ට්‍රම්ප් පාලනාධිකාරියේ අන්ත දක්ෂිනාංශික ගමන් පථය කෙරේ අව්‍යාජ ප්‍රතිවිරෝධතාවක් දැක්වීමට අපොහොසත් ය. 2016 මැතිවරනයේදී රුසියානු මැදිහත් වීම ගැන ව්‍යාජ චෝදනා එල්ල කද, ට්‍රම්ප් මොස්කව්හි පන්දම් කාරයකු ලෙස කියාපාමින් ද ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප්ට මූලිකවම දකුනින් ප්‍රහාර එල්ල කරති. ධවල මන්දිරයේ සිට ගලා එන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන තර්ජන වෙත ඇමරිකානු මහ ජනතාව සෝදිසියෙන් සිටුවීම සඳහා ඔවුහු වෑයම් නොකරත්.

ඩිමොක්‍රටික්යන්ට ට්‍රම්ප්ට ට වඩා, පහලින් මතුවන ව්‍යාපාරයක් වඩාත් බියජනකය. ඒ එවැන්නක් සංගත පාලිත පක්ෂ දෙකම නියෝජනය හා ආරක්ෂා කරනා පාලක ප්‍රභූවේ ලාභ සහ ධනයට තර්ජනය කරන බැවිනි.

ඩිමොක්‍රටික් පක්ෂය, මාධ්‍යයන් විසින්ද වැලඳ ගනු ලැබූ, තම විරෝධය සීමා කරනු ලැබ ඇත්තේ, ජුලි හතර විකාරයේ වියදම පිලිබඳ චෝදනා වටයි . මාධ්‍ය ප්‍රතිචාරය සඳහා තානය සකසමින් නිව්යෝක් ටයිම්ස් කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු වන ඇලෙක්ස් කිංග්ස්බරි, “ට්‍රම්ප්ට ඇමරිකාව සඳහා ඔහුගේ උපන්දින සාදය පැවැත්වීමට ඉඩ දෙමු” යන හිසින් යුතුව බදාදා “කතු මඩුලු නිරීක්ෂක” කොලම යටතේ ලිපියක් ලීවේය

මෙම කතුවැකි ලිපිය ප්‍රතිගාමී දේශපාලනයට ස්වයං-තෘප්තිය බියගුලුකම හා උදාසීනත්වය එකතු කරයි. ට්‍රම්ප්ගේ ජූලි 4 සිද්ධියේ පෙර නොවූ විරූ ස්වභාවය කිංග්ස්බරි පිලිගන්නා නමුත් ඔහු එය නොතැකිල්ලෙන් ඉවත ලන්නේ, ට්‍රම්ප් උපහාසාත්මක පුද්ගලයකු විනා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ට ඉමහත් තර්ජනයක් නොවන්නාසේය.

කිංග්ස්බරි තම පාඨකයින් උනන්දු කරවන්නේ, ට්‍රම්ප්ගේ උත්සවයට නොතකා හැර, “ගුවන් සන්දර්ශන මෙන්ම සන්නද්ධ රථ වලින්ද සම්පූර්න වූ සංදර්ශනය, එහිම නිරර්ථක බවින් හා ප්‍රතිවිරෝධතාවන් වල බරින් අඩපන වීමට ඉඩ දෙන ලෙස ය.” “ඉතිරි අප සැම සඳහා, අවශ්‍ය නම්, නාලිකාව වෙනස් කිරීම සඳහා වෙහෙස මහන්සියෙන් දිනාගත් නිදහසක් ඇත” යනුවෙන් ඔහු අවසන් කරයි.

ස්වයං-තෘප්තභාවය පිටුපසින්,” ජාතියේ වඩාත්ම විශ්වාසනීය අපක්ෂපාතී ආයතන වලින් එකක්” ලෙස කිංග්ස්බරි විස්තර කරන මිලිටරිය පිලිබඳ ට්‍රම්ප්ගේ මහත් ප්‍රශංසා සමග ටයිම්ස් සහානුභූතික වේ (බෙදාගනී). “ලොව පවතින ඉතාමත්ම අනර්ඝ හමුදාවේ බර අවි ආයුධ නොව, අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන්ගේත් සහ නිදහසේත් මෘදුකාංග සැමරීමට ජූලි හතරවනදා වෙන් කල යුතු” යනුවෙන් අනතුරු ඇඟවීම ගැන කිංග්ස්බරි හිටපු සීඅයිඒ සහ පෙන්ටගන් බලධරයෙක් විවේචනය කරමින් ඔහු, “එසේ විය හැකියි. නමුත් ඇමරිකාවට මේ දෙකම සඳහා ධාරිතාවක් ඇත.” යනුවෙන් ප්‍රතිචාර දැක්වීය.

ටයිම්ස් සහ ඩිමොක්‍රටික් පක්ෂය, ට්‍රම්ප් මෙන්ම අභ්‍යන්තර හා විදේශ ආපදා සමුද්‍රයෙන් අවසාන ආරක්ෂක පවුර ලෙස මිලිටරිය වෙත දෑස් යොමනා ඇමරිකානු පාලක පන්තිය වෙනුවෙන් කතාකරති. ඇමරිකානු සමූහාන්ඩුවේ ආරම්භකයින් උත්තේජනය කෙරුනු ආඥාදායකත්ව විරෝධයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අව්‍යාජ කැපවීමක සේයාවක් එජ පාලක පන්තියේ කුමන කන්ඩායමකවත් ඇත්තේ නැත.

ස්වයං හෙලා දැකීමක් නොවන ලෙස ඉහත දැක්වුනු ජේම්ස් මැඩිසන්ගේ වචන හඬගා කිව හැකි යමෙක් මාධ්‍ය තුල හෝ රාජ්‍යය තුල සිටීද?

ජූලි හතර මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ විමුක්තිදායක සිද්ධීන් වලින් එකක් සනිටුහන් කරයි: එනම් ඇමරිකානු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ආරම්භක වෙඩි මුරය ලෙස ස්වාධීනත්වයේ ප්‍රකාශය නිකුත් කිරීමයි. ක්‍රෑරත්වයටත් මර්දනයටත් එරෙහිව ශතක දෙකක් ඉක්මවමින් සටන් කල සටන්කරුවන් ආවේශයට පත් කල වචන රැගත් තෝමස් ජෙෆර්සන් විසින් කෙටුම් පත් කෙරුනු මෙම ප්‍රකාශනය චිරස්ථායි ලියවිල්ලකි.

එය ලිඛිත ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජන විප්ලවය සඳහා ඇති අයිතිය ප්‍රකාශ කරයි. “මෙම අරමුනු කෙරෙහි කුමන ආකාරයේ ආන්ඩුවක් වූව විනාශකාරී වන සෑම විට, එය වෙනස් කිරීමටත්, අහෝසි කිරීමටත් සහ ඔවුන්ගේ සහ සන්තුෂ්ටිය සහ ආරක්ෂාව සඳහා වඩාත්ම බලපෑම් කෙරනු හැකියි යැයි පෙනී යන මූලධර්ම මත පදනම් ව, එහි බලතල අවශ්‍ය රූපාකාරයකට සංවිධානය කර ගනිමින් නව ආන්ඩුවක් ස්ථාපනය කරගැනීමටත් මහජනයාට අයිතියක් ඇත.”

වෙනස් කිරීමට අවශ්‍ය තැන්වල වෙනස්කම් කර ගත් කල වර්තමාන ඇමරිකානු සමාජයේ තත්වය පිලිබඳ හෙලා දැකීමක් මෙම වචන තුල නොදැක, අද දින ඒවා කියවිය හැක්කේ කාටද? අවසාන (විග්‍රහයේදී ) ට්‍රම්ප්ගේ මිලිටරිමය උත්සවය ශක්තිමත් භාවයේ ප්‍රකාශනයක් නොව දුර්වල බවේ සහ භීතියේ ප්‍රකාශනයයි. මෙම සියලු පූච්චානම් පසුපස තිබෙන්නේ ලොව සියලු තැන්වල හා අන් සියල්ලටම ඉහලින්, එක්සත් ජනපදය තුලමත් තමන්ගේ ආධිපත්‍යයට අභියෝග අභිමුඛව පවතින බව පාලක පන්තියේ වටහා ගැන්ම යි.

පැට්‍රික් මාටින්

Share this article: