රැකියාවන්ට එරෙහි ගෝලීය ප්‍රහාරය

The global assault on jobs

2019 ජුනි 5

පසු ගිය වසරේ කොන්ත්‍රාත් කම්කරුවන් 5,000ක් දොට්ට දමන ලද ඕස්ට්‍රේලියානු ටෙලිකොම් යෝධයෙකු වන ටෙල්ස්ට්‍රා සමාගම ඉදිරි දෙවසරේ දී කොන්ත්‍රාත් කම්කරුවන් 10,000ගේ රැකියා අහෝසි කරන බව නිවේදනය කලේ ය.

2022 අවසාන වන විට ඍජු කම්කරුවන් 8,000ගේ, එනම් එහි ශ්‍රමබලකායෙන් හතරෙන් එකකගේ රැකියා කැපීමේ “ටී22” නම් ප්‍රතිව්‍යුගතකරන සැලැස්ම ඉදිරියට ගැනීමත් සමග දොට්ට දැමීම සිදුවේ. එය එලඹෙන මාස කීපයේ දී ඍජු රැකියා 6,000ක් කප්පාදු කරනු ඇත. ඒ අනුව 2019 මුදල් වර්ෂයේ දී ඩොලර් බිලියන 1.75ක ඉතිරිකර ගැනීමට නියමිතය.

“වියදම් මත ටෙල්ස්ටා පොරොව ලෙලවීමත් සමග ආයෝජකයෝ ඔල්වරසන් දෙති” නම් මාතෘකාවෙන් යුත් සිඞ්නි මෝර්නිංග් හෙරල්ඞ් ලිපියක් පෙන්නුම් කරන්නේ කම්කරුවන්ගේ ජීවනෝපායන් හා පවුල් විනාස කිරීමේ දී සංගත මූල්‍ය කතිපයාධිකාරියේ ආකල්පය යි.

චීනය හා අනෙකුත් රටවලට එරෙහි ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධ ප්‍රතිපත්ති මගින් කුපිත කෙරුනු, ගෝලීය අවපාතයේ වැඩිවන්නා වූ සංඥාවන්ට සංගත ප්‍රතික්‍රියා දක්වන අතර, මෙම කප්පාදු ජාත්‍යන්තර ව ක්‍රියාත්මක කරනු ලබන සමූහ දොට්ට දැමීම් රැල්ලක කොටසකි. මූල්‍ය ප්‍රාග්ධනය ම්ලේච්ඡ රැකියා කප්පාදු හා ශ්‍රම වියදම් අඩුකිරීම් ඉල්ලා සිටින්නේ, ගිලා බසින වෙලඳපොල හා පහල යමින් තිබෙන අලවිය හමුවේ ඒ මගින් සංස්ථාවන්ට තම ලාභ ඉහල දමා ගත හැකි වන බැවිනි.

මෑත දී සමූහ වැඩ නතර කිරීම් නිවේදනය කර ඇති අනෙකුත් සමාගම්:

ජෙනරල් මෝටර්ස්

එක්සත් ජනපදයේ විශාල ම මෝටර්රථ නිෂ්පාදකයා, ස්ථීර වැටුප් ලබන හා නිෂ්පාදන රැකියා 14,000ක් කප්පාදු කරමින් එක්සත් ජනපදය හා කැනඩාවේ පහක් ඇතුලුව කම්හල් හතක් වසා දැමීමට සැලසුම් කරයි. වෙනත් රටල පිහිටි, ඉලක්ක කෙරුනු කම්හල් දෙකක් තවමත් හඳුනා ගැනීමට ඇත. අඟහරුවාදා කොටස් හිමියන්ට අදහස් දක්වමින්, ප්‍රධාන විධායක නිලධාරී මේරී බාරා පැවසුවේ, කප්පාදු මඟින් ඩොලර් බිලියන 6ක් ඉතිරි කරනු ඇති අතර “ලාභදායී වර්ධනයකට මග පාදනු ඇත” කියා යි.

ෆෝර්ඞ්

පසු ගිය මාසයේ ෆෝර්ඞ් සමාගම නිවේදනය කලේ අගෝස්තු මස අග දී රැකියා 7,000ක්, එනම් තම ගෝලීය ස්ථීර වැටුප් ලබන්නන්ගෙන් සියයට 10ක් කප්පාදු කරනු ඇති “කඩිසර යලිසැලැසුම්කරනයේ” අවසන් අදියරේ සිටින බව යි. මෙම මෝටර්රථ නිෂ්පාදකයා ජර්මනිය, එක්සත් රාජධානිය හා එක්සත් ජනපදයේ ස්ථීර වැටුප් ලබන රැකියා කප්පාදු කර සිටින අතර බ්‍රසීලය, රුසියාව, චීනය හා එක්සත් ජනපදයේ නිෂ්පාදන කම්කරුවන් දහස් ගනනකගේ සේවය අත් හිටුවයි. වෝල් වීදිය සලකන්නේ, මෙය සුලු අත්තිකාරමක් පමනක් බවයි. මෝර්ගන් ස්ටැන්ලි ආයෝජන බැංකුවේ විශ්ලේෂකයෙකු මෑත දී පැවසුවේ, තම වියදම් කප්පාදු ඉලක්ක සැපිරීමට ෆෝර්ඞ් සමාගම තවත් රැකියා 23,000ක් කැපිය යුතු බව යි.

ෆියට් ක්‍රයිස්ලර්

අඟහරුවාදා, ප්‍රන්ස මෝටර්රථ නිෂ්පාදක රෙනෝල්ට් සමාගම පැවසුවේ, ලෝකයේ තුන්වැනි විශාලම මෝටර්රථ නිෂ්පාදකයා නිර්මානය කරනු ඇති ෆියට් - ක්‍රයිස්ලර් යෝජිත එකාබද්ධවීම ගැන තීරනය කිරීමට තමන්ට වැඩිපුර කාලය අවශ්‍ය වන බව යි. අනෙකුත් මහා ඒකාබද්ධයන් මෙන් ම, මෙම ඒකාබද්ධ වීම (මෝටර්රථ නිෂ්පාදකයින් දෙදෙනාම ඉතාමත් සොච්චම් ලාභයක් ලබන වාහන සෑදීමට ඕනෑවට වඩා පුද්ගලයන් යොදා ගන්නා) “යුරෝපයේ කප්පාදුවලට මග පාදනු ඇත” යයි ඩෙට්‍රොයිට් නිව්ස් වාර්තා කලේ ය.

වොක්ස්වගන්

ලෝකයේ විශාලම මෝටර්රථ නිෂ්පාදකයා, ෆෝර්ඞ් සමාගම සමග “මූලෝපායාත්මක හවුලක්” ස්ථාපිත කර, රැකියා 7,000ක් කප්පාදු කිරීමට සැලසුම් කරයි.

ජෙනරල් ඉලෙක්ට්‍රික්

එක්සත් ජනපදයේ පිහිටි මෙම අන්තර්ජාතික සමාගම පසු ගිය සතියේ නිවේදනය කලේ නැගෙනහිර ප්‍රන්සයේ තම බෙල්ෆෝර්ට් කම්හලේ රැකියා 1,000ට වඩා කපන අතර, බලශක්ති කම්හල් උපකරන සඳහා ඉල්ලීම පහල යාමට නියමිත හෙයින් නව රැකියා 1,000ක් නිර්මානය කිරීමේ පොරොන්දුව ඉවත දමන බව යි.

ඒටීඇන්ඞ්ටී

ලෝකයේ තුන්වැනි විශාල ම ටෙලිකොම් සමාගම පසු ගිය වසරේ රැකියා 11,750ට වඩා අහෝසි කල අතර එය ඩොලර් බිලියන 19.4ක ලාභ වාර්තා කලේ ය. ට්‍රම්ප්ගේ සංගත කප්පාදු හේතුවෙන් සමාගම ඩොලර් බිලියන 20ට වඩා සහන ලැබුවේ ය.

සිල්ලර වෙලඳාම

2018 අවසානයේ එක්සත් රාජධානියේ රැකියා 70,000ක් ද එක්සත් ජනපදය තුල 2019දී පමනක් රැකියා 41,000ක් ද අහෝසි කල බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර සිල්ලර වෙලඳ යෝධයා වන මාර්ක්ස් ඇන්ඞ් ස්පෙන්සර් සිල්ලර වෙලඳාම් අංශයේ රැකියා සංහාරයේ කොටසක් ලෙස වෙලඳසැල් 100ක් වසා දැමීමට තර්ජනය කරයි. යුරෝපයේ විශාලම පාරිභෝගික ඉලෙක්ට්‍රෝනික සිල්ලර වෙලන්ඳා වන, ජර්මනියේ මීඩියාමාර්කට්සැටර්න් රැකියා 700ක් අත් හිටවීම නිවේදනය කර ඇත.

රැකියා කප්පාදු වැඩි වෙද්දී පවා, සංගත පාලිත දේශපාලකයින් හා මාධ්‍ය ලොක්කන් පිම්බෙමින් තිබෙන ආර්ථිකයක් හා එක්සත් ජනපදය තුල විරැකියාවේ වාර්තාගත පහල මට්ටම් ගැන දොඩවති. මේ මගින් ඔවුන් අදහස් කරන්නේ වාර්තාගත සංගත ලාභ, කොටස් වෙලඳපොල සිව් ගුනයකින් වැඩිවීම හා 2008 මූල්‍ය බිඳ වැටීමේ සිට සුපිරි පොහොසතුන්ට පෙර නො වූ විරූ ලෙස ධනය මාරුවීම යි.

ඇමරිකාවේ පහල නිල විරැකියා අනුපාතය වාර්තාගත කම්කරුවන් සංඛ්‍යාවක් ශ්‍රමබලකායෙන් හලා ඇති බව (අද ශ්‍රම සහභාගිත්ව මට්ටම 2007ට වඩා පහල ය) හා බොහෝ කම්කරුවන්ට අඩු වැටුප් ගෙවන රැකියා, විශ්‍රාම වැටුප් නැතිකම හා මොනයම් ආකාරයක හෝ ආරක්ෂාවක ඡායාමාත්‍රයක් නැත යන කාරනය විස්තර නො කරයි. පසු ගිය වසරේ එක්සත් ජනපද මූර්ත වැටුප් සියයට 1.3න් පහල ගියේ, දශක හතරකට වඩා වැඩි කාලයක පරිහානියට සම්බන්ධිතවය. එක්සත් රාජධානියේ මෑත අධ්‍යයනයක් පෙන්වා දුන්නේ වැටුප්වල වටිනාකම 2008 තිබුනාට වඩා තුනෙන් එකකින් අඩු බව යි.

“ඔබගේ ජීවිතය පුරා ඔබට රැකියා 25ක් තිබිය හැකි අතර ඒවා හැමවිට ම කොන්ත්‍රාත්තු වනු” ඇතැයි වෝල් විදියේ විශ්ලේෂක මාර්යාන් කෙලර් ඩෙට්‍රොයිට් ෆ්‍රී ප්‍රෙස් පත්‍රයට පැවසුවේ ය. ඔහු එසේ පැවසුවේ දස වසරකට පෙර ජනාධිපති ඔබාමාගේ ටීඑම් හා ක්‍රයිස්ලර් ප්‍රතිව්‍යහුගත කිරීමේ සිට මොටර්රථ කර්මාන්තයේ කාන්දු වී ඇති තාවකාලික හා අර්ධ කාලීන රැකියා ගැන ලිපියක් සඳහා ය. “2009ට පෙර, පැරනි වෘත්තීය සමිති කොන්ත්‍රාත්තු ජීවිත කාලය සඳහා ඔබගේ රැකියා සහතික කලේ ය. ඒවා සාහසික මෙන් ම දැරිය නො හැකි වී” යැයි කෙලර් පැවසී ය.

සමාජයේ අනෙක් ධ්‍රැවයේ, සංගත හා මූල්‍ය කතිපයාධිකාරිය කවරදාටත් වඩා නැව්, පුද්ගලික ජෙට් යානා හා මන්දිර සඳහා වියදම් කරමින් සිටී. වෝල් ස්ටී්‍රට් ජර්නල් මෑත දී වාර්තා කලේ ලෝකයේ පොහොසත් ම මිනිසා වන, ඇමසොන් ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් මෑන්හැටන් හි පස්වැනි පටු මගේ තනි ගෙයක් හා යාබද ඒකක දෙකක් මිල දී ගැනීමට ඩොලර් මිලියන 80ක් වැය කල බව යි. මේ අතර ඇමසොන් කම්කරුවෝ තම මෝටර්රථ තුල නිදා ගනිමින් අහාර මුද්දර එකතු කරති.

2008 ආර්ථික කඩා වැටීමෙන් පසු, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූයේ ගෝලීය මූල්‍ය දියවීමට සාමකාමී හෝ “සමාජමය වසයෙන් මධ්‍යස්ථ” විසඳුමක් නොමැති බව යි. 2009 මැයි 9වැනිදා, ලෝක සමාවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල සභාපති හා සමාජවාදී සමානතා පක්ෂයේ (එජ) ජාතික සභාපති, ඬේවිඞ් නෝර්ත් මෙසේ සඳහන් කලේ ය:

මෙම අර්බුදය වනාහි, ඇමරිකානු හා ගෝලීය ආර්ථිකයේ අතිමූලික ප්‍රතිව්‍යුහගත කිරීම හා එය පදනම් වන්නා වූ සමාජ හා පන්ති සම්බන්ධතා දිගහැරෙන රූපාකාරය යි. එය විසඳිය හැක්කේ මාර්ග දෙකකින් එකක දී පමනී. එක්කෝ ධනේශ්වර නැත්නම් සමාජවාදී පදනමක් මත පමනි. පලමුවැන්න, එනම් ධනේශ්වර විසඳුමේ, අර්ථය වනු ඇත්තේ එක්සත් ජනපදය, යුරෝපය හා ලෝකය පුරා කම්කරු පන්තියේ ජීවන තත්වයන් නොඉවසිය හැකි මට්ටම් වලට පහල දැමීමකි. මෙම විසඳුමට දැවන්ත අභ්‍යන්තර මර්දන, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාස කිරීම, හා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නො දුටු පරිමාවක මිලිටරි ප්‍රචන්ඩත්වය මුදා හැරීම අවශ්‍ය වන්නේ ය.

මෙම විනාසකාරී පෙල ගැසීමට එකම විකල්පය සමාජවාදී විසඳුමයි. එයට ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලන බලය ගැනීම, කාර්මික, මූල්‍ය හා ස්වභාවික සම්පත්වල ප්‍රජාතන්ත්‍රවාදී මහජන පාලනය ස්ථාපිත කිරීම සහ විනාසකාරී ලෙස ලාභය හා පෞද්ගලික ධනය හඹායාමට පටහැනිව, සමස්තයක් වසයෙන් සමාජයේ අවශ්‍යතාවන් සංතෘප්ත කිරීමට කැපවුනු, විද්‍යාත්මකව සැලැසුම් කෙරුනු ගෝලීය ආර්ථිකයක වර්ධනයක් අවශ්‍ය ය

2008 මූල්‍ය අර්බුදය සමග පාලක ප්‍රභූව, ගෝලීය ආර්ථිකයේ ලඹදෙන පහතට හැරීමක මුලු බර දැරීමට කම්කරු පන්තිය සූදානම් කිරීමට අදහස් කරන අතරම ආන්ඩුව මූල්‍ය කතිපයාධිකාරියේ ධනය රැකීමට හා ව්‍යාප්ත කිරීමට මැදිහත් වෙයි. මෙය අඟහරුවාදා ඇති තරම් පැහදිලි කෙරුනේ, කොටස් වෙලඳපොල ඉහල නංවමින්, එක්සත් ජනපද මහබැංකුව පොලී අනුපාත කැපීමට සූදානම් වන බව එහි සභාපති ජෙරෝම් පවෙල් පැවසූ අවස්ථවේ දී ය.

එහෙත් එක්සත් ජනපදය හා ලෝකය වටා වෘත්තීය සමිති විසින්, තමන්ගේ ම විසඳුමක් තහවුරු කර ගැනීමේ කම්කරු පන්තියේ ප්‍රයත්නය මර්දනය කර ඇත. කඩා වැටීමෙන් පසු වසරවල ඔවුහු විසිවැනි සියවසේ මුල සිට පැවති පහලම මට්ටම්වලට වැඩවර්ජන හා විරෝධතා අඩපන කලහ. කෙසේ නමුත් පසු ගිය 18 මාසය, එක්සත් ජනපද ගුරුවරුන්ගේ කැරැල්ල; මෙක්සිකෝවේ මැටමොරොස් නගරයේ මැකිලඩෝරා කම්කරුවන්ගේ හදිසි වැඩවර්ජන; ප්‍රන්සයේ කහ බැනියම් විරෝධතා; සහ ඇල්ජීරියාව, සුඩානය හා අනෙකුත් අප්‍රිකානු රටවල නැගිටීම් ඇතුලුව පන්ති අරගලයේ යලිපිබිදීමක් අත්දැක ඇත.

මැටමොරොස් නගරයේ කම්කරුවෝ ජාතිකවාදී ධනේශ්වර-ගැති වෘත්තීය සමිතිවලට එරෙහිව කැරලි ගසා, සටනට එක්වීමට තම ඇමරිකානු සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීම සඳහා එක්සත් ජනපද දේශසීමාවට පා ගමනේ ගොස්, කම්හල් වසා දැමීමට එරෙහිව සටන් කරන එක්සත් ජනපද හා කැනඩා කම්කරුවන්ට සහයෝගිතාවයේ පනිවුඩ යැවූහ.

ලෝකය වටා, කම්කරුවෝ හා තරුනයෝ මිලියන ගනනාවක් පෙරලිකාරී වෙමින් සිටිති. ට්‍රම්ප් හා යුරෝපයේ අන්ත දක්ෂිනාංශික පක්ෂ ප්‍රකාශ කරන්නා වූ ද ඊනියා “ප්‍රධාන ප්‍රවාහයේ” පක්ෂ හා වෘත්තීය සමිති විසින් ප්‍රතිරාවය නංවන්නා වූ ද ආකාරයට තම රැකියා සොරාගන්නා අතර, තම පවුල් දරිද්‍රතාවට ඇද දමන්නේ සංක්‍රමනිකයන් හා සරනාගතයින් නො ව, ධනවාදය බව ඔවුහු තේරුම් ගනිමින් සිටිති.

මෙම අර්බුදය අතිමූලික දේශපාලන ප්‍රශ්න මතු කරයි. කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ගෝලීය ප්‍රහාරයට ගෝලීය වසයෙන් සමායෝජිත ප්‍රතිචාරයක් අවශ්‍ය ය. මෙහි අර්ථය වන්නේ මෙක්සිකානු විරෝධී හා චීන විරෝධී ස්වෝත්තමවාදය ප්‍රචාරය කරනන් වූ ද පහල ම වැටුප් හා නරක ම කොන්දේසි තුල කවුරු වැඩ කරන්නේ ද යන්න මත භාතෘඝාතක අරගලයක් තුල කම්කරුවන් එකිනෙකාට එරෙහිව කොටවන්නා වූ ද යුනයිටඞ් ඔටෝ වර්කර්ස් වැනි වෘත්තීය සමිති විසින් තොරොම්බල් කරන ජාතිකවාදී විෂ ප්‍රතික්ෂේප කිරීම යි. තව ද එහි අර්ථය වන්නේ ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධ සමග පෙලගැසෙමින් සිටින අතර වරින් වර තෙමේ සමාජවාදියෙකු යැයි කියා ගන්නා, බර්නී සෑන්ඩර්ස් ඇතුලු සංගත පාලිත ඩෙමොක්‍රටිකයන් ප්‍රතික්ෂේප කිරීම යි.

ගෝලීය කම්කරුවන්ට අවශ්‍ය වන්නේ ධනේශ්වර පද්ධතියට එරෙහිව කාර්මික හා දේශපාලනික ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීමට හා ජාත්‍යන්තර පරිමාවකින් තම අරගලය සම්බන්ධිකරනයට, කම්කරුවන් විසින් ම ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කෙරෙන, කම්කරු කමිටු ගොඩනැගීම යි. විශේෂයෙන් ම, එහි අර්ථය වන්නේ කම්කරුවන්ට තමන්ගේ ම අතට දේශපාලන බලය ගැනීම හා සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ හැකියාව ලබා දෙන විප්ලවවාදී ඉදිරිදර්ශනයක් හා නායකත්වයක් යලි පිබිදෙන පන්ති අරගලයට සැපයීම සඳහා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම යි.

ජෙරී වයිට්

Share this article: