ශ්‍රී ලංකාවේ තේ වත්තක තවත් ලයින් කාමර ගින්නක්

ඒ. සුරේෂ් සහ ආර්. ශ්‍රී හරන් විසිනි , 2019 ජුනි 11

අවතැන් වූ වන්ගේ කඳවුර

තලවාකැලේ පිහිටි හෝලිරූඞ් වත්තේ නැගෙනහිර කොටසේ මැයි 29දා රාත්‍රීයේ ඇති වූ ගින්නකින් ලයින් කාමර විනාශ වීම හේතුවෙන් අවතැන් වූ පවුල් 24ක ලමුන් හා වැඩිහිටියන් ඇතුලු සියයකට අධික පිරිසක් තවමත් සංස්කෘතික මධ්‍යස්ථානයක ලැගුම් ගෙන සිටිති. ලයින් කාමර මැද පිහිටි නිවසක විදුලි කාන්දුවකින් ඇතිවන්නට ඇතැයි සැක කෙරෙන ගින්න ක්ෂනික ව දෙපසට ම පැතිර ගියේය.

මෙය මාස හයක් තුල තේ වතු කම්කරුවන් මුහුන දුන් තුන්වන ගිනිගැනීම යි. දෙසැම්බරයේ හැටන් අසල ෆෝඩයිස් වත්තේ ලයින් කාමර විස්සක් ද ජනවාරියේ බොගවන්තලාවේ රොබ්ජිල් වත්තේ ලයින් කාමර දොලහක් ද ගිනි ගෙන විනාශ විය.

වහල ගින්නට හසුවීමත් සමග ගෑස් සිලින්ඩරයක් හෝ දෙකක් ක්ෂනික ව පුපුරා ගිය බව ඇසින් දුටුවෙක් පැවසී ය. වත්තට ඇත්තේ සීමිත ජල සැපයුමක් පමනි. ගින්න නිවීමට කම්කරුවන් යොදාගත්තේ බැරල්වල ඉතිරිකර තබාගෙන සිටි ජලය හා අසල දොල පාරකින් මහත් අපහසුවකින් ගෙන ආ වතුර යි. එහෙත් ඉතිරි වී පවතින්නේ බිත්ති හා වහලවල ටකරං තහඩු පමනි. තලවාකැලේ හෝ අසල නගරයක ගිනි නිවීමේ ඒකකයක් නැත.

දුගී පවුල් ගිනි ගන්නාසුලු පොහොර කවරවලින් සීලීං තැනීම හා ඒවායේ දර ගබඩා කොට තැබීම නිසා මෙම ලයින් කාමර ගිනිගැනීම්වලට පහසුවෙන් ලක් වේ.

සෑම පවුලකට ම ඇත්තේ කුස්සියකින් හෝ සාලයකින් තොර කාමර දෙකක් පමනි. කම්කරුවෝ වෙන ම තාවකාලික කුස්සි හා වැසිකිලි තනා ගෙන ඇත්තේ ඔවුන්ගේ ම වියදමිනි.

ගින්නෙන් පසු නිරාවරනය වූ මැටි බිත්ති පෙන්නුම් කරන්නේ, මෙම කාමර වසර සියයකට පමන ඉහත දී බ්‍රිතාන්‍ය පාලන සමයේ මිනිසුන් සඳහා නොව අශ්වයන්ට ලැගීමට තැනූ ඒවා බව ය.

මෙම ගිනිගැනීම් සහිත මෙවැනි අසරන කොන්දේසි යටතේ ජීවත් වීමට වතු කම්කරුවන්ට සිදුවීම වතු සමාගම්, අනුප්‍රාප්තික ආන්ඩු සහ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී), ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුලත් වන දෙමල ප්‍රගතිශීලී සන්ධානය (ටීපීඒ) වැනි වෘත්තීය සමිතිවලට එරෙහි චෝදනා පත්‍රයකි.

වතු කම්කරුවන් 100,000ක් පමන දෙසැම්බරයේ දින නවයක වැඩ වර්ජනයක නිරත වූයේ තම දෛනික මූලික වැටුප රුපියල් 1,000 දක්වා දෙගුන කරන ලෙස ඉල්ලමිනි. ජනවාරියේ අරගල පාවා දුන් වෘත්තීය සමිති, හාම්පුතුන් සමග සාමූහික ගිවිසුමක් අත්සන් කලේ යන්තම් රුපියල් 20ක පමන වැටුප් වැඩිකිරීමක් පමනක් සිදුවූ රුපියල් 700ක වැටුපකට එකඟ වෙමිනි.

මේ සියලු වෘත්තීය සමිති නායකයෝ වත්මන් සහ පසුගිය ආන්ඩුවල ඇමතියන් වන අතර එන්යූඩබ්ලිව් නායක පී. දිගම්බරම් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති ධුරය හොබවයි. වහල සෙවිලි කිරීමට ටකරන් තහඩු ලබා දුන්නේ තමන් බව දැක්වෙන පුවරු ගිනිගත් ලයින් කාමරවල නරුම ලෙස ප්‍රදර්ශනය කලේ මෙම අමාත්‍යාංශය යි. එහෙත් එය ප්‍රතික්ෂේප කරන කම්කරුවෝ ටකරං තහඩු ලබාදුන්නේ වතු සමාගම විසින් බව පැවසූ හ.

ගින්නෙන් විපතට පත්වූවන්ට නව නිවාස තනා දෙන බවට ද දිගම්බරම් පොරොන්දු වුවත්, සතියකින් පසුව පවා කිසිවක් සිදුවන බවක් පෙනෙන්ට නැත.

දිගම්බරම්ගේ අමාත්‍යාංශය යටතේ ඉන්දියානු අරමුදල් යොදාගෙන සිය ගනනක් කුඩා නිවාස ගොඩනගනු ලැබේ. සීමිත වැඩසටහනක් වන එය කිසිදු අයුරකින් වතුවල නිවාස ගැටලුව විසඳීමට ප්‍රමානවත් නැත. එය යෝජනාක්‍රම යොදා ගනු ලබන්නේ කම්කරුවන්ගේ විරෝධය නොමග යැවීමටයි. දැනට මත් පවුල් පදිංචි කර ඇති නව නිවාසවලින් බොහොමයක ම පොලව පිරියම් කර නැති අතර හුනු ගෑම හෝ සීලිං තැනීම කර නොමැත.

ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතා කල 27 හැවිරිදි ටී. පුෂ්පකුමාර් කීවේ අනෙක් බොහෝ පවුල්වලට මෙන් ඔහුටත් උප්පැන්න සහතික, හැඳුනුම් පත් හා අනෙකුත් ලේඛන ආරක්ෂා කර ගත නො හැකි වූ බව යි. “පලමු දරු උපත සඳහා මගේ බිරිඳ රෝහල් ගත වීමට නියමිත ව සිටියා. රුපියල් 16,000ක් වියදම් කර මා මිලට ගත් ලමා උපාංග සියල්ල විනාශ වුන නිසා මං ආයෙත් ඒවට හම්බ කරන්න ඕන” යි ඔහු කීවේ ය.

ඔහුගේ නිවසට කාමර තුනක් තිබුන ද ඒවායේ සාමාජිකයන් අටක් ජීවත් විය. වෙනත් රැකියාවල් කරමින් මුදල් සොයාගෙන හා පියාගේ අර්ථසාධක මුදල් යොදා ඔහු කාමර ගනන වැඩි කරගත්තේ ය. “අපි නිවාස හතරක් ඉල්ලුවත් පලක් වුනේ නැහැ. තොන්ඩමන් හා දිගම්බරම් පොරොන්දු දුන්නා විතරයි. අවසානයේ අපි සරනාගතයන්ගෙ තත්වයට පත්වෙලා.”

ප්‍රමානවත් ආදායමක් උපයා ගැනීමට පුෂ්පකුමාර්ගේ දෙමව්පියන් රැකියාවලින් විශ්‍රාම ලබා කොලඹ රැකියාවලට ගිය හ. ඔහුගේ මව ගෘහ සේවිකාවක ලෙස වැඩ කරන අතර පියා අවන්හලක සේවය කරයි. “මමත් හවසට එලවලු කඩයක වැඩ කරනවා. වැඩ නැති කාලෙට අපිට පඩිය හැටියට හම්බ වෙන්නේ රුපියල් තුන්දාහක්, පන්දාහක් වගේ ගානක්” යි ඔහු විස්තර කලේ ය.

සැන්ඩිරාබොස්

38 හැවිරිදි ආර්ග සැන්ඩිරාබොස් යකඩ බඩු කඩයක රියැදුරෙකි. සාමාජිකයන් අටකින් යුත් ඔහුගේ පවුල නිවාස දෙකක් එක් කලේ ය. ඔහු මෙසේ කීවේ ය: “මමයි බිරිඳයි හම්බ කරන්නෙ ලමයි හතර දෙනාගෙ අධ්‍යාපනයට. අපි මහන්සියෙන් වැඩකරල බඩු ගොඩක් ගත්ත.” ඔහුගේ පාඩුව රුපියල් 200,000ක් පමන වන අතර එයට ගින්නට දිනකට පෙරාතුව රුපියල් 12,000 කට ගෙන ආ පොත් රාක්කයක් ද අයත් වේ.

රත්නකුමාරි

තම සියලු දෑ විනාශ වුනා කියමින් 51 හැවිරිදි රත්නකුමාරි කඳුලු සැලුවා ය. තමන්ට කෑගසිල්ලක් ඇසුනු බවත්, තමන්ගේ නිවස ගිනි ගනු දුටු බවත්, 88 හැවිරිදි කාන්තාව ද සමග යන්තමින් බේරුනු බවත් ඇය විස්තර කලා ය. ගඩොල් යොදාගෙන ඇයගේ පවුල නිවසේ සමහර කොටස් යලි තනා ගෙන තිබුනි.

“ගෙදර වත්තෙ එලවලු ටිකක් වවල අපි පිරිමහ ගන්නවා. අපට හම්බ වෙන්නෙ රුපියල් 700ක් විතරයි. තව රුපියල් 50ක් දෙනව කියල ආන්ඩුව පොරොන්දු වුනා. වෘත්තීය සමිති අපි ව අතහැරිය. අප දවසකට කැඩිය යුතු ඉලක්කය දලු කිලෝ 18ක්. ඒ ඉලක්කය දෙන්න අපි වේගෙන් වැඩ කරන්න ඕන.”

බලංගොඩ වත්තේ සිට පැමින සිටි රත්නකුමාරිගේ බෑනා ඔහුගේ වත්තේ කොන්දේසි ද එලෙස ම බව කීවේ ය. “ගර්භනී කාන්තාවක් ඉස්පිරිතාලෙට ගෙනියන්න වත් හරිහමන් පාරක් නැහැ. වෘත්තීය සමිති ඒගොල්ලන්ගෙ වාසියට අපි ව ලයින් කාමරවල තියල අපි ව මරන්න හදන්නෙ.”

එස්. කලයිචෙල්වන්

46 හැවිරිදි එස්. කලයිචෙල්වන් කීවේ ඔහුගේ දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට කාමර වෙන් කිරීම සඳහා වෙන ම කුස්සියක් තැනූ බව යි. ලයින් කාමර ගිනිගත් පසු වාසිය ඩැහැගැනීම ගැන ඔහු දේශපාලනඥයන් ව හෙලාදුටුවේ ය. “ඒගොල්ලො එන්නෙ ඡන්ද කාලෙට විතරයි. දැන් ඒගොල්ලො ගොඩක් ආහාර සපයනවා. ඒගොල්ලො නිවාස හදන්න තිබුනෙ කලින්. සියලු කම්කරුවො වැටුප් අරගලයට සහභාගි වුනත් වෘත්තීය සමිති රහසිගත ව සාමූහික ගිවිසුම අත්සන් කරල කම්කරුවන් පාවා දුන්නා.”

ටී. නාමසිවයාම්

තම ඥාතීන් බැලීමට තලවාකැලේ වත්තේ සිට පැමිනි 61 හැවිරිදි ටී. නාමසිවයාම් ජීවන කොන්දේසි ගැන කතා කලේ ය. “මේ ජනයා යලි පදිංචි කරන්න මාස ගනනක් ගතවෙයි. එතකන් ඒගොල්ලන්ට මේ ශාලාවෙ ඉන්න වෙනව. ඒගොල්ලො දරුවන් ව පාසල් යවන්නෙ, වැඩට යන්නෙ කොහොම ද? වෙනම උයාගෙන කන්න පහසුකම් ඒගොල්ලන්ට නැහැ. දරුවො දිගට ම අධ්‍යාපන කටයුතු කරගන්නෙ කොහොම ද?, යි ඔහු ප්‍රශ්න කලේය.

“හැම වත්තකම බි්‍රතාන්‍ය පාලකයො හදපු ලයින් කාමර තියෙනවා. පර්චස් හතේ ඉඩම් කෑලිවල පවා අමාත්‍යාංශයෙන් අලුත් ගෙවල් හදනවා. කුස්සියක් හදාගන්න වත් ඉඩ නැහැ ආලින්දයක්, සාලයක් මිනියක් තියන්න තරම් වත් ලොකු නැහැ.

“පවුලක බැඳපු පුතාල දෙන්නෙක් ඉන්නව නම් කාමර තුනකුයි, හොඳ කුස්සියකුයි අනෙක් පහසුකමුයි තියෙන්න ඕන. ඒත් ඒගොල්ලො කියන්නෙ අලුත් තාලෙ ගෙවල් හදනව කියල. මේ ගෙවල් ලයින් කාමරවලට වඩා ලොකු වෙනසක් නැහැ.

ඇමති මනෝ ගනේෂන් ජීවත් වෙන්නෙ කොලඹ. ඔහු අපේ ජීවිත ගැන දන්නෙ මොනව ද? රාධාක්‍රිෂ්නනුත් ඇමති කෙනෙක්. කවුරුවත් අපි ගැන හිතන්නෙ නැහැ. ඒගොල්ලො බලයෙ ඉන්නෙ අපේ ඡන්දෙන්. ජනතාව තීන්දුවක් අරගෙන ඔවුන් ව ප්‍රතික්ෂේප කරන්න ඕන.”

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු මිලිටරිය දිගේලි කිරීම ගැන ඔහු උත්සුකතා පලකලේ ය. උඩරට ප්‍රහාර සිදුවිය හැකි බව කියමින් ආන්ඩුව සන්ත්‍රසායක් නිර්මානය කලේ ය.

මනෝමනී

දරුවන් දෙදෙනෙකු සිටින 46 හැවිරිදි ආර්ග මනෝමනී, කම්කරුවන් වැඩකරන විට ආහාර ගැන පවා සිතන්නේ නැති බව කීවා ය. “මගේ වැටුප පිච්චියක්, මම පිරිමහ ගන්නෙ කොලඹ වැඩ කරන මහත්තයගෙ ආදායමෙන්. උදේ 8 වෙනකොට වත්තෙ ඉන්න එක අනිවාර්ය යි. අපිට සල්ලි ඕන හින්ද දවල් කෑමට එන්නෙ නැතුව දිගට ම දලු කඩනවා. උදේ 10ට කාල වතුර බිබී අපි දිගට ම වැඩකරනවා. හවස ආපහු එනකොට ගෙදර වැඩ දැක්ක ම අපිට බඩගින්න අමතක වෙනවා.

අපි දවසට දලු කිලෝ 18ක් කැඩුවෙ නැත්නම් ගෙවන්නෙ දවස් බාගෙට. ඒත් අද නිවේදනය කලා අපිට හවස 2 වෙනකන් දිගට ම වැඩකරල ඉලක්කය සම්පූර්න කරන්න පුලුවන් කියල. ඊටත් පස්සෙ වැඩකරල අමතර දලු නෙලුවොත් අපිට ඒවට ගෙවයි. ඒකෙ තේරුම වෙන්නෙ අපේ සෞඛ්‍යය ගැනවත් හිතන්නෙ නැතුව මැෂින් වගේ වැඩකරන්න ඕන කියන එක.”

Share this article: