ඉරාන අහසේදී ඩ්‍රෝන් යානයක් වෙඩිතබා බිම හෙලීමෙන් පසුව ට්‍රම්ප් යුද තර්ජන උග්‍ර කරයි

Trump escalates war threats after drone shootdown over Iran

බිල් වෑන් ඕකන් විසිනි, 2019 ජූනි 21

නිව් යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කල පරිදි ඇමරිකානු ජනාධිපති, අනපේක්ෂිතව ඉරානයට එරෙහිව මිලිටරි ප්‍රහාර අවලංඟු කිරීමට මඳකට පෙර, ජුනි 20දා ම එම ප්‍රහාරයට අනුමැතිය ලබා දී තිබුනි. මෙම හදිසි පියවර පැනනැංවූයේ, මැද පෙරදිග අලුත් ප්‍රධාන යුද්ධයක් නොවැලැක්විය හැකි වන වාතාවරනයකි. එවන් යුද්ධයක් ගෝලීය මහා සංග්‍රාමයක් අවුලුවාලමින් මිලියන සංඛ්‍යාත ජනයා මරා දමනු ඇත.

ටයිම්ස් වාර්තාවට අනුව, “නිලධාරීන් පැවසුවේ, ජනාධිපතිවරයා රේඩාර් පද්ධති හා මිසයිල් මධ්‍යස්ථාන වැනි ඉරාන ඉලක්ක ගනනාවකට පහර දීම අනුමත කර තිබුනු බවයි.”

ඉරාන භූමියට උඩින් ඔත්තු බැලීමේ නිරතව සිටි මිනිසුන් රහිත ඩ්‍රෝන් යානාවක් බිම හෙලනු ලැබීමෙන් පසුව එකිනෙකට ප්‍රතිකූල ප්‍රාකාශයන් මාලාවක් කල ට්‍රම්ප්, එම සිද්ධිය ඉරාන යුද හමුදාවේ කෙනෙකු අතින් සිදු වූ ‘අත්වැරද්දක්’ විය හැකි බව අඟවන ගමන් ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනයක් ද කලේය. ප්‍රවෘත්ති වාර්තා පලවුනේ, ඉනික්බිතිව ය.

ට්‍රම්ප් ධවල මන්දිරයේ දී වාර්තාකරුවන්ට මෙසේ පැවසීය. “ඔබට ඇත්ත දැන ගැනීමට උවමනානම් කියන්නම්, එය සිතා මතාම කල එකක් බව සිතන්නට අමාරුය. එදා අවසිහියෙන් සිටි, තකතිරුවෙකුගේ අතින් එවැන්නක් විය හැකිය.

එදිනම මඳ වේලාවකට පෙර, “ඉරානය ලොකු වැරැද්දක් කරගෙන” ඇතැයි ප්‍රකාශ කරමින්, එය යුද්ධයකට මුල් වනු ඇත් දැයි ප්‍රවෘත්ති වේදීන් ඇසූ ප්‍රශ්නයට “ඒක ඔබට පෙනේවි” යනුවෙන් ඔහු පිලිතුරු දුන්නේය.

එක්සත් ජනපද පාලනාධිකාරයේ අධ්‍යාසයන් පිලිකුල් සහගත ය. ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ හදිසි තත්ව කුටිය තුල ඉරානය පිලිබඳ රහසිගත සාකච්ඡවක් සඳහා බ්‍රහස්පතින්දා රාත්‍රී ප්‍රධාන කොංග්‍රස් මන්ඩල නායකයෝ කැඳවන ලදහ. එයට සම්බන්ධවූවන් අතර සෙනේට් මන්ඩල බහුතරයේ නායක මිච් මැක්කොනල්, නියෝජිත මන්ත්‍රී මන්ඩල බහුතර නායක චාල්ස් ශුමර්, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ කථා නායක නැන්සි පෙලොසි, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සුලුතර නායක කෙවින් මැකාර්ති නියෝජිත මන්ත්‍රී මන්ඬලයේ සහ සෙනෙට්සභාවේ බුද්ධි සහ සන්නද්ධ සේවා කමිටු වල ප්‍රධානීන් හා ඉහල සාමාජිකයෝ වූහ.

එවන් රැස්වීමක් සහතිකෙන්ම ඇමරිකාවේ මිලිටරි මෙහෙයුමකට මුලපිරිමක් විය හැකිව තිබුනි.

ඩ්‍රෝනය බිම හෙලීම “අත් වැරැද්දක් ය” යන ට්‍රම්ප්ගෙ කියමනට ඉරාන ආන්ඩුවේ ප්‍රකාශ මුලුමනින්ම පටහැනි වේ.

මූලෝපායිකව වැදගත් හොර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී ඩ්‍රෝන් යානය වෙඩිතබා හෙලීමේ වගකීම භාරගත් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක හමුදාව [අයිආර්ජීසී] එය වොෂිංටනයට පනිවුඩයක් යයි ප්‍රකාශ කරමින් ඒ පිලිබඳ වගකීම වහාම භාර ගත්තේ ය.

“ඉස්ලාමීය රාජ්‍යයේ දේශ සීමාවන්හි ආරක්ෂකයන් වන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ [අයිජීආර්සී] අනදෙන නිලධාරි ජෙනරාල් හොසෙයින් සලාමි, “පිටස්තරයෙකු විසින් මෙම දේශයට කෙරෙන කුමන ආක්‍රමනයකට වුව ද දේශසීමා ආරක්ෂකයන් තීරනාත්මක ලෙස ප්‍රතිචාර දක්වනු ඇතැයි”යන පනිවුඩය බ්‍රහස්පතින්දා නිකුත් කලේය. ඉරාන රූපවාහිනි පුලුල් ලෙස ප්‍රචාරය කල කථාවකදී හේ මෙසේ ද කීය, “සතුරන්ට තිබෙන එකම විසඳුම නම් ඉරානයේ භෞමික අඛන්ඩතාවට සහ ජාතික අවශ්‍යතාවලට ගරු කිරීමය.”

ඩ්‍රෝන් යානය බිම හෙලන ලද්දේ එය සිය රටේ ගුවන් සීමා “නීති විරෝධීව සහ ප්‍රකෝපකාරී ලෙස උල්ලංඝනය කිරීම නිසා” යයි ඉරානය සෘජුව ම පිලිගත් නමුත් එක්සත් ජනපදයේ මිලිටරිය කලේ අද දින ඇමරිකානු යානා ඉරාන ගුවන් සීමාව තුල පියාසර නොකල බව පමනක් කියා නිහඬ වීමය.

බිම සිට අහසට විදින ඉරාන මිසයිලය විසින් බිම හෙලනු ලැබූ ඩ්‍රෝන් යානය ආර් කිව් -4 බී ග්ලෝබල් හෝක් ගනයේ එකකි. ඇමරිකානු නාවුක හමුදාව විසින් එම යානා යොදාගනු ලබන්නේ, “පෘථුල සාගර ප්‍රදේශ නිරීක්ෂනය කරන මිනිසුන් රහිත ගුවන් යානා ක්‍රමයක්” ලෙස ය. 737 මගී ජෙට් ගුවන් යානයක තරම් දිග පියාපත් සහිත එම යානාවන්හි විද්‍යුත් නිරීක්ෂන උපකරන රාශියක් ඇත. පෙන්ටගනය ඉන් එකක් සඳහා ඩොලර් මිලියන 200 කට අධික වියදමක් දරයි. අඩි 65,000ක් තරම් ඉහලින් පියාසර කිරීමේ හැකියාව සහිත මෙම යානා ඇමරිකානු මිලිටරිය විසින් ඉරාකය සහ සිරියාවේදී, බිමින් එල්ල කෙරෙන ප්‍රහාරවලට ගොදුරු වීමේ තර්ජනයකින් තොරව යොදා ගනු ලැබී ය. ඩ්‍රෝන් යානය බිම හෙලීමෙන් දැන් පෙන්නුම් කර ඇති පරිදි ඉරානයට එරෙහි යුද්ධය සඳහා සූදානම වෙනත්ම කාරනයකි. ඩ්‍රෝන් යානය බිම හෙලුවේ තම රටේ නිෂ්පාදිත සෙවොන් කෝඩාඞ් නම් ප්‍රති-මිසයිල ආරක්ෂක පද්ධතිය යොදාගෙන යයි ඉරානය පවසයි. එරට දැනට ගොඩබාමින් ඇති, රුසියානු එස් 400 බිම සිට අහසට විදින මිසයිල පද්ධතිය මඟින් සිය මිසයිල හැකියාවන් වර්ධනය කරගෙන ඇත.

මිල අධික ඇමරිකානු ඩ්‍රෝනය වෙඩිතබා බිම හෙලීම පෙන්ටගනය කම්පනයට පත් කර තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ඉරානයට එරෙහිව කරන මහා යුද්ධයක් ඔවුන් මැදපෙරදිග දී කල අනෙකුත් යුද්ධවලට වඩා ඉමහත් වියදමක් දරනු ඇතැයි යන්න පිලිබඳ තවත් අනතුරු ඇඟවීමකි එය.

මේ මාසය ඇතුලත මෙම ප්‍රදේශයේ දී ඇමරිකානු ඩ්‍රෝන් යානා බිම හෙලන ලද දෙවන වතාව මෙයයි. යේමනයට එරෙහිව සෞදි අරාබිය සහ එහි සගයන් ගෙන යන 80,000කට අධික සිවිල් ජීවිත නසා ලූ මිලියන් ගනන් සාගතය අද්දරට ඇද දමූ ජනඝාතක යුද්ධයේ යෙදී සිටියදී ජුනි 6 වනදා එක්සත් ජනපදයේ එම් කිවු -9 රීපර් ඩ්‍රෝනය, හවුති සටන්කරුවන් විසින් වෙඩි තබා හෙලන ලදී.

මෑතකම සිදුකල බිම හෙලීමට පෙර, ඇමරිකානු ඩ්‍රෝන 5ක් වෙඩි තබා හෙලූ බවද නැතිනම් අත්පත්කරගත් බවද ඉරානයම කියා තිබේ. 2011 දෙසම්බරයෙදී, එය අෆ්ඝනිස්ථානයේ මූලස්ථනයක සිට ඉරානයට ඇතුලුවූ ඇමරිකානු ලොක්හිඞ් මාටින් ආර්කිව්-170 රහසිගත ඩ්‍රෝනයක් අල්ලාගත්තේ ය. එම ඩ්‍රෝනය ‘රිවර්ස්- එන්ජිනියර්’ කොට (එහි යාන්ත්‍රනය හදාරා) එම වර්ගයේ තමන්ගේම ඩ්‍රෝනයක් නිපදවා ගැනීමට ඉරානය සමත් විය.

ඇමරිකානු මධ්‍යම අනදෙන මන්ඩලය [සෙන්ට්‍රල්හයිකමාන්ඞ්- සෙන්ට්කොම්] බ්‍රහස්පතින්දා ඉරානයට උඩින් ගිය ඩ්‍රෝනය පිලිබඳව ප්‍රතිචාර දැක්වීමට සමත්වූ කල්හි ඔවුන් කියාසිටියේ එය “ප්‍රකෝප නොකරන ලද ප්‍රහාරයක්”ය කියාය. පහර වදිනවිට යානය යමින් තිබුනේ ජාත්‍යන්තර මුහුදු සීමාව ඇතුලත යයි ද ඔවුන් පැවසීය. මැතදී ඕමාන් බොක්කේ තෙල් නැව් වලට සිදු කලේයයි කියන හානි වලට ඉරානය වග කිව යුතු යයි කෙරෙන ඇමරිකානු චෝදනා වලට සාක්කි ඉදිරිපත් කොට නැතුවාක් මෙන්ම ඩ්‍රෝනය බිම හෙලීම ගැන ද පිලිගත හැකි සාක්ෂි ඔවුන් ඉදිරිපත් කර නැත.

ඩ්‍රොනය ගමන්කරමින් තිබුනේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ ය නැතහොත් ඉරාන භුමියට උඩින්ය යන්න පිලිබඳ සිය මතය තහවුරුකිරීමට පෙන්ටගනය සහ ඉරාන ආන්ඩුව, සිතියම් ඉදිරිපත් කොට තිබේ.

සත්‍යය නම් වොශිංටනය සහ තෙහෙරානය යන දෙගොල්ල අතර ඉරාන භූමියේ සැකැස්ම කුමක් ද යන්න පිලිබඳ එකඟත්වයක් නැති බව ය. ඉරාන වෙරලේ සිට නාවුකසැතපුම් 12ක් දුරට, ඉරානයේ සමුද්‍ර සීමා දිවෙන බවට අයිතිවාසිකම් කියාසිටියේ ඇමරිකාවේම රූකඩ පාලකයෙකු වූ ඉරානයේ ෂා රජුගේ ඒකාධිපතිත්වය යි. පටුම තැන දී නාවුක සැතපුම් 21කට වඩා නුපුලුල් හොර්මුස් සමුද්‍ර සන්ධිය තුලදී ද එසේ විය.

ඇමරිකානු ඔත්තු යානයේ පියාසර මග කුමක් වුවත් ඉරාන මිසයිලයකින් එය හෙලනු ලැබීම “ප්‍රකෝප නොකරන” ලද තත්වයක් තුල සිදු කර ඇති බවට කරන කියාපෑම එලිපිටම විහිලු සහගත වේ.

මිනිසුන් රහිත ගගන යානය යොදාගන්නා ලද්දේ, වොශිංටනය ඉරානයට එරෙහිව මිලිටරි තර්ජන දිගින්දිගටම උග්‍ර කරමින්, ගුවන්යානා හාරක නැව් සහිත සේනාංකයක්, බෝම්බ දමන යානා සහ න්‍යෂ්ටික බෝම්බ ගෙනයාහැකි බී-52 යානා සහ ඇමරිකානු මැරීන්භටයන් ගෙනයන හා ගොඩබිමට ගෙනයා හැකි වාහන ඉරානය කරා යැවීමත් සමග ය. මුලින් එක්සත් ජනපදයේ 1500ක හමුදා භට පිරිස් ද ඉක්බිතිතව 1,000 ක් ද ඉරානය ආසන්නයට යවා ඇත්තේ, මෙම ප්‍රදේශය තුල එක්සත් ජනපද ආසක්තයන්ට එල්ල වී ඇතැයි කියන සනාථ නොකරන ලද ඉරානයේ තර්ජන “වැලැක්වීමට” ය.

මෙම මිලිටරි තර කිරීම් සිදුව ඇත්තේ, යුද්ධයක තත්වයක් හා සමාන ආර්ථික වැටලීමක් ඉරානයට එරෙහිව පවත්වා ගෙන යන තතු හමුවේ ය. 2015 දී ප්‍රධාන බලවතුන් සමග අත්සන් කල ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඒකපාක්ෂිකව ඉරා දැමූ ට්‍රම්ප් පාලන අධිකාරිය “උපරිම පීඩක” මෙහෙයුමයයි එය විසින් නම් කර ගත්තා වූ පියවර ගෙන ඇත. ඉරානයේ බලශක්ති අපනයනය බින්දුවට බස්සමින් ඉරාන ජනයා සාගතයට ඇද දමා යටත් කරගැනීම සඳහා ඇමරිකාව ගෙනයන්නා වූ මෙම ආර්ථික ගෙල හිරකිරීම්වල අරමුන, ජන වෛරයට පාත්‍රව පලවා හරින ලද ෂා ගේ ඒකාධිපතිත්වය බඳු රූකඩ පාලනයක් යලිත් ඉරානය තුල ඇටවීම ය.

අවුරුදු 40ක් තිස්සේ ඉරානයට එරෙහිව රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පාලනාධිකාරයන් විසින් එක හා සමානව ගෙනයනු ලබන ආර්ථික හා මිලිටරි වැටැලීමේ මූලෝපායික අරමුන නම්, තෙල් බහුල මැද පෙරදිග එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කොට එමගින් එක්සත් ජනපදයේ ප්‍රමුඛ ගෝලීය ප්‍රතිමල්ලවයා වන චීනයේ ඉන්ධන, තෙල් ආනයනයේ සලාක කපා දැමීමයි.

ඉරානයට එරෙහි යුද්ධය පිලිබඳව ද එක්සත් ජනපද රාජ්‍ය තන්ත්‍රය තුල ගැඹුරු මතභේද පිලිබඳ ඇඟවුම් පවත්නා අතර ගල්ෆ් ප්‍රදේශයේ එක්සත් ජනපද ප්‍රකෝපකරනයන් අනිවාර්යයෙන්ම ගමන් කරන්නේ ජීවිත ලක්ෂ ගනන් වනසනු ඇති යුද්ධයක් කරා ය.

ඒ සමගම ඉරානයට එරෙහි එක්සත් ජනපද මිලිටරි හා ආර්ථික වැටලීම ගැන යුරෝපය සහ චීනය සමග වැඩෙන ආතතින් පැවතීම, අලුත් ලෝක යුද්ධයක් කරා පැතිර යා හැකි මිලිටරි ගැටුමක් පැනනැගිය හැකි බව පිලිබඳ නොවරදින අනතුරු ඇඟවීමකි.