ශ්‍රී ලංකාව: දුම්රිය වෘත්තීය සමිති ආන්ඩුවේ වර්ජන තහනමට යටත් වෙති

Sri Lankan railway unions cave in to government’s strike ban

සමන් ගුනදාස විසිනි, 2019 ජූලි 01

ශ්‍රී ලංකාවේ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක පෙරමුනක් වන දුම්රිය වෘත්තීය සමිති සන්ධානය (දුවෘසස), ආන්ඩුවේ විෂඝෝර අත්‍යවශ්‍ය සේවා නියෝගයට හිස නමා, තම ඉල්ලීම් සඳහා පීඩනය දැමීමට සෑම සිකුරාදා දිනකම වැඩ වර්ජනය කිරීමට කලින් ගත් තීරනය අත්හැර දැමී ය.

ජුනි 28දා පැවති මාධ්‍ය හමුවක දී, අත්‍යවශ්‍ය සේවා නියෝගය අවලංගු කරන ලෙස දුවෘසස ආන්ඩුවට ආයාචනා කලේ ය. එසේ නොකරන්නේ නම් දුවෘසස ආන්ඩුවට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඑල්ඕ) හා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ නඩු පවරන බව දැන්වීය. එම නිරර්ථක පියවර වනාහි, තම පාවාදීම ආවරනය කරගැනීමේ තැතකි.

ප්‍රවාහන ඇමති අර්ජුන රනතුංග විසින් කරන ලද ඉල්ලීමකට අනුව හදිසි නීති යටතේ වර්ජන ක්‍රියාමාර්ගය මර්දනය කිරීමට ජුනි 27දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්‍යවශ්‍ය සේවා නියෝගය පැනවී ය. එහෙත් 3,000ක් පමන වන දුම්රිය රියදුරන්, ගමන් පාලකයන්, මෙහෙයුම්කරුවන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂන කලමනාකරුවන් ඇතුලු‍ සමිති සාමාජිකයෝ තහනම ප්‍රතික්ෂේප කර වර්ජනයේ නිරත වූ හ. දෛනික ව ධාවනය වන 340ක් පමන වන දුම්රිය ගමන්වාරවලින් බොහොමයක් වර්ජනය හේතුවෙන් ඇනහිටියේය.

පහල ශ්‍රේනිවල කම්කරුවන්ට සාපේක්ෂ ව ඇති වැටුප් විෂමතාවක් නිරවුල් කිරීම සඳහා තම වැටුප රුපියල් 320කින් වැඩිකරන ලෙස ඉල්ලා දුවෘසස වර්ජනය කැඳවී ය.

මුදල් ඇමති මංගල සමරවීර කිසිදු වැටුප් වැඩිකිරීමක් දීම එකහෙලා ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු සමග පැවති සාකච්ඡා බිඳ වැටුනු විට දුම්රිය සේවකයෝ ජුනි 21-22 දෙදින කාර්මික ක්‍රියාවක නිරත වූ හ. දෙදින වර්ජනයෙන් පසු, වෘත්තීය සමිති පෙරමුන සෑම සිකුරාදා ම නාමික වැඩ නැවැත්වීමක් දක්වා පල්ලම් බැස්සේය. දැන් වෘත්තීය සමිති කිසිදු උද්ඝෝෂනයක් කිරීම අත්හැර දමා ඇත.

අත්‍යවශ්‍ය සේවා නියෝගයට අනුව, වර්ජන තහනම බිඳින ඕනෑම කම්කරුවෙක් “මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ පවත්වන ඍජු නඩු විභාගයකින් පසුව, වසර දෙකකට නො අඩු හා වසර පහකට නො වැඩි බරපතල වැඩ සහිත සිර දඬුවමකට යටත් කල හැක.” ඊට අමතර ව, “වැරදිකරු වන පුද්ගලයාගේ චංචල හෝ නිශ්චල සියලු‍ දේපොල රජයට අයත් කරගනු ඇත.”

සේවකයන් “නීති-විරෝධී” ලෙස වර්ජනයේ යෙදෙන බව පොලීසියට පැමිනිලි කර ඇති දුම්රිය බලධාරීහු ඔවුන්ට විරුද්ධ ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කල නිල පැමිනිල්ලකට අනුව, විමර්ශන සිදු කරමින් තිබෙන බව පොලීසිය මාධ්‍ය වෙත පැවසී ය.

දුම්රිය වැඩ වර්ජනය, හදිසි නීතිය පැනවීමෙන් පසු ආන්ඩුවේ සේවකයන්ගේ පලමු කාර්මික ක්‍රියාවයි. දේවස්ථාන හා සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගෙන අප්‍රේල් 21දා එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාර, විෂකුරු නීති පැනවීම සඳහා ජනාධිපති සිරිසේන විසින් ඩැහැගත්තේ ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 2දා නිකුත් කල ප්‍රකාශය ශ්‍රී ලංකාවේ සසප, ජනාධිපති සිරිසේනගේ පොලිස් රාජ්‍ය පියවරවලට දේශපාලන පක්ෂ දෙන සහයෝගය හෙලා දකී තුල, “දුරදිග යන ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්” හෙලාදුටු සසප, එම පියරවයන්ගේ ප්‍රධාන අරමුන කම්කරු පන්තියේ අරගල තලාදැමීම බවට අනතුරු ඇඟවී ය. කම්කරු පන්තිය බෙදීම පිනිස දුෂ්ට මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් ඇවිලවීම සඳහා ආන්ඩුව හා විරුද්ධ පක්ෂ විවෘත වර්ගවාදී සංවිධාන හා මාධ්‍ය සමග අත්වැල් බැඳගෙන ඇත.

ජනාධිපති හා අගමැති අතර පවතින ආන්ඩුවේ කාකොටාගැනීම දිගට ම පැවතියත්, අත්‍යවශ්‍ය සේවා නියෝගය පැටවීම ඔවුන්ට මතභේදයක් නොවිය. දුම්රිය කම්කරුවන්ගේ අරගලය, තම සමාජ අයිතීන් සඳහා සටන් කිරීමට අනෙකුත් කම්කරුවන් ධෛර්ය ගන්වනු ඇතැයි සමස්ත පාලක පන්තිය ම භීතියට පත්ව සිටී.

වර්ජනය අත්හිටුවමින් දුවෘසස ජනාධිපති, අගමැති සහ වෘත්තීය සමිති සබඳතා හා ප්‍රවාහන ඇමතිවරුන්ට ශෝචනීය යැවු ආයාචනයකින් ඒත්තු ගැන්වීමට තැත්කලේ අත්‍යවශ්‍ය සේවා නියෝගය අයිඑල්ඕවේ රෙගුලාසිවලට එරෙහි ව යන බව යි. දුවෘසස ආන්ඩුවට කල ආයාචනයට පිටුබලය දීම සඳහා ලංකා බැංකු සේවක සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු‍ තවත් වෘත්තීය සමිති කිහිපයක් මාධ්‍ය හමුවට සහභාගි වූ හ.

මේ සියලු‍ උප්පරවැට්ටි වල ඉලක්කය වන්නේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීමේ අරගලයක් වැලැක්වීම යි. මෙම ඉල්ලීම අරබයා ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පසුගිය ආන්ඩුව සමයේ ද දුම්රිය වෘත්තීය සමිති විසින් 2006 පටන් විරෝධතා දුසිම් ගනනක් පවත්වා ඇත. පසුගිය අගෝස්තුවේ දුම්රිය සේවකයන් අඛන්ඩ වැඩ වර්ජනයකට සහයෝගය දැක්වූ නමුත් ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝගයක් පැනවූ විට වෘත්තීය සමිති එය අත්හැර දැමූ හ.

මුදල් ඇමති සමරවීර කිසිදු වැටුප් වැඩිකිරීමක් දීම ප්‍රතික්ෂේප කලේ එවිට අනෙකුත් කම්කරුවන් ද ඒ හා සමාන ඉල්ලීම් කල හැකි යයි කියමිනි. “ඔවුන් (වෘත්තීය සමිති) කියන සෑම දෙයකට ම ආන්ඩුව එකඟ වුව හොත්, අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන්ගේ වැටුප් විෂමතාවන් පිලිබඳ විශාල ගැටලු‍වක් ඇති වනු ඇත” යි ඔහු කීවේ ය.

මුදල් හිඟයෙන් තැවෙන කොලඹ ආන්ඩුව සුභසාධන වැඩසටහන් හා මිල සහනාධාර කප්පාදු කරමින්, 2020 වන විට අයවැය හිඟය කැපීම පිනිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ක්‍රියාත්මක කරමින් සිටී. රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය හා වානිජකරනය කිරීම ගැන ද ජාමූඅ අවධාරනය කරයි. පාඩු ලබන ව්‍යවසායයක් ලෙස වර්ගීකරනය කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුව, විකුනා දැමීම සූදානම් කරමින් වානිජකරනය සඳහා සලකුනු කරනු ලැබේ.

දුවෘසස පාවාදීම යලි වතාවක් ප්‍රදර්ශනය කර ඇත්තේ, කම්කරුවන්ට තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සහ රැකියා හා යහපත් සේවා කොන්දේසි සඳහා සටන් කිරීම වෘත්තීය සමිති හරහා කල නො හැකි බව යි. ශ්‍රේනි ක්‍රමයට කම්කරුවන් ව නියෝජනය කරන වෘත්තීය සමිති, එකම අංශයක පවා එක් කම්කරු කොටසක් තවත් කොටසකට එරෙහි ව පිහිටුවයි. එය කම්කරුවන් බෙදමින් ඔවුන් හාම්පුතුන්ගේ අවශ්‍යතාවන්ට යටත් කර දීමකි.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ විට, ගුරුවරුන් මැයි මාසයේ සිදුකිරීමට සැලසුම් කර තිබූ වර්ජනය ඇතුලු‍ විරෝධතා හා වර්ජන වෘත්තීය සමිති විසින් නතර කර දැමී ය. එහෙත් ගුරුවරුන් අතර පවතින කෝපය කොතෙක් ද යත් මේ මාසය මැද දී වර්ජනයක් කැඳවීමට සමිතිවලට බලකෙරී තිබේ.

දුම්රිය කම්කරුවන්ට එරෙහිව අත්‍යවශ්‍ය සේවා නියෝගය පැනවීමට ආන්ඩුව ගත් තීරනය, කම්කරු පන්තිය අතර වර්ධනය වන අතෘප්තිය මධ්‍යයේ පාලක පන්තිය පොලිස්-රාජ්‍ය පාලන රූප සූදානම් කරමින් සිටින බවට සමස්ත කම්කරුවන්ට කරන තවත් අනතුරු ඇඟවීමකි.

කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජජ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා සටන් කිරීමට වැඩපොල, විශාල වතු හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස දුම්රිය කම්කරුවන් ඇතුලු‍ සියලු‍ කම්කරුවන්ගෙන් සසප ඉල්ලා සිටී.

ආන්ඩුවේ හා පාලක පන්තියේ ප්‍රහාරයට විරුද්ධ ව එවැනි අරගලයක් දියත් කිරීම සඳහා, කම්කරුවන්ට දේශපාලන ක්‍රියාමාර්ගයක් හා පක්ෂයක් අවශ්‍ය ය. පාලක පන්තියේ සෑම කන්ඩායමකින් ම දේශපාලනික ව බිඳිය යුතු කම්කරු පන්තිය, ගම්බද දුගීන් හා තරුනයන් රැලි කරගෙන ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදිය යුතු ය. මෙම ක්‍රියාමාර්ගයට සටන් වදින්නේ සසප පමනි.