අනධ්‍යන කම්කරුවන් එක්දින සංකේත වැඩ වර්ජනයක

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 30

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් මත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ පිරිසක් අද දින (ජූලි 30) එක්දින සංකේත වැඩ වර්ජනයක යෙදෙති. වැඩ වර්ජනය කැඳවා ඇති විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බල මන්ඩලය පවසන්නේ, අනධ්‍යන සේවක ඉල්ලීම් පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ආන්ඩුවෙන් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අවස්ථාවක් ලබා නොදීමට විරුද්ධත්වය පලකිරීම සඳහා මෙම වැඩවර්ජනය සිදුකරන බවයි.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස, දේපල නය සීමාව ඉහල දමන ලෙස, සේවක සංඛ්‍යාව වැඩි කරන ලෙස, මාසික හිලවු දීමනාව පොරොන්දුවූ පරිදි ලබාදෙන ලෙස, බඳවා ගැනීමේ ක්‍රමය වෙනස් කරන ලෙස සහ විශ්‍රාම වැටුප් ක්‍රමය යාවත්කාලින කරන ලෙස කම්කරුවෝ ඉල්ලා සිටිති.

සියයට 20 ක වැටුප් වැඩි කිරීමක්, රක්ෂන ක්‍රමයක්, විශ්‍රාම වැටුපක් හා තවත් ඉල්ලීම් ගනනාවක් මත, 2018 පෙබරවාරි සිට මාස එකහමාරකටත් වැඩි කාලයක් අනධ්‍යන සේවකයන් ගෙනගිය අධිෂ්ඨානවත් අරගලය, ඉල්ලීම් කප්පාදු කරමින්, පාලකයන් දුන් ව්‍යාජ පොරොන්දුවක් මත සමිති නිලධරය විසින් පාවා දුනි.

වසර එකහමාරකට ආසන්න කාලයක් ගතව තිබියදීත් දුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් ආන්ඩුව සහ සමිති නිලධරය කෙරෙහි කම්කරුවන් තුල වැඩී ඇත්තේ බලගතු කෝපයකි. සමිති නිලධරය විසින් මෙම වර්ජනය කැඳවා ඇත්තේ එම කෝපය ව්‍යාජ විරෝධතා තුල දියකර හැරීමටයි.

කට්ටිවාදී අභ්‍යන්තර කාකොටා ගැනීම් නිසා මෙම ඊනියා ඒකාබද්ධ බල මන්ඩලයේ පතුරු ගැලවී ගොස් තිබේ. පසුගිය වර්ජනයෙන් පසු පාවදීමේ වගකීමෙන් ඇඟ බේරා ගැනීම සඳහා දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති බල මන්ඩලයෙන් ඉවත් වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප), එක්සත් ජාතික පක්ෂයට (එජාප), පොදුජන එක්සත් පෙරමුනට හා ජනතා විමුක්ති පෙරමුනට අයත් වෘත්තීය සමිති ඉවත්වුනු ප්‍රධාන වෘත්තීය සමිති වේ.

ඒකාබද්ධ කමිටුවෙන් ඉවත්වූ වෘත්තීය සමිති තමන් හඳුන්වා ගන්නේ “ජාතික විශ්වවිද්‍යල වෘත්තීය සමිති මධ්‍යම කමිටුව” නමිනි. ඒකාබද්ධ කමිටුව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වලට සමාන ඉල්ලීම් ඔවුන්ද ඉදිරිපත් කර තිබෙන නමුත්, ඒකාබද්ධ කමිටුව තුල සෑම වෘත්තීය සමිතියකටම සමාන නියෝජනයක් නොපවතින බව සහ වැඩවර්ජනය පවත්වන දිනය අත්තනෝමතිකව තීරනය කිරීම වැනි කරුනු ඉදිරිපත් කරමින් ඔවුහු වැඩවර්ජනයට විරුද්ධත්වය ප්‍රකාශකොට තිබේ.

තමන් දැනටමත් ආන්ඩුව සමග සාකච්ඡා පවත්වා ඇති බවත්, ඉතිරිව ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීම පමනක් බවත් එහි එජාප සමිතියේ නායකයෙකු වන ගයාන් පිරිස් මොරටුව විශ්ව විද්‍යාලයේ කම්කරුවන් “දැනුවත් කිරීමේ” රැස්වීමක දී පැවසිය. ශ්‍රීලනිප ට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය වර්ජනයට සම්බන්ධ නොවීම පිලිබඳව විරෝධය පල කරමින්, එහි සැලකියයුතු සාමාජික සංඛ්‍යාවක් සමිතියෙන් ඉවත්වන බව එම රැස්වීමේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හේතුවෙන්, තමන් වැඩවර්ජනයට සහභාගී වනබව ප්‍රකාශ කිරීමට එහි නායකයෙකු වන අසංක ද මෙල්ට සිදුවිය.

සමිති වලට එරෙහි කැරලි ගසමින් තම අයිතීන් සඳහා සටනට පිවිසීම කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර පරිමානව වැඩෙන ප්‍රවනතාවයකි. එමෙන්ම අනධ්‍යන කම්කරුවන්ගේ මෙම අරගලය, ලංකාවේත්, ලොව පුරාත් කම්කරු පන්ති අරගලයන්ගේ නව පුනර්ජීවනයේ කොටසකි.

කම්කරු පන්තියට තම අරගල ඉදිරියට ගෙනයාමේදී අභිමුඛවන බලගතුම බාධකය වනුයේ වෘත්තීය සමිති පද්ධතියයි. වෘත්තීය සමිති කම්කරු පන්තියේ සංවිධාන වල සිට, කම්කරු පන්තියට එරෙහි, පාලක පන්තියේ උපකරන බවට පත්ව බොහෝ කල් ය. එසේවූයේ, ස්වභාවයෙන්ම ජාතිකවාදී වූ වෘත්තීය සමිති උපකරනය, නිශ්පාදනයේ ගෝලීයකරනය හමුවේ ඓතිහාසික වශයෙන් අයථාවක් වූ බැවිනි.

ධනවාදය පෙරනොවූවිරූ අර්බුදයක ගිලී ඇති තතු යටතේ රටක් රටක් පාසා ආන්ඩුවල පිලිවෙත වී ඇත්තේ තම අර්බුදයේ මුලු බර දැවැන්ත කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමයි. අනධ්‍යන සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීම ඇතුලු දීමනා කපා දැමීම නිදහස් අධ්‍යාපනයට එල්ලකෙරෙන ප්‍රහාරයේ කොටසකි.

දැනමටත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මූල්‍ය හිඟයෙන් බැටකන බව අනධ්‍යන සේවකයන් දනී. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අවසන් වසර ශිෂ්‍යයන්ට ව්‍යාපෘති සඳහා ලබාදුන් අරමුදල් භාගයකට වඩා වැඩි ප්‍රමානයකින් කපාදමා තිබේ. එහි අධ්‍යයන සේවකයන් සඳහා විරාම නිවාඩු කපාදමා තිබේ. 2017 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපනයට රජය වැයකල මුදල දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2.8 කි. එය තවදුරටත් කප්පාදුවෙමින් තිබේ. 2018 වසරේ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශයට වෙන්කල මුදල රුපියල් බිලියන 182.75 කි 2019 වසරේ නගර සංවර්ධන ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කල මුදල රුපියල් බිලියන 126.5කි දැවැන්ත අය-වැය හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආන්ඩුවට දෙන නියෝග තවදුරටත් අධ්‍යාපනය හා සෞඛ්‍ය මත කප්පාදුව දැඩි කරයි.

වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පක්ෂවල පිලිවෙත වන, ආන්ඩුවට පීඩනය යෙදීමෙන් එම කප්පාදු ආපසු හැරවිය නොහැක. අනධ්‍යන කම්කරුවන් ද ඇතුලු ලංකාවේ සහ ලොවපුරා කම්කරුවන් නැවත නැවතත් අත් විඳින්නේ එයයි. එබැවින් අනධ්‍යන කම්කරුවන්ගේ සටන මෙම සමිති අත පැවතියහොත්, පෙර සටන්සේම පාවාදෙනු නිසැකය.

සියයට 20 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ගෙනගිය පසුගිය වර්ජනයේදි එම ඉල්ලීම අඩකින්ම කප්පාදු කිරීමට පාලකයන් කල යෝජනාවට එකඟව මෙම සමිති එම සටන පාවා දුන්හ. ඊට පෙර වැඩවර්ජනය පාවා දුන්නේ නව ඇමතිවරයාට කල් ලබා දියයුතු යැයි පවසමිනි. එමෙන්ම කම්කරුවන්ගේ වැඩවේගවත් කිරීම සඳහා විශ්වවිද්‍යාල තුල ඇඟිලි සලකුනු යන්ත්‍ර ස්ථාපනය කිරීමට කම්කරුවන්ගේ විරෝධය නොතකා මෙම සමිති සියල්ල පරිපාලනයට උදව් කලහ.

මෙම සමිති සියල්ලම ධනපති දේශපාලනයේ යෙදෙන අතර, දේශපාලන පක්ෂ වලට සෘජුවම සම්බන්ධ නොමැති වෘත්තීය සමිති තමා “ස්වාධීන” බවක් පෙන්වමින් කම්කරුවන් මුලා කිරීමට යත්න දරයි. පසුගිය ජුලි 09 වන දා මොරටුව විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමකදී ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත කියා සිටියේ, දේශපාලනික වෘත්තීය සමිති වලට වඩා ස්වාධීන වෘත්තීය සමිති වැදගත් බව කියමින් හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයෙකු තමන් පැසසූ බවයි.

එයට ප්‍රතිඋත්තර දෙමින් ශ්‍රීලංනිසේස යේ අසංක ද මෙල් පැවසුවේ පසුගිය වැඩවර්ජන වලදී ඒකාබද්ධ කමිටුව ඇමතිවරුන් සමග සම්බන්ධ වී වැඩකල බවයි. එහි සිටි ඒකාබද්ධ කමිටුවේ නායකයන් වන කේ.එම් සිරිසේන, රෝහිත හේරත් සහ ඒකාබද්ධ කමිටුවේ සම ලේකම් ජනක විමලසුරිය පමනක් නොව, “ස්වාධීන” සමිති පිලිබඳ ව්‍යාජය ඉදිරිපත්කල ධම්මික එස්. ප්‍රියන්ත පවා අසංක ද මෙල්ගෙන් යටහත් පහත් ලෙස සමාව ගත්හ. එසේ කිරීමට ඔවුනට සිදුවුයේ දේශපාලන සංස්ථාපිතය සමග ඔවුනගේ පවත්නා සමීප සම්බන්ධතා නිසාය.

ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව කම්කරු පන්තියට තම අයිතීන් දිනාගත නොහැක. එම දේශපාලන අරගලයට පරම ලෙස සතුරු වෘත්තීය සමිතිවල විලංගු මුදා හරිමින්, කම්කරුවන් තමාගේම සංවිධාන රූපයන්, එනම් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට වහා ආරම්භකත්වය ගත යුතුය.

එම කමිටු ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පාදක කර ගනිමින්, ප්‍රසිද්ධ රැස්වීම්, උද්ඝෝෂන සහ සාකච්ඡා හරහා තම ක්‍රියා මාර්ගය සඳහා අවශේෂ කම්කරුවන්, ශිෂ්‍යයන් සහ පීඩිත ජනතාව දිනාගැනීමට සටන් වැදිය යුතුය.

Share this article: