ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ අවලංගු කල ප්‍රහාර: තුන්වන ලෝක යුද්ධයට මිනිත්තු දහයක්

Trump’s aborted strikes on Iran: Ten minutes to World War III

2019 ජුනි 22

ඉරානයට එරෙහි ව එක්සත් ජනපද ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ට්‍රම්ප් පරිපාලනය විසින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නියෝග කොට පසුව අවලංගු කිරීම වටා පවතින ව්‍යාකූල හා ප්‍රගාඪ ලෙස අන්තරායකාරී සිද්ධි, අවසානයේ සමස්ත ග්‍රහලෝකයට ම තර්ජනය කරන විනාශකාරී නව යුද්ධයකට ලෝකය කොතරම් ආසන්නදැයි හෙලි කර ඇත.

ට්‍රම්ප්ගේ ම වචනවලට අනුව, ඉරාන මිසයිල හා රේඩාර් පද්ධති මතට බෝම්බ හෙලීම ඔහු අවලංගු කලේ, එක්සත් ජනපද ටොමහෝක් කෲස් මිසයිල ගුවන්ගත කිරීමට යන්තම් මිනිත්තු 10කට පෙර ය.

සිකුරාදා පලකල යන්තමින් තර්කානුකූල හා අභ්‍යන්තරික ව පරස්පර-විරෝධී ට්විටර් පනිවුඩ කිහිපයක් තුල එක්සත් ජනපද ජනාධිපතිවරයා කියා සිටියේ, ටෙහ්රානය විසින් තම ගුවන් අවකාශය උල්ලංඝනය කර ඇතැයි චෝදනා කර නේවි ආර්කිවු-4 ග්ලෝබල් හෝක් ඔත්තු බලන ඩ්‍රෝන් යානයක් ඉරානය විසින් බිමහෙලීමට ප්‍රතිප්‍රහාර ලෙස තමන් ගුවන් ප්‍රහාර එල්ල කිරීමට නියෝග කල බව යි.

ඩ්‍රෝන් යානය පියාසර කලේ ජාත්‍යන්තර මුහුදු සීමාවට ඉහලින් හා මිසයිල ප්‍රහාරය “අවුලුවාලූ එකක් නො වන” බව කියමින් වොෂින්ටනය ප්‍රතිචාර දක්වද්දී, තම භූමියට ඇද වැටී තිබූ මිල ඩොලර් මිලියන 200ක් පමන වන යානයේ විසිරුනු කොටස් ප්‍රදර්ශනය කරමින් ඉරානය සිකුරාදා තම ප්‍රකාශයන්ට පිටුබලය දුන්නේ ය.

“අප ඊයේ රාත්‍රීයේ ස්ථාන 3කට පහර දීමට සූදානමින් කොකා ඇදගෙන (එසේමැයි) සිටියදී, කීදෙනෙකු මැරෙනු ඇද්දැයි මා විමසුවා” යි ට්‍රම්ප් ට්විටර් ගිනුමේ සඳහන් කලේ ය. “ජෙනරාල්වරයෙකුගේ පිලිතුර වූයේ, සර් 150ක් කියා යි. ප්‍රහාරයට මිනිත්තු 10කට පෙර මම එය නතර කලා.”

එක්සත් ජනපද නාවික-ගුවන් ප්‍රහාරක කන්ඩායමක් (ස්තුතිය: එක්සත් ජනපද නාවික හමුදාව) [credit: US Navy]

“මිනිසුන් රහිත ඩ්‍රෝන් යානයක් බිම හෙලීමට” එවැනි මරන ගනනක් “අනුකූල නො වන” බවට තමන්ට මනස්තාපයක් තිබුනේ යයි අවධාරනය කිරීම තෙක් එක්සත් ජනපද ජනාධිපතිවරයා ගමන් කලේය.

ට්විටර්හ සමච්චල් සහගත පනිවුඩ මාලාවක් කර ඇති, මිලිටරිවාදී අනිසි ප්‍රකාශයක් වන ඔහුගේ “සූදානමින් හා කොකා ඇදගෙන” සිටි බව කියන පූච්චානම මෙන් ම, සාපේක්ෂ ව ඉතා කුඩා ඉරාන මරන සංඛ්‍යාවක් ගැන ඔහු උත්සුක වී යයි ට්‍රම්ප් කරන කියා පෑම විශ්වාස කල නො හැක.

මොසුල් හා රක්කා නගර බිමට සමතලා කරමින් ද එක්සත් ජනපද භටයන් දෙදෙනෙකු පමනක් මරනයට පත්වූ ,බෝම්බ හා ෂෙල් ප්‍රහාරවලින් දසදහස් ගනනක් මරා දැමූ ඉරාකයේ හා සිරියාවේ යුද්ධ, ඔබාමා විසින් ආරම්භ කොට, අල්ලාගැනීම අධීක්ෂනය කල අතර, ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරියට ගෙන යමින් වඩාත් තීව්‍ර කෙරින.

තව ද අරාබි ලෝකයේ දුප්පත් ම රට වන යේමනය තුල ජනසංහාරක යුද්ධය සඳහා සවුදි රාජාන්ඩුවට ඍජු සැපයුම් හා මිලිටරි ආධාර ලබාදෙමින්, ට්‍රම්ප් පරිපාලනය විසින් එය ම්ලේච්ඡ ලෙස සන්නද්ධ කර ඇති අතර, එම යුද්ධය සිවිල් වැසියන් 80,000ක පමන ජීවිත බිලිගෙන මිලියන ගනනක් කුසගින්නට ඇද දමා ඇත.

දශක තුනකට පෙර ඇරඹූ පලමු ගල්ෆ් යුද්ධයේ පටන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැද පෙරදිග දියත් කරන ලද ලේ වැකි ගැටුම් කිසිවක දී අනුපාතික තත්වය පිලිබඳ සංකල්පය සැලකිල්ලට ගෙන නැත.

ට්‍රම්ප් ගුවන් ප්‍රහාර අවලංගු කලේ ඉරාන ජීවිත පිලිබඳ කිසිදු උත්සුකයක් නිසා නො වේ. එයට හේතු වූයේ, ඉරානය තුල සිදුවන එවන් මරන සංඛ්‍යාවක් එක්සත් ජනපද භටයන්ගේ ජීවිත වඩා වැඩියෙන් බිලිගත හැකි ප්‍රතිප්‍රහාරයකට අනිවාර්යයෙන් ම හේතු වී, මිලිටරි පුපුරා යාම් මාලාවක් ජනනය කරමින්, ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද ආක්‍රමන සාපේක්ෂ ව ලමා සෙල්ලම් බවට පත්කරන මහා පරිමාන යුද්ධයක් ජනනය කරනු ඇතැයි ඔහුගේ මිලිටරි උපදේශකයන් කල අනතුරු ඇඟවීම යි.

න්‍යෂ්ටික හැකියාව සහිත බී-52 යානා ප්‍රමුඛ ගුවන් යානා හාරක ප්‍රහාරක නාවික සේනාංකයක් ද, දැනට කලාපය තුල යොදවා ඇති භටයන් 20,000 සමග එක් වීමට අමතර භටයන් 2,500ක් එක්සත් ජනපදය විසින් යවා ඇති නමුත්, එය තවමත් එවන් යුද්ධයකට සූදානම් නැත.

දැන් සූදානම් කිරීම් සිදුකරනු ඇත. ට්‍රම්ප් සිකුරාදා ට්විටර් පනිවුඩයේ ලියූ පරිදි: “මට හදිසියක් නැහැ, අපගේ මිලිටරිය යලි අලුතෙන් ගොඩනගා, පිටත් කිරීමට සූදානම් කරනු ඇත. එය ලෝකයේ හොඳ ම මිලිටරිය යි. සම්බාධක, විනිවිද යන අතර ඊයේ රාත්‍රී තවත් ඒවා එක්කරන ලදී.”

නව සාකච්ඡා වටයකට පැමිනීමට ඉරාන ආන්ඩුවට බලකරමින්, 2015 දී ඉරානය ලෝක බලවතුන් හය දෙනෙකු සමග අත්සන් තැබූ න්‍යෂ්ටික ගිවිසුම ඉරා දමමින්, වසරකට පමන පෙර ධවල මන්දිරය පැනවූ සම්බාධක යොදාගැනීමට එයට අවශ්‍ය බව යලි යලිත් පෙන්වා තිබේ.

එවැනි සාකච්ඡාවලින් වොෂින්ටනය බල කරන්නේ, ඉරානය එහි සිවිල් න්‍යෂ්ටික වැඩසටහන් මුලුමනින් ම අවසන් කල යුතු බවත්, එහි බැලස්ටික් මිසයිල අත්හල යුතු බවත්, පලල් මැද පෙරදිග සමග එහි සියලු සබඳතා හා බලපෑම අවසන් කල යුතු බවත් ය. මෙහි සාරභූත ඉලක්කය වන්නේ, වසර 40කට පෙර මහජන විප්ලවයක් මගින් පෙරලා දැමූ, එක්සත් ජනපද පිටුබලය ලත් ෂාගේ ආඥාදායකත්වයට ද වැඩියෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සපත්තුවට යට වී සිටින අර්ධ-කොලනියක් බවට ඉරානය ලඝුකිරීම යි.

එවන් ඉලක්ක සාමකාමී ව ඉටුකරගත නො හැක. ඒවා අනිවාර්යයෙන් යුද්ධය කරා ධාවනය වෙයි. එක්සත් ජනපද නිලධාරීන් විසින් දේශනා කරන “රාජ්‍යතාන්ත්‍රිකත්වය,” අන් කවරකටත් වඩා දෙවන ලෝක යුද්ධය කරා වූ ධාවනයේ දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසීන් අනුගමනය කල දේවල් යලි මතකයට නංවයි.

ඉරානයට එරෙහි ප්‍රහාරය හරහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය උත්සාහ දරන්නේ, ජීවිත මිලියනයකට වඩා බිලිගෙන ඇති මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ යුද්ධ හා තන්ත්‍ර-මාරු මෙහෙයුම් සිදුකල ද ස්ථාවර එක්සත් ජනපද රූකඩ තන්ත්‍ර ස්ථාපනය කිරීමට අසමත් ව ඇති මෙහෙයුම් හරහා එය නිර්මානය කරගෙන ඇති ව්‍යසනයන් ආපසු හැරවීම යි. ඒ වෙනුවට ඒවායේ ප්‍රතිඵල වී ඇත්තේ කලාපය තුල ඉරානය, රුසියාව හා චීනය ඇතුලු එහි ප්‍රතිමල්ලවයන්ගේ ආනුභාවය වර්ධනය වීම යි.

2003 ඉරාකය ආක්‍රමනය කරන සමයේ එහි ජනගහනය මෙන් තුන්ගුනයක් ද ඉරාකය මෙන් හතරගුනයක් ද විශාල ඉරානයට එරෙහි යුද්ධයක්, අනිවාර්යයෙන් ම සමස්ත කලාපයම වෙලාගනු එකක් වනු ඇත. ඉරානය සමග පෙලගැසී සිටින, ලෙබනනයේ ෂියාවරුන් මත පදනම් වන හෙස්බුල්ලාවරුන් සමග ගැටුමකට සූදානම් කිරීම සඳහා, භටයන් දහස් ගනනක් යොදාගෙන ඊස්රායල ආරක්ෂක හමුදා සිදුකල යුද අභ්‍යාස බදාදා සම්පූර්න කලේ ය.

තව ද ඉරානයට එරෙහි යුද්ධයක්, චීනයේ ආර්ථිකය ස්ථාවර ව පවත්වාගෙන යන තෙල් සම්පත් මත බලය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අතහැර දැමිය නො හැක්කා වූ ද යුරේසියාව ඒකාග්‍රකරනය ගැඹුරු කිරීමේ එක්තීරුවක් එක්මාවතක් මූලෝපායෙහි මූලෝපායික පුරුකක් ලෙස ඉරානය දැකගන්නා වූ ද චීනය සමග එක්සත් ජනපදයේ ගැටුම අනිවාර්යයෙන් තීව්‍ර කරනු ඇත.

එක්සත් ජනපදයත්, එහි “මහා බල” ප්‍රතිමල්ලවයනුත් නිරත වන “සිතිය නො හැකි” ගැටුමකට එක්සත් ජනපද මිලිටරිය සූදානම් වෙමින් සිටින බව නො වරදිනසුලු ලෙස ඉඟිකරමින්, පෙන්ටගනයේ ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානියා වසර 14ක් තුල ප්‍රථම වතාවට න්‍යෂ්ටික මෙහෙයුම් පිලිබඳ නව ධර්මතාවක් පසුගිය සතියේ නිකුත් කලේ, “තීරනාත්මක ප්‍රතිඵල හා මූලෝපායික ස්ථාවරත්වය පුනස්ථාපනය කිරීමේ කොන්දේසි” නිර්මානය කරන්නා වූ හා “එක්සත් ජනපදය, එහි සගයන් හා හවුල්කරුවන්ට හොඳ ම අවස්ථාවන් උදාකර දෙමින්” ගැටුම අවසන් කරන්නා වූ උපක්‍රමයක් ලෙස න්‍යෂ්ටික අවි භාවිතා කිරීම දිරිගන්වමිනි.

1960 ගනන්වල “ජයගත හැකි” න්‍යෂ්ටික යුද්ධයක් ප්‍රකාශයට පත්කල හා ස්ටැන්ලි කුබ්රික්ගේ ඩොක්ටර් ස්ටේ්‍රන්ජ්ලව් චිත්‍රපයට ආවේශය සැපයූ සීතල යුද න්‍යායඥ හර්මන් කාන්, ලේඛනය තුල උපුටා දක්වනු ලැබේ.

එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන මහා අන්තරාය වන්නේ, යුද සූදානම හා ඒවායේ විපාක මහජනයාට ප්‍රකාශ කර ඇති දේවලට වඩා බොහෝ දුර ගමන් කරන, විනාශකාරී ගම්‍යයන් සහිත තීරන මුලුමනින් ම ඔවුන්ට හොරෙන් ගැනීම යි.

පවතින දේශපාලන සංස්ථාපිතය තුල අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධත්වයක් නො පවතී. ඩිමොක්‍රටිකයන්ට ට්‍රම්ප් සමග තිබෙන වෙනස්කම් මුලුමනින් ම උපායික ස්වභාවයක් ගන්නා අතර, ඔබාමා තමන්ගේ ම සම්බාධක හා යුද තර්ජන සමගින් යුද්ධයට මාවත පාදා දී ඇත. වියට්නාම් යුගයේ යුද-විරෝධී විරෝධතා තුල සම්භවය ලත් ව්‍යාජ-වාම සංවිධාන සම්බන්ධයෙන් ගත්කල, එම සංවිධාන සියල්ල “මානව හිමිකම්වල” නාමයෙන් එක්සත් ජනපද ආක්‍රමනය දිරිමත් කරමින් එම අධිරාජ්‍යවාදය සමග පෙලගැසී ඇත.

නව හා විනාශකාරී යුද්ධයක් නැවැත්විය හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමකින් පමනි. මේ සඳහා, යුද්ධය පිලිබඳ ප්‍රශ්නය පාලක පන්තියෙන් හා එහි දේශපාලන නියෝජිතයන්ගේ හස්තයෙන් මුදාගෙන, එක්සත් ජනපදයේත් සෑම රටක මත් තීව්‍ර වන පන්ති අරගලයේ කේන්ද්‍රීය නාභිය බවට පත්කර ගන්නා කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයන්ගේ සවිඥානික දේශපාලන ක්‍රියාකාරීත්වය අවශ්‍ය කරයි.

බිල් වෑන් ඕකන්

Share this article: