ගුරු සංගම්වල භේද කිරීම් මැද ගුරුවරු වර්ජනයට එක්වෙති

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 ජූලි 23

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය (ශ්‍රීලරගුස) විසින් කැඳවන ලද මෙම වර්ජනයට ගුරුවරුන් සම්බන්ධ වූයේ ඔවුන් වැඩිදෙනෙකු සාමජිකත්වය දරන ලංකා ගුරු සංගමය (ලංගුස), ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) සහ ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ඇතුලු ප්‍රධාන ගුරු සංගම් ඔවුන්ගේ කකුලෙන් අදිද්දීය. වාර්තාවන අන්දමට සමස්ත ගුරුවරුන්ගෙන් අර්ධයකට ආසන්න ප්‍රමානයක් වර්ජනයට සම්බන්ධ වී ඇති අතර දිවයිනේ ඇතැම් පාසල් වල ඉගැන්වීම් කටයුතු සම්පූර්නයෙන්ම අඩාල වී තිබුනි.

කෙසේ වෙතත් මෙම වර්ජනය කැඳවනු ලැබුවේ පසුගිය මාර්තු 13 වනදා දෙලක්ෂයක් පමන ගුරුවරු එක්දින වර්ජනයකට සහභාගී වෙමින් තම සටන්කාමීත්වය ප්‍රදර්ශනය කර තිබූ තතු තුලයි. පසුගිය දෙදින වර්ජනයේදී ගුරු සහභාගීත්වය අඩුවීම, සම්පූර්නයෙන්ම ගුරු සංගම් විසින් ඇතිකල භේදකරනයේ ප්‍රතිඵලය විය. ප්‍රධාන ගුරුසංගම් වර්ජනයට සහයෝගය නොදීම හේතුවෙන් ගුරුවරු අතර බරපතල ව්‍යාකුලතාවයක් නිර්මානය කෙරී පැවතුනි.

වර්ජනය කැඳවූ ශ්‍රීලරගුස එම ව්‍යාකුලත්වය කපා හරිමින් ගුරුවරුන්ගේ ඒකාබද්ධතාවය වර්ධනය කිරීමට කිසිදු උත්සාහයක් නොදැරීය. වර්ජනය කැඳවන්නේ කවර වෘත්තීය සමිතියක් විසින්දැයි හරි අවබෝධයක් නොමැතිව වුවත් සමාජ මාධ්‍ය හරහා සහ කටින් කට පැතිර ගිය දැනුම්දීම්වලට ප්‍රතිචාර දක්වමින් ගුරුවරු වර්ජනයට සහභාගී වූහ. ඒ හරහා නැවත වතාවක් පෙන්නුම් කෙරුනේ තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ගුරුවරුන් අතර පවත්නා බලවත් උවමනාවයි.

අධ්‍යාපන ඇමති අකිල කාරියවසම් වර්ජනයට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ “මෙතෙක් අධ්‍යාපන පද්ධතියේ පැවති ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදුන් ආකාරයටම ගුරු-විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ස්ථාවර විසඳුම් ලබාදීමට මේ වනවිටත් කටයුතු කරමින් පවතින” බවයි. සියලු අනුප්‍රාප්තික ආන්ඩු මෙන්ම වත්මන් ආන්ඩුවත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල දියත් කර ඇති බරපතල කප්පාදුව අත්දකින ඕනෑම අයෙකුට මෙම ප්‍රකාශයන් වංචාසහගත ප්‍රලාපයන් බව වටහා ගැනීම අපහසු නැත. ගුරුවරුන්ගේ පලල් සහභාගිත්වයක් හා සටන්කාමිත්වයක් ප්‍රකාශයට පත්වූ මාර්තු 13 වර්ජනයෙන් පසුව, කාරියවසම් ගුරු අරගලයට පහර ගැසුවේ “වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ ක්‍රියාවක්” යයි පවසමිනි.

ගුරුවරුන් වර්ජනයට සූදානම් වෙද්දී සහ ඉන්පසුව ප්‍රධාන ගුරුසංගම් ප්‍රසිද්ධයේ දැක්වූ අදහස් අතිශයින් විසකුරු විය. ලංගුස ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටැලින් ප්‍රකාශ කලේ වර්ජනය අසාර්ථක වූ බවයි. “වර්ජනයෙන් පාසල් වල ඒතරම් ගැටලුවක් ඇති වුනේ නැහැ. අපි ඒක කලින්ම දැනගෙන හිටියා. මේ වර්ජනය සංවිධානය කල පාර්ශව කලේ පොදු අරගලය කඩාකප්පල් කිරීමක්” යැයි ඔහු මාධ්‍ය වෙත පැවසුවේය.

වර්ජනය කැඳවූ ශ්‍රීලංරගුස ප්‍රතිගාමී සංවිධානයක් වුවත් ගුරුවරුන් ඊට සහභාගී වූයේ තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේ අව්‍යාජ වුවමනාවක් ඔවුන්ට පවතින නිසාය. නිස්සාර විරෝධතාවලට ගුරුවරුන් කොටුකර ඔවුන්ගේ සටන්කාමීත්වය යටපත් කිරීම ගුරු සංගම්වල භූමිකාව බවට පත්ව ඇත. ලංගුස ඇතුලු ගුරු සංගම්වල සැබෑ විරෝධය මතුවන්නේ ගුරුවරුන් එම සීමාවන් බිඳගෙන ස්වාධීන අරගලයකට ප්‍රවේශවීම ගැනයි.

වර්ජනය ක්‍රියාත්මක වූ දෙදින තුල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාසල් වල සේවයට වාර්තා කර සිටි ගුරුවරුන් සහ විදුහල්පතිවරු මුනගැසෙමින් ගුරුවරුන් ඇතුලු කම්කරුවන්ගේ ස්වාධීන අරගලයක් වර්ධනය කිරීම ගැන සාකච්ඡා පැවත්වූහ. “සමාජවාදී ක්‍රියාමාර්ගය මත ගුරුවරුන්ගේ සටන ඉදිරියට ගෙන යමු” යන මැයෙන් සසප ගුරු කන්ඩායම ගුරුවරුන් වෙත කල කැඳවුමේ පිටපත් සියගනනක් ගුරුවරුන් අතර බෙදාහැරුනු අතර ඔවුන්ට ලෝක සමාජවාදී වෙබ් අඩවිය හඳුන්වා දෙන ලදී.

සාකච්ඡාවලට සම්බන්ධ වූ සෑම ගුරුවරයෙක්ම වෘත්තීය සමිති පිලිබඳ දැඩි අප්‍රසාදයෙන් සහ අවිශ්වාසයෙන් කතාකලේය. තමන්ගේ අරගලය නිවැරදි වැඩපිලිවෙලක් යටතේ ඉදිරියට ගැනීම පිලිබඳව උනන්දු වෙමින් ඔවුන් සසප වැඩපිලිවෙලට සාවධාන වූහ. බහුතරයක් ගුරුවරු ප්‍රකාශ කලේ කිසිදු ගුරු සංගමයක් විසින් තමන්ට වර්ජනය පිලිබඳ නිසි දැනුවත් කිරීමක් නොකල බවයි. ගුරුවරුන් මුහුනදෙන ප්‍රශ්න සහ ඒ සඳහා විසඳුම් ලබාගැනීමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් ගුරුවරුන් අතර කිසදු සාකච්ඡාවක් නොමැතිකම බරපතල අඩුවක් බව ඔවුන්ගේ අදහස විය.

“පාසල්වල ගුරුවරු වගේම විදුහල්පතිවරුත් හරිම පීඩනයක ඉන්නේ. වැඩ කන්දරාව සහ වගකීම වැඩියි ඊට සාපේක්ෂව වැටුප ඉතාම පහලයි. කෙනෙක් වෙහෙස මහන්සි වෙලා ඉගෙනගෙන මේ වගේ වෘත්තියකට එන්නේ හොඳ ජීවිතයක් ගතකරන බලාපොරොත්තුවෙන්. ඒත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට රැකියාවත් එපාවෙන තත්වයක් අද තියෙන්නෙ. ඔබ කියන දේට මම එකඟයි. ගුරුවරු වෘත්තීය සමිතිවල දේශපාලන න්‍යායපත්‍ර වලට වැඩකරන එක නතර කරන්න ඕන. ගුරුවරු තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක් හදාගන්න ඕනෙ කම්කරුවො හැටියට.” මහනුවර ප්‍රදේශයේ කනිෂ්ඨ පාසලක විදුහල්පති සුබසේකර පැවසුවේය.

එම ප්‍රදේශයේම මහා විද්‍යාලයක සාමන්‍ය පෙල විද්‍යා ගුරුවරයෙකු වූ සුමිත් පැවසුවේ ගුරුවරුන් තමන් මුහුන දෙන දුෂ්කර තත්වය වෙනස් කරගැනීමේ බලවත් උවමනාවකින් පසුවෙන බවයි. “ගුරුවරු අතර හරිහමන් ව්‍යාපාරයක් ගොඩනැගිල අඛන්ඩ වර්ජනයකට කැඳවුම් කලොත් අපි එකපයින් ඒකට එකතුවෙනව. මේ ලැබෙන සොච්චම් වැටුප කොහොමටවත් ප්‍රමානවත් නැහැ.” ඔහු පැවසීය.

කොලඹ ප්‍රදේශයේ මහා විද්‍යාලයක සිංහල ගුරුවරයෙකු වූ අමරනාත් මාර්තු මාසයේ වර්ජනය ගැන ඉමහත් උද්‍යෝගයෙන් යුතුව සිහිපත් කරමින් මෙසේ ප්‍රකාශ කලේය. “ගියපාර වර්ජනය සාර්ථක වුනාම අපි හිතුවෙ අඛන්ඩ අරගලයකින් අපිට අයිතීන් දිනාගන්න අවස්ථාවක් තියෙනව කියලයි. අපි සෑහෙන මහන්සි වුනා ඒ වර්ජනය සාර්ථක කරගන්න. අපි අපේ හිතවත් ගුරුවරු ගාවට ගිහින් වර්ජනය කරන එකේ වැදගත් කම ගැන පැහැදිලි කරල වර්ජනයට කන්ඩායම් එකතු කලා. ඉස්සරහට යයි කියල හිතපු අරගලය දුර්වල වෙලා. ඒ ගැන කනගාටුයි”.

එහිදී සසප ගුරු කන්ඩායම ඔහුට පැහදිලි කලේ වෘත්තීය සමිති ගුරුවරුන් අතර ව්‍යාකුලත්වයක් නිර්මානය කරමින් සටන කඩාකප්පල් කලා මිස ගුරුවරුන්ගේ ධෛර්යයේ අඩුවක් නැති බවයි. ගුරුවරුන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ඒ හරහා සාමූහික කාර්මික ක්‍රියාවන් සංවිධානය කලයුතු බව පිලිගනිමින් ඔහු පැවසුවේ, “ගුරුවරු කියන්නේ ලංකාවේ කම්කරු පන්තියේ ප්‍රබලම කොටසක්. හරියට සංවිධානය කලොත් ඒක අනෙක් කම්කරුවන්ටත් ආදර්ශයක්” වන බවයි.

විශ්‍රාම ගැනීමට ආසන්න ඉංග්‍රීසි ගුරුවරියක් වූ ඛේමා ගුරු අරගල පිලිබඳ තම මතකය අවදිකලාය. “ගුරු සංගම් හැම එකක්ම අවුරුදු ගානක් තිස්සෙ කලේ ගුරුවරුන්ගේ අරගල ආපස්සට අදින එකයි. දවසින් දවස සිද්ධවුනේ ගුරු සංගම් ගැන විශ්වාසය නැතිවෙන එක. දැන් ගොඩක් අය සංගම් වලට බැඳිලත් නැහැ. මේ වර්ජනය හැම ගුරු සංගමයකටම එකතු වෙලා කරන්න තිබුනෙ නැද්ද? එහෙම කලානම් අපි හැමෝම විශ්වාසයෙන් සහභාගී වෙනව.” ඇය පැවසුවාය.

සසප ගුරු කන්ඩායමේ ප්‍රකාශය කියවූ හලාවත ප්‍රදේශයේ චිත්‍ර ගුරුවරියක් වෘත්තීය සමිති විසින් යෝජනා කෙරෙන ක්‍රියාමාර්ගයන්ගේ සීමාසහිත බව ප්‍රශ්න කලාය. “ඇත්තටම දවස් දෙකක් ලෙඩ නිවාඩු දැම්මා කියලා ආන්ඩුවට බලපෑමක් වෙන්නේ නෑ. අපි පිකට් කිරීම්වලට හා අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන්ගෙන් සහය ඉල්ලීමේ වැඩ වලට යන්න. මේ වර්ජන කරන එකම සමිතියකටවත් ප්‍රාදේශීය නියෝජිතයෝ පත් කර ගෙන ශක්තිමත් අරගලයක් කරන්න අවශ්‍යතාවයක් නෑ. අපිට ආරංචි වෙන්නේ එක නියෝජිතයෙක් ආන්ඩුවෙන් වරප්‍රසාද අරගෙන කියලා. සමිති නායකයෝ මාධ්‍යවලින් ඉඳහිට පෙනී සිටිමින් ගුරුවරු රවට්ටනවා” ඇය පැවසීය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවී ඇති ජාත්‍යන්තර පරිමාන කම්කරු අරගලයන් හි වාර්තාවලින් ගෙන හැර දක්වමින් සසප ගුරුකන්ඩායම ගුරුවරුන්ට පැහැදිලි කලේ ලංකාවේදීත් තම සටන් ඉදිරියට ගෙනයාමේ දී කම්කරුවන් ඉදිරියේ ඇති විශාලතම බාධකය වනුයේ වෘත්තීය සමිති බවයි. තම අරගල සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන නව සංවිධාන රූපයන් වන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම ගුරුවරුන් ඇතුලු කම්කරුවන් ට අත්‍යවශ්‍ය වන බවට සසප ගුරුකන්ඩායම කල අවධාරනයන්ට එකඟ වෙමින් ඉදිරියටත් ඒ ගැන සාකච්ඡා පැවැත්වීමට ගුරුවරු කිහිපදෙනෙක්ම කැමැත්ත පලකල අතර ඇතැමෙක් සාකච්ඡා අතරතුර සසප මුහුනුපොත් පිටුවට තම ජංගම දුරකතනවලින් සම්බන්ධ වූහ.

Share this article: