ආන්ඩුව පොරොන්දු වූ රුපියල් 50 දීමනාව නොදීමට එරෙහිව වතු කම්කරුවන් උද්ඝෝෂනය කරයි

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2019 ජූලි 29

ආන්ඩුව පොරොන්දු වූ රුපියල් 50 ක දෛනික දීමනාව හා ඉඩම් අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා සිය ගනනක් වතු කම්කරුවෝ ජූලි 24 දා හැටන් නගරයේ විරෝධතා උද්ඝෝෂනයක නිරත වූහ. වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක ගේ අනුරුවක් සහ ටයර් පුලුස්සා දමා ආන්ඩුවට විරෝධය ප්‍රකාශකල කම්කරුවෝ නගරය තුල පා ගමනක ද යෙදී ගත්හ.

උද්ඝෝෂනය කැඳවුම් කලේ ආන්ඩුවේ පාර්ශවකරුවෙකු වන, නව ගම්මාන හා යටිතල පහසුකම් ඇමති පලනි දිගම්බරම් විසින් නායකත්වය දරන ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) විසිනි.

රුපියල් 50 ක දීමනාවක් ලබාදෙන බවට දුන් පොරොන්දුව කඩ කිරීම ගැන මෙන්ම, දරිද්‍රා මට්ටමේ වැටුප්, දුෂ්කර ජීවන හා සේවා කොන්දේසි ගැන, වතු සමාගම් සහ ආන්ඩුව කෙරෙහි වතු කම්කරුවන් තුල ඇත්තේ කැකෑරෙන වෛරයකි.

එවන් තත්වයක් තුල දිගම්බරම්ගේ සමිතිය මෙම විරෝධතාවය කැඳවනු ලැබුවේ කරුනු දෙකක් අරමුනු කරගෙනය: ඉන් පලමුවැන්න වනුයේ, කම්කරුවන් අතර වැඩෙන නොසන්සුන්කම සමනය කර ඔවුන් අවමංගත කිරීමයි. කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කරන බව මවාපාමින් ඛාදනය වෙමින් පවත්නා තම පදනම් රැක ගැනීම දෙවැන්නයි.

කම්කරුවන්ගේ සැලකියයුතු ඒකරාශි වීමක දුරදිගයන ඇඟවුම් පිලිබඳ දැනුවත් සමිති නායකත්වය, විරෝධතාවය සඳහා කම්කරුවන්ගේ සහභාගිත්වය අවම මට්ටමක රඳවා ගැනීමට සිතාමතාම සැලසුම්කර තිබුනි. අවම වශයෙන් හැටන් නගරය ආශ්‍රිත වතුවල කම්කරුවන් පුලුල් ලෙස දැනුවත් කොට ඔවුන්ගෙන් බහුතරයක් විරෝධතාවයට සහභාගි කරවා ගැනීමට එන්යූඩබ්ලිව් නිලධරය කවර හෝ සංයුක්ත පියවරක් නොගත්තේ ය.

ඒ වෙනුවට අවට වතු කීපයක ශාඛා සමිති නායකයන් හරහා කැඳවාගත් අතලොස්සකින් විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කොට තිබුනද, විරෝධතාවය පිලිබඳ දැනගත් කම්කරුවන් කීප සියයක් වහාම එයට සහභාගි වූහ.

වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක සහ ආන්ඩුව රුපියල් පනහක අතිරේක දෛනික දීමනාවක් දීමට පොරොන්දු වූයේ වතු සමාගම්, ආන්ඩුව සහ වෘත්තීය සමිතිවල ඒකාබද්ධ කුමන්ත්‍රනයකින් තමා මත පැටවූ ප්‍රෝඩාකාරී වැටුප් වැඩි කිරීමට එරෙහිව කම්කරුවන් තුලින් මතු වූ බරපතල කෝපය යටපත් කිරීමේ කූට උපායක් ලෙසය.

රුපියල් 500 ක දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා 100,000 ට අධික වතු කම්කරුවෝ පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල දී, දින නවයක අඛන්ඩ වර්ජනයක්, පිකට් කිරීම් සහ පෙලපාලි වලින් සමන්විත අතිශය ධෛර්යසම්පන්න අරගල මාලාවක නිරත වුහ. එහෙත් කම්කරුවන්ගේ බරපතල විරුද්ධත්වය නොතකා, ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඑඩබ්ලිව්යු), වතු සමාගම් සමග අත්සන් කල සාමූහික ගිවිසුම තුලින් වැටුප් අරගලය පාවාදුන්හ. ආන්ඩුවේ පාර්ශවකරුවන් වන එන්යූඩබ්ලිව්, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය (ඩීඩබ්ලිව්යූ) හා කඳුරට ජනතා පෙරමුන (යූපීිඑෆ්) වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට මුලුමනින් ම විරුද්ධ වූහ.

එපමනක් නොව වැවිලි කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුන දී ඇති කොන්දේසි යටතේ රුපියල් 1000 ක දෛනික වැටුපක් ඉල්ලීම “අතිශයින් ම අසාධාරන” බව වැටුප් අරගලය මැද දී දිගම්බරම් ප්‍රකාශ කලේ ය.

ගිවිසුමට අනුව කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 750 කි. එහෙත් ඊට හිලව්වට, පැමිනීමේ හා නිෂ්පාදන දිරිදීමනා ලෙස ගෙවන ලද රුපියල් 200 වතු සමාගම් විසින් ඉවත් කරන ලදී. යතා වශයෙන් දෛනික වැටුප වැඩි වුයේ රුපියල් 20 කින් පමනි. කම්කරුවන් එයට විරුද්ධ වූ තතු යටතේ ඉවත් කල රුපියල් 200 දීමනාව යලි ලබා දෙන ලෙස එන්යූඩබ්ලිව්, ඩීඩබ්ලිව්යූ සහ යූපීඑෆ් සමිති ඉල්ලා සිටි නමුත් ආන්ඩුව හා වතු සමාගම් එය මුලුමනින් ම ප්‍රතික්ෂේප කලහ.

එක් වර්ෂයකට සීමා කොට රුපියල් 50 ක දෛනික දීමනාවක් වතු කම්කරුවන්ට ගෙවීම සඳහා ඇමති දිසානායක ගෙන ආ යෝජනාවට මාර්තු මාසයේ කැබිනට්ටුවේ අනුමැතිය ලැබුන බව සඳහන් වූ අතර 2019 අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 1200 ක් වෙන් කරන බව ද මුදල් ඇමති මංගල සමරවීර ඔහුගේ අයවැය කතාවේ දී පැවසීය.

“වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය ක්ෂනිකව විසඳීම සඳහා තේ මන්ඩලය සමග සාකච්චා කොට පිලිගත හැකි විසඳුමක් අපි නොපමාව ක්‍රියාවට දමන්නෙමු ” යයි සමරවීර එහිදී සඳහන් කලේ ය.

ඒ අනුව තේ සංවර්ධන මන්ඩලයෙන් මිලියන 600 ක් සහ ඉතිරි මිලියන 600 මහා භාන්ඩාගාරයෙන් ලබා දීමට නියමිත විය.

අදාල දීමනාව අප්‍රේල් මාසයේ සිට ගෙවන බව ට ද ආන්ඩුව පොරොන්දු විය. ඒ සම්බන්ධව නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව දිගම්බරම් ජූලි මාසයේ මුල දී මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ නමුත් එවැන්නක් මෙතෙක් සිදු වී නැත.

එහෙත් තේ සංවර්ධන මන්ඩලය සතුව පවතින තේ අපනයන ප්‍රවර්ධන අරමුදලින් ඒ සඳහා මුදල් වෙන් කිරීමට වතු සමාගම් දැඩිව විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. එමෙන් ම ඇමති දිසානායක දැන් පවසන්නේ රුපියල් 50 දෛනික දීමනාව කිසිසේත් ගෙවිය නොහැකි බව ය.

යෝජිත දීමනාව වතු කම්කරුවන්ට දෙනවාට ඇමති දිසානායක සහ රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ් විරුද්ධ බවට දිගම්බරම් චෝදනා කරයි . “අපේ පක්ෂයට ප්‍රශංසාවක් ලැබෙන නිසා ඔහු (දිසානායක) සහ ඔහුගේ රාජ්‍ය ඇමති ඒක වලක්වනවා” යැයි දිගම්බරම් සඳහන් කර ඇත.

ආන්ඩුවේ පොරොන්දු සහ වෘත්තීය සමිති ගැන වතු කම්කරුවන් තුල විශ්වාසයක් නැත. කම්කරුවන් අතර පවතින එම අවිශ්වාසය සහ විරුද්ධත්වය මස්කෙලිය අප්කොට් හි ග්ලෙනුයිජ් වත්තේ වත්තේ එස්. අරුල්දාස්ගෙන් මෙසේ ප්‍රකාශ විය: “වෘත්තීය සමිති අපිව රවට්ටන්න ඔය වගේ උද්ඝෝෂන කරනවා. ඇමතිකම් වලින් ඉල්ලා අස්වෙනවා කියනවා. පඩි ප්‍රශ්නෙදීත් දිගම්බරම් ඉල්ලා අස්වෙන කතාවක් කිව්වා. චන්දයක් ලංවෙන කොට ඔය වගේ බොරු කතා දේශපාලනඥයෝ හැමෝම කියනවා. හැම ආන්ඩුවක් ම කරන්නේ අපිව රවට්ටන එක. බදු මිල ඉහල යනවා. ජීවන වියදම් වැඩි වෙනවා. රුපියල් 50 දුන්නත් එකෙන් මොනව ද කරන්න පුලුවන්?” යැයි ඔහු ප්‍රශ්න කලේය.

රුපියල් පනහේ දීමනාව ලබා නොදීම හුදෙක් දිසානායකගේ හා සුරේෂ්ගේ විරුද්ධත්වය මත ගත් තීන්දුවක් නොවේ. එය රාජ්‍ය ආයතන වල වියදම් සියයට 15 කින් හෙවත් රුපියල් බිලියන 113.4 කින් කැපීමට ආන්ඩුව ගෙන තිබෙන තීරනය හා සම්බන්ධ ය.

තීව්‍ර වන දේශපාලන අර්බුදය මධ්‍යයේ රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා පාලක පන්තිය අතර සිදුවන පොර ඇල්ලීම තුල මැතිවරනයක දී චන්ද ගසා කෑමේ එල්ලය ඇතිව, ඇතැම් විට රුපියල් 50 දීමනාව ආන්ඩුව විසින් ඉදිරි මාස කිහිපයක් සඳහා ගෙවීමට ඉඩ තිබේ.

එහෙත් එය පිම්මේ ඉහල නගින ජීවන වියදමට අලගු තැබීමට වත් ප්‍රමානවත් නොවනවා පමනක් නොව, එය පිටු පසින් වෘත්තීය සමිති වල ද සහයෝගය ඇතිව වැවිලි කර්මාන්තය මුලුමනින් ප්‍රතිසංවිධානය කිරීමේ ආන්ඩුවේ සහ වතු සමාගම්වල සැලසුම් කඩිනමින් ක්‍රියාවට දැමෙනු ඇත. යෝජිත ආදායම් බෙදීම් ක්‍රමය ක්‍රියාවට දැමීම වතු සමාගම් විසින් දැනටමත් වේගවත් කර තිබේ. තේ වෙනුවට ෆාම් ඔයිල්, පලතුරු ඇතුලු ලාභදායී වානිජ බෝග වැවීම තවත් යෝජනාවකි. මීට අමතරව කම්කරුවන් සඳහා සමාගම් විසින් දැනට පවත්වාගෙන යන, සොච්චම් සමාජ සුබසාදන ද කපා දැමීමට තීන්දු කර ඇත.

එම ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස, ඉඩම් කැබෙල්ලක අයිතිය දීමේ හා නව ගම්මාන පිහිටුවීමේ ප්‍රෝඩාව යටතේ වතු කම්කරු පවුල් වතු වලින් ඉවත් කිරීමේ සහ සාමුහික සමාජ බලවේගයක් ලෙස පැවතීම අහෝසි කොට ඔවුන් අනුවලට කඩා විසුරුවීමේ සැලැස්මක් ද ක්‍රියාවට දැමීමට තීන්දු කර තිබේ. ජූලි 24 දා පැවති උද්ඝෝෂනයේ දී ඉඩම් අයිතිය සඳහා සටන් පාඨයක් හඬ නැංවීමට එන්යූඩබ්ලිව් විසින් කම්කරුවන් මෙහෙයවනු ලැබුවේ ඔවුන් එම උගුලට කොටු කිරීමේ දුෂ්ට චේතනාව ඇතිවය.

වෘත්තීය සමිති සහ ඊනියා දාහේ ව්‍යාපාරය ඇතුළු ව්‍යාජ වම්මුන් ක්‍රියාත්මක වී සිටින්නේ වතු සමාගම් සහ ධනපති ආන්ඩුවේ මෙම ප්‍රතිගාමී සැලසුම් වලට කම්කරුවන් කරබදු කිරීමේ දැනුවත් ඒජන්තයන් ලෙසය.

වතුකම්කරුවන් නැවත නැවතත් අත්විඳින මෙම පාඩම් වලින් උකහාගතහැකි නිගමනය වන්නේ, වතු සහ කම්හල්වල පාලනය තම අතට ගැනීමෙන් මිස, වැටුප් ප්‍රශ්නය ඇතුලු තමා මුහුනදී සිටින අන් කවර හෝ ප්‍රශ්නයක් විසඳාගත නොහැකි බවයි. විවිධ ඉල්ලීම් මත සටනට අවතීර්න වන අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ද මුහුන දී සිටින්නේ මෙම වෛෂයික යතාර්ථයටයි.

පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ධනපති සමාජ ක්‍රමය අහෝසි කොට, මානව අවශ්‍යතා තෘප්ත කෙරෙන පරිදි සමස්ත සමාජ සහ ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම හදිසි සහ අත්‍යවශ්‍ය කර්තව්‍යය බවට පත්ව ඇත. මෙය සාක්ෂාත් කල හැක්කේ ජාත්‍යන්තර සමාජවදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමෙන් පමනකි.

මේ සඳහා බරපතලම බාධකය ලෙස පවත්නා වෘත්තීය සමිති වලින් බිඳී වෙන්වී තමාගේම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන, එනම් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් ආරම්භකත්වය ගත යුතුය. පසුගිය දෙසැම්බර් වර්ජනය මධ්‍යයේ හැටන් හි ඇබොට්ස්ලී වත්තේ කම්කරුවන් තමාගේම ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගනිමින් ගත් ආම්භකත්වය සියලු කම්කරුවන්ට ආදර්ශයකි. එම කමිටුවේ නායකත්වයෙන් පසුගිය මාර්තු මාසයේ හැටන් හි පැවැත්වූ කම්කරු සම්මේලනයේදී ඒකච්ඡන්දයෙන් සම්මත කෙරුනේ ඉහත දැක්වූ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලයි.

Share this article: