සිරිසාවේ මැතිවරන පරාජය: දේශපාලන පාවදීමක ශේෂ පත්‍රයක්

Syriza’s election defeat: A balance sheet of a political betrayal

2019 ජූලි 9

ජූලි 7දා සිරිසා ආන්ඩුව (“රැඩිකල් වමේ සභාගය”) ලත් මැතිවරන පරාජය, ග්‍රීක හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීමක් මුදුන්පත් කරයි.

යුරෝපා සංගමයේ කප්පාදු න්‍යාය පත්‍රය අවසන් කරන බවට පොරොන්දු වෙමින් අගමැති ඇලෙක්සි සිප්රාස් බලයට පත්වූ විට, සමස්ත මධ්‍යම-පන්තික ව්‍යාජ-වම එම ජයග්‍රහනය කම්කරු පන්තියට යෝධ විජයග්‍රහනයක් බවත්, ධනවාදයට එරෙහි “රැඩිකල්” විකල්පයක් බවත් ප්‍රකාශයට පත්කලේ ය.

මෙම බලවේගයන්, ස්පාඤ්ඤයේ පොදේමෝස් සිට බි්‍රතාන්‍ය ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් හා ඇමරිකාවේ ස්වයං-ප්‍රකාශිත “සමාජවාදී” බර්නි සෑන්ඩර්ස් දක්වා, පක්ෂ හා දේශපාලන නායකයන් හට මොඩලයක් ලෙස සිරිසාව ගෙනහැර දැක්වී ය.

ඒ වෙනුවට, නවීන ඉතිහාසයේ අන් කවර අන්ඩුවකටත් වඩා ගැඹුරු කප්පාදු පියවරයන් පටවමින් සෝවියට් සංගමය ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය විසින් බිඳ විසිරවීම ආරක්ෂා කල සිරිසාව, අර්ධ-පොලිස් රාජ්‍යයක් බවට රට හරවමින් සමස්ත යුරෝපයේ වඩාත් ම විෂඝෝර සංක්‍රමන-විරෝධී පිලිවෙත ක්‍රියාත්මක කලේ ය.

වසර හතරකට පසුව, අතෘප්තිමත් හා දරිද්‍රතාවට පත් ඡන්ද දායකයෝ සිප්රාස් බලයෙන් ඇද දැමී ය. විශාල කොටසක් ඡන්දය දීමෙන් වැලකී සිටිය දී අපකීර්තිමත් දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී (එන්ඩී) පක්ෂය යලි බලයට පත් ව සිටී.

ස්පාඤ්ඤයේ කුවාර්තෝ පොදේර්, බ්‍රිතාන්‍යයේ සෝෂලිස්ට් වර්කර් හා ඇමරිකාවේ ජැකොබින් සඟරාව මෙම පරාජයට හේතු සම්බන්ධයෙන් බිහිරි නිශ්ශබ්දතාවක් පවත්වාගෙන යයි. එහෙත් එය වනාහි සිරිසාව විසින් එහි මැතිවරන පොරොන්දු ඉහලින් ම පාවාදීමේ පුරෝකථනය කල හැකි ප්‍රතිඵලය විය. 2015 ජනවාරියේ බලයට පත් තැන් පටන්, යුරෝපා සංගමය විසින් අනවන ලද සෑම කප්පාදු න්‍යාය පත්‍රයකට ම හා බැංකු ඇප තැබීමකට ම එය නිහීන ලෙස අත්සන් තබා ඇත.

කම්කරුවන් ව ධනවත් මධ්‍යම පන්තියේ “වාම ජනතාවාදී” පක්ෂවලින් වෙන් කරන පන්ති අගාධය පිලිබඳ ව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) විශ්ලේෂනය, මෙම වසර හතර විසින් සනාථ කර ඇත. මෙම සංවිධානවලට සමාජවාදය සමග මෙලොව සම්බන්ධයක් නැත. සිරිසාවට නායකත්වය දෙන විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, මාධ්‍ය මෙහෙයුම්කරුවන් හා වෘත්තීය සමිති නිලධරයන්ට, ඔවුන්ගේ ධූර කාලයේ ප්‍රතිගාමී ප්‍රතිඵලය පිලිබඳ ව අවංක ව කතාකල හැකි නම්, ඔවුන් කියනු ඇත්තේ “මෙහෙයුම සාර්ථක වූ” බව යි.

එන්ඩීය විසින් පටවන ලද යුරෝපා සංගමයේ කප්පාදුවලට කම්කරු පන්තියේ විරෝධය වැඩෙද්දී, 2012 වසරේ සීඅයිඒ සංවිධානය ඉදිරියේ කුසලතා පරීක්ෂනයක් සඳහා සිප්රාස් වොෂින්ටනයට සංචාරය කල විට ලෝසවෙඅ අනතුරු ඇඟවූ පරිදි: “එලඹෙන පන්ති අරගලවල දී සිරිසාව කම්කරුවන් ව සතුරෙකු ලෙස සලකමින් මුහුන දෙනු ඇත. බලයේ සිටියත් නැතත් එහි ඉලක්කය වන්නේ, කප්පාදු පිලිවෙත් කෙරෙහි මහජන විරෝධය සීමා කොට, කම්කරු පන්තිය මත මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය පවත්වාගෙන යාම යි.”

වැඩ වර්ජන හා විරෝධතාවල වසරකට පසුව, 2015 ජනවාරියේ සිරිසාව බලයට පත් විට, සිරිසාව “යෝධ අන්තරායක් නියෝජනය කරයි. එහි වාමාංශික මූනත්තහවුඩ නො තකා, එය වනාහි මධ්‍යම පන්තියේ ධනවත් ස්ථර මත පදනම් වන ධනේශ්වර පක්ෂයකි...එහි නායක ඇලෙක්සි සිප්රාස් ග්‍රීසිය තුල රුදුරු කප්පාදු (ඉතා කුඩා ප්‍රමානයකින්) අඩුකිරීමට ඡන්ද දායකයන්ට පොරොන්දු වන අතර, සිරිසාව ආන්ඩුව ගැන ‘බියවීමට දෙයක් නැතැ’ යි විදේශ බැංකු හා ආන්ඩුවල නියෝජිතයන්ට පොරොන්දු දීමේ දී කිසිදා වෙහෙසට පත්වන්නේ නැත” යි ලෝසවෙඅ ලිවී ය.

මීට විපරීත ව කිංග්ස් කොලීජියේ මහාචාර්ය හා හිටපු සිරිසා සාමාජික ස්ටාතිස් කෞවෙලාකිස් ඒ සමයේ ජැකොබින් සඟරාව තුල මෙසේ ලිවී ය: “සිරිසාවේ මැතිවරන ජයග්‍රහනය යුරෝපීය රැඩිකල් වාමාංශයට හා කම්කරු ව්‍යාපාරයට බලාපොරොත්තු ගෙනැවිත් ඇත්තේ, යෝධ අවස්ථාවක් විවෘත කරමිනි.” යුරෝපා සංගමය කෙරෙහි සිරිසාවේ “මූලෝපායික දිශානතිය ද අපැහැදිලි” බවත්, එය අන්ත-දක්ෂිනාංශික ස්වාධීන ග්‍රීකයන් සමග ගෙනයන ආන්ඩු සභාගය “අනර්ථකාරී” වූ බවත් ඔහු පිලිගත්තේ ය. එහෙත් ඔහු සටනක් පුරෝකථනය කලේ ය: “සත්‍යයේ මොහොත උදා වී ඇත.”

මෙය යුරෝපා සංගමයේ කප්පාදු අවසන් කිරීමට සිප්රාස් දුන් මැතිවරන පොරොන්දුව තරම් ම ප්‍රෝඩාකාරී විය. සටන් කිරීමට උත්සාහ දරනවා වෙනුවට, එය බලයට පත්වීමෙන් පසු පුපුරා ගිය කම්කරුවන්ගේ මහා විරෝධතා මගින් සිරිසාව විමතියට හා කැලඹීමට පත් විය. 1991 දී සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී ධනේශ්වර පුනස්ථාපනයේ සිට දශක ගනනාවක් තිස්සේ ද විශේෂයෙන් ම 2008 වෝල් වීදියේ අර්බුදයේ පටන් ද යුරෝපා සංගමය ක්‍රියාවට දමා තිබුනු කප්පාදු කෙරෙහි කම්කරු පන්තියේ කෝපය බලමුලුගැන්වීමේ අභිප්‍රායයක් එයට නො වී ය.

යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ පලල් විරෝධයට සිරිසාව ආයාචනා කලේ නැත. ඒ වෙනුවට, එවකට සිරිසා මුදල් ඇමති වූ යානිස් වරුෆාකිස්, යන්තමින් නවීකරනය කල කප්පාදු පිලිවෙතක් සකස් කරගැනීමේ සාකච්ඡා සඳහා, ප්‍රධාන යුරෝපීය අගනගරවලට සංචාරය කලේ ය. ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කෙල් යුරෝපයේ “වඩාත් ම තීක්ෂන දේශපාලනඥයා” යනුවෙන් වරුෆාකිස් විසින් උත්කර්ෂයට නැංවූ මෙම සාකච්ඡාවල දී, තමන් “සම්මත තැචර්වාදී හෝ රීගනියානු” ආර්ථික පිලිවෙත් යෝජනා කල බව ඔහු පසුව ඔබ්සර්වර් වෙත කීවේ ය.

බර්ලිනය, ලන්ඩනය හා පැරීසිය කප්පාදුව ලිහිල් කිරීමකට ඉඩ නො දෙන බව සංඥා කල විට, සිරිසාව ක්ෂනික ව දනගසා, 2015 පෙබරවාරි 20දා යුරෝපා සංගමයේ නව කප්පාදු න්‍යාය පත්‍රයකට අත්සන් තැබුවේ මේ නිසා ය. කම්කරු පන්තියේ අතෘප්තියට ජාත්‍යන්තර ආයාචනයක් කල හැකි සියලු ආන්ඩු බලය සිරිසාවට තිබුනි. එහෙත් එයට එය අවශ්‍ය නො වී ය. 1980 ගනන්වල බි්‍රතාන්‍ය හා ඇමරිකානු කම්කරුවන්ට විරුද්ධ ව තැචර් හෝ රීගන් විසින් පටවන ලද පන්නයේ ප්‍රහාර බලාත්මක කිරීම පිනිස, කම්කරු පන්තියේ වැඩ වර්ජන හා අරගල රැල්ලක් එයට දරාසිටිය නො හැකි විය.

2015 වසන්තය පුරා, සිරිසාව සූදානම් කරමින් සිටි යුරෝ දස බිලියන ගනනක සමාජ ප්‍රහාර සාධාරනීකරනය කිරීමේ ක්‍රම එය විසින් සොයමින් පසු විය. යුරෝපා සංගමය ග්‍රීක බැංකු වෙත ලබා දෙන නය කපාහරින බවට තර්ජනය කල විට හා ග්‍රීසියේ මූල්‍ය පද්ධතියෙහි බිඳවැටීමක් වැලැක්වීමට යලිත් ජාතික මුදල ස්ථාපනය කිරීමට බලකල විට, සිප්රාස් යුරෝපා සංගමයේ කප්පාදු පිලිබඳ ජනමත විචාරනයක් 2015 ජූලියේ දී කැඳවී ය. සිරිසාවට ආකර්ෂනය වූ තැනැත්තෙක් දීර්ඝ-කාලීන පැබ්ලෝවාදියෙක් වන තාරික් අලි පසුව වාර්තා කල පරිදි, මෙම ජනමත විචාරනය සිප්රාස්ට “ගනන් බැලුනු අවදානමක් විය. ‘ඔව්’කඳවුර ජයග්‍රහනය කරනු ඇතැයි ඔහු සිතුවේ ඉල්ලා අස්වී යුරෝපා සංගමයේ රූකඩයන්ට ආන්ඩුව කරගෙන යාමට ඉඩදීම පිනිස යි.”

එහෙත් බලය පෙරලා දක්ෂිනාංශයට ලබාදීමේ සිප්රාස්ගේ පලමු උත්සාහය අසාර්ථක විය. කම්කරුවන් කප්පාදුවට විරුද්ධ ව අතිමහත් බහුතර ඡන්දයක් දීම නිසා “නැත” යන ඡන්දය සියයට 61ක් ලබා ජයග්‍රහනය කලේ ය. බර්ලිනය හා බ්‍රසල්සය විසින් නියෝග කරන ලද යුරෝ බිලියන 13ක කප්පාදු පැකේජයක් පැටවීමට තීරනය කරමින්, සිප්රාස් හා සිරිසාව ඔවුන්ගේ ම ජනමත විචාරනයේ ප්‍රතිඵලය නො තකා හැරියෝ ය.

සිරිසාව සේවය කරන පන්ති අවශ්‍යතා තුල මුල් බැස තිබූ මෙම තීරනය, එහි නායකයන්ගේ සැලකිය යුතු ධනය විසින් මූර්තිමත් කරනු ලැබී ය. ඒ සමයේ ලෝසවෙඅ ලියූ පරිදි: “(2013 දී යුරෝ මිලියනයකට වැඩි ප්‍රකාශිත පුද්ගලික ධනයක් තිබූ) සිරිසා මන්ත්‍රී ද්මිත්රිස් සවුකලාස්, (යුරෝ 500,000කට වැඩියෙන් වටිනා කොටස් තිබූ) මුදල් ඇමති සකලොටොස්, (ජේපී මෝගන්හි යුරෝ 426,000ක් ආයෝජනය කර ඇති) ආර්ථික ඇමති ගියෝජියොස් ස්ටතාකිස්, (ඉතුරුම් ලෙස යුරෝ 350,000ක්, කොටස් හා දේපොල වෙලඳාම් ආයතන 11ක් ඇති) හිටපු සිරිසා නායක ඇලෙකෝස් ඇලවානොස් හා (තම බිරිඳ හා මිලියනපතිනියක් වන) හිටපු මුදල් ඇමති යානිස් වරුෆාකිස් යන්නන්ට -ග්‍රීක පාලක ප්‍රභූවේ අන්‍යයන්ට මෙන් ම- යුරෝපා සංගමයෙන් බිඳීම සිතාගත හෝ දරාගත නො හැක්කේ, ග්‍රීසිය යුරෝපයෙන් වෙන් වුවහොත් අතිශයින් අවප්‍රමානිත ජාතික මුදල විසින් ඔවුන්ගේ වත්කම් මත ආධිපත්‍යය දරද්දී, ධනයෙන් වඩා වැඩි කොටසක් ඔවුන්ට අහිමි වනු ඇති නිසා ය.”

ග්‍රීසියේ කම්කරුවන් සඳහා මෙහි අර්ථය වී ඇත්තේ කුමක් ද? එය වනාහි සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී ධනවාදී පුනස්ථාපනයේ පටන් යුරෝපය තුල විශාලතම ආර්ථික බිඳවැටීම විය. ආර්ථික නිෂ්පාදනය හතරෙන් පංගුවකින් කඩාගෙන වැටුනේ, ආදායම් සියයට 30කට වැඩියෙන් ද විශ්‍රාම වැටුප් සියයට 50කින් ද වැටෙද්දී, දරිද්‍රතා රේට්ටුව සියයට 35කට නැගෙද්දී ය. සිරිසාව විශාල ලෙස ඔජ වඩවා ඇති තාවකාලික රැකියාවන්ගෙන් සැදුම්ලත් ආර්ථිකයේ රැකියා නියුක්තියෙහි නැගීමෙන් පසුව ද විරැකියා රේට්ටුව තවමත් සියයට 18ක රැඳී තිබෙන්නේ, තරුන විරැකියාව සියයට 40 ඉක්මවා යද්දී ය. සෑම ග්‍රීක කම්කරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් ම නිල අවම වැටුපෙන් අඩක් හෙවත් මසකට යුරෝ 317ක් උපයමින් අර්ධ කාලීන රැකියාවක නිරත වෙයි.

සිරිසාව විසින් අධීක්ෂනය කල යුරෝපා සංගම් කප්පාදුව ජීවිත මිලියන ගනනක් විනාශ කොට ඇත්තේ, කම්කරු පන්තිය දශක ගනනාවක් පසුපසට තල්ලු කරමිනි. විශ්වීය සෞඛ්‍යාරක්ෂනය අවසන් කිරීම නිසා වැලැක්විය හැකි රෝග හේතුවෙන් වන මරන ඉහල දමා ඇති අතර, පරීක්ෂන අත්හිටුවීම හේතුවෙන් පිලිකාවන් සොයාගනු ලබන්නේ රෝගයේ පශ්චාත් අවදිවල දී පමනි. වැඩපොලවල කම්කරුවන්, රැකියාවක් සොයාගැනීමේ පූර්ව කොන්දේසිය ලෙස තම වැටුප පුරුද්දක් ලෙස එක්කෝ හාම්පුතුන්ට ආපසු ගෙවිය යුතු ය; නැතහොත් දීර්ඝ කාලයකට වැටුප් නො ලබා සිටිය යුතු ය. රැකියා සොයා තම රට හැරයාමට ලක්ෂ ගනන් ග්‍රීකයන්ට බලකෙරුනි.

මෙය වනාහි ග්‍රීසිය හා සමස්ත යුරෝපා සංගමය අතර අසමාන සටනේ අනිවාර්ය ප්‍රතිඵලයක් යයි කියන්නෝ තමන් ව ම හෝ අනෙක් අය රවටමින් සිටිති. දශක ගනනක් තුල යුරෝපය පුරා ද ඉන් ඔබ්බේ ද වැඩ වර්ජන හා සමාජීය විරෝධතාවල විශාලතම පුනර්ජීවනය පසුගිය වසර කිහිපය විසින් දැකගෙන ඇත. මේවා අතරට, 1989 ස්ටැලින්වාදී ධනවාදී පුනස්ථාපනයෙන් මෙපිට පලමු වරට පෝලන්තයේ ගුරුවරුන්ගේ ජාතික වර්ජනය, ප්‍රන්ස “කහ කබා” විරෝධතා සහ ජර්මනියේ, පෘතුගාලයේ හා බෙල්ජියමේ යුරෝපා සංගම් වැටුප් කැටිකිරීම්වලට එරෙහි වර්ජන ඇතුලත් ය.

බැංකුවල ධනය ආරක්ෂා කිරීමත් තමන් ම ධනවත් වීමත් අභිලාෂය කරගත් සුලු-ධනේශ්වර මැරකල්ලි තීරුවක් විසින් සිරිසාවට නායකත්වය දුන් නිසා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මෙම විරුද්ධත්වයට ආයාචනා කොට බලමුලුගැන්වීම සිරිසා ආන්ඩුව ප්‍රතික්ෂේප කලේ ය.

2015 පටන් සිරිසා ආන්ඩුවේ මූලික උත්සුකයක් වී ඇත්තේ, කම්කරුවන් ඉලක්ක කරගත් පොලිස් මර්දනයේ තාක්ෂනික විධික්‍රමයන්හි ප්‍රවීනත්වයට පත්වීම යි. සිරියාවේ හා ඉරාකයේ අධිරාජ්‍යවාදී යුද්ධ හේතුවෙන් පලා එන සරනාගතයන් සඳහා රැඳවුම් කඳවුරු ගොඩනගද්දී ම, කැරලි මර්දන පොලීසිය ශක්තිමත් කර ඇති සිප්රාස්, 2011 ඊජිප්තු විප්ලවයේ අලුගෝසුවා වන මිලිටරි ආඥාදායක ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-සිසි සමග සබඳතා වගාදිගා කරගෙන ඇත. සිප්රාස් බලයෙන් ඉවත් ව යද්දී, ක්ෂනික ව පුද්ගලික ධනවතෙක් ලෙස ඉස්මතු වීම සඳහා හොඳින් සැලසුම් සකස් කර ඇති බවට සැකයක් නැත.

සිරිසා ආන්ඩුවේ වසර හතර ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා අධික මිලක් ගෙවා උකහාගත් විනාශකාරී දේශපාලන පාඩම් ගැබ් කරගනී. හදිසි කර්තව්‍යය වන්නේ, මෙම පාඩම්වලින් ගලා එන දේශපාලන නිගමන උකහාගැනීම යි.

මෙම අත්දැකීම අමතක නො කල යුතු ලෙස ප්‍රදර්ශනය කර ඇත්තේ, ධනවාදය යටතේ ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම පිනිස “වාම ජනතාවාදී” පක්ෂවලට ඡන්දය දීම මගින් බංකොලොත් ධනේශ්වර පර්යායට එරෙහි ව සටන් කිරීමේ නො හැකියාව යි. ධනවත් සුලු-ධනේශ්වරය තුල එහි පන්ති පදනමේ මුල් බැස ඇති සිරිසාව කල පාවාදීම, වෙනත් තැන්වල එවන් පක්ෂ බලයට පත්වුව ද පුනර්කරනය වනු ඇත. ඉදිරි මාවත වන්නේ, සම්භාව්‍ය මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදයේ ඉදිරිදර්ශනය වෙත හැරීම යි: එනම්, ආර්ථික ජීවිතයේ හා රාජ්‍ය බලයේ පාලනය ගැනීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ කුදුමහත් කාර්මික හා ආර්ථික බලය විප්ලවවාදී ලෙස බලමුලුගැන්වීම යි.

මෙම ඉදිරිදර්ශනය සඳහා සටන්වැදීමට කම්කරු පන්තියට නව විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය ය. එම නායකත්වය වන්නේ, සිරිසාවට එරෙහි එහි විරුද්ධත්වය හරහා එහි පන්ති ඉදිරිදර්ශනයේ නිරවද්‍යතාව හා කම්කරු පන්තිය වෙත දිශානතිය ප්‍රදර්ශනය කල හජාජාක යි. දැන් කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ ග්‍රීසිය තුලත් සෑම රටක මත් හජාජාක ශාඛා ගොඩනැගීම යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: