හොංකොං හි දැවන්ත මහජන විරෝධතා පුපුරයි

Mass protests erupt in Hong Kong

2019 ජූනි 10

එහි උදර්පන නීතියේ සැලැසුම් කෙරුනු වෙනස්කම්වලට එරෙහිව, ඊයේ හොංකොං නගරයේ වීදි පුරා පැවති දැවන්ත පෙලපාලි හා පා ගමන්, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන සහගත මහජනතාවගේ පුලුල් ස්ථරයන් අතර වැඩෙන පෙරලිකාරිත්වය පිලිබඳ පැහදිලි සංඥාවකි.

පලායිත (පලායෑම පිලිබඳ) පනතේ නීතියට යෝජිත සංශෝධනවලට චීනය ඇතුලත් කිරීම දක්වා වර්තමාන උදර්පන විධිවිධාන පුලුල් කරනු ඇත. මෙය දේශපාලන විරුද්ධවාදීන් හා ආගමික විසම්මතිකයන්, මෙන් ම සැබවින් ම තර්ජනයක් ලෙස සැලකෙන ඕනෑ ම අයෙකුට, ගොතන ලද චෝදනා මත නඩු පැවරීම සඳහා හා හිරගත කිරීම සඳහා ප්‍රධාන චීන භූමිභාගයට පිටත් කර යැවීමට, බීජීන තන්ත්‍රයට මෙම නීතියේ ප්‍රතිපාදන යොදා ගත හැකි වනු ඇත යි පුලුල් උත්සුකයක් පොලඹවා ඇත.

සංවිධායකයින්ට අනුව, මිලියන එකකට වඩා පුද්ගලයෝ (වෙනත් වචනවලින් පවසතොත් හොංකොං සමස්ත ජනගහනයෙන් හත්දෙනෙකුට එක් අයෙක්) ඊයේ විරෝධතාවට සහභාගී වූහ. පුවරු හා බැනර්වල “චීන උදර්පනය එපා” හා “කැරී ලැම් ඉල්ලා අස්වෙනු” යන සටන්පාඨ ඇතුලත් වුනි. ප්‍රධාන විධායක නිලධාරී ලැම් හොංකොං හි ප්‍රධාන නිලධාරියා වන අතර ඒ අනුව නීති සම්පාදනය සඳහා වග කිව යුතු ය.

හොංකොංහි විරෝධතාකරුවෝ (Credit: Twitter: Denise Ho)

විශාල ජන සමූහයට ශිෂ්‍ය සංවිධාන, දකිනු චීන සංක්‍රමනික පොදුවේ ප්‍රධාන භූමියේ චීන ජාතිකයන්ට වන තම විරුද්ධත්වය කම්කරුවෝ, දේශපාලන පක්ෂ, ආගමික කන්ඩායම්, හා ලාභ නොලබන සංවිධාන මෙන් ම උත්සුක බොහෝ සංඛ්‍යාවක් පුද්ගලයෝ අයත් වූහ. අඩු වශයෙන් සාප්පු 90ක් තම සේවකයින්ට සහභාගී වීම සඳහා තම දොරවල් වසා දැමුවේ ය.

පෙලපාලිකරුවන් “පාර අරිනු” යි ගායනා කරමින් පොලිස් බාධක ඉක්මවා ගියේ බදාදා නැවත නීතිය විමර්ශනය කිරීමට නියමිත හොංකොං ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ල වට කිරීමට ය. පා ගමන ඇරඹී පැය පහකට පසු ද ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ල ඒ වන වටිත් වට කර තිබුනේ සංවිධායකයන් වැඩිමනත් විරෝධතා ලකුනු පල කිරීමත් සමග ය. අද මුල් පැය කීපයේ දී, කැරලි මර්දන පොලීසිය ඉතිරි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බැටන් පොලු හා මිරිස් කුඩු විදිනයන් ප්‍රයෝජනයට ගත්තේ ය.

නිව් යෝක්, සැන් ෆ්‍රැන්සිස්කෝ, සිඞ්නි, ටෝකියෝ, ටොරෙන්ටෝ හා තායිපේ අතුලු ලෝකය වටා නගරවල ද වඩා කුඩා විරෝධතා 29ක් පැවත්වුනේ නීතිය ඉල්ලා අස්කර ගනු යි ඉල්ලමිනි. “අද මම මෙතන ඉන්නේ මම නොකල අපරාධයකට මම මහ චීනයට යවයි කියලා බයවන හින්දා” යැයි දැනට මෙල්බර්න් නගරයේ ජීවත් වන හොංකොං වැසියෙකු වන හෙන්රි ලී සවුත් චයිනා මෝර්නිංග් පෝස්ට් පත්‍රයට පැවසී ය.

දේශපාලනික හා ආගමික විසම්මතිකයන් අවධානමක නැති බව හා හොංකොං උසාවි වල ස්වාධීනත්වය තහවුරු කෙරුනු බවට ලැම් කල සහතික කිරීම නො තකා ඊයේ පැවති දැවන්ත විරෝධතා, පෙබරවාරි මාසයේ පලමු වරට උදර්පන නීතිය ඉදිරිපත් කිරීමෙන් පසු වැඩි වී ඇති විරෝධතා මාලාවක මෑත ම එක යි. බිය වැඩි වී ඇත්තේ කාරක සභා පරීක්ෂාව මග හරිමින් ව්‍යවස්ථාදායක කවුන්සිලය හරහා සංශෝධන කඩිනම් කිරීමට විධායකය උත්සාහ කර තිබීමත් සමගිනි. ආතතීන් පුපුරා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාද විරෝධී ක්‍රියාපටිපාටිය ගැන නියෝජිතයින් අතර ඇති වූ කායික ගැටුම්වල දී ය.

ජූනි 4වැනිදා ටියනන්මෙන් චතුරශ්‍ර සංහාරය සලකුනු කිරීමේ හොංකොං හි වාර්ෂික රාත්‍රී නිදි මැරීමේ විරෝධතාවට පුද්ගලයන් 180,000ට වඩා වාර්තාගත සංඛ්‍යාවක් ඇද ගත්තේ පාපන්දු පිටි හය ම ද නගරයේ වික්ටෝරියා උද්‍යානය අවට ප්‍රදේශය ද පුරවමිනි. ඔවුන් පැමිනියේ වසර 30ට පෙර බීජීනයේ ම්ලේච්ඡ මිලිටරි කඩා පැනීමට තම විරුද්ධත්වය ප්‍රදර්ශනය කිරීමට පමනක් නො ව උදර්පන නීතිය සම්බන්ධ උත්සුකයෙනි. සැකයකින් තොර ව, විරෝධතාවට 1989 හොංකොංවලට පැන ගිය අය සහභාගී වූ අතර තමන් අත්අඩංගුවට ගෙන ආපසු යවනු ඇතැ යි ඔවුහු බිය වෙති.

බ්‍රිතාන්‍ය තම පැරනි යටත්විජිතය ආපසු චීනයට බාර දුන්නේ එහි මූලික නීතිය යටතේ හොංකොං විශාල ප්‍රමානයක ස්වාධීනත්වයක් සහිත විශේෂ පරිපාලන කලාපයක් වනු ඇත යි යන පදනම මත ය. “එක රටක්, ක්‍රම දෙකක්” යන බීජීන ප්‍රතිපත්තිය හොංකොං හි ධනේශ්වර දේපල සම්බන්ධතා පවත්වා ගෙන ගිය අතර, අනෙක් අතට, එය ප්‍රධාන භූමියේ ධනේශ්වර පුනස්ථාපනය වේගවත් කිරීමත් සමග, චීන කොමියුනිස්ට් පක්ෂයේ තීරනාත්මක කාර්යයක් ලෙස සේවය කලේ ය. විදේශීය සංගත, සැබවින් ම චීන සමාගම්, එහි දීර්ග කාලීන ස්ථාවර වානිජ නීති මගින් චීනයේ ඔවුන්ගේ මෙහෙයුම් දැඩි ලෙස සහතික කෙරුනු හොංකොවල මූලස්ථාන පිහිටුවා ගත්හ.

හොංකොං හි ස්වාධීනත්වයට බැඳී සිටීමේ ප්‍රකාශ නො තකා, සීසීපී තන්ත්‍රය තම එලිපත්තේ දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීමේ තම ප්‍රයත්නයේ දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඩැහ ගැනීමට යලියලිත් උත්සාහ කර ඇත. 2003දී ඵලදායි ලෙස නගරය මත චීන පොලිස් රාජ්‍ය පියවර දීර්ග කර තිබීමට ඉඩ තිබූ ජාතික ආරක්ෂක පනතට එරෙහිව මිලියන භාගයක පුද්ගලයෝ හොංකොං හි පෙලපාලි දැක්වූහ. එකී කෙටුම්පත දින නියමයක් නැතිව ලාච්චුවට දැමුනි.

2014 දී, නගරයේ පරිපාලනය තුල පුලුල් බලතල පවත්වා ගෙන යන, හොංකොං ප්‍රධාන විධායක නිලධාරී තේරීමේ දී දැඩි පාලනයක් පවත්වා ගෙන යාමේ චීන සැලැසුම් වලට එරෙහිව දැවන්ත විරෝධතා පිපිරුනි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නිර්මාතෘ මාර්ටින් ලී වැනි ධනේශ්වර ලිබරල් විරුද්ධවාදීන් සම්මුති ගැසීමට සූදානම් වූ අතර, ශිෂ්‍ය කන්ඩායම් විවෘත නිදහස් මැතිවරන ඉල්ලා වීදිවලට බැස්සේ, පොලීසිය විසින් ඒවා විසුරවා හැර මර්දනය කිරීමට පෙර, සති හතරක් පැවති වීදි වාඩිලා ගැනීම් අවුලුවමිනි. බීජීනය ප්‍රධාන විධායක තනතුර සඳහා අපේක්ෂකයින් පිලිබඳ තම දැඩි නියාමන පරීක්ෂන කිරීම වෙනස් කර නැත.

වර්තමාන උදර්පන නීතියට එරෙහි විරෝධතා ඉදිරියට යා යුතු නම්, අත්දැකීම්වලින් පාඩම් උකහා ගත යුතු ය. මේවා අතර ප්‍රධාන වන්නේ සටන් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන ඉදිරිදර්ශනය යි.

2014 වාඩිලා ගැනීමේ හෝ පර්ෂද ව්‍යාපාරයේ අසාර්ථකත්වය එහි තරුන සහභාගී වූවන්ගේ අධිෂ්ඨානය හෝ ධෛර්යයේ අඩුවක් නො වේ. ඊට වෙනස් ව එය වැලක්වුනේ ශිෂ්‍යයින් හා විද්වතුන්ගේ හොංකොං සම්මේලනයේ නායකයින්, ඔවුන්ගේ උපක්‍රමවල දී වඩා සටන්කාමී ද ඔවුන්ගේ ඉල්ලීම්වල දී වඩා ඍජු ද වූ අතර, මාර්ටින් ලී වැනි ආචීර්න කල්පික ලිබරලුන්ට දේශපාලන ඉදිරිදර්ශනයක් නො තිබූ තතු යටතේ ය.

නැවත වතාවක්, ලී වැනි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයෝ උදර්පනයට එරෙහි වර්තමාන විරෝධතාවේ ප්‍රමුඛයෝ වී සිටිති. ඔවුන් පෙල ගැසෙන්නේ හොංකොං සංගත ප්‍රභූවේ කන්ඩායම් සමගිනි, ඔවුන් ද නීතිවලට විරුද්ධ වී ඇත්තේ එයට උසාවිවල මෙන් ම චීනයේ ආයෝජන සඳහා පදනමක් ලෙස හොංකොංවල සිත් අද ගන්නා බව යටපත් කල හැකි වනු ඇත යි යන උත්සුකයෙනි.

ලී හා ඔහුගේ මිතුරෝ ද හොංකොංවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටනට එක්සත් ජනපදයේ සහාය ලබා ගත හැකි ය යන භයානක මිත්‍යාව ප්‍රචාරය කරමින් සිටිති. පසු ගිය මාසයේ ලී වොෂින්ටනයට ගිය නියෝජිත මන්ඩලයකට නායකත්වය දුන් අතර, එය අනෙකුත් අය සමග, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මෙන් ම චීනය ගැන එක්සත් ජනපද කොංග්‍රස් මන්ඩල විධායක කොමිසම ද බැහැ දුටුවේ ය. ට්‍රම්ප් පාලනාධිකාරියට හොංකොංවල “මානව හිමිකම්” සඳහා හෝ වෙන කොහෝ හරි ඒ කාරනය සඳහා සුලු ම හෝ උත්සුකයක් නොමැති නමුත් බීජීනයට එරෙහි එහි වැඩිවන්නා වූ ගැටුම හා යුද තල්ලුවේ කොටසක් ලෙස මෙම ව්‍යාපාරය ගසා කෑමට උත්සාහ ගනී.

හොංකොං යනු ලෝකයේ වඩාත් ම සමාජ ධ්‍රැවාන්තගත නගරවලින් එකක් වන අතර වර්ෂයක් පාසා වඩ වඩා විෂම වෙමින් තිබේ. ආර්ථිකයේ ආධිපත්‍යය ගනු ලබන්නේ බහු බිලියනපතියන් අතලොස්සක් වන අතර ජනගහනයේ බහුතරය තම හිසට සෙවනක් දීමට පවා පොර බදන්නේ, බොහෝ දෙනාට “කූඩු නිවාස” වැනි තාවකාලික වාසස්ථානවල ජීවත් කිරීමට බලකිරීම සමගිනි.

හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය කම්කරු පන්තිය මත පදනම් විය යුතු අතර කප්පාදුවලට එරෙහි හා යහපත් රැකිය හා වැටුප් වැනි මූලික සමාජ අයිතීන් සඳහා වඩා පුලුල් අරගල සමග බැඳී පවතී. මෙහි අර්ථය වන්නේ කම්කරු පන්තියේ කුමන හෝ ස්වාධීන බලමුලු ගැන්වීමකට ඓන්ද්‍රීය ව ම සතුරු, ලී වැනි පුද්ගලයන් හා ධනවාදයේ අනෙකුත් ආරක්ෂකයින් විසින් වර්තමාන විරෝධතාවේ ආධිපත්‍ය ගැනීමට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ දේශපාලන අරගලයකි.

තව ද එහි අර්ථය වන්නේ හොංකොං ප්‍රදේශවාදය මත සීසීපී තන්ත්‍රයට පමනක් නොව පොදුවේ ප්‍රධාන භූමියේ චීන ජාතිකයන් කෙරෙහි තම විරුද්ධත්වය එල්ල කරන්නා වූ සියල්ලන් ප්‍රතික්ෂේප කිරීම යි. හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන ඉදිරියට යනු ඇත්තේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරන චීන කම්කරුවන්ගේ අරගලය වෙත හැරී ඔවුන් වෙනුවෙන් සටනට නායකත්වය දීමට ඉදිරිපත්වන තාක් දුරට ය.

විශේෂයෙන් ම, බීජීනයේ පොලිස් රාජ්‍ය තන්ත්‍රය සඳහා වග කිව යුතු, මාඕවාදය ඇතුලුව, ස්ටැලින්වාදයේ සියලුම රූපාකාරයන්ට එරෙහි සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දිග්ගැස්සුනු අරගලයේ ඓතිහාසික පාඩම් මත පදනම් ව කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වක් ගොඩනැගිය යුතු ය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් කරන්නේ මෙම ඉදිරිදර්ශනය සඳහා යි.

පීටර් සිමන්ඞ්ස්

Share this article: