ගුරුවරු දෙදින වැඩ වර්ජනයකට සැරසෙති

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 ජූලි 12

දිවයින පුරා ගුරුවරු ඉල්ලීම් හතරක් මුල්කරගෙන ජූලි මස 18, 19 යන දෙදින තුල වැඩවර්ජනයක නිරත වීමට නියමිතය. වර්ජනය කැඳවනු ලබන්නේ ගුරු, විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලෙස නම් කෙරෙන සංවිධානයක් හරහාය.

බී.සී පෙරේරා වැටුප් කොමිසමෙන් ඇති කල වැටුප් විෂමතා ඉවත් කිරීම, දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනයට යෙදවීම, 2016 න් පසු පත්වීම් ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව ඉවත් කිරීම සහ ගුරුවරුන්ට අනවශ්‍ය බර පැටවීම නතර කිරීම එම සන්ධානයේ ඉල්ලීම් අතර වෙයි.

මෙම වර්ජනය කැඳවීමට පෙර මාර්තු 13 වන දා 200,000 කට අධික ගුරුවරු ඉහත ඉල්ලිම් හතර මුල්කරගනිමින් එක්දින වර්ජනයක නිරත වූහ. එම වර්ජනයේ ඉහල සහභාගීත්වය, අනෙක් ක්ෂේත්‍ර වලදී මෙන්ම ගුරුවරුන් අතරද වැඩෙන සටන්කාමිත්වයේ ප්‍රකාශනයක් වූ අතර ඉදිරි වර්ජනය සඳහා ද එවැනිම සහභාගිත්වයක් ලබාදීමට ගුරුවරුන් අතර සූදානමක් පවතී.

මාර්තු 13 ට පසුව ගුරු සංගම් විසින් මැයි 9 සහ 10 දෙදින වර්ජනයක් කැඳවා තිබූ නමුත් අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයන් ගසාකමින් ආන්ඩුව වඩා මර්දනකාරී පියවරයන් වෙත ගමන් කරද්දී, “යලිත් පාසල් සාමාන්‍ය තත්වයට පත්වන තුරු” යැයි කියමින් වෘත්තිය සමිති එම වර්ජනය කල් දැමූහ.

“මහජන ආරක්ෂාව” නමැති කඩතුරාව යටතේ ආන්ඩුව හදිසි නීතිය පනවා පොලීසිය සහ හමුදාව කැඳවාගනු ලැබුවේ වේගයෙන් වැඩෙමින් පවත්නා පන්ති අරගල මැඩීමේ අරමුනෙනි. ගුරු-විදුහල්පති වෘත්තීය සමිති වර්ජනය කල් දැමුවේ ආන්ඩුවේ එම ප්‍රතිගාමී අවශ්‍යතාවයට ගැලපෙන අයුරෙනි.

ගුරුවරු සටනට අවතීර්නව සිටින්නේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගයන්ට අනුව දශක ගනනාවක් මුලුල්ලේ ක්‍රියාවට දැමූ කප්පාදු මාලාවකට එරෙහිවයි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් මත එල්ල කෙරෙන ප්‍රහාර පරාජය කිරීම සඳහා එම ප්‍රහාර වලින් බැටකන විවිධ ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ඒකාබද්ධ කෙරුනු දේශපාලනික අරගලයක් කැඳවීම ගුරු සංගම් ඇතුලු සියලු වෘත්තීය සමිති මුලුමුනින්ම පැහැර හැර ඇත. ඒ වෙනුවට ඔවුන් ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතාවයන් හරහා ගුරුවරුන්ගේ සහ අනෙකුත් කම්කරුවන්ගේ අරගලයන් අවමංගත කර තිබේ.

මෙවර ගුරුවරුන්ගේ වැඩවර්ජනයට කැඳවුම් කරන සමිති සන්ධානයට නායකත්වය දෙන ශ්‍රී ලංකා රජයේ ගුරු සංගමය (ශ්‍රීලංරගුස) වසර එකහමාරකට ඉහතදී පිහිටුවන ලද සංවිධානයකි. මීට ඉහත වර්ජනයේදී මූලිකත්වය ගත් ලංකා ගුරු සංගමය (ලගුස), ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ජූලි 18 සහ 19 වර්ජනයට සහයෝගය පලකරන්නේ නැත.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටැලින්ගෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල විමසීමකදී ඔහු ප්‍රකාශ කලේ ශ්‍රීලංරගුස තමන් ඇතුලු බහුතර ගුරුසංගම් වල විමසීමකින් තොරව අත්තනෝමතික ලෙස මෙවර වර්ජනය කැඳවා ඇති බවත් එය තමන් විසින් පෙරට ගත් ක්‍රියාමාර්ගයන් දෙදරීමකට ලක්කරන බවත්ය. තමන් මෙම වර්ජනයට “සහයෝගය දීමකින් හෝ විරුද්ධ වීමකින් වැලකී ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි බලා සිටින” බව ඔහු වැඩි දුරටත් පැවසීය.

ස්ටැලින්ගේ මෙම ප්‍රකාශයන් ඒකාබද්ධ අරගලයක් කෙරෙහි ගුරුසංගම් පලකරන සතුරුභාවය වඩාත් එලිමහනට ගෙන එයි. මීට ඉහතදී පැවැති විරෝධතාවයන් හා වර්ජන වලදීද ලංගුස ඇතුලු ගුරු වෘත්තීය සමිති මෙවැනිම භේදකරනයන් පෙරට දමා ගුරුවරුන්ගේ ඒකාබද්ධතාවයට හරස් වී ඇත.

වෘත්තීය සමිතිවල මෙම භේදකරනයන් ඇතුලු ද්‍රෝහී භූමිකාව පිලිබඳව සිය බලවත් අප්‍රසාදය පලකල කොලඹ ප්‍රධාන පාසලක ගුරුවරයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේ “වෘත්තීය සමිති සම්පූර්නයෙන් අතුගා දමමින් කම්කරුවන් අතරින් අව්‍යාජ සංවිධානයක් මතුවිය යුතු” බවයි.

“මම විශ්වාස කරන්නේ කම්කරුවො මහා වැඩවර්ජනයකට යන්න ඕනෙ කියලයි. ඒකට හැම ක්ෂේත්‍රයකම කම්කරුවො එකතු වෙන්නෙ ඕනෙ. ආන්ඩුව මහා දරුනු මර්දනයකට සූදානම් වෙන්නෙ. කම්කරුවො වෙනත් ක්ෂේත්‍රවල තමන්ගෙ සහෝදර කම්කරුවො ආරක්ෂා කරන්න ඕනෙ. වෘත්තීය සමිති කවදාවත් ඒ එකමුතුව හදන්නෙ නැහැ.”

ලෝසවෙඅ සමග සාකච්ඡා කල බොහෝ ගුරුවරුන්ට පැවති ගැටලුව වූයේ වෘත්තීය සමිති කැඳවන විරෝධතාවල හෝ වර්ජනවල නිශ්චිත වැඩපිලිවෙලක් අන්තර්ගත නොවීමයි. “අපි වර්ජන කිරීමේ ඉලක්කය මොකද්ද?” හෝමාගම ප්‍රදේශයේ ගුරුවරියක් ප්‍රශ්න කලාය.

“ආන්ඩුවලට බලකලාට කිසිම දෙයක් දෙන්න සූදානමක් නැති බව පැහැදිලියි. නිසි වැඩපිලිවෙලක් නැතිව සටන්කරන්නේ කොහොමද? මම නම් හිතන්නේ ගුරුවරු අතරේ මේ ගැන බරපතල සාකච්ඡාවක් අවශ්‍යයි”.

ඉහල යන ජීවන වියදම හා සංසන්දනය කරනවිට කාලාන්තරයක් තිස්සේ එක තැන පල්වන තමන්ගේ සොච්චම් වැටුපෙන් ජීවත් වීම ගුරුවරුන්ට අතිශය දුෂ්කර කෙරී ඇත.

ලෝසවෙඅවෙත අදහස් දැක්වූ හලාවත ප්‍රදේශයේ ජාතික පාසලක ඉන්ජිනේරු තාක්ෂන විෂය උගන්වන ගුරුවරයෙක් තමන් මුහුන දෙන දුෂ්කරතා ගැන මෙසේ සඳහන් කලේය. “මගේ මාසික වැටුප රුපියල් 35,000යි. මගේ නංගිගේ සහ මගේ විවාහ උත්සව දෙකම ගන්න මම නය අරගෙන තියෙන්නේ. මාසෙ වියදම් යන්තම් පිරිමහගන්න මට රුපියල් 15,000 ක් විතර යනවා. බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. අමතර පන්ති වලින් 20,000ක් විතර උපයගෙන ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මගේ ආර්ථික තත්වය දුර්වල නිසා මට මගේ දෙමව්පියන්ට උදව්වක් කරන්න විදියක් නැහැ. ඒක නිසා මගේ තාත්තාට විශ්‍රාම ගියාට පස්සෙත් රැකියාවක් කරන්න වෙලා.”

ලෝසවෙඅ ට කතාකල බහුතරයක් ගුරුවරුන්ගෙන් ප්‍රකාශයට පත්වූයේ තමා මුහුන දී සිටින තත්වය වෙනස් කිරීම සඳහා යොමුවූ අව්‍යාජ සටනකට සහභාගිවීමේ දැවෙන අවශ්‍යතාවය යි.

තමන් අතරින් මතුව ඇති සටන්කාමිත්වය ලෝකය පුරා පුනර්ජීවනය වෙමින් පවතින පන්ති අරගලයේ ප්‍රකාශනයක් බව ගුරුවරුන් හඳුනාගත යුතුය.

මෙම වසර මුල සිටම ඇමරිකාව, බ්‍රසීලය, නෙදර්ලන්තය, පෘතුගාලය, මොරොක්කෝව, සිම්බාබ්වේ සහ ඉන්දියාව ඇතුලු රටවල දසදහස් සංඛ්‍යාත ගුරුවරුන්ගේ සහභාගිත්වය සහිත අරගල මාලාවක් පුපුරා ගිය අතර ප්‍රන්සයේ “කහ බැනියම්” විරෝධතා සහ හොංකොං හි පුලුල් මහජන විරෝධතා ඇතුලුව අනෙකුත් ක්ෂේත්‍රයන්හි ද පැතිරෙමින් පවතින්නේ දැවැන්ත පන්ති අරගල රැල්ලකි.

ධනපති පාලක පන්තියේ ප්‍රහාරයන් හමුවේ සිය ජීවන තත්වයන් දරුනු ලෙස කඩාවැටීම තවදුරටත් දරාගත නොහැකිව කම්කරුවෝ සහ අවශේෂ පීඩිතයෝ මෙලෙස සටනට අවතීර්න වී සිටිති.

කම්කරුවන් වෘත්තීය සමිතිවලට පිටින් ධෛර්යසම්පන්න ලෙස අරගලයට ප්‍රවිෂ්ට වීම ලෝකය පුරාම වර්ධනය වෙමින් පවතින ප්‍රවනතාවයක් බවට පත්වී ඇති අතර, පසුගිය වසර අගදී පැන නැගි වතු කම්කරු අරගලයේදී ලංකාව තුලද එය ප්‍රකාශයට පත්විය.

රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා ඔවුන් වැඩ වර්ජන ඇතුලු සටන් වලට පිවිසියේ සමිති වලට පිටතිනි. මෙම සටන මධ්‍යයේ හැටන් හි ඇබොට්ස්ලී වත්තේ කම්කරුවෝ වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මගපෙන්වීම යටතේ එම කමිටුව හැටන්හි පැවැත්වූ සාර්ථක ් සමුලුවකදී, තම වැටුප් ඉල්ලීම් ඇතුලු අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන සටනක අවශ්‍යතාව ගැඹුරින් සාකචිඡා කෙරුනි. එම දේශපාලන සටන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පාදක කරගත යුතු බවට ගෙන ආ යෝජනාව සමලුුව ඒකච්ඡන්දයෙන් සම්මත කලේය.

ධනපති සංස්ථාපිතයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම දේශපාලන පක්ෂ කෙරෙහි කම්කරු පන්තිය තුල වැඩී ඇති බලගතු විරෝධය ගසාකෑම සඳහා, දේශපාලන පක්ෂවලින් ස්වාධීනව ගුරුවරුන් සංවිධානය කරන බව ශ්‍රීලංරගුස කියා සිටී. “අරගලය සංගම්වලට නොදී ගුරුවරුන්ගේ කරගත හොත් වාසිය ගුරුවරුන්ට මිස දේශපාලනයට නොවේ” යනුවෙන් එම සංගමය සිය මුහුනු පොත් පිටුවේ පලකර ඇත.

ඔවුනගේ මෙම “ස්වාධීන” වැඩපිලිවෙල කුමක්ද යන්න, මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත්වන බව කියන ධනපති ව්‍යාපාරිකයෙකු වන රොහාන් පල්ලෙවත්ත වෙත තම යෝජනා ඉදිරිපත් කරමින් ඒවා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලුකරගන්නා ලෙස කරන ඉල්ලීමෙන් පැහැදිලි වෙයි. මේවා මුලුමුනින්ම කම්කරු පන්තියේ සටන්කාමීත්වය දියකර හරිමින් ඔවුන් ධනපති සංස්ථාපිතයට ගැටගැසීමේ දක්ෂිනාංශික ව්‍යායාමයන් ය.

ආන්ඩුව සහ සමිති කෙරෙහි වැඩී ඇති විරෝධය ගසාකෑම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පෙදුුජන පෙරමුන ද ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය නමින් නව වෘත්තීය සමිතියක් අටවාගෙන වැඩට බැස ඇත.

මෙම සමිතියේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ ජූලි 10 වන දා අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ අනෙක් ආන්ඩු ගුරුවරුන්ට පහර එල්ල කරද්දී මහින්ද රාජපක්ෂ ආන්ඩුව ඔවුනට සහන සලසා දුන් බවයි. ඇය මෙලෙස උත්කර්ශයට නැංවූයේ අධ්‍යාපන වියදම් නොකඩවා කප්පාදු කල සහ මෙවර වර්ජනයෙදීී ද ගුරුවරුන් ඉදිරිපත්කොට ඇති ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කල ආන්ඩුවකි.

බලපෑම් දැමීමේ විරෝධතාවන් හමුවේ ආන්ඩුව කම්කරුවන්ගේ ඉල්ලීම්වලට කන්දෙනු ඇතැයි ශ්‍රීලංරගුස ඇතුලු සියලුම වෘත්තීය සමිති වපුරන මිත්‍යාවට ප්‍රතිකූලව ආන්ඩුව වෙිගයෙන් ක්‍රියාවට දමමින් සිටින්නේ කම්කරු අරගල තලා දැමීම එල්ල කරගත් පොලිස් රාජ්‍ය සැලසුමි ය.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය ඩැහැ ගනිමින් ආන්ඩුව බල ගැන්වූ විසකුරු නීති යටතේ අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා දුම්රිය කම්කරු අරගලය මැඩීමට ආන්ඩුව පියවර ගත්තේය.

ආන්ඩුව මෙතරම් මර්දනයක් දිගේලි කර තිබියදී ආන්ඩුවට බලපෑම් යොදා තම අයිතිවාසිකම් දිනාගත ගත හැකිබව පවසමින් ශ්‍රීලංරගුස ඇතුලු වෘත්තීය සමිති කම්කරුවන් මුලාකරන්නේ කම්කරුවන් ස්වාධීනව අරගලයට අවතීර්නව ධනපති ක්‍රමයම පෙරලා දැමුවහොත් එම ක්‍රමය යටතේ භුක්ති විඳිමින් සිටින තම වරප්‍රසාද අහිමි වෙතැයි යන භීතියෙනි.

ගුරුවරුන් ඇතුලුු කම්කරුවන්ගේ කර්තව්‍යය වන්නේ ධනපති පන්ති පාලනයට එරෙහි ඒකාබද්ධ ප්‍රහාරයක් සූදානම් කිරීම සඳහා අරගලය තම අතට ගැනීමයි. ඒ සඳහා වෘත්තීය සමිති වලින් මුලුමනින්ම ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙයි.