දන්ඩන දඩ වලින් චෙල්සී මැනිං බංකොලොත් කිරීමේ තර්ජනය මතු කරයි

Punitive fines threaten whistleblower Chelsea Manning with bankruptcy

ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි, 2019 ජුනි 24

ධෛර්යමත් තොරතුරු හෙලිකරන්නියක වන චෙල්සී මැනිං ගේ නීතිඥවරු, ගිය මාසයේ ෆෙඩරල් ආන්ඩුවේ දිස්ත්‍රික් උසාවියක විනිසකරු විසින් ඇයට පනවනු ලැබූ උග්‍රම දන්ඩන දඩ වලට එරෙහිව 13දා නීතිමය අභියෝගයක් නිකුත් කලහ. පෙර නුවූ විරූ තරම් උග්‍ර මේ මුල්‍ය දඬුවම් නිසා ඇය වහාම බංකොලොත් වීමේ තර්ජනය මතු කරන බව ඇගේ නීතිඥ කන්ඩායම අනතුරු අඟවා තිබේ.

ට්‍රම්ප් පාලනාධිකාරය මැනිං මැයි 16 දා සිට සිරගත කර තිබෙන්නේ, විකිලීක්ස් වෙබ් අඩවියට ද එහි ආරම්භක ජුලියන් අසාන්ජ් ට ද එරෙහිව (චෝදනා ඉදිරිපත් කල හැකිදැයි විමසන) ග්‍රෑන්ඞ් ජුරියක් ඉදිරියේ බොරු සාක්කි දීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.

චෙල්සී මැනිං [අනුග්‍රහය: ස්පැරෝ මීඩියා; Credit: Sparrow Media]

මැනිං සිරගත කිරීම, ලෝකය පුරා යුද අපරාධ සහ රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රන එලිදරව් කිරීමේ දී ජුලියන් අසාන්ජ් ඉටු කල භූමිකාව මුල්කරගෙන ඔහු ඇමරිකානු සිර ගෙයකට දැක්කීමට ඇමරිකානු ආන්ඩුව විසින් දැරෙන ප්‍රයත්නයේ කොටසකි. ඇමරිකානු ඔත්තු පනත උල්ලංඝනය කිරීමේ චෝදනා 17 කට උපරිම වශයෙන් වසර 170ක් සිර දඬුවම් දිය හැකි චෝදනා උඩ අසාන්ජ් සිරගත කිරීම සඳහා එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ නඩුවක් ලබන පෙබරවාරියේ දී විමසීමට බි්‍රතාන්‍ය බලධාරීන් තීන්දු කර ඇත.

පසුගිය මස දෙන ලද තීන්දුවකින් විනිසකරු ඇන්තනි ටේ‍රන්ගා, ග්‍රෑන්ඞ් ජුරිය ඉදිරිපිට සාක්කි දීමට මැනිං එකඟවන තුරු ඇය සිර ගත කල යුතු යයි නියම කලා පමනක් නොව, සිරභාරයේ මසක් ඉක්ම ගිය තැන් පටන් දිනක ට ඩොල්ර් 500 බැගින් දඩ ගැසීමට ද යටත් කලේ ය. මාස දෙකක් ගතවූ පසුව දඩය දිනකට ඩොලර් 1,000 දක්වා ඉහලයයි.

ජූනි 15දා සිට දන්ඩන ක්‍රියාත්මක වන අතර එහි තේරුම, මැනිං දැනටමත් ඩොලර් 5000ක දඩයකට යටත් කර ඇති බවයි. ඇගේ නීතිඥ කන්ඩායම හා සමීප ආධාරකරුවන් විසින් හසුරුවනු ලබන ඇගේ නිල ට්වීටර් පිටුව ජූනි 20දා නිවේදනය කලේ, මැනිංට ඇගේ කුලී නිවස අහිමිකර ඇති බවයි. ඉන් පසුව පලවූ ට්වීටර් සටහන් අනුව දින 11ක් ගිය පසු ඇය මුලුමනින්ම බංකොලොත් වනු ඇත.

13දා මැනිං ගේ නීතිඥවරු ඇගේ දඩ ගෙවීමේ හැකියාව තක්සේරු කර ඒ උඩ ඉදිරි නඩු වාර සඳහා සැලැස්මක් ඉදිරිපත් කලහ. ඇගේ නීති උපදේශක කන්ඩායම පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ, දිගින් දිගටම නඩු විභාගයන්ට මුහුන දීම නිසා මැනිං, මුලුමනින්ම මුදල් නැති තත්වයකට මුහුන දී සිටින බවය.

ඇමරිකාව විසින් ඉරාකයේ ද ඇෆ්ඝනිස්ථානයේ ද සිදුකල යුද අපරාධ සහ ගෝලීය කඩාකප්පල්කාරී ක්‍රියා පෙන්නුම් කරන ඇමරිකානු මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික ලේඛන හා වීඩියෝපට විකිලීක්ස් වෙබ් අඩවියට ලබාදීම උඩ ඔබාමා පාලනාධිකාරය මෙම තොරතුරු හෙලිකරන්නියට එරෙහිව නඩු පැවැරී ය. 2013 දී වැරදිකරු කොට 2017 තෙක් සිරගත කරන ලද ඇයට විඳින්නට සිදුවූ අකටයුතුකම් එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් විසින් තීන්දු කරන ලද්දේ වධ බන්ධන ලෙසය.

අසාන්ජ් ට එරෙහිව චෝදනා ගෙතීම අරමුනු කරගත් ග්‍රෑන්ඞ් ජූරියට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම උඩ 2019 මාර්තු 8වන දා, උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වැරැදි කරු කරනු ලබූ මැනිං සිරගත කරන ලදී. මැයි 9 වනදා ග්‍රෑන්ඞ් ජුරි සැසිය නිමා වීමත් සමග ඇය සිරෙන් නිදහස් කරනු ලැබුව ද වහාම අලුත් සිතාසියක් නිකුත් කොට, ඉන් සතියකට පසු යලි සිරගත කරන ලදී.

ගිය සතියේ නීති තර්ක ගොනු කිරීමෙන් ඉක්බිතිව නිකුත් කල ප්‍රකාශයකින් මැනිං මෙසේ පැවසුවාය. “මා ප්‍රසිද්ධ පෞරුෂයක් වන හෙයින් මට සම්පත් ලබා ගත හැකි යයි ආන්ඩුව ද පොදු ජනතාව ද සිතනවා විය හැකි ය. එහෙත් මුදල් රැස්කිරීම කවර කලෙකවත් මගේ ප්‍රමුඛ කාර්ය වූයේ නැත.”

ඕ උදාරව මෙසේ ද පැවසුවා ය. “මා වැඩ කරන්නේ මා කරන අන් සියලු දේ මෙන්ම එක හේතුවක් නිසා ය. මා සැම දෙයක් ම කරන්නේ වෙනසක් ඇති කිරීමට අවශ්‍යම නිසාය. සහතිකෙන්ම මට දී තිබෙන දුඬුවම්වල බර මට මැනවින් දැනේ. එහෙත් මම කවරදාක වත් සුව පහසු ජීවිතයක් ගත කිරීමට අරමුනු කර ගත්තේ නැත. මගේ ප්‍රතිපත්ති පාවා දෙනවාට වඩා සදහටම නය කාරියක් ලෙස ජීවත් වෙන්නට මම කැමැත්තෙමි.” ස්පැරෝ ව්‍යාපෘතියට අනුව මැනිං ගේ නීතිඥයන් ඉදිරි නඩු සැසි වලදී තර්ක කරනු ඇත්තේ ඇයට ගෙවීමට තිබෙන දඩ මුදල්, ඇගේ වර්තමාන හෝ ඉදිරි හැකියාවන්ට වඩා බෙහෙවින් වැඩි බවටය. විශේෂයෙන් ම අදාල කාරනය වන, මූල්‍ය අපාචරයකට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයකුට මෙතරම් විශාල දඩ පැනවීම, පෙර නොඇසූ විරූ යයි ද ඔවුන් තර්ක කරනු ඇත.

වාර්තාවී ඇති පරිදි මැනිං ගේ නීතිඥ කන්ඩායම පහත සඳහන් තර්ක ද ඉදිරිපත් කරනු ඇත. පනවා තිබෙන දඩ සහ ඇය සිරගත කිරීම නීති විරෝධී ය. මක්නිසා ද යත් එමඟින් ඇයට ජූරියේ ක්‍රියාවලියට අනුකුල වීමට බල කරන හෙයිනි.

පවත්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති අනුව, දඩ සහ සිර දඬුවම් පැනැවිය හැක්කේ ඒවා මගින් සාක්කිකරුවෙකුට සාක්කි දීමට බල කරන්නට හැකි යයි යුක්තිසහගතව සිතන්ට ඉඩක් තිබේ නම් පමනි.

ගිය සතියේ නෛතික අභියෝගය සමග නැගෙන ප්‍රශ්නය නම්, ඇමරිකානු අධිකරන දෙපාර්තමේන්තුව දැනටම අසාන්ජ් ට විරුද්ධව චෝදනා හෙලි කර ඇති තතු තුල, මැනිං සිරකරගෙන ඉන්නේ මන්ද යන්නයි.

පවත්නා බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු නීති අනුව එක්සත් රාජධානියෙන් එක්සත් ජනපදයට උදර්පනය කරන ලද අයට නිල ඉල්ලීම් වල අන්තර්ගත චෝදනා වලට අමතරව වෙනත් චෝදනා හෝ උදර්පන ඉල්ලීම් නිකුත් කිරීම සඳහා පසුව සිදුකරන ලද අපරාධ පිලිබඳ චෝදනා යොදාගත හැකි නොවේ.

මැනිංට එරෙහි දඬුවම් නියෝග යලි සලකා බලන ලෙස කල ඇගේ නීතිඥ කන්ඩායමේ මෝසමකට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව ජුනි 14 දා ප්‍රකාශ කලේ, “මැනිංගේ සාක්කි අධිකාරි චෝදනා පත්‍රය ට ඇතුලත් නොවන නමුත් ඒවා, ඉන් ඔබ්බට කෙරීගෙන යන පරීක්ෂනයන් ට හා අරමුනූ වලට අදාලව සහ අවශ්‍යව තිබෙන” බවයි.

මෙහිදී “අධිකාරි චෝදනා පත්‍රය” යනුවෙන් අදහස් කරනු ලැබුවේ අසාන්ජ්ට එරෙහිව දැනටම ප්‍රසිද්ධියට පත් කෙරුනු චෝදනා පත්‍රයයි.

මෙම ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ ඇමරිකාව, අසාන්ජ්ට විරුද්ධව දැනට ම ඉදිරිපත් කර තිබෙන චෝදනා ඉක්මවන අලුත් චෝදනා එල්ල කිරීමට වැඩ කරමින් සිටින බවයි. අසාන්ජ්ට එරෙහි තවත් චෝදනා අතරට, මරනීය දන්ඩනය පැනවිය හැකි ඒවා ඇතුලත් විය හැකිය. එවන් චෝදනා වසං කර තබාගැනීමට අවශ්‍යතාවයක් එක්සත් ජනපද අධිකාරින්ට තිබෙනු ඇත. එක්සත් රාජධානියෙන් උදර්පනය කර ගැනීමේ දී මරන දඬුවම පැනවීමට අදාල චෝදනා මත එසේ සිදුවන්නේ යයි පෙනෙන කොන්දේසි මග හැර ගැනීමට ද ඇමරිකාවට අවශ්‍යම වේ.

මෙම ප්‍රතිචාරය අනතුරු අඟවන්නේ, විකිලීක්ස් වෙබ් අඩවිය ට ද එයට එක්සත් ජනපදය තුල හා ඉන් පිටස්තරව ආධර කලේ යයි කියනු ලබන්නන් ට ද එරෙහි වඩා පුලුල් නීතිමය ප්‍රහාරයකට ඇමරිකානු ආන්ඩුව අර අදිමින් ඉන්නා බවයි.

ජුනි 16 වන දා ඇසෝසියේටඞ් ප්‍රෙස් වාර්තාවක් ඇඟවුම් කලේ, ඇමරිකානු අධිකරන දෙපාර්තමේන්තුව විකිලීක්ස් සහකරුවන් ඉලක්ක කරගත් අමතර චෝදනා පත්‍රයක් සකස් කරමින් ඉන්නා බව ය. අප්‍රේල් 11 දා ලෙනින් මොරේනො ගේ ඉක්වදොරියානු ආන්ඩුව විසින් සිරභාරයට ගනු ලැබූ ස්වීඩන් ජාතික වැඩසටහන් නිශ්පාදක හා අසාන්ජ්ගේ මිත්‍රයෙකු වන ඔලා බිනි ගෙන් ප්‍රශ්න කිරීමට අවසරයක් ඇමරිකානු ආන්ඩුව ස්වීඩන රජයෙන් ලබාගෙන තිබෙන බව ඉන් එලිදරව් කර තිබේ.

බිනි සිරභාරයට ගෙන මාස දෙකක් පමන ගතවී ඇතත් ඔහු කුමන අපරාධයකට සම්බන්ධ ද යන චෝදනාවක් හෝ ඒ පිලිබඳ කිසිදු සාක්ෂියක් හෝ ඉදිරිපත් කර නැත. ගිය සතියේ ඔහු සිරභාරයෙන් නිදහස් කර ඇති නමුත් තවමත් ඉන්නේ පරීක්ෂන වලට යටත්ව ය. ඇමරිකානු නිලධාරීන් 27දා ක්විටෝ නගරයේ දී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙන බව වර්තා වී තිබේ. එහෙත් බිනී ප්‍රකාශකර ඇත්තේ, තමා කවර කලෙකවත් විකිලීක්ස් හි සාමාජිකයෙකු නොවූ බව ය.

අසාන්ජ් ඇමරිකාවට උදර්පනය කිරීම වැලැක්වීම ද ඔහුගේ ද මැනිං ගේ ද පූර්න නිදහස දිනාගැනීම ද සම්බන්ධීකරනය කිරීමට කටයුතු කරන ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩනැගිය යුතු යයි කියන කැඳවුමක් ලොසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලය පසුගිය සතියේ නිකුත් කරන ලදි.

මෙම තීරනාත්මක අරගලයේ කොටසක් ලෙස ලෝකය පුරා සමාජවාදී සමානතා පක්ෂ රැස්වීම් සහ පෙලපාලි කැඳවා තිබේ. මෙයට ලබන සෙනසුරාදා පටන් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විරෝධතා මාලාවක් ද ඇතුලත්ය.

අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීම වැලැක්වීමට, ඕස්ට්‍රේලියානු ආන්ඩුව සිය රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය බලතල යොදාගත යුතු යයි ද ඔහු සිය රටවන ඕස්ට්‍රේලියාවට පැමිනීමේ අයිතිය සහතික කල යුතු යයි ද ඔහු තවදුර දේශපාලන මර්දනයට ලක් කිරීම වලක්වන බවට සහතික විය යුතු යයි ද අන්ඩුවට බලකරන පෙලපාලි සිඞ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් නගරවල පැවැත්වෙනු ඇත.